2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

නත්තල්දාට පහුවදා මම නෑ....

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 96

සුරනි නත්තල ළඟ ළඟම එනවා. මේ නත්තලට සුරනි මොනවද කරන්නේ?
මේ දවස්වල ටිකක් කාර්යබහුල වෙලා තියෙනවා. නත්තල් උත්සව වගේම නත්තල් වැඩසටහන්වලට සහභාගි වෙනවා. පෞද්ගලිකව නත්තලට ලෑස්ති වෙනවාටත් වඩා ගොඩක් වෙලාවට නත්තල් උත්සවවලට තමයි මේ දවස්වල වැඩි කාලයක් ගතවෙන්නේ.

ඒ කියන්නේ සුරනි ගෙදර නත්තලට සූදානම් කරන්නේ නැද්ද?
සූදානම් කරනවා. අපි නත්තලට ලස්සන නත්තල් ගහක් හැදුවා. ඒක මම මගේ දුවත් එකතු කරගෙන කලින්ම සැරසුවා. ඒ හැරෙන්න නත්තලට කියලා විශේෂ පාටි දාන සූදානමක්නම් තවම නෑ. අපි නත්තල් කේක් ගෙනාවා. අපේ නෑදෑයින්ට වගේම අපේ අසල්වැසියන්ට නත්තල වෙනුවෙන් නත්තල් කේක් දෙන්න ඕන නිසා අපි නත්තල් කේක් එකක් දැම්මා. නත්තල් දවසට පහුවෙනිදා මම කුවේට් යන්න ඕනෙ. ඒ රටේ සංගීත ප්‍රසංගයක් විසි අට වැනිදා පවත්වනවා. ඉතින් ඒ හැම දෙයක් එක්කම අපි නත්තලටත් සූදානම් වෙනවා. හැබැයි සාමාන්‍යයෙන් පවුලේ හැමෝම නත්තල වෙනුවෙන් එකතු වෙනවා.

සුරනි විසි හතරවැනිදා පල්ලි යන්නේ මොන පල්ලියටද?
අපි විසි හතරවැනිදා මධ්‍යම රාත්‍රී දේව පූජාවට යන්නේ මොරටුව ශාන්ත පීතර දෙව් මැදුරට. අපි හැම නත්තලටම ඒ පල්ලියේ පූජාවට යනවා.

සුරනිගේ ළමා කාලයේ නත්තල කොහොමද?
ඒ ළමා කාලයේ නත්තල හරි අපූරුයි. ඒ කාලේ අපි නත්තලට හරිම ආසයි. ඒකට විශේෂ හේතුව තමයි නත්තල් සීයා. ඉතින්... නත්තල් සීයා එනකල් මාස ගාණක් තිස්සේ අපි පෙරුම් පිරුවා. අපි නත්තල් ගහ සරසන්නේ හරිම ආසාවෙන්. ළමා කාලයේදී අපිට වෙන කිසිම ප්‍රශ්නයක්වත්, හිතන්න දෙයක්වත් ඔළුවේ නැහැනේ. ඉතින් නත්තලට අපි නත්තල් ගහ සරසන්නයි, 
නත්තල් සීයා එනකනුයි බලාගෙන ඉන්නේ හරිම ආසාවෙන්. ඒ වගේ නත්තල් සීයාගෙන් ඉල්ලන ඉල්ලන තෑගි අපිට ලැබිලා තියෙනවා. ඉතින් ඒ කාලේ හරි ෂෝක්.

නත්තල් සීයා දීපු තෑගිවලින් අදටත් ආස හිතෙන, අමතක නොවන තෑග්ග මොකද්ද?
ඒ තෑග්ග මට තාම මතකයි. මම චූටි කාලේ මගේ අම්මගෙන් සෙල්ලම් කුකරි සෙට් එකක් ඉල්ලලා තිබුණා. ඒ උයන සෙල්ලම් බඩුවලට ඒ කාලේ මම හරි ආසයි. ඉතින් අපේ අම්මා ඔයා ඒක මගෙන් ඉල්ලන්න එපා. නත්තල් සීයාගෙන්ම ඉල්ලන්න කියලා කිව්වා. ඉතින් මාත් නත්තල් සීයාට කුකරි සෙට් එකක් ඉල්ලලා ලියුමක් ලියලා ජේසු තුමාගේ පිළිරුව ළඟ තියලා තිබ්බා. ඔන්න ඉතින් ලියුම තියලා දවස් දෙකකින් එතන ලියුම තිබුණේ නෑ. දැන් මට හරි සතුටුයි. නත්තල දවසේ ලස්සන කොළයක ඔතපු ලොකු තෑග්ගක් මගේ කොට්ටය ළඟ තියලා තිබුණා. ඒ තමයි මම ඉල්ලපු කුකරි සෙට් එක.

සශායා මේ පාර නත්තල් සීයාගෙන් ඉල්ලලා තියෙන්නේ මොනවද?
(සශායා කියන්නේ සුරනිගේ පුංචි දියණියයි. අපි මේ කතාබහ කරද්දි පුංචි සශී ළඟ හිටියා. ඉතින්.... එයත් බලාගෙන ඉන්නේ නත්තල් සීයාගෙන් තෑගි ලැබෙනකන්)
එයා මේ පාර නත්තල් සීයාගෙන් ඕගන් එකක් ඉල්ලලා තියෙනවා. අපි දවසක් සාප්පු සවාරි යද්දි එයා ඒක දැකලා මගෙන් ඉල්ලුවා. ඉතින් මම එයාට කිව්වා ඒක සැන්ටාගෙන්ම ඉල්ලගන්න කියලා. දැන් ඒක එයා නත්තල් සීයාගෙන් ඉල්ලලා තියෙන්නේ. ඒක මයික් එකක් එක්ක තියෙන ලස්සන ඕගන් එකක්. එයාටත් සින්දු කිය කියා ඕගන් එක ගහන්න ඕනෙලු.

බොහෝ දුරට මේ පාර පුංචි සශායාට ඒ තෑග්ග නත්තල් සීයා ගෙනත් දේවි.. එහෙම නේද?
ඔව්. ඒක ආයෙමත් නත්තල් සීයාට හොයාගන්න පුළුවන් වුණොත් ඒක නත්තල් සීයා ගෙනත් දේවි. (වැඩේ කියන්නේ සුරනිට ඒ ඕගන් එක තිබුණු සාප්පුව දැන් අමතකයි. හැබැයි ඉතින් කොහොමහරි නත්තල ලබද්දිනම් සුරනි පුංචි සශායාගේ බලාපොරොත්තුවත් ඉෂ්ඨ කරාවි)

සුරනි යාළුවන් එක්ක නත්තල සමරපු හැටි මතකද?
මම ගියේ කතෝලික පාසලකට. ඒ නිසා ඒ කාලේ මට හිටියෙම කතෝලික යාළුවෝ. හැබැයි දැන් මම බෞද්ධ පරිසරයකයි ඉන්නේ. මගේ සැමියා බෞද්ධ කෙනෙක්. ඉතින්..  අවුරුදු කිහිපයක ඉඳන්ම අපි පල්ලියේ පූජාවට පල්ලියට ගිහින් පෞද්ගලික නාලිකාවක නත්තල් උත්සවය සමරන්න යනවා. මේ අවුරුද්දෙත් අපි ඒ උත්සවයට යනවා.

නත්තලට සුරනිගේ ආදරණීය රසික රසිකාවියන්ට කරන සුභ පැතුම මොකද්ද?
නත්තල කියන දේ හැමෝටම දැනෙන දෙයක්. ඒ නිසා මම මේ රටේ වගේම ලෝකවාසී හැමෝටම මේ ලබන්නා වූ නත්තල සහ 2019 වසර සුභම සුභ නත්තලක් සහ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා. කිසිම කෙනකුට කරදරයක් නැති හිතේ සතුටින් ජීවත් වෙන්න පුළුවන් සුභ වසරක්ම වේවායි මම හැමෝටම ප්‍රාර්ථනා කරනවා.

 

► Text - Dishani   /  Pic - Internet