2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

’’සපුමල් සුවඳක් සේ ’’සුවඳ ඉතිරි කර යන්න ගියා

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 185

- මහාචාර්ය අමරා රණතුංග

පාළු පැලේ මට තනි නෑ හිමියනේ...
සෙන්පතියන් ගැන නැව්පතියන් ගැන...
පෙම් සිලිලාරේ තුන්සිත ඉතිරී...
සපුමල් සුවඳක් සේ...
ඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩවූ...
එක කිරුළක් පළඳින්නට බෑ...
රාධා ක්‍රිෂ්ණා රාමා සීතා...
ප්‍රේම කතාවක චරිත දෙකක් අපි...
සැළලිහිණියෝ නුඹ දන්නෙ නෑ...
මහ රෑ යාමේ...

මෙවැනි රසාලිප්ත ගීත සමුච්චියක් අපට ශේෂකළ අමරා රණතුංගගේ ජීවිතයම සංගීතය විය.
පාසල් යන අවදියේ පටන්ම ඇය සංගීතය හැදෑරූ අතර ඒ වනවිට ඇගේ වයස අවුරුදු 11ක් හෝ 12ක් තරම් විය. ඒ අවදියේ පටන්ම ඈ සමඟ සංගීතය හැදෑරූ දයාරත්න රණතුංග පසුකලෙක ඇගේ ජීවන සහකරු විය. 
දයාරත්න රණතුංග හා අමරා රණතුංග දෙදෙනාම රජයේ සංගීත විදුහලේ මුල්ම කණ්ඩායමට බැඳී සංගීතය හැදෑරූ අතර ඒ දෙදෙනාම සංගීත උපාධිය ලැබුවේ 18 වැනි වියේදීය.
දෝන අමරා කස්තුරිආරච්චි ඉපදුනේ 1939 අගෝස්තු මස 22 වැනි දින හංවැල්ලේදීය.

කුඩා කල සිටම සංගීතයට දැඩිලෙස පෙම් බැඳි අමරා හංවැල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවාය.

පාසල නිමවී ගෙදර පැමිණි විගස නැවතත් හංවැල්ලේ සිට කොළඹට ඇය ආවේ සංගීත පන්ති සඳහාය. වසර හයක් නොකඩවා පැමිණි ඒ ගමනේ ප්‍රතිඵලයක් හැටියට 18 වැනි වියේදී ඇය සංගීතය පිළිබඳ උපාධිය ලබාගත්තාය.
පාසල් ගුරුවරියක ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ අමරා රණතුංග සෞන්දර්ය කලා අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරියක ලෙසත් පසුකලෙක සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අධ්‍යයනංශ ප්‍රධානී ලෙසද කටයුතු කළාය.
1997 සිට වසර 4ක පමණ කාලයක් අමරා හා දයාරත්න කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උතුරු භාරතීය සංගීතය පිළිබඳ කථිකාචාර්යවරුන් ලෙසද කටයුතු කළෝය.
සංගීත පිළිබඳව ශාස්ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථ රැසක් ලියූ අමරා රණතුංග අපේ සංගීත ක්ෂේත්‍රයේ නවකයන් රැසකට අත දුන්නාය.

සුභාවිත සංගීතය පෝෂණය කිරීමෙහිලා ඇය මෙන්ම ඇගේ ආදරණීය ස්වාමිපුරුෂයා, ආචාර්ය දයාරත්න රණතුංග කළ සුවිශේෂී මෙහෙය උදෙසා ඒ දෙදෙනාටම ඉන්දියානු භාරත මිත්‍ර ගෞරව සම්මානය පිරිනැමිණ.
දශක හයකට අධික කාලයක් පුරා ශාස්ත්‍රීය සංගීතය පෝෂණය කිරීම සඳහා ඇප කැපවූ අමරා රණතුංග 1960 දශකයේ මුල් භාගය තුළ ඉන්දියාවේ ලක්නව් නුවර භාත්ඛාණ්ඩේ සංගීත විදුහලෙන් හා ඉන්දියාවේ බෙනාරිස් විශ්වවිද්‍යාලයෙන් සංගීතය හදාරා උපාධි ලබාගත්තාය.

තම සංගීත ඥානය නිසිලෙස තම සිසු සිසුවියන් සමඟ බෙදාගැනීමට නොපැකිලිව ඉදිරිපත් වූ අමරා රණතුංග කිසි කලෙක මුදල් පසුපස හඹා නොගිය කලා ශිල්පිනියකි.
කැපවීම හා උනන්දුව ඇත්නම් තම ඉලක්ක සපුරාගත හැකිබවට අමරා වත්මන් පරපුරට ඉතිරි කර ඇත්තේ අපූර්ව ආදර්ශයකි. ඒ කැපවීම හා උනන්දුව මියයන තෙක්ම ඈ තුළ දක්නට ලැබුණු සුවිශේෂී ගුණාංගයන්ය.
අමරා හා දයාරත්න රණතුංගට ගුවන්විදුලියේ දොර විවර වන්නේද ඔවුහු පාසල් සිසුන්ව සිටි කාලයේදීමය. ඒ සඳහා ආචාර්ය ලයනල් එදිරිසිංහ හා සරත් විමලවීර වැනි ප්‍රවීණයන්ගෙන් ලැබුණු අනුග්‍රහය ඔවුහු නිතරම සිහිපත් කළේ මහත් භක්තියෙනි.
කුඩා අවදියේ පටන්ම එකට සංගීතය හදාරා, සංගීතය ඔවුන්ගේ ජීවිතය කරගත් අමරා හා දයාරත්න රණතුංග විවාහ වූයේ 1964 වසරේ ජනවාරි 30 වැනිදාය.

ආචාර්ය දයාරත්න රණතුංගයන් ගැයූ ගීයක වදන් වැලක් එන්නා සේ ගී ලියන්න, කවි ලියන්න කියූ ඇගේ නෙත අද වැසීගොස් ඇත. ගී මුමුණන ගීත බුබුල අද නිහඬය. ඒත් මහාචාර්ය අමරා රණතුංගගේ නාමය සදා අපේ මතකයෙන් ඈත් නොවනු ඇත.

► Text — Ramesh Uvais  /  Pic - Sumudu