2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

සිනමාවට අා රූ රැජිනියෝ

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 571

ඉන්දියාවේ ඓශ්වාර්යා රායි බච්චන්ලා සිනමා ලොවට අවතීර්ණ වුණේ රූ රැජනන් ලෙස කිරැළු පැළදීමෙන් ලද භාග්‍යයෙන් අනතුරුව. බොලිවුඩ් සිනමාවේ ඒ වගේ ජනප්‍රිය චරිත රුසක් ඉන්නවා.

ශ්‍රී ලාංකික රූ රැජනක් වූ ජැකලීන් ෆර්ඩිනෑන්ඩස් ද අද බොලිවුඩ් සිනමාවෙ ප්‍රබල චරිතයක් බවට පත්වෙලා හමාරයි. සිංහල සිනමා වංශ කථාවේද මුලින්ම රූ රැජනන් වී පසුව සිනමා ලොවට පිවිසි ජනප්‍රිය චරිත රුසක් ඉන්න බව ඔබ දන්නවා ඇත. මේ ලිපි පෙ‍ළෙන් අප විමසා බලන්නෙ සිය රූමත්කමින් සිනමා රසික සිත් වශී කළ අපේ නිළියන් පිළිබඳවය.

දවස රූප සුන්දරී (අනුලා කරුණාතිලක)

 සිංහල සිනමාවෙ දම්මි නොහොත් ගොළු හදවතේ දමයන්ති, 1963 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියාගේ ගම් පෙරළිය චිත්‍රපටයේ ලැයිසාගේ චරිතයට පණ පොවමින් සිනමා ලොවට අවතීර්ණ වූයේ ඊට පෙර වසරේ දවස රෑප සුන්දරී තරගයෙන් ජයග්‍රහණය කළ පසුවය.

1963 වසරේදී රන් තෝඩු වේදිකා නාට්‍යයේ රංගනයට අනුලාට රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳ නිළියට හිමි සම්මානය පිරිනැමිණ.

පසු ක‍ලෙක සිංහල සිනමාවේ ජනප්‍රිය තාරකාවක් වූ අනුලා පසුකලෙක පුංචි තිරයේද ඇගේ දස්කම් ප්‍රකට කළාය. 

 

බෙන්තොට රෑප සුන්දරී (ගීතා කුමාරසිංහ) 

බෙන්තොට උපන් ගීතා සමන්මලී කුමාරසිංහ අවුරුදු 16දී බෙන්තොට පැවැති රූප සුන්දරී තරගයකට සහභාගි වී ඉන් ප්‍රථම ස්ථානය දිනා ගත්තාය.

1975දී ඇය මුලින්ම සිනමා ලොවට අවතීර්ණ වූයේ ලස්සන කෙල්ල චිත්‍රපටය හරහාය.
පසු කලෙක ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ රුඳී සිටි ගීතා චිත්‍රපට නිෂ්පාදිකාවක් මෙන්ම අතිශය දක්ෂ නිළියක ලෙස සිය දස්කම් ප්‍රකට කළාය. එපමණක් නොව ඇය දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙසද කටයුතු කරන්නීය.

මාතලේ යොවුන් කුමරිය (සුසන්තා චන්ද්‍රමාලි)

මාතලේ යොවුන් පුර උළෙලේ යොවුන් කුමරිය ලෙස කිරුළු පලන් සුසන්තා මුල් වරට රංගනයෙන් දායක වූයේ රන් මුසු උයන ටෙලි නිර්මාණය සඳහාය. ඉන් අනතුරුව චාරු ලතා, ඉරබටු තරුව, කන්දෙ ගෙදර වැනි ටෙලි නාට්‍යවල කැපී පෙනෙන චරිත නිරූපණය කළ සුසන්තා රඟපෑ මුල්ම චිත්‍රපටය සරෝජාය.

සුසන්තා කලක් දේශපාලන කටයුතුවලද නිරත වූවාය.

මිස් ශ්‍රී ලංකා (නිලන්ති විජේසිංහ)

මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිවීමේ වරප්‍රසාදය හේතුවෙන් ලන්ඩනයේ ලෝක රූ රැජන තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ නිලන්ති විජේසිංහ (එවකට මුණසිංහ) සිය මුල්ම සිනමා අත්දැකීම ලබාගත්තේ ජී.ඩී.එල්. පෙරේරාගේ දහසක් සිතුවිලි චිත්‍රපටය තුළින්ය. පසු කලෙක ඇය චිත්‍රපට හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රවල චරිතාංග නිළියක ලෙස කැපී පෙනුනාය. 

සවස අවුරුදු කුමරිය (අග්‍රා සජීවනී)

සවස අවුරුදු කුමරිය ලෙස කිරුළු පලන් අග්‍රා සජීවනි පසුව ජනතා ලස්සන මුහුණු තරගයෙන් මුල් තැන දිනාගත්තාය. ඒ හේතුවෙන් බොහෝ පුවත්පත්වල ඇගේ ඡායාරූප පළවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇයට රංගන වරම් හිමිවිය.

නීල් රූපසිංහගේ හතර දෙනාම සූරයෝ චිත්‍රපටයේ මුලින්ම රංගනයට අවතීර්ණ වූ අග්‍රා, නිළියක, ගායිකාවක හා චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙසද අගනා දායකත්වයක් ලබා දුන්නාය.

මිස් ශ්‍රී ලංකා (ඇන්ජලා සෙනෙවිරත්න)

1975දි බ්‍රිතාන්‍යයේ පැවැති ලෝක රූ රැජන තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අප රටට කීර්තියක් ලබාදෙමින්, ඊට පෙරාතුව මිස් ශ්‍රී ලංකා කිරුල හිමිකරගත් ඇන්ජලා සෙනෙවිරත්න මුලින්ම සිනමා ලොවට පිවිසුණේ පාර දිගේ හරහාය.

කොටි වලිගය, හංස විලක්, අලුයට ගිනි වැනි චරිත නිරෑපණය කළ ඇන්ජලා ටෙලි නාට්‍ය හා ඉංග්‍රීසි වේදිකා නාට්‍යවලද රංගනයෙන් දායක වී තිබේ. 

මිස් වර්කිං ගර්ල් (සනෝජා බිබිලේ)

1985 දී මිස් වර්කිං ගර්ල් කිරුළට හිමිකම් කී සනෝජා බිබිලේ මිස් ශ්‍රී ලංකා ලෙසද තේරීපත් වූවාය.
එච්.ඩී. ප්‍රේමරත්නගේ මංගල තෑග්ග චිත්‍රපටය හරහා සිනමා නිළියක ලෙස මංගල පියවර තැබූ සනෝජා ඉන් අනතුරුව සම්මානනීය චිත්‍රපට හා ටෙලි නාට්‍ය රැසක රංගනයෙන් දායක වී ජනප්‍රියත්වයට පත් වූවාය.

ලක් රූ රැජන (රමණී බර්තෝලමියුස් )

1965 වසරේ උපත ලද රමණී 1987 වසරේදී ඉතාම අවාසනාවන්ත ලෙස දිවි ගමනෙන් අකාලයේ සමුගත්තාය.
1985දී ලක් රූ රැජන ලෙස තේරී පත් වූ රමණී මුලින්ම ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ යුගාන්තය චිත්‍රපටයේ රඟපෑවාය.
සත්‍යග්‍රහණය චිත්‍රපටයේද රංගනයෙන් දායක වූ රමණි විජය ධර්මශ්‍රීගේ භාග්‍යා ටෙලි නාට්‍යයේ ආජු තපර ලාහිලා ගීතය ගයමින් කළ රංගනය අදටත් ප්‍රේක්ෂක මතකයේ සටහන්ව ඇත.

දෙහිවල අවුරුදු කුමාරි (සුමනා අමරසිංහ)

දෙනිපිටිය විතානගේ සුමනා අමරසිංහ හෙවත් සුමනා අමරසිංහ 1964 වසරේදී දෙහිවල විදුහලේ පැවැති අවුරුදු කුමාරි තරගයෙන් මුල්තැන දිනූ අතර 1965දී මිස් මේරේලාල් තරගයෙන්ද ජයග්‍රහණය අත්පත් කරගත්තාය.
එම වසරේම ජනතා පුවත්පත මගින් සංවිධානය කෙරුණු ලස්සන මුහුණක් තරගයෙන් දෙවැනි ස්ථානය හිමි කරගත් ඇයට සිනමා නිළි වරම් ලැබුණේ එම විනිශ්චය මණ්ඩලයේ සාමාජිකාවක්ව සිටි ප්‍රවීණ නිළි හා අධ්‍යක්ෂිකා රූබි ද මැල් නිසාය.

රූබීගේ පිපෙන කුමුදු චිත්‍රපටය හරහා මුල් වරට ප්‍රේක්ෂක හමුවට පිවිසි සුමනා 70 දශකයේ ජනප්‍රියම නිළිය ලෙස වැජඹුනාය. චිත්‍රපට විශාල ප්‍රමාණයක රංගනයෙන් දායක වූ සුමනා පසු කලෙක චිත්‍රපට ගායිකාවක්, චිත්‍රපට නිෂ්පාදිකාවක් හා සහය අධ්‍යක්ෂකවරියක් ලෙස කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන්නාය. 


නුවර හොඳම මෝස්තර නිරූපිකාව (සචිනි අයෙන්ද්‍රා)

ආදරණීය වස්සානය තුළින් සිනමා ලොවට පිවිසි සචිනි අයෙන්ද්‍රා 2001දී මහනුවර හොඳම මෝස්තර නිරූපිකාව ලෙස ජයග්‍රහණය අත්පත් කර ගත්තාය. 2003 දී මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් ඇය එම වසරේ ලෝක රූ රැජන තරගයට සහභාගි වූවාය.

සිනමා නිළියක හා නිෂ්පාදිකාවක ලෙස කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන් සචිනි 2016 වසරේ හොලිවුඩයේ පැවැති ලෝක රංග කලා තරගයෙන්ද පදක්කම් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්පත් කර දුන්නාය.

Text – Ramesh Uvais