2019 මාර්තු 30 වන සෙනසුරාදා

රනිල් ජනපති සටනට සැරසෙයි!

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 267

  • ත්‍රස්ත පනතට මහින්දගෙන් ප්‍රබල ප්‍රහාරයක්
  • විදුලි මාෆියාවට ජනපති බැට දෙයි.
  • ගෝඨාභය පරද්දන බව දෙමළ සන්ධානය සපථ කරයි.
  • ජෝන් අමරතුංගගෙන් දේශපාලන අනාවැකියක්
  • ජාතික ලැයිස්තුව අලුත් ක්‍රමයකට බෙදන්න ජ.වි.පෙට යෝජනාවක්
  • &ගම සමඟ පිළිසඳරෙන්” බැසිල් රට වටා දැල එළයි.

 

මාස කිහිපයක පටන් දේශපාලන ක්ෂේත්‍රයේ පවත්නා අවිනිශ්චිතභාවය දිනෙන් දින තීව්‍ර වන ලකුණු පහළ වී තිබේ. හෙට මොනවා වේදැයි සිතාගන්නට නොහැකිව ප්‍රවීණ දේශපාලන විචාරකයන් පවා අන්ද මන්දව සිටිති. ආණ්ඩුව - ජනාධිපති හා ප්‍රධාන විපක්ෂය දේශපාලනයේ ඉව අල්ලන්නේ කුමකටදැයි නිශ්චය කරගත නොහැකි තත්ත්වයක් පෙනෙන්නට ඇත. එකිනෙකට පරස්පර සිද්ධි දාමයක් හා පරස්පර ප්‍රතිචාර සහ සමාන්තර ප්‍රතිචාර ඇතැම්විට දක්නට ලැබේ.

ජනාධිපතිවරයා සහ පොහොට්ටුව අතර සාකච්ඡා මාලාවක් දියත්ව තිබේ. ඒ ඉදිරි දේශපාලන එකඟතාවක් උදෙසාය.

ඒ අතර ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක බව බහුතර පොහොට්ටු ලොක්කෝ කියති. ශ්‍රී.ල.නි.ප මහලේකම් දයාසිරිලා කියන්නේ තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රී බවය. එ.ජා.පය ඒ ගැන කල් බලමින් සිටී. අකිල විරාජ් පක්ෂ මහලේකම්වරයා නම් ප්‍රකාශ කරන්නේ රනිල් වික්‍රමසිංහ එ.ජා.ප. ජනාධිපති අපේක්ෂක බවය. එ.ජා.පයේ රනිල් ළඟට සිටින ජ්‍යෙෂ්ඨතම පාර්ලිමේන්තු සාමාජිකයා වන ජෝන් අමරතුංග ඇමැතිවරයා පසුගිය පක්ෂ කෘත්‍යාධිකාරියේදී අපූරැ අනාවැකියක් පළ කළේය. &දැන් අපේ අගමැතිතුමාට වයස 70යි. එතුමා ලබන අවුරුද්ද වනකොට මේ රටේ ජනාධිපති... ඒක හරියට ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා අවුරුදු 71 දී ජනාධිපති වුණා වගේ දෙයක්...” ජෝන් පූර්වාපර සන්ධි ගලපා කීය.

පොහොට්ටුව සමඟ සාකච්ඡා කරන අතරතුර ජනාධිපතිවරයා එ.ජා.පය දෙසට අත වනමින් සිටින බව සමහර එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයෝ පවසමින් සිටිති. ජාතික ආණ්ඩු කතාවක්ද කරළියට පැමිණ තිබේ. එහෙත් එ.ජා.පයේ පසුපෙළ මෙන්ම ශ්‍රී.ල.නි.පයේ මහින්ද අමරවීරලාද කියන්නේ නැවත ශ්‍රී.ල.නි.ප. - එ.ජා.ප. ජාතික ආණ්ඩුවක් නම් බිහිනොවන බවය. ඒ බව මහින්ද අමරවීර සන්ධාන මහලේකම් පාර්ලිමේන්තුවේදීම කීය. ඒ අතරතුර එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන් පවසන්නේ ඉදිරි කාලයේදී එ.ජා.ප. ආණ්ඩුවට බාධා නොකරන ස්ථාවරයකට ජනාධිපතිවරයා පැමිණ සිටින වගයි. ඇමැති මණ්ඩලය පුළුල් කිරීමටද ඔහුගේ අනුමැතිය නිල නොවන මට්ටමින් ලැබී ඇතැයි කියැවේ. ඒ බව රනිල් වික්‍රමසිංහ මහතා ස්වකීය පක්ෂයේ නායක හමුවක් කැඳවා දැනුම් දුන්නේය. ඉන් දින දෙක තුනකට පසුව දැනට එ.ජා.පය සමඟ එක්ව සිටින ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන් 4 දෙනකුට ඇමැති පදවි ලබාදෙන ලෙස ඉල්ලමින් නාමලේඛනයක් ජනාධිපතිවරයා වෙත යවනු ලැබීය. ඒ.එච්.එම්. ෆවුසි, පියසේන ගමගේ, විජිතමුණි සොයිසා සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න ඒ නම් හතරයි. ඉන්දික බණ්ඩාරනායක හා මනුෂ නානායක්කාර දෙදෙනාටද ඉදිරියේදී කිසියම් ඉහළ තනතුරු හිමිවනු ඇතැයි කියැවේ. මෙහි දෙවැනි පියවරට රංගේබණ්ඩාර ඇතුළු එ.ජා.පයේ තනතුර අහිමි කිහිප දෙනකුගේ නම් ජනාධිපතිවරයාට යොමුකෙරෙන බව දැනගන්නට ඇත.

මහින්ද අමරවීර සන්ධාන නායකයා කෙසේ කීවත් අමාත්‍ය මණ්ඩලය පුළුල් කරන්නට අගමැති රනිල් ජනාධිපතිට නම් යවන්නේ නිකම්ම නොවේ. තිරය පිටුපස තිබෙන එකඟතාවක් අනුවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට දැනට තිබෙන කැබිනට් මණ්ඩලය පුළුල් කරන්නට නම් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම අත්‍යවශ්‍යයය. එසේ නොකර කැබිනට්ටුව පුළුල් කිරීම කළ නොහැක්කකි.

ජනාධිපතිවරයාගේ පැත්තට එ.ජා.පයේ සුහද හස්තය දිගුවෙද්දී ජනාධිපතිවරයාගෙන්ද සමාන්තර ප්‍රතිචාරයක් පළවූ බව කියැවිණි. එහෙත් මේ සියල්ල උඩු යටිකුරු කළ සිදුවීමක් වූයේ ගිය සඳුදා එ.ජා.ප.යට පාරා වළල්ලක් වී තිබෙන මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ චූදිතයන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමයි. යට කී ලෙස සමාන්තර ප්‍රතිචාර මැද පරස්පර සිදුවීම්ද සිදුවන නිසා බොහෝ දෙනකුට සිදුවන්නේ කුමක්දැයි අදහාගත නොහැකි තත්ත්වයට පත්ව තිබේ. ඒ අතර ආණ්ඩුවට සම්බන්ධ වෙබ්අඩවි මෙන්ම විපක්ෂයට සම්බන්ධ වෙබ්අඩවි කිහිපයක් වාර්තා කර තිබුණේ ආණ්ඩුවේ ප්‍රබලයකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අද හෙටම අත්අඩංගුවට ගනු ඇති බවය.

හිටපු ජනාධිපති සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ගිය අඟහරුවාදා උදෑසන මෙරට මාධ්‍ය ප්‍රධානීන්ට විපක්ෂ නායක කාර්යාලයට ආරාධනා කර තිබුණේ සුහද හමුවක් සඳහාය. මහින්ද විපක්ෂ නායක වීමෙන් පසු මාධ්‍යකරැවන් නිල වශයෙන් හමුවූ මුල්ම අවස්ථාව මෙය විය. මහින්ද රාජපක්ෂ සමඟ මහාචාර්ය ජී.එල්. පීරිස්. කෙහෙළිය රඹුක්වැල්ල, වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය තිස්ස විතාරණ, මහින්ද යාපා අබේවර්ධන, සී.බී. රත්නායක, බන්දුල ගුණවර්ධන ද මෙම සුහද කතාබහ සඳහා එක්වූහ. හමුව ආරම්භයේදීම මහින්ද කීවේ තමන් මෙලෙස මාධ්‍ය කැඳවූයේ ත්‍රස්තවාදය වැළැක්වීම සඳහාය කියමින් රජය ඉදිරිපත් කරන්නට යන ප්‍රතිත්‍රස්ත පනතේ භයානක බව ගැන මාධය දැනුම්වත් කරන්නට බවය. මෙය රටේ සමස්ත ජනතාවටත් විශේෂයෙන් ජනමාධ්‍ය වෘත්තිකයන්ටත් ඉතා අහිතකර ලෙස බලපාන බව මහින්ද මතක් කළ අතර මහාචාර්ය පීරිස් පනතේ වගන්තියෙන් වගන්තිය විස්තර කරමින් මෙමගින් සාමාන්‍ය ජනතාව, වෘත්තීය සමිති, ශිෂ්‍ය අරගල පමණක් නොව මාධ්‍ය මර්දනයටද වගන්ති පනවා ඇතැයි කීය. සාමාන්‍ය ජනතාවට එසේ වුවද ත්‍රස්තවාදීන්ට පනත මගින් දැඩි කරුණාවක් දක්වා ඇති බව පෙන්වූ මහින්ද රාජපක්ෂ හා ජී.එල්. පීරිස් මහත්වරැ ත්‍රස්තවාදියකු කරන ත්‍රස්ත ක්‍රියාවන් සම්බන්ධයෙන් නඩු පැවරීම වසර 10ක් පමා කරන්නට නීතිපතිට බලය පැවරෙන අරුම පුදුම වගන්තියක්ද මෙහි ඇතැයි කීහ. රජය නම්කරන පරිශ්‍රවලට පිවිසීම, ඡායාරූප ගැනීම, වීඩියෝගත කර කරන ඇතැම් හෙළිදරව් ත්‍රස්ත ක්‍රියා ගණයට දමා ඇතැයි කී ඔවුහු එමගින් මාධ්‍ය මර්දනය කරන්නේ යැයි පැවසූහ. කෙහෙළිය සහ ඩලස් ප්‍රකාශ කළේ මෙය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට රජය පොරොන්දු වූ කාරණාවක් බවය. තම රජයක් තවත් මාස හයකින් බිහිවන බව කී මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුව පිහිටවූ සැණින් මේ භයානක පනත අහෝසි කර දමන්නේ යැයි පොරොන්දු විය.

මෙම කතාබහෙන් අනතුරුව දේශපාලන කාරණා පිළිබඳ සාකච්ඡාවක් ඇරුඹිණි. මාධ්‍යකරුවන් මහින්දගෙන් විමසුවේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා රාජපක්ෂ පවුල විසින් තෝරාගත් බව කීම ඇත්තක්ද කියායි. ඊට මහින්ද දුන්නේ සරල පිළිතුරකි.

&එතන සිද්ධ වුණේ මේකයි. අපේ පවුලෙ දරුවකුගෙ උත්සවයක් තිබුණා. පවුලෙ ප්‍රධානියා චමල් රාජපක්ෂ මහත්තයා ඒකට සහෝදරයන්ටත් ඥාතීන්ටත් ආරාධනා කරල තිබ්බා. එතනදී ජනාධිපතිවරණය ගැන කතා වුණා. ඒක ඇත්ත. ඒක සහෝදර සමාගමේ රැස්වීමක් කියල සමහරු කියල තිබුණ... එහෙම දෙයක් නැහැ. ජනාධිපතිවරණය ගැන කියද්දි මුලින්ම බැසිල් කිව්වා මට නම් ඕකට එන්න කිසිම අදහසක් නැහැ කියල... ඊළඟට කතා වෙද්දී ගෝඨාගෙ නමත් කියැවුණා. එහෙම නැතුව අපි අපේක්ෂකයෙක් ගැන තීන්දුවක් ගත්තෙ නැහැ. ඒ තීන්දුව අපේ ගෙදරදී ගන්න බැහැනෙ. පක්ෂයයි ගත යුත්තේ..” මහින්ද පැහැදිලි කළේය. කවුද අපේක්ෂකයා කියා නැවතත් මාධ්‍ය ප්‍රධානීහු ප්‍රශ්න කළහ. &දිනන්න පුළුවන් සුදුසුම කෙනා මම දානව. පක්ෂය ඒකට මට බලය පවරල තිබෙනවා..” එවිට ශ්‍රී.ල.නි.ප - පොහොට්ටු සාකච්ඡා ගැන ප්‍රශ්න කැරිණි. එහි තිබෙන ගැටලුව කුමක්දැයි මාධ්‍ය ප්‍රධානීහු විමසූ විට ඊට පිළිතුරු දුන්නේ වාසුදේව නානායක්කාරයි. &සාකච්ඡා වෙමින් තිබෙන ප්‍රධානම ප්‍රශ්නය ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ ප්‍රශ්නයයි. ඒක ඉදිරියේදී විසඳාගන්න පුළුවනි..” වාසුගේ ඒ පිළිතුරෙන් පසු මහින්ද තවදුරටත් කීවේ තමන් නිතර නිතර රට වටා දේශපාලන කටයුතුවලට සහභාගි වන්නට යන බවයි. මෙවැනි ගමන්වලදී සංවේදී ජනමතය ගැන තමන්ට අවබෝධයක් ලැබෙන බවද පැවසීය. දින 51 ආණ්ඩුව නිසා තරමක් පසුබා සිටි පක්ෂ හිතවතුන් පවා ආණ්ඩුව කරන පිස්සු වැඩ නිසා දස දහස් ගණනින් පක්ෂය වටා රොක්වෙමින් සිටින බව මහින්ද පැහැදිලි කළේය. මේ ආකාරයට කාලීන දේශපාලනය ගැන පුළුල් ලෙස කළ කතාබහ හමාර වූයේ විපක්ෂ නායකවරයා විසින් මාධ්‍ය ප්‍රධානීන් වෙත පිරිනමන ලද උදෑසන භෝජන සංග්‍රහයකිනි.

සතියේ අමාත්‍ය මණ්ඩල හමුව පසුගිය අඟහරුවාදා උදෑසන ආරම්භ වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී සාමාන්‍ය විෂය කාරණා ගැන සාකච්ඡා කරන අතර මහජන උපයෝගීතා කොමිසම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි ලෙස කරුණු දැක්වූ බව වාර්තා විය. මෙම කොමිසමේ ප්‍රධානීන් දේශපාලන වශයෙන් විපක්ෂය (පොහොට්ටුව) වෙනුවෙන් වැඩ කරන්නන් ලෙස හැඳින්වූ ජනාධිපතිවරයා ඔවුන් විදුලිය ක්ෂේත්‍රයේ ඉංජිනේරු සංගමය සමඟවත් කිසිම එකඟතාවකින් වැඩ නොකරන බවට චෝදනා නැගීය. මෙම ආයතනයේ ප්‍රධානීන් දෙදෙනකුගේ තනතුරු සඳහන් කළ හෙතෙම ඔවුන් නිතර රට සවාරි යන්නේ කාගේ වියදමින්දැයි ප්‍රශ්න කළේය. එසේම මේ අයගෙන් ඇතැමුන්ගේ අවිනීත හැසිරීම් ගැනද තමන්ට පැමිණිලි ලැබී ඇතැයි කීය.

ජනාධිපතිවරයාගේ චෝදනා ඇතැම් ඇමැතිවරු ද අනුමත කළ බව පෙනුණි. අවසානයේ ජනාධිපතිවරයා නියම කළේ මහජන උපයෝගීතා කොමිසමේ ප්‍රධානීන් ගැන වහා පරීක්ෂණයක් කර ඔවුන් ඉවත් කිරීම යෝග්‍ය බවය. විදුලිබල මණ්ඩලයේ හා කොමිසමේ කටයුතු සොයා බලා විදුලිය අර්බුදය විසඳන්නට කමිටුවක්ද පත් ක‍ළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ 70 වැනි ජන්ම දිනය පසුගිය සතියට යෙදී තිබිණි. ඒ වෙනුවෙන් රනිල්ට කවදත් සුබ පතන මහින්ද රාජපක්ෂ මහතා උදෑසනින්ම රනිල්ට කතා කළේය. ඒ වනවිට හම්බන්තොට පැවැත්වෙන ඉන්ධන පිරිපහදුවේ මුල්ගල් තැබීම් උත්සවයට යාමට හෙළිකොප්ටර යානයට නගින්නට යමින් සිටි රනිල් මහින්දගේ සුබ පැතුම් පිළිගෙන &මම ඔබේ ගම් පළාතෙ යන්නයි හදන්නෙ” කියමින් මහින්දට ස්තූති කළේය. ඊට පෙර රනිල්ගේ උපන් දිනයට සුබ පැතුවේ වෙනත් වර්ෂවල ඔහුට සුබ පතන්නට කතා නොකරන චරිතයකි. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාය. උදෑසනින්ම රනිල්ගේ ජංගම දුරකතනයට කතා කළ ගෝඨා &ඔබතුමාට සුබ උපන් දිනයක්” යැයි කී විට ස්තූති කළ අගමැතිවරයා &දැන් මොකද වෙන්නෙ?” කියමින් ප්‍රශ්නයක් දෙකක් ගෝඨාගෙන් විමසීය. &අපිත් හරියට දන්නෙ නැහැ. සමහරු කියනව මහ මැතිවරණයක් එනව කියල. තවත් අය ජනාධිපතිවරණයක් එනවය කියනව...” යැයි ගෝඨා රනිල්ට කීය. එහෙත් ඡන්ද ගැන රනිල් නිශ්චිත පිළිතුරක් දුන්නේ නැත.

ගිය අඟහරුවාදා රාත්‍රියේ අගමැති රනිල්ගේ උපන් දිනය නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ සුහද සාදයක් සංවිධානය කර තිබිණි. එ.ජා.පයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්, ඇමැතීන් හා ඥාති හිතවත්හු එම සාදයට ඇරුයුම් ලබා සිටියහ. සාදය සඳහා මැති ඇමැතින්ට අමතරව පොලිස්පති පූජිත ජයසුන්දර හා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සමරතුංග ද එක්වූහ. සාදය සංගීතවත් කරන්නට සංගීත කණ්ඩායම් දෙකක් කැඳවා තිබිණි. විශේෂ චිත්‍රපට දෙකක් ප්‍රදර්ශනය කරමින් අගමැතිගේ දේශපාලන ජීවිතයේ විශේෂ අවස්ථා සිහිපත් කර දෙනු ලැබීය. මෙම සාදයේදී අග්‍රාමාත්‍යවරයා තම දේශපාලන අතීතය මතක් කරමින් කතාවක් කළේය. තමන්ගේ දේශපාලන ගමනට උදව් කළ ඥාතීන්, හිතවතුන් පමණක් නොව ඔහුගේ දේශපාලන ගුරු වූ ජේ.ආර්. ජයවර්ධන මහතා ද මතක් කරමින් අදහස් දැක්වීය. ජේ.ආර්. වයස 71 දී ජනාධිපති වූ බවත් චීනයේ ඩෙන්ෂියාවෝ පෙංග් ද වයස හැත්තෑ ගණන්වලදී ජනාධිපති වූ බවත් රනිල් පැවසීය. ඉන්දියාවේ හිටපු අගමැතිවරයකු වූ අතල්බිහාර් වජ්ජායි තමන්ගේ දේශපාලන ගමනට උපදෙස් දුන් බවද පැවසීය. මේ ගමන සාර්ථකව ඉදිරියට එන්නට අතහිත දුන් සැමට ස්තූතිය පළ කළ රනිල් කතාවේදී විශේෂ යමක් කීය. එය ඔහුගේම වචනවලින් කිවහොත් &සමහරු අවුරුදු 30 දී වැඩ කරන්නෙ අවුරුදු 70 දී වගේ. තවත් අය අවුරුදු 70 දී වැඩ කරන්නෙ අවුරුදු 30 දී වගේ... මට සුබ පතන්න ආ අයට ඒක මතක් කරන්න කැමැතියි” කියූ අගමැතිවරයා ඉතා සතුටින් සිය උපන් දිනය ගත කළේය. මෙම උත්සවයට පැමිණ සිටි එ.ජා.ප. මැති ඇමැතින් සඳහන් කළේ අගමැතිවරයා මේ උත්සවයේදී නිල නොවන ආකාරයට තමන් එ.ජා.පයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා යැයි ඉඟි කළ බවයි.

ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපති ක්‍රමය අහෝසිය සඳහා වන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුමත කර ගැනීම සඳහා ප්‍රධාන පක්ෂ සමඟ සාකච්ඡා කරමින් සිටී. ඒ ඒ පක්ෂ විසින් ඉදිරිපත් කරන ලද විවිධ යෝජනා ගණනාවක් සම්බන්ධයෙන් මේ දිනවල ජනතා විමුක්ති පෙරමුණ අවධානය දක්වා ඇතැයි කියැවේ. ව්‍යවස්ථා සංශෝධනය කෙරෙන්නේ නම් මහ මැතිවරණයක් කඩිනමින් පැවැත්විය යුතුය යන්න මෙම යෝජනා අතර ප්‍රධාන වූවක් බව සඳහන්ය. එසේම ජාතික ලැයිස්තු මන්ත්‍රීන්ගේ පත්වීමේ ක්‍රමවේදය වෙනස් කළ යුතු යැයි විපක්ෂය යෝජනා කර තිබේ. ඔවුන් කියා ඇත්තේ මහ මැතිවරණයෙන් බහුතර මන්ත්‍රී ආසන ලබා ජයග්‍රහණය කරන පක්ෂයට බෝනස් මන්ත්‍රී ආසන 10ක් මුලින්ම ලබාදී ඉතිරිවන මන්ත්‍රී ආසන 19 පමණක් සමානුපාතික ක්‍රමයට බෙදා දිය යුතු වගයි. එයද 20 වැනි සංශෝධනයට අදාළව තිරය පිටුපස සාකච්ඡාවට ගැනෙන යෝජනාවක් බව දැනගන්නට ඇත. ජනාධිපතිවරයා, අගමැතිවරයා පමණක් නොව මහින්ද රාජපක්ෂ මහතා ද විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නට කැමැත්ත පළකර ඇතැයි කියැවේ. නමුත් එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ ගණනාවක්ද ඒකාබද්ධ විපක්ෂයේ හවුල්කාර පක්ෂ ගණනාවක්ද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට විරුද්ධත්ව පළකර තිබේ. එබැවින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන ව්‍යවස්ථා සංශෝධනය කෙරෙනවාට වඩා නොකිරීමට ඉඩ තිබේ. නමුත් ජ.වි.පෙ. නායක අනුර දිසානායක මහතා දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ ඔවුන් මෙම යෝජනාව සඳහා උපරිමව කැපවන බවයි. කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු එ.ජා.පයේ ජ්‍යෙෂ්ඨයන්ද ඊට අනුකූලතාව දක්වා තිබේ.

දෙමළ ජාතික සන්ධානය ද ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් සිටින්නේ අවුලකය. පක්ෂය තුළ මන්ත්‍රී සුමන්තිරන් හා ජ්‍යෙෂ්ඨයන් අතර නිතර නිතර වාද විවාද හා හැලහැප්පිලි ඇතිවේ. මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා තමිල් අරසුකච්චි පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් වන බවට දෙමළ සන්ධාන නායක සම්පන්දන් මහතාට ගිය සතියේ ලිපියක් මගින් දැන්වීය. ඔහු හා සුමන්තිරන් අතර තිරය පිටුපස අවුලක් තිබේ. එසේම අගමැති රනිල්ගේ උපන් දින සාදයට දෙමළ සන්ධානයේ මන්ත්‍රීන් පිරිසක් සුමන්තිරන්ලා සමඟ පැමිණි අතර සම්පන්දන්ලා ඊට එක්වූයේ නැත. වෙනදා සම්පන්දන් මහතා බටහිර විදේශ තානාපතිවරුන් හමුවන්නේ සුමන්තිරන් සමඟය. එහෙත් මේ සතියේ අමෙරිකානු තානාපතිනිය හමුවන්නට ගියේ තනිවමය. සුමන්තිරන් ඔහු සමඟ නොපැමිණීම ගැන තානාපතිනිය ද විමසා ඇතත් දේශපාලනයේ තෙම්පරාදු වී සිටින සම්පන්දන් ඊට ඩිප්ලොමැටික් උත්තරයක් දී ඇඟ බේරාගත් බව කියැවේ.

ඒ අතර දෙමළ සන්ධාන මන්ත්‍රී ශ්‍රී ධරන් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන විශේෂ ප්‍රකාශයක් උතුරේදී සිදු කළේය. ඔහු කීවේ දෙමළ ජන සංහාරයකට වගකිව යුතු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සිහිනය අත්හැරිය යුතුය කියායි. එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීම වළක්වාගත යුතු නිසා මෙවර අයවැයේදී ආණ්ඩුව සමඟ ඡන්දය දී අයවැය දිනවන බවද ශ්‍රී ධරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. මේ ගැන විදේශගත වීමට පෙර මාධ්‍ය ගෝඨාභයගෙන් ප්‍රශ්න කළ විට ඔහු කීවේ &මම ඔය වගේ අයට උත්තර දෙන්නෙ නැහැ. මම උත්තර දෙන්නෙ රටේ බහුතර ජනතාවටයි. හමුදාව සටන් කළේ ත්‍රස්තවාදීන් සමඟ මිස දෙමළ ජනතාව සමඟ නොවේය” කියායි.

එ.ජා.පය සිරිකොත ගමට ගෙන යන බව ප්‍රකාශ කරද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ &ගම සමඟ පිළිසඳරක්” නමින් දේශපාලන ප්‍රචාරක වැඩසටහනක් දියත් කළේය. සති කිහිපයක් තුළ දීපව්‍යාප්තව සෑම මැතිවරණ කොට්ඨාසයකම &ගම සමඟ පිළිසඳරක්” පැවැත්වෙයි. ඒ ඒ දිස්ත්‍රික්කවල ගම්මාන මට්ටමින් කුඩා රැස්වීම් කැඳවා ඒවාට වෙනත් දිස්ත්‍රික්කවල මැති ඇමැතින් සහභාගි කරවා ජනතා ප්‍රශ්න සාකච්ඡා කෙරේ. එසේම ප්‍රාදේශීය පොදුජන ප්‍රශ්න එකතු කර එම මන්ත්‍රීන් සකසන වාර්තාව පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්පාදනයට උපයෝගී කර ගැනේ. සති දෙක තුනක් තුළ &ගම සමඟ පිළිසඳරෙන්” එකතු කරගන්නා තොරතුරුවලින් පෙරාගන්නා තොරතුරු ජනාධිපතිවරණ වේදිකාවට ගෙන එන බව බැසිල් පවසයි.

2019 අයවැය ලේඛනය කාරක සභා අවස්ථාවේ සලකා බැලීමේදී අමාත්‍යංශ දෙකක වැයශීර්ෂ පරාජයට පත්විය. ඒ ස්වදේශ කටයුතු පළාත් සභා හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ හා මහනගර සංවර්ධන හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂයන්ය. වජිර අබේවර්ධන, චම්පික රණවක යන ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ට අයත් මෙම අමාත්‍යංශ දෙක පරාජයවීම ආණ්ඩුව තුළ පවත්නා අභ්‍යන්තර කැළැඹීමක පෙරනිමිති විදහාපායි.

අයවැය කාරක සභා අවස්ථාවේ ඡන්දයකින් තොරව වැයශීර්ෂ අනුමත කරන බවට රජය හා විපක්ෂය එකඟ වී සිටි බව වැයශීර්ෂ පරාජයෙන් පසු සභානායකවරයා පැවසීය. මෙම ඡන්දය සඳහා අගමැති රනිල් මෙන්ම විපක්ෂනායක මහින්දද තවත් මැති ඇමැතින් රැසක් ද මැතිසබයේ සිටියේ නැත. කාරක සභා අවස්ථාවේ විවාදයේදී විපක්ෂ මන්ත්‍රීන් සෑහෙන පිරිසක් සභාවේ දක්නට නොලැබිණි. එහෙත් ඡන්දය විමසන මොහොතේ එකවර සභාවට පැමිණි මන්ත්‍රීන් වෙනුවෙන් රංජිත් සොයිසා මන්ත්‍රීවරයා ඡන්දයක් ඉල්ලීය. ඒ අනුව පැවති ඡන්දයේදී වැයශීර්ෂ පරාජයට පත්විය.

මේ ගැන තර්ක කරන විපක්ෂය පවසන්නේ නැවතත් මෙම වැයශීර්ෂ සම්මත කරගත නොහැකි බවයි. එහෙත් රජය පවසන්නේ නැවත එම වැයශීර්ෂ ඡන්දයට දමා සම්මත කරගත හැකිය කියායි.

කෙසේ හෝ විපක්ෂයේ අයවැය වැයශීර්ෂ පරාජය කිරීමේ මෙහෙයුම පිටුපස රසකතා තිබේ. මෙය ඔවුන් සැලැසුම් කළේ ඊට පෙරදා දහවල්ය.

මහින්දානන්ද අලුත්ගමගේ, ෂෙහාන් සේමසිංහ, රංජිත් සොයිසා, නාමල් රාජපක්ෂ මෙන්ම උදය ගම්මන්පිල මේ සිද්ධිය මුලසිටම සැලසුම් කළෝය. චම්පික රණවක අමාත්‍යවරයා සමඟ විපක්ෂය දැඩි ලෙස අමනාපව සිටීමත්, පළාත් සභා මැතිවරණය කල්දැමීමට එරෙහිවීමටත් ඔවුන් මේ සැලසුම දියත් කළ බව කියැවිණි.

අයවැය කාරක සභා අවස්ථාවේ බෙදීමක් ඉල්ලා සිටීම රංජිත් සොයිසා මන්ත්‍රීවරයාට පැවරුණි. ඊට පෙර ඡන්දයක් නොඉල්ලන ගානට සිටි මන්ත්‍රීවරු සිය කතා හමාරකර මන්ත්‍රී පිවිසුමෙන් පිටව ගියහ. ආණ්ඩුව හිතුවේ ඡන්දයක් නැත කියාය. පිටට ගිය මන්ත්‍රීවරු සවස 7-10 වනවිට පාර්ලිමේන්තුව අසල ජපන් මිත්‍රත්ව පාරේ වාහනවල රැඳී සිටිමින් අවශ්‍ය සංවිධාන කටයුතු කළෝය. අනතුරුව ආණ්ඩු පක්ෂයට නොපෙනී මන්ත්‍රී පිවිසුමෙන් පාර්ලිමේන්තු සභාවට නොපැමිණ සේවකයන් පැමිණෙන දොරටුවෙන් රහසේ ඇතුල් වී විපක්ෂනායක කාර්යාලය, පුස්තකාලය, ආපන ශාලාව, කොරිඩෝව හා වෛද්‍ය මධ්‍යස්ථානය පැත්තේ කැරකෙමින් සිටියහ. හරියට 7.25 වනවිට මන්ත්‍රීහු විපක්ෂ අසුන්වලට පැමිණියහ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් ගෙන්වා ගන්නට ගයන්තලා උත්සාහ කළත් හරිගියේ නැත. වැයශීර්ෂ භාර අමාත්‍යවරු ඒ වනවිට වැයශීර්ෂ පරදින බව දැන සිටියහ. අවසානයේ බෙදීමක් ඉල්ලීම නිසා ඡන්ද විමසූ අතර වැයශීර්ෂ පරාජය වූයේ වැඩිඡන්ද 15කින් පමණය. ඒ වනවිට මහින්ද රාජපක්ෂ මහතාට විනාඩි පහෙන් පහට තත්ත්වය වාර්තා කරමින් තිබිණි. ඔහු සිටියේ වරායේ ඕස්ට්‍රේලියා නැවක පැවති උත්සවයකය. වැයශීර්ෂ පරාජය කළ පසු ඊට නායකත්වය දුන් මන්ත්‍රීන් අමතා මහින්ද කීවේ අපි හොඳ පියවරක් ඉදිරියට තිබ්බා කියායි.

ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර

 

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30