2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

නොනගත කාලයේ ප්‍රචාරක වැඩට පක්ෂ ලොක්කන් කළ ඉල්ලීම ඉවතට

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 109

පාතාලය කම්මුතු කරන්නට ජනපතිගෙන් ප්‍රතිඥා
සජිත් පිලට ගිය රොත්තක් යූ.ඇන්.පී.යෙන් ඉවතට
ඡන්ද ප්‍රචාරයට සජිත් වාහනයෙන් කිලෝමීටර් 14,000ක් ගිහින්
ශෂින්ද්‍ර රාජපක්ෂගේ කතාවට ජනපති අගමැති දෙදෙනාගෙන් දැඩි අවවාද
කුරුණෑගල රාජසභා අර්බුදය මෝරද්දී ජොනී පාර වෙනස් කරයි
අනුර කුමාරලා උසාවි ගොස් සහන පතයි
සංස්කෘතික අරමුදලේ වියදම් ප්‍රශ්නයට සජිත්ට චෝදනා

පක්ෂ දේශපාලනයේ නියුතු සියල්ලන්ම පසුගිය දිනවල වෙහෙස මහන්සි වූයේ තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගැනීමටයි. අද රාත්‍රී සිට මැතිවරණය උදෙසා නිහඬ කාලයේ නොනිල සටන ක්‍රියාත්මක වෙයි.

පසුගිය සතිය ආරම්භයේම පුත්තලම දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ අපේක්ෂක සනත් නිශාන්ත නිසාවෙන් දේශපාලන කරළිය රත්විය. ඔහු මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් වෙනුවෙන් අංක තහඩු නොමැති යතුරු පැදියක නැගී හෙල්මට් ද නොමැතිව යතුරු පැදි පෙළපාලියක් ගොස් තිබුණි. එහි ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ පසු පක්ෂ විපක්ෂ බොහෝදෙනාගේ විරෝධයට එය හේතුවිය. මෙම කටයුත්ත සම්බන්ධව පැමිණිල්ලක් ද මැතිවරණ කොමිසමට ලැබුණේ මේ අතරය. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීවේ පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ඨාස හතරක යතුරුපැදි විස්සක තිහක නැගී මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක නිරතවීම සම්බන්ධව පැමිණිල්ලක් ලැබී ඇති බවයි. ඒ පිළිබඳ තදින්ම ක්‍රියාකරන බවත් මෙවැනි මෝටර් සයිකල් පෙළපාළි වලින් ජනතාව බියගැන්වීම් සහ තමන් ප්‍රවර්ධන කරගැනීම් සිදුවන බවත් ඔහු වැඩිදුරටත් කීය. සනත් නිශාන්තට පක්ෂයේ ඉහළින්ද අනතුරු ඇඟවීම් ලැබුණි. ඒ අනුව හෙල්මට් දමාගෙන යතුරුපැදි සවාරියේ යාමට ඔහු කටයුතු කෙළේය. ඒ අතර වැඩබලන පොලිස්පතිවරයා  මේ සම්බන්ධව වාර්තාවක් කැඳවීමට ද කටයුතු කළේය. කෙසේ නමුත් සනත් නිශාන්ත කීවේ මෙය වරදක් බව තමන් නොදන්නා බවයි. එසේම හෙල්මට් නොමැතිව යාමේ වරද වෙනුවෙන් වන රුපියල් පන්සීයක දඩය තමන් ගෙවීමට සූදානම් බවද ඔහු කීවේය. කෙසේ නමුත් මැතිවරණය අභියස මෙලෙස නීතියට සමච්චල් කිරීම පොහොට්ටුවේ දේශපාලනයට අහිතකර ලෙස බලපෑ බව පෙනෙන්නට තිබුණි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ බිලියන එකොළහක අවභාවිතයේ කතාව මහ මැතිවරණය එළිපත්තේ ඇතිකළේ විශාල ආන්දෝලනයකි. මේ කතාව කරළියට පැමිණියේ 2016 – 2019 කාලය තුළ එම අරමුදලේ සිදුවූ අක්‍රමිකතා සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයා බුද්ධශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කළ කමිටුවේ වාර්තාව ජූලි 28 වැනිදා ඔහු වෙත බාරදීමත් සමඟයි. විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ගාමිණී සරත් එදිරිසිංහ මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල කමිටුවක් විසින් සකස් කෙරුණු පිටු 142 කින් යුත් මෙම වාර්තාවට අනුව අවම වශයෙන් රුපියල් මිලියන 11059 ක අවභාවිතාවක් මෙම අරමුදල තුළ සිදුවී ඇති බව කියවුණි.

අග්‍රාමාත්‍ය කාර්යාලයට මෙම තොරතුරු නිවේදනය කිරීමත් සමඟ ආණ්ඩු පක්ෂයෙන් එවකට සංස්කෘතික ඇමැති වූ සජිත් ප්‍රේමදාස ඉලක්ක කරගත් දැවැන්ත ප්‍රහාරයක් දියත් කෙරිණි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මේ සම්බන්ධව මැතිවරණ ප්‍රචාරක රැලියක දී අදහස් දක්වා තිබුණි. ඔහු කියා තිබුණේ මෙම අරමුදලේ අරමුණුවලට පරිබාහිරව පෝස්ටර් ගැසීම, නිවාස සෑදීමට සහ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලට මෙම මුදල් වැයකර ඇති බවයි. අද මෙවන් වංචාවන් සිදුකළ පුද්ගලයන් අගමැති වීමට සිහින දකිමින් සිටින බවද අගමැතිවරයා වැඩිදුරටත් පවසා තිබුණි. ඒ අනුව බිලියන එකොළහේ කතාව ප්‍රබල දේශපාලන මාතෘකාවක් වූ අතර අවසානයේ සමගි ජන බලවේගයෙන් ඊට ප්‍රතිචාර දැක්වීය. එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙම කමිටු වාර්තාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව කීවේය. මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් සජිත් ප්‍රේමදාස මහතා වැයකොට ඇත්තේ විහාරස්ථාන සංවර්ධනය වෙනුවෙන් බවත් කිසිදු මුදලක් අතට නොගත් බවත් ඔහු කීවේය. මෙම ගැටලුවට එක්සත් ජාතික පක්ෂයද හවුල් වූයේය. රවී කරුණානායක මහතා මාධ්‍ය හමුවකදී කීවේ ඉස්සර කැබිනට්ටුවේදී මේ පිළිබඳ විමසන විට එකල ජනාධිපති මෛත්‍රී ද මෙහි කිසිම ගැටලුවක් නැති බව කී බවයි. දැන් ඒ සම්බන්ධව නීතිමය කටයුතු ආරම්භ වී තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගයට විරුද්ධව දැඩි තීන්දුවක් ගත්තේය. ඒ අනුව එජාපය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 53 දෙනෙකුගේ සහ පළාත් පාලන මන්ත්‍රීවරු 60 කගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කෙරිණි. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ජූලි 28 වැනි අඟහරුවාදා රැස්වී මෙම තීරණය ගෙන තිබුණි. මැතිවරණය අභියස රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ප්‍රධාන මතෘකාව සමගි ජනබලවේගය වූ බව දැන ගන්නට ලැබුණි. පක්ෂයේ ආසන සංඛ්‍යාව වැඩිකර ගැනීම පිළිබඳ ප්‍රබලයන් අතර සාකච්ඡා ඇති විය. කෙසේ නමුත් පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ ලැයිස්තුවේ සජිත් ප්‍රේමදාස මහතාගේ නම නොතිබීම විශේෂිත විය.

මෙම තීරණයට නොපමාව ප්‍රතිචාර දැක්වීමට සමගි ජන බලවේගය කටයුතු කළේය. එළඹෙන මැතිවරණයේ නියත පරාජය හමුවේ ආණ්ඩුව ශක්තිමත් කිරීමට රනිල් වික්‍රමසිංහ සිය අවසන් තුරුම්පු ඇද ඇති බව ඔවුහු පැවසූහ. මෙම ක්‍රියාවට ජනතාව අගෝස්තු හයවැනිදා ප්‍රතිචාර දක්වනු ඇති බවද ඔවුහු කීහ. කෙසේ වෙතත් මෙම තීරණය සමඟ වැඩි බලපෑමකට ලක්ව සිටියේ සමගි ජනබලවේගයට උදව් කරන එ.ජා.ප. පළාත් පාලන මන්ත්‍රීවරුය. ඔවුන් තුළ සිය මන්ත්‍රී ධූරය සම්බන්ධව බියක් හටගෙන තිබුණි. එජාප අපේක්ෂාවද එයම වූ බව අභ්‍යන්තර ආරංචි මාර්ග හරහා කියැවුණි. එසේ නමුත් සමගි ජන බලවේගයේ නායකයෝ මෙම පළාත් පාලන මන්ත්‍රීවරුන් අස්වසාලීමට කටයුතු කරනු ලැබුවේ නීතිමය රැකවරණ දෙන බව කියමිනි.
එසේම පසුගිය සතියේ දේශපාලන වේදිකාවේ පොහොට්ටුව ලකුණින් ඡන්දය ඉල්ලන කිහිප දෙනෙක්ම ඇඬුවෝය. ජගත් පුෂ්පකුමාර ඒ අතරින් ප්‍රමුඛයා වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර දෙවැන්නා විය. කෙසේ වෙතත් මෙම ඇඬිල්ලට අදාළ සිද්ධියකට තරවටු කරන ලද්දේ පොහොට්ටුවේ මොණරාගල දිස්ත්‍රික් අපේක්ෂක ශෂීන්ද්‍ර රාජපක්ෂටය. ඊට හේතුව වූයේ ශෂීන්ද්‍ර මැතිවරණ වේදිකාවේ කළ ප්‍රකාශයකි. ඔහු කීවේ අවුරුදු විසි පහක් තිහක් පැරණි දේශපාලනඥයෙක් බුත්තල පැත්තේ පැවැති රැස්වීමකදී කිඹුලෙක් වගේ අඬා වැටුණු බවයි. ඔහු පමණක් නොව ඔහුගේ මහ ලේකම්වරයාද හඬා වැටෙනු තමන් දුටු බව ඔහු පැවසීය. තවත් දිනක් දෙකක් යනවිට උන්ගේ මහා එකාද පොළොන්නරුවේ සිට අඬනවා ඇතැයි තමන් කැට තබා කියන බවද ශෂීන්ද්‍ර රාජපක්ෂ සඳහන් කළේය. එයින් නොනැවතුණු ඔහු අපේක්ෂකයන් වේදිකාවේ හඬා වැටුණු ආකාරය රඟපා පෙන්වීමටද කටයුතු කළේය.

මෙම හැසිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය ඔස්සේ දුටුවේය. ශෂීන්ද්‍රට දුරකථන ඇමතුමක් ගත් ජනාධිපතිවරයා ඒ ගැන ඔහුට බොහෝම තදින් දොස් කීවේය. ප්‍රසිද්ධියේ සමාව ගන්නා ලෙසද දැන්වීය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ශෂීන්ද්‍රට දුරකථනයෙන් අමතා දොස් කීවේය. මෙවන් දෑ නොකියන ලෙසත් මීට අනිවාර්යයෙන්ම සමාව ගතයුතු බවත් කීවේය. සිය බාප්පලාගෙන් බැණුම් ඇසූ ශෂීන්ද්‍ර රාජපක්ෂ තත්ත්වය බරපතළ බව වටහාගෙන තිබුණි. අනතුරුව තවත් මැතිවරණ රැලියකදී ඔහු කීවේ තමන් කී කතාවක් සම්බන්ධයෙන් තමන්ට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දොස් පැවරූ බවයි. එනිසා තමන් කලින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලන බවද ඔහු කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතාට ද ගෙවුණු දේශපාලන සතිය තීරණාත්මක විය. දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශන කරන ජනාධිපති කොමිසම් සභාවෙන් පසුගිය සමයේ දිසානායක මහතාට නිතර නිතර කැඳවීම් ලැබුණි. ඒ අනුව ඔහු කොමිසම හමුවට කැඳවීමට නොතීසි නිකුත් කිරීමට එරෙහිව රිට් පෙත්සමක් ගොනු කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාද මෙවැනි පෙත්සමක් ගොනුකර තිබුණි. නමුත් අවසානයේ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවූ විට ඔවුන් දෙදෙනා කොමිසම හමුවේ කැඳවීම තාවකාලිකව අත්හිටුවීමට කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා ස්වේච්ඡාවෙන්ම එකඟතාව පළ කළේය.

මේ අතර ජාතික ජනබලවේගය මැතිවරණය අභියස සිය ඡන්ද ප්‍රතිශතය වැඩිකර ගැනීමේ උපායක් කල්පනා කර තිබුණි. ඒ නම් මෙවර දේශපාලනය පිළිබඳ කලකිරීමෙන් ඡන්ද පොළට නොයන ඡන්දදායකයන් ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළයි. ඒ සඳහා සිය ප්‍රබල අපේක්ෂකයන්ට මාධ්‍ය ඔස්සේ ලැබෙන අවස්ථා ප්‍රයෝජනයට ගන්නා ලෙස දැනුම් දී ඇති බව කියැවුණි. ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා පසුගිය සතියේ තමාහට ලැබුණු සිය මාධ්‍ය අවකාශයෙන් ඒ වෙනුවෙන් භාවිත කරමින් සිටින බවද නිරීක්ෂණය විය.

කුරුණෑගල රාජසභාවේ කතාවේ ආන්දෝලනය මේ සතියේද සහමුලින්ම වියැකී ගියේ නැත. සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්විය. ජාතික ජන බලවේගය පක්ෂයේ මැතිවරණ අපේක්ෂකයෙකු වන නාමල් කරුණාරත්න මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

මේ අතර නගරාධිපතිගේ මයිල් ගසකටවත් අත තියන්නට නොදෙන බව කී අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මේ සතියේ මාධ්‍යයට කියා තිබුණේ වෙනස්ම කතාවකි. තමා එසේ කීවේ දේශපාලකයන්ට බවත් නගරාධිපති වුවත් වරදක් කර ඇත්නම් ඔවුන්ට දඬුවම් දීමට තමා විරුද්ධ නොවන බව ඔහු කියා තිබුණි. මීට අමතරව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය සතියේ මෙරට පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීම සඳහා පුරාවිද්‍යා උපදේශක කමිටුවක් පත් කරනු ලැබීය. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි අනුනාහිමියන් ප්‍රමුඛ විද්වත් භික්ෂූන් වහන්සේලා සහ ගිහි විද්වතුන් රැසක් ඊට ඇතුළත් වූහ. කෙසේ නමුත් කුරුණෑගල සිදුවීම සම්බන්ධව පත්කළ කමිටුවේ නිර්දේශයන් අතර වූ වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීම තවම සිදුවී නොමැත.

මේ සියල්ල අතරේ ජනාධිපතිවරයා සුපුරුදු ලෙස රටේ විවිධ ප්‍රදේශවල මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධව විය. ඒ අනුව මාතර, කුරුණෑගල, කොළඹ, කළුතර ආදී දිස්ත්‍රික්කවල අපේක්ෂකයන් සංවිධානය කර තිබූ ජනහමුවලට ජනාධිපතිවරයා සහභාගී වූයේය. කුරුණෑගලදී රාජසභා මණ්ඩපය සම්බන්ධ සිද්ධිය තරුණයකු විසින් ජනපතිගෙන් ප්‍රශ්න කෙරිණි. ජනපතිවරයා සිනහ වී එය බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය නොවන බව කීවේය. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි කුරුණෑගලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විෂයභාර අමාත්‍ය ජොන්ස්ටන්ට කීවේය. ජනපති කළුතරදී ජනතාවට සම්මුඛ වෙමින් තුනෙන් දෙකක බලය ඉල්ලා සිටියේය. පාතාලය පිළිබඳ ජනතාව ඇසූවිට තමා පාතාලය සහමුලින්ම නැතිකරන බවත් නීති වෙනස් කරගැනීමට තුනෙන් දෙකක බලය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සතියේ රූපවාහිනී මාධ්‍ය ආයතන කිහිපයක වැඩසටහන් වෙනුවෙන් සහභාගී විය. ඊට අමතරව ඔහු කළුතර, රත්නපුර, හම්බන්තොට ආදී දිස්ත්‍රික්කවල ජනහමුවලටද සහභාගි විය. කෙසේ නමුත් කොළඹ දිස්ත්‍රික්කයට මෙම සතියේ වැඩි බරක් දීමට ප්‍රේමදාස මහතා තීරණය කර තිබුණි. රත්නපුරයේ දී සජිත් ප්‍රේමදාස මහතා අපූරු කතාවක් කීවේය. “මේ මැතිවරණ ව්‍යාපාරයේ දී මම මගේ වාහනයෙන් කිලෝමීටර් 14,600ක් ගිහින් තිබෙනවා. ඇත්තම කියනවා නම් බොහොම තෙහෙට්ටුයි. නමුත් ජනතාව දකින තරම් සතුටක් මේ පුංචි ප්‍රේමදාසට නෑ” යනුවෙන් ඔහු කියා තිබුණි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද කොළඹ දිස්ත්‍රික්කයට වැඩි ප්‍රමුඛත්වය ලබාදෙමින් මැතිවරණ ප්‍රචාරණයේ නිරත විය. ආර්ථික කරැණුවලට මුල් තැන දෙමින් වික්‍රමසිංහ මහතා මේ සතියේ සිය දේශපාලන කතා සකස් කර තිබිණි. සමගි ජනබලවේගය සම්බන්ධවද ඔහු ඇතැම් තැන්වලදී අදහස් දක්වන්නට විය. එක් අවස්ථාවකදී ඔහු කීවේය. සමගි ජන බලවේගය කියන්නේ වෙනම පක්ෂයක්. සමගි ජනබලවේගය එක්සත් ජාතික පක්ෂයේ කෑල්ලක් නෙවෙයි. අධිකරණයෙන් අවස්ථා කිහිපයකදීම ඒ බව තහවුරු කරලා තියෙන්නේ* යනුවෙන්ද කීවේය. මේ අතර එජාපයේ නවීන් දිසානායක පිළිබඳවද විවිධ කතා පැතිර යන්නට විය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තමන්ට අවශ්‍ය බවට එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා ප්‍රකාශයක් කර තිබුණි. ඊට අභ්‍යන්තර ප්‍රතිරෝධතා රුසක් ගොනු වී තිබිණි. ප්‍රබලයන් අතර රහස් කතාබහ ඇතිවූ බවද කියැවුණි. කෙසේ වෙතත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා එළිපිටම ඊට විරෝධය පළ කළේය. ඔහු පැවසූයේ පක්ෂයේ නායකයකු මේ වනවිට සිටිනා නිසා එම කාරණය මේ මොහොතේ සාකච්ඡාවට ගත යුතු නැති බවයි. දයා ගමගේ මන්ත්‍රීවරයාද තමන් නායකත්වයට සුදුසු බව කීය.

උතුරේ දේශපාලනයද මේ අතර උණුසුම් වෙමින් තිබුණි. උතුරට ෆෙඩරල් ඉල්ලා ද්‍රවිඩ ජාතික සංවිධානය සිය ප්‍රතිපත්ති ප්‍රකාශ එළි දැක්වීමෙන් පසු හිටපු මහ ඇමති විග්නේෂ්වරන්ද සිය ප්‍රතිපත්ති ප්‍රකාශ එළි දක්වනු ලැබීය. ඔහු නායකත්වය දරන ද්‍රවිඩ ජනතා ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශය පිටු එකොළකින් යුක්ත විය. උතුරේ ප්‍රශ්නවලට ජාත්‍යන්තර මැදිහත්වීමක් ලබාගැනීම, දේශපාලන වශයෙන් ෆෙඩරල් විසඳුමකට ඒම ආදී කරුණු එහි අන්තර්ගත වී තිබේ. මේ අතර 1983 කළු ජූලියෙන් මියගිය දෙමළ ජනතාව සිහිකිරීමේ වැඩසටහනක් ද යාපනය විශ්වවිද්‍යාල සිසුන් විසින් සංවිධානය කර තිබුණි. 

මැතිවරණයට අදාළ විශේෂිත සිදුවීම් කිහිපයක්ද සති අග සිදුවිය. අගෝස්තු 3 වැනිදා පසළොස්වක පොහොය දිනයේද මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවල යෙදීමට සියලු දේශපාලන පක්‍ෂ ලේකම්වරු ඉල්ලීම් කළහ. මැතිවරණ කොමිෂන් සභාව විසින් එය ප‍්‍රතික්‍ෂේප කෙරිණි. පක්‍ෂ ලේකම්වරුන් කියා සිටියේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සිය ප‍්‍රචාරණ කටයුතු නිසි ලෙස සිදු කරගෙන යාමට නොහැකි වූ බවයි. ඒ හේතුවෙන් අගෝස්තු 3 වැනිදා ගෙයින් ගෙට ගොස් හෝ සිය ප‍්‍රචාරණ කටයුතු සිදුකිරීමට අවසර දෙන ලෙසයි.

කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කරැණු කිහිපයක් හේතුවෙන් එම අවස්ථාව ලබාදීමට නොහැකි පවසා ඇත. මේ අතර මෙම හමුවේදී අගෝස්තු 3 සහ 4 යන දෙදින සම්බන්ධවද සාකච්ඡා වී තිබේ. ඊට අනුව නිශ්චිත ශාලාවක සිය ඡන්ද පොළ නියෝජිතයන් දැනුවත් කිරීමේ රුස්වීමක් පමණක් පැවැත්විය හැකි බව සහ එයද කලින් දැනුම් දීමකින් පසුව සිදුකළ යුතු බව කොමිසම පෙන්වා දී ඇත.


 චමිඳු නිසල් ද සිල්වා

 

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00