2018 ජුලි 28 වන සෙනසුරාදා

දේශපාලනඥයෝ කරන බලු වැඩ මට පෙන්නන්න බැහැ

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 1183

චිත්‍රාල් සෝමපාල

චිත්‍රාල්.. මේ දවස්වල මොකද කරන්නේ?

“ලෝකය දිනමු අපි” කියන මගේ අලුත් සින්දුව මම පසුගියදා මගේ ආදරණීය රසික රසිකාවියන්ට ලබලා දුන්නා. ඒක පද රචනා කළේ කැළුම් ශ්‍රීමාල් මහතා. සංගීතය හා ගායනය දෙකම කළේ මම. මගේ හැම ගීතයම සංගීතවත් කළේ මම. ඒ අතරේ අලුත් පද රචකයන්ටත් මම ඉදිරියේදී අවස්ථාව දෙන්න බලාපොරොත්තු වෙනවා.

මේ ගීතය ටිකක් වෙනස් නේද?

ඔව්.. “ලෝකය දිනමු අපි” කියන ගීතය ටිකක් වෙනස් විදිහේ ගීතයක්. අද අපේ පරපුර සෑහෙන විදිහට කම්මැලි වෙලා තියෙනවා. ඒ අය හුඟක් වෙලාව පවා නාස්ති කරනවා. ඇත්තටම මේ සින්දුවෙන් කියවෙන්නේ “වෙලාව නාස්ති කරන්න එපා” කියලයි. කාලය අපතේ නොයවා ජීවිතයෙන් වැඩ ගන්න කියලා තරුණ පරපුරට කියන පණිවිඩයක් තමයි මේ.

මීට අමතරව ඔබ ටිබෙටයේ රාජ්‍ය හා ආධ්‍යාත්මික නායක දලයි ලාමාතුමා ගැන කියවෙන ගීතයක් ද ගායනා කළා?

ඔව්... ඇත්තටම දලයි ලාමාතුමාට මම ගොඩක් ගරු කරනවා. දලයි ලාමාතුමා මුළු ලෝකයටම බුද්ධ දර්ශනය පෙන්වන මනුස්සයෙක්. ඉතින්... දමේන්ද්‍ර පෝරගේ තමයි මේ ගීතය පද රචනා කළේ. ඒක නම් කරලා තියෙන්නේ “මහ මෙරක් සේ” කියන නමින්. මේ ගීතයත් සංගීතවත් කළේ මමයි.

ඔබ පසුගියදා දිනෙක මේ ගීතය දලයි ලාමාතුමාට පිරිනැමුවා නේද?

ඔව්.. අපි මුලින්ම ඉන්දියාවේ නවදිල්ලි නුවරදී මේ ගීතය පිරිනැමුවා. ශ්‍රී ලාංකිකයකු විසින් පළමු වතාවට දලයි ලාමතුමා ගැන ගීතයක් ගැයූ පළමු අවස්ථාව මෙයයි. ඇත්තටම අපේ ගීතයට එතුමා සෑහෙන්න කැමති වුණා. ඇත්තටම ඒ ගීතයේ තේරුම වන්නේ අපි දලයි ලාමාට ලංකාවට එන්න කියලා කරන ආරාධනාවයි. නමුත් ඒක වෙයි කියලනම් මම හිතන්නේ නැහැ. ඒක එච්චර ලේසි දෙයක් නෙමේ. ලංකාව චීනයත් එකක එකතු වෙලයි ඉන්නේ. මීට වසර හැටකට පෙර චීනය ටිබෙටය අයින් කළා. ඒ මිනිස්සුන්ට සෑහෙන කරදර වුණා. ඒ නිසා ඒ මිනිස්සු අද ඉන්දියාවට ගිහින් ඉන්නවා. චීන ආණ්ඩුව තමයි ටිබෙටය අල්ලගෙන තියෙන්නේ. ඉතින් ළඟදිම “මහ මෙරක් සේ” ගීතයත් දැකබලා ගන්නට පුළුවන් වේවි.

චිත්‍රාල් සංගීතයට මුලින්ම එකතු වෙද්දි වයස කීයක් විතර ඇත්ද?

මම අවුරුදු එකොලහේදි විතර තමයි සංගීතයට එකතු වුණේ. මගේ අම්මා තාත්තා දෙන්නම කලාවට සම්බන්ධ වුණාට අපේ පවුලේ කවුරුත්ම සංගීතයට එකතු වුණේ නැහැ. මට අයියලා තුන්දෙනයි, නංගි කෙනෙකුයි ඉන්නවා. ඒ කවුරුවත් සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ නැහැ. අම්මා තාත්තා වුණත් අපිට ඒ දේවල්වලට යොමු කරන්න ලොකුවට උනන්දු වුණේ නැහැ. මටවත් සංගීතයට යොමු වෙන්න කිසිම උනන්දුවක් තිබුණේ නැහැ.

සංගීතයට චිත්‍රාල් උනන්දු නොවුණට ක්‍රීඩාවට උනන්දුව තිබුණා කියලයි ආරංචිය..

ඔව්... මගේ එකම උනන්දුව වුණේ ක්‍රීඩාව තමයි. මම ඉගෙනගත්තේ කොළඹ ඉසිපතන විදුහලේ. මම අවුරුදු එකොළහෙන් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කළා. ඒ කාලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වුණේ අසංක ගුරුසිංහ. උප නායකයා හෂාන් තිලකරත්න. ඊට පස්සේ මම හොකී ක්‍රීඩා කළා. මම හොකී ක්‍රීඩා සමාජයකත් සෙල්ලම් කළා. ඔය අතරේ ලංකාවේ තිබුණ සංචාරක හෝටල්වල මම ගිටාර් ගැහුවා. ඔය කාලේදි බොහෝ සංගීත කණ්ඩායම්වලට යුරෝපා රටවලට යන්න අවස්ථාව ලැබුණා. ඉතින් එහේ හිටපු අපේ ලංකා බෑන්ඩ් එකකින් මටත් ආරාධනාවක් ලැබුණා. එතකොට මට වයස අවුරුදු දහනවයයි. ඉතින් 1986දී මම ලංකාව දාලා පිටරට ගියා.

ඒ ගිහින් ඔබ වසර ගණනාවක් විදෙස් රටවල් කිහිපයකම ජීවත් වුණා නේද?

ලංකාව එහෙම දාලා ගියාට මම හැම අවුරුද්දකම ලංකාවට ආවා. හැබැයි සමහරු මම යුද්ධ කාලයේදී ලංකාවේ හිටියේ නැහැ කියලා බොරුවට කෑගැහුවා. යුද්ධ කාලේදී අපිත් ලංකාවේ හිටියා. අපේ ප්‍රසංග බොහෝමයක් ඒ කාලෙදිත් කැන්සල් වුණා. අපි වුණත් ඒ කාලේ ප්‍රසංග වේදිකා උඩට ගියේ පුදුම බයකින්.

චිත්‍රාල් රටවල් ගණනාවකටම ගියානේ. ඒ රටවල්වල චිත්‍රාල් සංගීතය විතරමද කළේ?

ඔව්.... මම මියුසික් විතරයි ඒ රටවල්වලදී කළේ. තාමත් කරන්නේ මියුසික් විතරයි. මම ඒ බෑන්ඩ් කිහිපයකම ප්‍රධාන ගායකයා විදිහට වැඩ කරලා තියෙනවා. මට ගිටාර්, පියානෝ සංගීත භාණ්ඩ ප්ලේ කරන්න පුළුවන්. අමෙරිකාව, ජර්මනිය, ඕස්ට්‍රේලියාව මෙන්ම යුරෝපා රටවල්වල මම ඉඳලා තියෙනවා. ඉතින් මම වැඩිපුරම ගායනා කරන්නේ බටහිර ගීතයි. ගිය අවුරුද්දේ තමයි මම නවතින්නම ලංකාවට ආවේ. ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ රටවල් ගොඩක සින්දු කිව්වත් මගේ රටට යමක් කරන්න ඕනේ කියන සිතුවිල්ල මට ඇතිවුණා. ඒ නිසා මම ලංකාවට ආවා. හැබැයි මම හුඟක් පෙනී ඉන්නත් කැමති නැහැ. මම අද මගේ පාඩුවේ මගේ වැඩ ටික කරගෙන යනවා.

ලංකාවට ආවට පස්සේ චිත්‍රාල්ට චිත්‍රපට පසුබිම් ගායනයට අවස්ථාවක් ලැබුණා නේද?

ඔව්.. මම චිත්‍රපට පසුබිම් ගායනය වගේම පසුබිම් සංගීතයත් කරලා තියෙනවා. මේ වෙනකොට මම චන්ද්‍රරත්නම්ගේ (මේ මගේ ආදරේ) චිත්‍රපටයේ (මට ආදරේ) ගීතයත්, අශෝක හඳගමගේ (ඇගේ ඇස අග) චිත්‍රපටයේ පසුබිම් සංගීතයත්, (සුළඟක් රැගෙන යාවී) කියන අලුත් චිත්‍රපටයේත් මම පසුබිම් ගායනයෙන් මම සම්බන්ධ වුණා. ප්‍රියන්ත කොළඹගේගේ (ආදරණීය කතාවක්) චිත්‍රපටයේත් ගීතයක් ගායනා කළා. තව ආරාධනා කිහිපයක්ම ලැබිලයි තියෙන්නේ. බලමු ඉතින් නේද? අද සමහර අධ්‍යක්ෂකවරු දෙකයි පනහේ චිත්‍රපට කරලා සල්ලි හම්බ කරගන්න තමයි උනන්දු වෙන්නේ. ඒක සෑහෙන වැරදි දෙයක්. මේ අතරේ අශෝක හඳගම, චන්ද්‍රරත්නම්, ප්‍රියන්ත කොළඹගේ, බූඩි, විමුක්ති ජයසුන්දර වැනි හොඳ අධ්‍යක්ෂකවරුත් ඉන්නවා. ඉතින් ඉදිරියේදී මගේම සංගීත අධ්‍යක්ෂණයකින් රූපවාහිනී වැඩසටහනක් කරන්නත් මම හිතාගෙන ඉන්නවා. ඒක හොඳ වැඩසටහනක් වේවි. බොහෝ දෙනා හිතන්නේ චිත්‍රාල් කියන්නේ ගායකයෙක් විතරයි කියලා. නමුත් මම ගායකයෙකුටත් වැඩිය මම සංගීත වාදකයෙක්.

ඔය අතරේදී චිත්‍රා සෝමපාල ගැයූ (දඹුළු ගලේ) ගීතය ඔබ අලුතින් ගායනා කළා. සමහරු ඔබ මවගේ ගීත වෙනස් කරනවා කියලා චෝදනා කරනවා. මේ පිළිබඳව ඔබ මොකද කියන්නේ?

ඔව්... සමහරු කියනවා මම අම්මාගේ ඒ ගීතය රැප් කරලා වෙනස් කරනවා කියලා. මම එහෙම රැප් කරලා වෙනස් කළේ නැහැ. මම මගේ තාත්තාගේ ගීතයට හානියක් නොකර අලුත් තාක්ෂණයත් එකතු කරලා අලුතින් ඒක නිර්මාණය කළා. අම්මා ගැයූ සියලුම ගීත නිර්මාණය කළේ මගේ තාත්තා. ඉතින් තාත්තාගේවත්, අම්මාගේවත් නිර්මාණයන් විනාශ කරන්න මම කොහොමටවත් කැමති නැහැ. පිටරට ඉන්න අය ලංකාව ගැන, ලංකාවේ ලස්සන තැන් ගැන දන්නේ නැහැ. ඒ නිසා මම ආයෙමත් ඒ පැරැණි ගීත දහයක් රෙකෝඩ් කෙරුවා. තාත්තාගේ හැට ගණන් හැත්තෑ ගණන්වල කරපු නිර්මාණ මම අරගෙන මම ආයෙත් රෙකෝඩ් කළා. සමහරු මගෙන් අහපු දෙයක් තමයි “අපි හිතුවේ මේ ගීත ඔයාගේ විදිහට කරාවි” කියලයි. ඒත් මම පැහැදිලි හඬකින් ඒ ගීත කරලා තියෙන්නේ. මගේ අම්මා තාත්තාගේ ගීත සෑහෙන්න වටිනවා. ඒ ගීතවල සෑහෙන ඉතිහාසයක් තියෙනවා. මම කවදාවත් ඒ ඉතිහාසයට හානියක් කරන්නේ නැහැ.

පී. එල්. ඒ. සෝමපාල, චිත්‍රා සෝමපාල වැනි අපේ රටේ ඉතා ප්‍රවීණ කලාකරුවන් දෙපලක්. ඔවුන්ගේ දරුවා පිළිබඳව බොහෝ දෙනා කතාබහ කරන්න පටන් ගත්තේ “නදී ගංඟා තරණයේ - සැරිසරා සැඩ මාරුතේ” කියන ගීතය හරහායි. මේක එක්තරා මත්පැන් වෙළඳ දැන්වීමකට කළ ගීතයක් නේද? ඇත්තටම ඔබ මේ කරන්නේ මත්ද්‍රව්‍ය දැන්වීම් ප්‍රචාරණයක්ද?

ඔය “නදී ගංඟා තරණයේ - සැරිසරා සැඩ මාරුතේ - ඉන්ද්‍රඛීලයක් සේ” කියන ගීතය තමයි මගේ මුල්ම සිංහල ගීතය වෙන්නේ. ඇත්තම කිව්වොත් මම සිංහලෙන් ගීතයක් කරන්න ජීවිතේට හිතපු කෙනෙක් නෙවෙයි. මම පිටරට ඉංග්‍රීසි සින්දු ඕනතරම් කියලා තියෙනවා. ඒ කාලේ එක්තරා වෙළඳ සමාගමක් වෙළඳ දැන්වීමකට සින්දුවක් කරන්න ඕනේ කියලා කිව්වා. ඔය ගීතය ලිව්වේ බර්ට්‍රම් නිහාල් මහතා. ඉතින්... ඇත්තටම ඔය ගීතය මම කිසිම උනන්දුවකින් නෙවෙයි කළේ. ජීවිතේට ඔය ගීතය ඔයතරම් දුර යයි කියලා මම හිතුවේ නැහැ. ඒ ආයතනයට රොක් මියුසික් වෙළඳ දැන්වීම් කලාවට ගේන්න ඕනකම තිබුණා. ඉතින්... ඒ අය තමයි ඔය ගීතයට අවසරය අරගෙන මට කරන්න ආරාධනා කළේ. 2000 අවුරුද්දේදී ඔය වෙළඳ දැන්වීමත් ප්‍රචාරය කරන්න තහනම් වුණා. නමුත් ගීතයට තාමත් ඉල්ලුම තියෙනවා. ඇත්තම කිව්වොත් 2014 අවුරුද්දේදී ඉඳන් තමයි මම මගේ අම්මාගේ, තාත්තාගේ ගීත පවා කියන්න පටන් ගත්තේ.

සමහරු ඒ ගීත වෙනස් කරනවා කියලා ඔබට චෝදනා කරනවා?

මම සංගීතය ගැන, කලාව ගැන දන්නේ නැහැ කියලා. සමහර අය බොහෝම චෝදනා කරනවා. නමුත් මම ලංකාවට වෙනස් දෙයක් කළා. මම කවදාවත් මේ රැල්ලට යන තවත් රැල්ලක් නෙවේ. මම මගේ ගමන යන කෙනෙක්. මම මගේ අම්මාගේ තාත්තාගේ ගීත විකෘති කරලා ඒවාවලින් හම්බකරගන්න කෙනෙක් නෙවේ. පිටරටවල්වලදී පවා මම සිංහල සින්දු කියපු කෙනෙක් නෙවේ. මේ වනවිට මම ඇල්බම් විසි පහකට ළංවෙන්න කරලා තියෙනවා. ඒවා මගේම සින්දු. ඒ හැම ගීතයක්ම වෙන වෙන සංගීත කණ්ඩායම් එක්ක කරපු ඉංග්‍රීසි සින්දු. මගේ බෑන්ඩ්වල ගීත ජර්මනිය, ජපානය වැනි රටවල ටොප් මියුසික්වලට එකතු වෙලා තියෙනවා. ඒවා ගැන කවුරුවත් දන්නේ නැහැ. හැබැයි මම අම්මාගේ ගීතයක් ගයද්දි ඒවා විවේචනය කරන්න පිරිසක් එකතු වුණා. මගේ World music වලට අනුවයි ඒ ගීතය නැවත නිර්මාණය කළේ. ගීතයට ඒවායින් කිසිම හානියක් වුණේ නැහැ. සමහරු තමන්ගේ අම්මාගේ තාත්තාගේ ගීත ගායනා කරන්නේ සල්ලි හම්බකරන්න. නමුත් මට එහෙම ඕනකමක් නැහැ. මම කවදාවත් අම්මාගේ තාත්තාගේ ගීතවලට හානියක් කළේ නැහැ.

විදේශ රටවල් බොහෝමයක සංගීතය කරපු චිත්‍රාල් අද ලංකාවේ පවතින සංගීතය ගැන මොකද හිතෙන්නේ?

හොඳ දක්ෂතා තියෙන අය ඉන්නවා. නමුත් අපේ ලංකාවේ මාධ්‍යය ඒ අයව පුම්බලා එකපාරටම අතහරිනවා. ඊට පස්සේ ඒ අය යන්න ඕන පැත්ත නොදැන අතරමං වෙනවා. රියැලිටි ෂෝවලට එන බොහෝ දෙනාට ජනප්‍රිය වෙන්න විතරයි ඕන කරන්නේ. අද කලාවට ළැදි අය අඩුවේගෙන යන්නේ. ඒ ගැන ඇත්තටම දුකයි. කවදාවත් කලාව සවුත්තු කරන්න එපා. කවදාවත් කාවවත් අනුකරණය කරන්න එපා. මම කවදාවත් කාවවත් අනුකරණය කරන්නේ නෑ. කරලත් නෑ. මම අඳින්නේ මට ඕන විදිහට. මම ඉන්නේ මට ඕන විදිහටයි. සමහරු (මේ යන විදිහට අඳින්නේ පලඳින්නේ නැත්තේ ඇයි) කියලා මගෙන් අහනවා. මම කාටවත් ඕන විදිහට  ජීවත් වෙන කෙනෙක් නෙවේ. මම හරි ස්වාධීනයි. ජිවිතේට තමන්ගේ ස්ටයිල් එක කවුරු නිසාවත් වෙනස් කරන්න එපා. තාක්ෂණය පැත්තෙන් අපි අලුත් වෙන්න ඕනේ. මම පිටරටවල්වල ගිහින් මේ දේවල් ඉගෙනගන්න ගොඩක් මහන්සි වුණා. ලොකු කට්ටක් කෑවා. හැබැයි මම ඒ හැම දෙයක්ම ඉගෙනගත්තේ හරිම ආසාවෙන්. ඒ හැම කට්ටක්ම කෑවේ හරිම සතුටින්. මගේ පවුලේ අයියලා තුන්දෙනයි එක නංගියි. මට මතක හැටියට නංගිට පුංචි කාලේ සංගීතය ගැන ආසාවක් තිබ්බට ඒක කරගෙන ගියේ නැහැ. මට සංගීතයට එන්න තාත්තාගෙන් අම්මාගෙන් සපෝට් එකක් තිබුණෙත් නැහැ. හැබැයි මට සංගීතයට යම් ආසාවක් තියෙනවා කියලා තාත්තාට තේරුණා. මම සංගීතය අගය කරන මනුස්සයෙක්. අදටත් මම සංගීතය බාල්දු කරනවාට පොඩ්ඩක්වත් කැමති නැහැ.

චිත්‍රාල් දවසක දේශපාලනයට යොමුවෙයිද? මුහුණ පොත හරහා ඔබ ඉඟි කරන්නේ ඒ දේද?

මට දේශපාලනය ගැනවත්, දේශපාලනය කරන්නටවත් කැමැත්තක් නැහැ. නමුත් දේශපාලනඥයෝ කරන බලු වැඩ මට පෙන්නන්න බැහැ. ඒවා තමයි මම පෙන්නලා දෙන්නේ. දේශපාලනඥයෝ මිනිස්සුන්ව මෝඩයෝ කරන්නේ කොහොමද කියලා හොඳට දන්නවා. සමහරු කියනවා මම දේශපාලනඥයින්ට කඩේ යනවා කියලා. මට කාටවත් කඩේ යන්න ඕනේ නැහැ. මම ස්වාධීන කෙනෙක්. අපි මේ රටේ හැම කෙනෙක්ටම ගරු කරන්න ඕනේ. කලාකරුවන් විදිහට අපි රැඳිලා ඉන්නේ මේ රටේ ඉන්න ආදරණීය රසික රසිකාවියන් නිසයි. ඉතින් මේ මිනිසුන්ව දේශපාලනඥයෝ බාල්දු කරනවාට මම කැමති නැහැ. සමහරුන්ට මම මේ කියන දේවල් දිරවන්නේ නැහැ. 

මම හිතන විදිහට මේ වෙනකොට චිත්‍රාල් ආදරේ විඳින පෙම්වතෙක්?

ඔව්... මම ආදරේ විඳිනවා. ඒ මගේ ආදරණීය පෙම්වතිය එක්ක.

චිත්‍රාල් සෝමපාල කියන කෙනා මොනවගේද?

සමහරු මම ගැන එක එක ප්‍රතිරූප මවලා තියෙනවා. ඒවා මට වැඩක් නැහැ. මම මේ පොළවේ පය ගහලා ජීවත් වෙන, ආඩම්බර නැති, සංගීතයට ආදරේ කරන, හිතුවක්කාර නැති සාමාන්‍ය මනුස්සයෙක්.

Text - Dishani  /  Pic – Sumudu