2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

රවී සජිත් පැටලෙති

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 222

♦ ජනපති තිරුපති දෙවොලේ විශේෂ දේව පූජාවක

♦ රනිල් නුවරඑළියේදී ඉන්දීය මහ කොමසාරිස් සමඟ සාකච්ඡාවක

♦ පොහොට්ටු මන්ත්‍රීවරු මහින්දගේ නිවසට නෑගම් යති.

♦ පෙරළියකින් තොරව අවුරැදු නිවාඩුව හමාර වෙයි.

♦ අමරපුර නිකායෙන් කරුට සම්මානයක්.

ගෝඨාගේ නඩුවට අමෙරිකානු හිතවතුන්ගෙන් විශේෂ අරමුදලක්

අලුත් අවුරුදු නිවාඩුව නිසා මැති සබයට දීර්ඝ නිවාඩුවක් ලැබිණි. ඒ නිසා බොහෝ මැති ඇමැතිවරු නිවාඩුව සඳහා විදේශගත වූහ. යුරෝපයට - ඩුබායි - ජපානය හා සිංගප්පූරුව බලා පිටත්ව ගිය දේශපාලනඥයන් සංඛ්‍යාව 40ක් පමණ වෙතැයි වාර්තා වෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එම මහත්මිය සමඟ පසුගිය 16දා විශේෂ පූජාවකට තිරුපති බලා පිටත්ව ගියේය. තිරුපතිහි පැවැත්වෙන පූජා කටයුතු සඳහා දෙදිනක් එහි රැඳී සිටි සිරිසේන මහතා එහිදී කඩ සාප්පුවල සැරිසරමින් භාණ්ඩ මිලදී ගනිමින් සැහැල්ලුවෙන් ගත කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාමාන්‍යයෙන් අවුරුදු නිවාඩුවට විදේශගත වෙතත් මෙවර ඔහු අවුරුදු චාරිත්‍ර සැමරුවේ නුවරඑළියේදීය. මහගස්තොට විහාරස්ථානයට පැමිණ අවුරුදු දා අවුරුදු චාරිත්‍ර ඉටුකළ රනිල් වික්‍රමසිංහ මහතා සහ එම මහත්මිය ආගමික වතාවත්වල ද නිරත වූහ. අනතුරුව ඔවුන් නවාතැන්ගෙන සිටි නිවාඩු නිකේතනයේ ද සුභ මොහොතින් කිරි උතුරුවන ආකාරය දැක්වෙන ඡායාරූප ද ප්‍රසිද්ධ කර තිබිණි. නුවරඑළියේදී ජනතාව අමතා කතා කළ අගමැතිවරයා ඉදිරි කාලයේ රටට ආර්ථික සමෘද්ධිය ළඟාකාර දී සමාජය සුඛිත මුදිත තත්ත්වයට පත්කරන බවට ප්‍රතිඥා දුන්නේය. අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ද අග්‍රාමාත්‍යවරයාගේ චාරිකාවට එක්ව සිටියේය.

අග්‍රාමාත්‍යවරයාගේ මෙම චාරිකාවේදී ඔහුට විශේෂ අමුත්තකු නුවරඑළියේදී හමුවිය. ඒ ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සිධු මහතාය. මේ දෙදෙනා හමුවී දිගු සාකච්ඡාවක් කළ බවද වාර්තා වෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුපුරුදු ලෙස අවුරුදු චාරිත්‍ර ඉටු කළේ තංගල්ල කාල්ටන් නිවසේ සිටය. නාමල් සහ යෝෂිත රාජපක්ෂ මහත්වරු ද ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද ඒ අවස්ථාවට එක්වූහ. ළඟදී විවාපත් මහින්දගේ බාල පුත් රෝහිත සහා ඔහුගේ බිරිඳ අවුරුදු සමයේ චාරිකාවක් සඳහා කියුබාව බලා පිටත්ව ගොස් තිබූ නිසා ඔවුන් දක්නට ලැබුණේ නැත.

තංගල්ලේ රැඳී සිටි මහින්ද හමුවන්නට පළාතේ පොදුජන පෙරමුණ මැති ඇමැතීන් මෙන්ම කොළඹ සිට විශේෂයෙන් නෑගම් ගිය පොහොට්ටුවේ මන්ත්‍රීහු ද වූහ. මේ අය මහින්දගේ නිවෙසට පැමිණ කුඩා අවුරුදු උත්සවයක් ද සංවිධානය කර තිබිණි. පැමිණි අමුත්තන් අතර විශේෂිත පුද්ගලයකු වූයේ පසුගිය කාලය පුරාම ගෝඨාභය රාජපක්ෂ මහතාට දැඩි ලෙස ප්‍රහාර එල්ල කළ කළුතර කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාය. වෙල්ගම මහතා පැමිණ මහින්ද රාජපක්ෂ මහතාට සුභ පතා දීර්ඝ වේලාවක් දේශපාලනය ගැන ද කතා කරනු අසන්ට ලැබිණි. &තමන් කවදත් සහයෝගය දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාට බව කී හෙතෙම ඔහු රටේ නායකයා වනු දැක්ම තමන්ගේ ප්‍රාර්ථනයයි” කීය. එවිට මහින්ද කීවේ පවත්නා නීතිමය තත්ත්වය කවුරුත් දන්නා නිසා පක්ෂයේ පොදු තීන්දුව අනුව ක්‍රියා කිරීම මන්ත්‍රීන්ගේ යුතුකමක් බවය. එවිට වෙල්ගම මහතා කීවේ ඔබතුමා අනාගත අගමැති තනතුරටවත් පත්විය යුතුය කියායි. ඊට පිළිතුරැ දුන් මහින්ද &ඒවා එතකොට බලමු” යැයි සඳහන් කළේය.

අවුරුදු දා සන්ධ්‍යාවේ රාජපක්ෂ පවුලේ අවුරුදු කෑම මේසයට මහින්ද, චමල්, ගෝඨාභය, නාමල්, ශෂීන්ද්‍ර ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් එක්වූ අතර ආරුගම්බේ ප්‍රදේශයේ නිවාඩුවක් ගතකරමින් සිටි බැසිල් රාජපක්ෂ මහතාට පමණක් පැමිණීම අපහසු බව දන්වා තිබිණි.

අවුරුදු නිවාඩු සමයේ රටේ දේශපාලන බල පෙරැළියක් සිදුවනු ඇති බවට ප්‍රබල මාධ්‍ය වාර්තා ගණනාවක්ම පළවිය. එහෙත් ඒ සියලු මාධ්‍ය වාර්තා නිකම්ම දූෂමාණ ආරංචි බවට පත්වූයේ අපේක්ෂා කළ කිසිවක්ම සිදු නොවීම හේතුවෙනි. එසේ පැතිර ගිය ආරංචි ගණනාවකි. මාකඳුරේ මධූෂ් ලංකාවට ගෙන එනු ඇති බවත් ඔහු පැමිණි සැණින් ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයේ තිරය පිටුපස කතාව හෙළිදරව් කරනු ඇති බවත් කියැවිණි. මේ හෙළිදරව්වෙන් පසු ප්‍රබල චරිත ගණනාවක්ම කුමන්ත්‍රණයට කොටුවනු ඇතැයි ද සඳහන් විය. ඒ සමඟ පැතිර ගිය තවත් කතාබහකින් කියවුණේ ආණ්ඩුවේ ප්‍රබලම තනතුරක් වෙනස් වනු ඇති බවය. එම තනතුර සඳහා ආණ්ඩුවේම ප්‍රබල එ.ජා.ප. ඇමැතිවරයකු පත් කෙරෙනු ඇතැයි ද පැවැසිණි.

ඒ අතර ශ්‍රී.ල.නි.ප මහ ලේකම් දයාසිරි ජයසේකර ප්‍රසිද්ධියේ කියා තිබුණේ ජනාධිපතිවරණයේ ධූර කාලය නිසි ලෙසට හමාර වන්නේ ඔහු දිව්රුම් දී වසර 5ක් පිරෙන දාද නැත්නම් 19 වැනි ව්‍යවස්ථා සංඝෝධනයට කතා නායකවරයා අත්සන් කළ දාද කියා ජනාධිපතිවරයා ශේෂ්ඨාධිකරණයෙන් විමසන්නට යන බවය. මේ කතාව ප්‍රකාශයට පත්වීමෙන් පසු පොහොට්ටුවෙන් සහ එක්සත් ජාතික පක්ෂයෙන් ද ඊට දැඩි විරෝධයක් එල්ල විය. මෙයට එරෙහිව දේශපාලන හා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොහොට්ටුවේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසීය. දයාසිරිගේ ප්‍රකාශය නිසා තමන්ට නැති ප්‍රශ්නයක් හටගත් බව ජනාධිපතිවරයාට ද අසන්නට ලැබිණි. ඔහු එයින් දැඩි කේන්තියට පත්ව දයාසිරි ජයසේකර මහ ලේකම්වරයාට දැඩි ලෙස දෝෂාරෝපණය කළ බව අසන්නට ලැබිණි. ඔහුට කට පරෙස්සම් කරගන්නා ලෙස පවසන්නැයි ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන්ට ජනාධිපතිවරයා දන්වා තිබිණි. ඒ අතර පැතිර ගිය තවත් කතාවක සඳහන් වූයේ ශ්‍රී.ල.නි.ප මහ ලේකම් ධූරයට දැනට එහි වැඩ බලන දයාසිරි ජයසේකර වෙනුවට වෙනත් ජ්‍යෙෂ්ඨයකු පත්වීමට ඉඩ ඇති බවයි.

දයාසිරිගේ කතාවට සමගාමීව බල පෙරැළිය ආරංචියට ඈඳී පැතිර ගිය තවත් ආරංචියකින් කියැවුණේ ජනාධිපතිවරයා හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට ඉඩ ඇතැයි කියාය. එසේ නියමිත දිනට පෙර ජනපතිවරණයක් කැඳවන්නේ නම් ජනාධිපතිවරයා එහි අපේක්ෂකයකු විය යුතුය. එහෙත් එවන් සූදානමක් ගැන කිසිදු තහවුරු කළ වාර්තාවක් පළවී නැත.

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයකු වෙතැයි අපේක්ෂා කරන ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අමෙරිකානු සංචාරය නිමවා මෙරටට පැමිණියේය. ඔහු අමෙරිකාවේ සිටියදී එරට ෆෙඩරල් උසාවියක් හමුවේ සිවිල් නඩු දෙකක් ගොනු කර තිබුණේ සිය පියාගේ මරණය සම්බන්ධයෙන් කම්පනයට පත්ව සිටි ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය හා තවත් දෙමළ ඩයස්පෝරා සාමාජිකයකු විසිනි. ගෝඨාභයට මේ සඳහා වන නිල දැනුම්දීමක් ලැබුණ ද සිතාසියක් ලැබී නොතිබිණි. කෙසේ වෙතත් මේ ආරංචිය ලැබුණු මොහොතේ අමෙරිකාවේ ගෝඨා නැවතී සිටි නිවසට පැමිණි හිතවත් ශ්‍රී ලාංකිකයන් 100ක පමණ පිරිසක් මේ සම්බන්ධයෙන් ගෝඨාට එරට ඉහළම නීති විශාරදයන්ගේ සහය ලබාදීම සඳහා විශේෂ අරමුදලක් ස්ථාපිත කළෝය. ඒ සඳහා ආරම්භක අවස්ථාවේම සෑහෙන මුදල් ප්‍රමාණයක් පරිත්‍යාග ලෙස ලැබිණි. අනතුරුව එරට සිටින ප්‍රවීණතම නීතීඥ මඩුල්ලකට එහි නීති කටයුතු භාරදුන් ගෝඨා ලංකාවට පැමිණියේ නඩුව සම්බන්ධයෙන් නීතීඥවරුන්ට අවශ්‍ය උපදෙස් දීමෙන් පසුවය. අවුරුද්දෙන් පසු ගෝඨාභය දෙහිවල එස්. ද එස්. ජයසිංහ රඟහලේ පැවති 'බලය' සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් දේශපාලන කටයුතු නැවත ආරම්භ කළේය.

එ.ජා.පයේ ජනාධිපති ධූර අපේක්ෂකයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව පක්ෂ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් ප්‍රකාශයට පත්කර ඇත. එහෙත් පසුපෙළ ඇතැම් මන්ත්‍රීන් සිතන්නේ රනිල් වෙනුවට සජිත් ගෙන ආ යුතු බවය. එයට අදාළව කළා යැයි කියන සමීක්ෂණයක දත්ත සටහන් (අපේක්ෂකයන්ගේ ජනප්‍රියත්වය ගැන) අන්තර්ජාලයේ පළකළේ අජිත් පී. පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයාය. එහෙත් මේ දත්ත සටහන් ගැන පක්ෂයේ ඉහළින් අජිත් පී. පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයාට දැඩි ලෙස දොස් අසන්නට සිදු වූ බව කියැවිණි.

අනතුරුව මේ සතියේ අජිත් පී. පෙරේරා අමාත්‍යවරයා නැවත මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ මේ දිනවල එ.ජා.පයට එරෙහිව කුමන්ත්‍රණයක් සිදුවන බවයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පක්ෂ නායකයා බවද පාර්ලිමේන්කු බහුතරය එ.ජා.පය සතුව තිබියදී කිසිදු වෙනසක් කරන්නට ඉඩ නැති බවද අජිත් පී. පෙරේරා මහතා පැවසීය. අනාගත ජනාධිපති අපේක්ෂකයා පක්ෂයේ දක්ෂයෙක් බව පැවසූ හෙතෙම ඔහුගේ දක්ෂතාව කළමනාකරණ හැකියාව ඇමැතිවරයකු ලෙස ලබාගත් කාර්ය සාධනය ආදී දේ අනුව අපේක්ෂකයා තේරි පත්වනු ඇතැයි ද කීය. ඔහු දේශපාලන පවුලක කෙනෙක් වන්නටත් එසේ නොවන්නටත් ඉඩ ඇතැයි ද ඔහු සඳහන් කළේය.

අයවැය ලේඛනය පිළිබඳ කටයුතු හමාර වීමෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කාර්යාලයට එ.ජා.පයේ පසුපෙළ මන්ත්‍රීන් ගණනාවක් කැඳවා තිබිණි. එහිදී ඉදිරි ජනාධිපතිවරණය ප්‍රමුඛ මැතිවරණ ගැන කතා කළ වික්‍රමසිංහ මහතා තරුණ මන්ත්‍රීන් එහි වගකීම කරට ගෙන තමන්ගේ ඡන්ද ව්‍යාපාරය මෙහෙයවිය යුතු බව සඳහන් කළේය.

මේ සතියේ දේශපාලනය උණුසුම් කළ අනෙක් සිදුවීම වූයේ අමාත්‍ය රවී කරුණානායක සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර හටගෙන තිබෙන වාග් සටනයි. මෙම සටන ආරම්භ වූයේ මාධ්‍යයේ බල පෙරැළියක් පිළිබඳව කතාව පළවීමත් සමඟය. රවී කරුණානායක අමාත්‍යවරයා පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ එ.ජා.පයේ කාටවත් තමන්ගේ දෙමව්පියන්ගේ නම් විකුණා පක්ෂයේ ඉදිරියට යා නොහැකි බවයි. පක්ෂයේ ප්‍රතිපත්ති අනුව ක්‍රියා කරන අයට අනාගතයක් ඇතැයි ද ඔහු කීය. තමන්ගේ ආසනයවත් ජයග්‍රහණය කරගන්නට බැරි අය රටම දිනන්නේ කෙසේදැයි රවී වැඩිදුරටත් ප්‍රශ්න කළේය. ඡන්දය කාලයට අන්තවාදී ස්ථාවරයක් ගන්නා සමහරු ටික දවසකින් එය අමතක කරන්නේ ඇයිදැයි හෙතෙම පැවසීය. එ.ජා.ප.යේ නායකයා රනිල් වික්‍රමසිංහ බවත් වෙනත් අය අගමැති කිරීමේ කතා අමූලික බොරු බවත් ඔහු අවධාරණයෙන් කීය.

රවි කරුණානායක අමාත්‍යවරයා මේ ආකාරයට දේශපාලන වාග් ප්‍රහාරයක් නම නොකියා එල්ල කළේ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාට බව ඉතා පැහැදිලි කරුණකි. ඒ නිසා සජිත් ද ඊට උත්තර දෙන්නට පසුබට නොවීය. රවීගේ ප්‍රකාශයට පසු දා සජිත් රවීට උත්තර දුන්නේ ලුණුගම්වෙහෙරේ පැවති ජන හමුවකදීය.

රවී කරුණානායකගේ ප්‍රහාරයට පිළිතුරු ලෙස ඔහු සඳහන් කළේ දෙමව්පියන්ගේ පිහිටෙන් දේශපාලනය කරන බවට අනුන්ට දෝෂාරෝපණය කරන සමහරුන් ලංකා ඉතිහාසයේ වසලම වැඩ කළ තැනැත්තන් බවය. වසල සූත්‍රයේ ගාථාවක් ද උපුටා දක්වමින් සජිත් රවීට දුන් පිළිතුරේ සඳහන් වූයේ බැංකු කඩා කිසිවෙකුට බ්‍රාහ්මණයකු විය නොහැකි බවයි. තමන් හෝ තමන්ගේ බිරිඳ හෝ යොදවා අල්ලස් ගැනීම බ්‍රාහ්මණ ක්‍රියාවක් දැයි හෙතෙම ප්‍රශ්න කළේය. තමන්ට භාරදුන් හැම තැනක්ම විනාශ කළ තැනැත්තන් තමන්ට චෝදනා කරන්නේ යැයි කී සජිත් ජනතාව ආලෝකය අපේක්ෂා කරන විට මේ අය ඔවුන්ට ලබාදුන්නේ අඳුර යැයි ද කීය. ඒ නිසා ඉතා ඉක්මනින් රටේ ජනතාවට සැබෑ වසලයන් කවුද සැබෑ බ්‍රාහ්මණයන් කවුද කියා තේරුම් ගන්නට පුළුවන් වනු ඇතැයි ඇමැති සජිත් තරයේම සඳහන් කර තිබිණි.

පසුගියදා සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ ගෞරව සම්මානයක් ලත් කතානායක කරු ජයසූරිය මහතාට අමරපුර මහා සංඝ සභාවෙන් ද ගෞරව නාමයක් නිර්දේශ කෙරිණි. ඒ සම්බන්ධ නිල ප්‍රකාශය පසුගිය 16 දා සිදුවිය. මෙහිදී අනුශාසනාවක් කළ නිකායේ උත්තරීතර මහානායක කොටුගොඩ ධම්මාවාස නාහිමියන් සඳහන් කළේ දේශපාලනය හා දේශපාලනඥයන් පිරිහී ඇති යුගයක නැවතත් සාරධර්ම පිරි සමාජයක් නිර්මාණයේදී කරු ජයසූරිය වැනි නායකයන් ගැන බොහෝ බලාපොරොත්තු තබාගත හැකි බවය. මෙහිදී අදහස් දැක්වූ කරු ජයසූරිය මහතා තමන් දේශපාලනට පිවිසි දා සිටම සදාචාරසම්පන්න දේශපාලනයක් කළ බව සඳහන් කළේය. නිදහස ලැබීමෙන් පසු ගතවූ කාලයේ මේ රට ලබාගත් ජයග්‍රහණවලට වඩා පරාජයන් වැඩි යැයි කී හෙතෙම ඉන් රට ගලවාගත යුතු යැයිද පැවසීය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය විසින් අමෙරිකාවේ පවරා තිබෙන නඩුව එරට කැලිෆෝනියා අධිකරණයක් විසින් විමර්ශනයට පෙර ප්‍රසිද්ධියට පත්කර ඇත. එහෙත් නඩුව විභාගයට ගන්නා දින වකවානු හෝ ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාදාමය මෙතෙක් විස්තර කර නැත. මේ ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ මාධ්‍යය තුළ විමසීම්වලදී ඔහු කියා තිබුණේ තමන්ට එල්ල කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් නඩුවෙන් ඉල්ලා තියෙන වන්දි ගෙවීමේ ප්‍රශ්නයක් පැන නොනගිනු ඇති බවත්ය. මෙතෙක් මේ නඩුවේදී හෙළිදරව් වී ඇත්තේ එක පාර්ශ්වයක කතාවක් පමණක් බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙරට නීතීඥයන්ගේ මතය බවද වාර්තා වේ.

පසුගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි ලෙස විවේචනය කළ ඒකාබද්ධ විපක්ෂයේ වාසුදේව නානායක්කාර මහන්ත්‍රීවරයා සහ ඔහුගේ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීම විශේෂ සිදුවීමක් විය. එම හමුවේදී වාසුගේ පිරිස ගෝඨාගේ දේශපාලන ප්‍රතිපත්තිය ගැන ප්‍රශ්න කළෝය. ගෝඨා විසින් ඒ අයට ඉතා සරලව තමන් ගෙනයාමට අපේක්ෂා කරන දේශපාලනය හා සංවර්ධන ප්‍රතිපත්තිය විස්තර කර දෙනු ලැබීය.

තමන් දේශපාලනයට පළපුරුදු කෙනෙක් නොවන බවත් දැන් ඊට හුරුවෙමින් සිටින වගත් ගෝඨා වාසුලාට කීය. තමන් ඇතුළු පිරිසකගේ මූලකත්වයෙන් ඉදිකළ අහිංසකයන්ගේ ආරාමය නැවත සකස් කරදෙන ලෙස ගෝඨාභයගෙන් වාසු ඉල්ලීමක් කළේය. ගෝඨභයගෙන් ඊට සුභදායී ප්‍රතිචාරයක් පළවිය. කතාබහෙන් අනතුරුව අදහස් දැක්වූ වාසුදේව මන්ත්‍රීවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන පරිවර්තනයට සූදානම් යැයි පෙනෙන බව කීය. ඔහුට මැතිවරණයේදී සහය දෙන්නේ ද යන්න පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ කරන සාකච්ඡාවකින් පසු තීරණය කරන්නේ යැයි ද  වාසු පැවසීය.

අලුත් අවුරුද්ද වෙනුවෙන් එ.ජා.ප.යේ මන්ත්‍රීවරු සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුගිය 18දා පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සිදුවිය. එම හමුවේදී පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීන් ගණනාවක් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහ උපනායක රවි කරුණානායක මහතා අතර තිබෙන වාග් සටන සමථයට මැදිහත් වන ලෙසයි. මේ දෙදෙනා ප්‍රසිද්ධියේ ඔවුනොවුන්ට කරන දෝෂාරෝපණ පක්ෂයේ සමතියට හා උන්නතියට මහත් බාධාවක් බවද ඔවුහු පෙන්වා දුන්හ. මේ දෙදෙනාගෙන් පක්ෂයට ගතහැකි උපරිම සේවාව ලබාගන්නට කැපවිය යුතු බව පෙන්වා දුන් ඔවුහු ඉක්මණින් මේ ප්‍රශ්නය විසඳන්නැයි අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම සලකා බැලූ රනිල් වික්‍රමසිංහ මහතා මෙම නිවාඩුවෙන් පසු දෙදෙනාම තමන් වෙත කැඳවා මෙම ප්‍රශ්නය සමථයකට පත්කරන බව පැවසීය.

- ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර

 

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30