2020 මැයි 09 වන සෙනසුරාදා

සම්පන්දන්ලාගෙන් මහින්දට ප්‍රශ්න පත්‍රයක්

 2020 මැයි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 169

  • වෙසක් කූඩු අලෙවිකරුවන් ජනපතිගෙන් කළ ඉල්ලීම
  • මහාචාර්යවරයාගේ ඉල්ලීමට ජනපති කඩිනම් ප්‍රතිචාර දක්වයි.
  • එ.ජා.ප.ය අවසන් මොහොතේ මහින්දගේ රැස්වීම වර්ජනය කළ හැටි
  • අනුර දිසානායක නොහඳුනන පොහොට්ටුවේ ලේකම්
  • මැ.කො.ගෙ පුතාට විශේෂ වරප්‍රසාද නැහැ
  • ඡන්දය ගැන නීතිපති උපදෙස් මැතිවරණ කොමිසමට

මේ සතියේ වඩාත්ම කතාබහට ලක්වූ සුපුරුදු මාතෘකා දෙක වූයේ කොරෝනා රෝග තත්ත්වය සහ මහ මැතිවරණය ගැනයි. පසුගිය සතියේ සෑහෙන තරම් බරපතළ තත්ත්වයක තිබූ කොරෝනා ව්‍යාප්තිය පාලනයට නතුකර ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂවරයාද සඳහන් කර තිබිණි. 11 වැනි සඳුදා නැවත රට සීමිත ආර්ථික කටයුතු සඳහා විවෘත කෙරේ.

එම කටයුතු සිදුවෙද්දී දේශපාලන ක්ෂේත්‍රයේ වැඩිපුරම කතාබහ වන්නේ මහ මැතිවරණය ගැනයි. පැරණි පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන්ද ඇතැම් පිරිස් හඬ නගන්නට පටන්ගෙන තිබේ. මැතිවරණය දින නියම කරගත් පරිදි ජූනි මස 20 දින පැවැත්විය හැකිද නොහැකිද යන්න ගැන සාකච්ඡාවකට පසුගිය සති අන්තයේ පිළිගත් පක්ෂ ලේකම්වරැන් හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් පැවැත්විණි. මෙම සාකච්ඡාව තරමක් උණුසුම් මෙන්ම නව තර්ක විතර්ක ගණනාවක් මතුවූ අවස්ථාවක් විය. කොරෝනා රෝගය මධ්‍යයේ වුවද මහ මැතිවරණය පැවැත්විය හැකි යැයි සමසමාජ පක්ෂනායක මහාචාර්ය තිස්ස විතාරණ යෝජනා කළේය. ඔහු කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයකු මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශකයෙක් වී සිටියේය. එහෙත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහාචාර්ය විතාරණගේ අදහස පිළිගන්නේ නැත. ඒ වෙනුවට ඔහු ඇසුවේ ඔබතුමා මොන ලෝකයේද ඉන්නේ කියාය. මහාචාර්යවරයා ඉන්ෆ්ලුවෙන්සා උණ සහ කොරෝනාව සමාන කරමින් පළකළ අදහසද මැතිවරණ ප්‍රධානියා ප්‍රතික්ෂේප කළේය. අවසානයේ මහින්ද දේශප්‍රිය මහාචාර්ය විතාරණට කීවේ ඔබතුමා ඔය කතා මෙතැන කීවාට එළියේ නම් කියන්න එපාය* කියායි.

පවත්නා කොරෝනා රෝග තත්ත්වය හමුවේ මහ මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමන ලෙස එජාපය - සමගි ජන බලවේගය දෙමළ සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ නියෝජිතයෝ ඉල්ලා සිටියහ. මේ ගැන තර්ක විතර්ක යද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ප්‍රකාශ කළේ රෝග තත්ත්වය බරපතළ නම් ඒ ගැන සාධාරණ තීන්දුවක් ගත යුතු වුවත් 1987-89 කාලයේ ඡන්දය දෙන අය මරණවා යැයි තර්ජනය කරද්දීත් ජනතාව යම් තරමක් ඡන්දය දුන් බව අමතක නොකළ යුතු බවයි.

සාගරගේ මේ කතාවට ජ.වි.පෙ. නායක අනුර කුමාරට හොඳටම තරහ ගියේය. කවුද මේ... මෙයා කවුද... මම නම් නම දන්නෙත් නැහැ... මේ වගේ පරණ කතා දැන් දැන් මෙතෙන්ට මොකටද සභාපතිතුමා මේ කතාව අද රැස්වීමේ වාර්තාවෙන් ඉවත් කරන්න.... අනුර දිසානායක මහින්ද දේශප්‍රියගෙන් ඉල්ලා සිටියේය. එහෙත් නීතිඥ සාගර කාරියවසම් තමන් දැරූ ස්ථාවරය වෙනස් කළේ හෝ කතාව ඉල්ලා අස්කර ගත්තේ නැත. අන්තිමේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ අනුරගේ ඉල්ලීම අනුව සාගර කියූ කතාව වාර්තාවෙන් ඉවත් කරන වගයි.

අනතුරුව මහ මැතිවරණය පැවැත්වීම ගැන සාකච්ඡා කළ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මෙහිදී ප්‍රධාන වන බව මැ.කො. සභාපති කීය. අපි ලබන 11දා දක්වා රටේ තත්ත්වය බලමු. එදාටත් ඡන්දය ගැන තීන්දුවක් ගන්න බැරිනම් ඡන්දය කල්දාලා ආයෙමත් ගැසට් එකක් ගහමු. ඒ ගැන තීන්දුව මැයි 15ට කලින් ගන්න ඕනෑ.... සභාපතිවරයා වැඩිදුරටත් කීය.

ඒ සමඟ තවත් නීති ප්‍රශ්නයක්ද මතු කැරිණි. එම නීති ප්‍රශ්නය මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර ඊට පෙර සාකච්ඡා වූවකි. කොමිසමේ සාමාජිකත්වය දරන හිටපු නීති කෙටුම්පත් සම්පාදක ජනාධිපති නීතිඥ නලීන් අබේසේකර මහතා එම ප්‍රශ්නය කොමිසම තුළදී විමසා තිබූ බව දැනගන්නට ලැබිණි. සෙසු සාමාජික ආචාර්ය රාජන් හූල්ද එය අනුමත කර තිබිණි. පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා භාරගත් දින දෙක රජය විසින් නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කර තිබූ නිසා ඒ දිනවල භාරගත් නාමයෝජනා වලංගුද යන්න එම ප්‍රශ්නයයි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ ගැන පක්ෂ ලේකම්වරුන් දැනුවත් කොට තමන් ඒ ගැන නීතිපති උපදෙස් පතන බවද කීය.

ඒ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මැතිවරණ කොමිසමට තමන්ගේ මූලික නිර්දේශය එවා තිබිණි. එමගින් කියා තිබුණේ තමන්ට කොරෝනා ව්‍යාප්තිය පාලනය ගැන පූර්ණ සහතිකයක් දැන්ම ලබාදිය  නොහැකි වෙතත් රට ඉතා ඉක්මනින් සාමාන්‍ය තත්ත්වයට පත්කළ හැකි යැයි සිතන බවය. ඉදිරියේදී මේ ගැන තවත් නිර්දේශයක් ලබාදෙන බවද කියා තිබිණි.

කෙසේ හෝ පක්ෂ ලේකම් හමුව හමාර වූ වහාම මහින්ද දේශප්‍රිය නීතිපතිවරයා අමතා ලිපියක් ලියමින් නාමයෝජනා දින ප්‍රශ්නය සම්බන්ධව උපදෙස් පැතීය. ඒ ගැන නීතිපති සමඟ දුරකතනයෙන්ද සාකච්ඡාවක නිරත විය. දිනයක් තුළ නීතිපති උපදෙස් ලිඛිතව මැතිවරණ කොමිසමට ලැබිණි. එහි සඳහන් වූයේ දැනට විධිමත් ලෙස නාමයෝජනා භාරගෙන මැතිවරණ ක්‍රියාදාමය ආරම්භ කර ඇති බවත් පවත්නා මැතිවරණ නීතියට අනුකූලව එය ඉදිරියටත් පවත්වාගෙන යන ලෙසත්ය. නාමයෝජනා අවලංගු වීමක් සම්බන්ධව නීතිපතිවරයා කිසිදු උපදෙසක් ලබාදී නොතිබිණි. එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ මණ්ඩලයට හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මැතිවරණ ආඥා පනතේ වගන්ති හුවා දක්වමින් කියා තිබුණේ නාමයෝජනා භාර ගැනීමට අදාළව කිසිදු නීතිමය වරදක් පනත අනුව සිදුවී නැති බවයි. ඒ ගැන ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතාද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතාද ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට උපදෙස් දී තිබුණි.

මේ සතියේ සමරන ලද වෙසක් උත්සවය ඉතා චාම් ලෙස සමරන ලෙස ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලා සිටියේය. පන්සල්වල ආගමික උත්සව නොපවත්වා නිවෙස්වල සිටම චාරිත්‍ර ඉටු කරන්නැයි මහ නාහිමිවරැන් මෙන්ම ජනාධිපතිවරයා යන අගමැතිවරයාද ඉල්ලා තිබිණි. විචිත්‍රවත් වෙසක් උත්සවය චාම් ලෙස සැමරෙන දෙවැනි වසර මෙයයි. ගිය වසරේද පාස්කු ප්‍රහාරය නිසා වෙසක් සැමරුවේ ඉතාමත් සරල චාම් ආකාරයටය. මෙයින් වෙසක් කූඩු හා සැරසිලි අලෙවිකරන්නෝ මහත් අපහසුවට පත්ව සිටිති. කොළඹ කෝට්ටේ ඔබේසේකරපුර ප්‍රදේශයේ ජනතාවගෙන් සෑහෙන පිරිසක් තමන්ගේ නිවෙස්වල වෙසක් කූඩු නිෂ්පාදනය කොට අලෙවිකර ආදායමක් ලබා ගනිති. පසුගිය වර්ෂවල චීනයෙන් වෙසක් කූඩු ගෙන ආ නමුත් දැන් එයද සිදු නොවන නිසා දේශීය වෙසක් කූඩු ඉල්ලුම ඉහළ ගොසිනි. 

එහෙත් ඇඳිරි නීතිය නිසා කූඩු අලෙවිකර ගන්නට නොහැකි වීමෙන් පීඩාවට පත් ඔබේසේකරපුර ජනතාව වෙනුවෙන් මේ දුක් ගැනවිල්ල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කළේ ප්‍රදේශයේ සිටින ජනාධිපතිවරයාගේ හිතවතෙකි. මේ බරපතළ කොරෝනා ප්‍රශ්න මධ්‍යයේ වුවද ජනාධිපතිවරයා වෙසක් කූඩු හිමියන්ගේ ප්‍රශ්නය යටපත් කළේ නැත. ඔහු වෛද්‍ය විශේෂඥ පිරිසකගෙන් විමසා සිටියේ වෙසක් කූඩු මගින් රෝගය බෝවිය හැකිද කියායි. එවැන්නක් සිදුවිය නොහැකි බව වෛද්‍යවරැන් පැවසූ පසු ජනාධිපතිවරයා කෝට්ටේ නගරාධිපති මධුර විතානගේ අමතා ප්‍රදේශයේ ජනතාව නිෂ්පාදනය කරන වෙසක් කූඩු ඇතුළු සැරසිලි අලෙවි කරගන්නට අවසර දෙන්නැයි දැන්වීය. එය පොලීසියටද දන්වා අවශ්‍ය පියවර ගන්නැයි කී ජනාධිපතිවරයා වෙසක් කූඩු අලෙවිකරැවන්ගේ ප්‍රශ්නය සමථයකට පත් කළේය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගිය සඳුදා අරලියගහ මැඳුරට පාර්ලිමේන්තු මන්ත්‍රීන් කැඳවා තිබුණේ කොරෝනා රෝග තත්ත්වය සහ ඊට අදාළ ප්‍රශ්න ගැන මන්ත්‍රීන් දැනුවත් කරන්නටයි. පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීන් 178ක් හමුව සඳහා එක්වූ අතර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් 13 දෙනෙක් ඒ අතර වූහ. විපක්ෂය නියෝජනය කළේ ඔවුන් පමණි. එ.ජා.ප.ය මේ හමුව සඳහා සහභාගි වීමට මුලදී තීන්දුකර තිබුණි. රනිල් සහ අකිල විරාජ් මහ ලේකම්වරයා ඒ සම්බන්ධව මූලික අදහස් හුවමාරුවකින් පසුව පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ මේ ගැන වීඩියෝ තාක්ෂණය ඔස්සේ හමුවක් පවත්වනු ලැබීය. එහිදී රවි කරුණානායක ප්‍රකාශ කළේ සජිත් පිල මහින්දගේ හමුවට නොයද්දී තමන් ගියහොත් එය දේශපාලන පාඩුවක් බවයි. ඒ නිසා මහින්දගේ හමුවට නොයා යුතු යැයි රවි කීය. ඊටත් වඩා තදින් ඊට විරෝධය දැක්වූයේ නවීන් දිසානායක හිටපු මන්ත්‍රීවරයාය. නවීන් මහින්දගේ හමුවට යාම ගැන දැඩි ලෙස විරැද්ධත්වය පළකළ පසු රනිල් සහ අකිල ඊට ප්‍රතිචාර දක්වමින් මෙය හොඳ අවස්ථාවක් බව කීවද රවි හා නවීන් එය පිළිගත්තේ නැත. ඒ අනුව එ.ජා.ප.ය අගමැතිගේ හමුවට නොයන්නට තීන්දු කළේය. මෙබඳු හමුවීම් අවශ්‍ය බව මුලින්ම රජයට යෝජනා කළ හිටපු කතානායක කරු ජයසූරිය මහතාද ඊට එක් නොවීම විශේෂයකි.

කෙසේ හෝ දෙමළ සන්ධානය හමුවට එක්වී තමන්ගේ ප්‍රදේශයේ ජනතාවගේ දුක් ගැනවිලි ඉදිරිපත් කළේය. සෙසු මැති ඇමැතිවරුද දීර්ඝ සංවාදයක නිරත වූහ. දෙමළ ජාතික සන්ධාන නායක සම්පන්දන් මහතා රුස්වීම අවසානයේ අගමැතිවරයා හමුවී තම පක්ෂයට ඔබ සමඟ වෙනම හමුවක් අවශ්‍ය යැයි කීය. එසේ නම් එදිනම සවස 4.30ට තම විජේරාම නිල නිවසට මන්ත්‍රී කණ්ඩායම සමඟ පැමිණෙන්නැයි අගමැතිවරයා සම්පන්දන්ට කීය. ඒ අනුව දෙමළ සන්ධාන මන්ත්‍රී පිරිස පැමිණියහ.
ඔවුන් උතුරේ ආධාර බෙදීමේ ගැටලු ඉදිරිපත් කළ විට බැසිල් රාජපක්ෂ මහතා ඒ ගැටලු ක්ෂණිකව විසඳා දුන් අතර අවශ්‍ය නීතිමය ලේඛන සියල්ල දෙමළ භාෂාවෙන් සකස් කොට ඔවුනට ඒ මොහොතේම භාරදුන්නේ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාය. වසර ගණන් රැඳවුම් නියෝග මත රඳවා සිටින කොටි සැකකරැවන් නිදහස් කිරීම, පැරැණි පාර්ලිමේන්තුව නැවත කැඳවීම, උතුරේ එළවළු හා කිරි නිෂ්පාදන ගැටලු ආදී ප්‍රශ්න ගණනාවක් සාකච්ඡාවට භාජනය විය. අවසානයේ දෙමළ සන්ධාන මන්ත්‍රීන් උතුරේ සිට කොළඹට එද්දී හමුදා මුරකපොලුවල පැය ගණන් රස්තියාදු කර පරීක්ෂා කරන බවට මන්ත්‍රීන් ගණනාවක් චෝදනා නැගූහ. අගමැති මහින්ද ඒ මොහොතේ ඊට පිළිතුරු දෙමින් මේ තත්ත්වය වළක්වන ලෙස තමන් වහාම යුද හමුදාපතිට උපදෙස් දෙන බව පැවසීය. හමුව අවසානයේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන් වෙනුවෙන් විශේෂ තේ පැන් සංග්‍රහයක්ද සංවිධානය කර තිබිණි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ පුත්‍රයා වන කවීශ දේශප්‍රිය ලන්ඩනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් යානයකින් මෙරටට කැඳවා ගැනීම දේශපාලන ක්ෂේත්‍රයේ අනවශ්‍ය ආන්දෝලනයක් ඇතිකර තිබේ. ඒ ගැන සමාජ මාධ්‍ය ජාලා මෙන්ම වෙබ් අඩවිද පුවත් රැසක් පලකර ඇත. මේ නිසා කලකිරුණු මහින්ද දේශප්‍රිය මහතා තමන් අවශ්‍ය නම් සභාපති තනතුරින් ඉවත් වන්නම් යැයිද ප්‍රකාශ කර තිබිණි.

අප දන්නා පරිදි දේශප්‍රිය මහතාගේ පුත්‍රයා නෙදර්ලන්තයේ ශිෂ්‍යත්වයක් සඳහා ගොස් සිටි ඉංජිනේරුවරයෙකි. ඔහු නැවත මෙරටට පැමිණීමට නොහැකිව සිටියදී ඒ ගැන සෙසු මගීන් මෙන් රජයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබිණි. ඔහු සමඟ තවත් ශිෂ්‍යත්වධාරී ඉංජිනේරුවන් තිදෙනෙක්ද වූහ. ඒ අනුව සිය පුත්‍රයා ජනාධිපති කාර්යාලය වෙත එවන ලද ලිපිය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතාට ඉදිරිපත් කළේය. ඒ හැර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සභාපතිවරයා පෞද්ගලිකව ඉල්ලීමක් නොකළ බව ඔහු සහතික කරයි.

ඒ අනුව ලන්ඩනයේ සිට දෙවනුව මෙරටට පැමිණි ගුවන් යානයෙන් මැ.කො. සභාපතිවරයාගේ පුත්‍රයා සහ සෙසු ශිෂ්‍යත්වධාරීන් දෙදෙනෙක් මෙරටට පැමිණියහ.  ඒ අය සමග තවත් මගීන් 206 දෙනෙක් ගුවන් යානයේ සිටියහ. මැතිවරණ කොමිසමේම සෙසු කොමසාරිස්වරයකු වන ආචාර්ය රාජන් හූල්ගේ දියණියද එහි වූවාය. හිටපු ඇමැතින් වන මහින්දානන්ද අලුත්ගමගේ, චන්දිම වීරක්කොඩි ආදීන්ගේ පුත්තුද මෙම යානයෙන් පැමිණියහ.

මේ ආකාරයට ලන්ඩනයේ සිට වාර දෙකකට මගීන් 500ක් පමණ ගුවන් යානා දෙකකින් මෙරටට කැඳවූහ. ඒ සියලුදෙනා ආවේ තමන්ගේ පෞද්ගලික වියදමින් ගුවන් ටිකට්පත් ලබාගෙනය. එසේ තිබියදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ පුත්‍රයාට රජය මේ ඡන්ද කාලයේ විශේෂ සහනයක් සැලසූ බව කීමත් ජනාධිපතිවරයාගේ උදව්වෙන් රටට ගෙන්වාගත් බව කීමත් සාධාරණ නැති බව රජයේ මතයයි. ඕනෑම පියෙකු කරන්නා සේ මහින්ද දේශප්‍රියද පිටරට කොටු වී සිටි තමන්ගේ පුත්‍රයා මෙරටට ගෙන්වා ගැනීමට ක්‍රියා කිරීම ප්‍රබල මානුෂික ප්‍රශ්නයකි. එවන් සංවේදි මානුෂික ප්‍රශ්න දේශපාලන අර්බුද සමඟ පැටලැවීම කොතරම් දුරට යුක්තිසහගතද යන්න දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්විය. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වූ ජපානයේ හිටපු තානාපතිවරයෙකු වන මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා දැඩිලෙස රෝගාතුරවී ප්‍රතිකාර ලබයි. ඔහුගේ බිරිඳ සහ දරැවන් වෙසෙන්නේ ඕස්ට්‍රේලියාවේය. රෝගාතුරව මෙරට සිටින මහාචාර්යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමතමින් තමන්ගේ රෝගී තත්ත්වය සලකා බිරිඳ සහ දරැවන් හැකිඉක්මණින් මෙරටට ගෙන්වා දෙන ලෙස ඉල්ලා සිටියේය. ඊට වහා ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට මුලින්ම පැමිණෙන භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක හෝ අසුන් කිහිපයක් වෙන්කොට මානුෂික හේතූන් මත මහාචාර්යවරයාගේ බිරිඳ සහ දරුවන් මෙරටට ගෙන්වාදෙන ලෙස නියෝග කළේය. 

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ සංවිධායකයන් හා හිටපු මන්ත්‍රීන් සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ අදහස් හුවමාරු කර ගනිමින් සිටී. ඒ ඒ ප්‍රදේශවල අඩුපාඩු සොයා බලමින් ප්‍රේමදාස මහතා ඉදිරි මහ මැතිවරණයට සූදානම් විය යුතු ආකාරය ගැනද කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා කළේය.

මැතිවරණ කොමිසම ඡන්දය සඳහා අලුතින් දින නියම කිරීම වරදක් බවත් පැරැණි පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු බවත් කියමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් තුනක් ඉදිරිපත්ව ඇත. ඉන් පළමුවැන්න ඉදිරිපත් කළේ නීතිඥ චරිත ගුණරත්නය. දෙවැන්න මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු 7 දෙනෙක් ඉදිරිපත් කර තිබිණි. තුන්වැන්න රන්ජිත් මද්දුම බණ්ඩාරගෙනි. මෙම පෙත්සම් ලබන 11 සහ 13 යන දෙදින ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය. ඒ සඳහා දෙපක්ෂයේම ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥවරුන් ගණනාවක් මේ දිනවල කරුණු අධ්‍යයනය කරමින් සිටිති.

ඒ අතරතුර රජයේ මුද්‍රණාලයාධිපතිවරයා මැතිවරණ කොමිසම අමතමින් විමසා ඇත්තේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා යොදාගන්නා ආරක්ෂිත මුද්‍රණ කඩදාසි තොගය චීනයෙන් ඇනවුම් කරන්නද කියායි. සාමාන්‍යයෙන් රජයේ මුද්‍රණාලය මෙම ආරක්ෂිත කඩදාසි ඇණවුම් කරන්නේ චීනයෙනි. එවිට මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා තිබුණේ කොමිසම නිල වශයෙන් උපදෙස් දෙනතුරැ කඩදාසි ඇණවුම් නොකරන ලෙසය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නොබැඳි ජාතීන්ගේ සමුළුව අමතා විශේෂ දේශනයක් මේ සතියේ පැවැත්විය. ඒ වීඩියෝ තාක්ෂණය උපයෝගී කර ගනිමිනි. මේ හමුව වීඩියෝ තාක්ෂණය මාධ්‍යයෙන් පැවැත්වූයේ කොරෝනා අර්බුදය නිසා රාජ්‍ය නායක හමුවක් පැවැත්විය නොහැකි නිසාය. රාජ්‍ය නායකයන් 19 දෙනෙක් හමුව අමතා කතා කළෝය. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක නායකයන් හමුවේ අවධාරණය කළේ අප රට කොරෝනා මර්දනයට ගෙන ඇති සාධනීය පියවරයන් ගැනයි. සෞඛ්‍ය අංශ මෙන්ම රාජ්‍ය බුද්ධි අංශද ඊට දායකත්වය දක්වන අන්දම ගැන විස්තර කළ ජනාධිපතිවරයා ජාත්‍යන්තරය ඒ ගැන රට රටවලට දැක්විය යුතු අනුග්‍රහය සම්බන්ධයෙන්ද කරුණු පැහැදිලි කරනු ලැබීය.

නොබැඳි සමුළුව ඇමතූදාට පසුදා ජනාධිපතිවරයා මෙරට රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා අමාත්‍යංශ ලේකම්වරැන් කැඳවා විශේෂ හමුවක් පැවැත්වීය. එහි අරමුණ වූයේ ලබන 11දා රට විවෘත කෙරෙන විට අනුගමනය කළ යුතු ක්‍රියාදාමයන් සංවිධානයයි. විශේෂයෙන් ආර්ථික කටයුතු සක්‍රීය කිරීමට සෞඛ්‍යාරක්ෂිතව ගත යුතු පියවර ජනාධිපතිවරයා මෙම හමුවේදී විස්තර කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ සෞඛ්‍ය අංශ උපදෙස් අනුව ඉදිරි සති කිහිපයද ගත කරන ලෙසය.

  ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර

 2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:47
 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00