2018 ජුලි 21 වන සෙනසුරාදා

ටෙනී ආයෙත් රටම හිනස්වයි

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 198

වසර 25කට පෙර නාට්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් නාට්‍ය ශාලාවලට විශාල ජන ගංඟාවන් ඇද ගැනීමට සමත් වූ සිසිල් ගුණසේකර යළිත් රැළිය රීමික්ස් සමඟ කරළියට පැමිණ තිබෙනවා.
ටෙනිසන් කුරේ ප්‍රධාන භුමිකාවට පණ පොවන රැළිය රීමික්ස් වේදිකා නාට්‍යයට ඉහළ ප්‍රතිචාරයක් ලැබෙන අතර එය රට පුරා සාර්ථක ලෙස වේදිකාගත වෙනවා. ලබන මස 31 වැනිදා සවස 3.30ට අරලිය ගහ මන්දිර ශ්‍රවණාගාරයේදී රැළිය රීමික්ස් වේදිකා ගත වෙන්නේ අග්‍රාමාත්‍ය කාර්යාල සුභසාධක සමිතියට ආධාර පිණිසය.

ජූලි 28 මහරගමදී වේදිකාගත වන රැළිය රීමික්ස් අගෝස්තු 4 කොළඹ නව නගර ශාලාවේදී ද, 11 මාදම්පේ, 12 දොඩංගොඩ, 26 ජා ඇල, සැප්තැම්බර් 1 අවිස්සාවේල්ල, 3 කටුගස්තොට, 22 ගාල්ල හා  29 බදුල්ලේදී ද වේදිකාගත වීමට නියමිතය.
අවුරුදු 25කට පමණ පෙර මා හැදූ වේදිකා නාට්‍ය රැසක් ප්‍රේක්ෂක ප්‍රසාදයට ලක් වුණා. ඒත් එවකට විදේශ  අමාත්‍යංශයේ නිල රාජකාරී කටයුතු භාරගෙන වැඩ කරද්දී මට නාට්‍ය ක්ෂේත්‍රයෙන් ඈත් වෙන්න සිද්ධ වුණා. පසුව මම ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියා. ඒත් සෑහෙන කාලෙක ඉඳන් මට ඕනකමක් තිබුණා හොඳ නාට්‍යයක් කරන්න. මගේ හිතමිත්‍ර ටෙනිසන් කුරේටත් මම ඒ ගැන කීප විටක්ම කතා කරලා කිව්වා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි රැලිය රීමික්ස් බිහිවෙන්නේ. ටෙනී කියන්නේ අපේ ක්ෂේත්‍රයේ  සිටින අතිදක්ෂ ශිල්පියෙක්. ඒ වගේම ඔහු නිහතමානී, හිත හොඳ මනුස්සයෙක්. කලා ක්ෂේත්‍රයේ දක්ෂයෝ හිටියට වැඩක් නැහැ ඒගොල්ලෝ නිහතමානී නැත්නම්, කුහකනම්. රැළිය කියන්නේ ටෙනී රඟපෑ මගේ පැරැණි නාට්‍යයක්. අපි ඒකට රැළිය රීමික්ස් කියලා දැම්මේ පැරැණි නිර්මාණවලට අපේ මිනිස්සුන්ගේ තියෙන දැඩි කැමැත්ත නිසා. මේක අලුත් අංග රැසක් තියෙන සුන්දර, හාස්‍යජනක නාට්‍යයක්. මේක බලලා ගෙදර ගෙනියන්න දෙයක් නැති වුණාට පැය දෙකක කාලයක් තුළ හොඳට හිනාවෙලා ඔළුවේ තියෙන පීඩනය හා ආතතිය නැති කරගන්න පුළුවන්. 

එදා අමරදේව, වික්ටර්, බෙග්, ජෝති කියපු සින්දු තමයි මිනිස්සු තාම අහන්න ප්‍රිය කරන්නේ. එදා අපි හදපු කොමඩි තමයි මිනිස්සුන්ගේ මතකේ රැඳිලා තියෙන්නේ. සිසිල් පැවසීය.

රැළිය රීමික්ස්වලට ලැබෙන ඉහළ ප්‍රතිචාර ගැන මම ඇත්තටම සතුටු වෙනවා. ටෙනිසන් කුරේ තරම් නාට්‍ය ශාලාවලට සෙනග ඇදගන්න පුළුවන් තවත් රංගන ශිල්පියෙන් ඉන්නවා කියලා මම  හිතන්නේ නෑ. ඒ කාලේනම් හොඳ කලා නිර්මාණ බලන්න ඕන තරම් ප්‍රේක්ෂකයෝ ශාලාවලට ආවා. ඒත් වර්තමානයේ ලංකාවේ තත්ත්වය වෙනස්. අපේ නිර්මාණ අපි ප්‍රේක්ෂකයෝ ළඟට ගෙනියන්න වෙලා තියෙන්නේ. නමුත් මේ ප්‍රවණතාවය තියෙන්නේ ලංකාවේ විතරයි. බාල නිර්මාණ බිහිකරලා ප්‍රේක්ෂකාගාරය මුලා කළ නිසයි මේ තත්ත්වය උද්ගත වෙලා තියෙන්නේ. නිර්මාණවේදියෝ අපේ මිනිස්සුන්ගේ රසඥතාවය මොට කරලා තියෙන්නේ. සිනමාවට වගේම සංගීත ක්ෂේත්‍රයටත් වෙලා තියෙන්නේ මේ ටිකමයි. ඕනෑම රජයකට පුළුවන් කලාව වෙනුවෙන් දේවල් කරන්න. මා දන්නා තරමට හැකි දේවල් ඕනම රජයකින් කරනවා. නමුත් ප්‍රේක්ෂකයෝ උස්සගෙන ගිහින් ශාලාවල බලෙන් වාඩි කරවන්න රජයකට බැහැ. මේ ක්ෂේත්‍රයේ ඉන්න හැම කෙනෙක්ම, හැම නිර්මාණවේදියෙක්ම වගකීමෙන් වැඩ කළොත් මේ අගාධයෙන් ගොඩ එන්න පුළුවන්. මගෙ පෞද්ගලික හැඟීම නම් අද රටේ කලා සාහිත්‍යයෙන් යම්තාක් දුරට පිරිහිලා. කලාවට හා කලා මාධ්‍යයට දක්වන උනන්දුවත් අඩු වෙලා තියෙන්නේ. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා තරම් කලාකරුවන්ට වගේම කලා සිනමා සාහිත්‍යය පෝෂණයට වැඩ කළ වෙන කිසිම නායකයෙක් මේ දක්වා බිහිවුණේ නැහැ.

අද ලංකාවේ නාට්‍ය ක්ෂේත්‍රයට වින කරන විශාල මාෆියාවක් බිහි වෙලා තියෙනවා. ඒ ‍හේතුවෙන් හැම නිර්මාණවේදියෙකුටම සාධාරණයක් ඉටු වෙන්නේ නැහැ. කොළඹ නගරයේ නාට්‍ය පෝස්ටර් ඇලවීමේ සිට නාට්‍ය ශාලා වෙන් කරවා ගැනීම දක්වා මේ මාෆියාව ක්‍රියාත්මක වෙනවා. කොළඹ නගර සභාව මෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මේ දේවල් ගැන සොයා අවශ්‍ය පියවර ගත යුතුයි.

රැළිය රීමික්ස් මේ අවුරුද්දේ නොවැම්බර් මාසය තුළ ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය තුළ වේදිකාගත කිරීමට අපි කටයුතු යොදා තිබෙනවා. මගේ ඊළඟ පියවර වෙන්නේ මැන්ඩෙලාගේ ළමා කාලය අළලා ලස්සන ඔපෙරා නාට්‍යයක් කරන්න. ඒ පිළිබඳ මූලික සාකච්ඡා අදාළ බලධාරීන් සමඟ කරගෙන යනවා. වැඩි විස්තර පසුව දැනුම් දෙන්නම්. සිසිල් කීය.

 

► Text – Ramesh Uvais / Pic – Internet