2018 ජුනි 30 වන සෙනසුරාදා

කවිත් එක්ක විහිළු කර කර හිනාවෙද්දී ජයන්ත අංකල් හොඳටම බැන්නා

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 373

දෙව්නක... ළඟදීම තිරගත වීමට නියමිත ජයන්ත චන්ද්‍රසිරිගේ “ඝරසර්ප* චිත්‍රපටයේ සඳරැස්ගේ ළමා කාලය නිරූපණය කරනවා... කොහොමද සඳරැස්ට ලැබෙන ප්‍රතිචාර...?
පසුගියදා දිනෙක ඝරසර්ප චිත්‍රපටයේ මංගල දර්ශනය තිරගත වුණානේ. එදා ඇවිත් හිටපු බොහෝ දෙනා මගේ රඟපෑම අගේ කළා. ඝරසර්ප චිත්‍රපටය තමයි මම ප්‍රධාන චරිතයක් රඟපෑ පළමු නිර්මාණය වෙන්නේ. ඊට කලින් මම එක් චිත්‍රපටයක සාමාන්‍ය චරිතයක් රඟපෑවා හැබැයි ඝරසර්ප බලපු බොහෝ දෙනා කිව්වේ “මගේ ආධුනික බව දැනෙන්නේ නැහැ. මම හොඳට රඟපෑවා කියාලා... ඇත්තටම මටත් සතුටුයි මම ඝරසර්ප චිත්‍රපටයේ ඒ විදිහට රඟපාලා බොහෝ දෙනාගේ අගේ කිරීම්වලට ලක්වුණු එක ගැන. ඒ චිත්‍රපටයේ මම රඟපෑවේ කාවින්ද්‍යා එක්කයි. මේක අපි දෙන්නටම හොඳ අත්දැකීමක් වුණා.

පවුලේ එකම දරුවා... අපි පොඩ්ඩක් පවුලේ විස්තර ගැනත් කියමු...?
මම පවුලේ එකම දරුවා. මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. මගේ තාත්තා දමින්ද පෝරගේ. මගේ අම්මා ශර්මිලා මිල්රෝයි. මම ඉගෙන ගත්තේ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසැලේ.

පාසැලෙදී දෙව්නක...කලාවට සම්බන්ධ නිර්මාණවලට දායක වුණාද...?
ඔව්... මම පාසැලේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. එක පාරක් ජාත්‍යන්තර පාසැල් මට්ටමේ පවත්වපු වේදිනා නාට්‍ය තරගවලියෙන් මම හොඳම නළුවා සම්මානය දිනා ගත්තා. හැබැයි මම එදා රඟපෑවේ දුෂ්ඨයාගේ චරිතයක්. ඉතින් දුෂ්ඨයෙක් හොඳම නළුවා වීම ගැනත් බොහෝ දෙනෙක් කතා කළා. ඒ අතරේ පාසැලේ තිබුණු ප්‍රසංගවල පවා මම සින්දු කිව්වා. මට සින්දු කියන හැකියාවක් පොඩි කාලේ ඉඳන්ම තිබුණා. ඒ නිසා පාසැලේදී බාහිර ක්‍රියාකාරකම්වලට පවා මම බොහෝ සම්බන්ධ වුණා.

ජයන්ත චන්ද්‍රසිරි ඝරසර්ප චිත්‍රපටයට කලින් ඔයා තවත් නිර්මාණයකට දායක වුණා නේද...?
ඔව්... මගේ පළමු සිනමා නිර්මාණය තමයි පිටසක්වල කුමාරයයි පැංචෝ හතයි කියන චිත්‍රපටය. ඒක අධ්‍යක්ෂණය කළේ සිරිමල් විජේසිංහයි. එතකොට මට අවුරුදු දොළහක් විතර ඇති. ඊට පස්සේ මම වෙළඳදැන්වීම් කිහිපයකටම පෙනී හිටියා. මේ වෙනකොට මම වෙළඳ දැන්වීම් විස්සකට විතර දායක වෙලා තියෙනවා.

මුලදී ජැක්සන් අංකල්ව දකිද්දී  මට බය හිතුණා

කොහොමද ඝරසර්ප චිත්‍රපටයට එකතු වෙන්න අවස්ථාව ලැබුණේ...?
ජයන්ත අංකල් මම හිටපු වෙළඳදැන්වීම් එහෙමත් දැකලා තිබුණා. කොහොම හරි ජයන්ත අංකල් මගේ මාමාගෙන් (ප්‍රභාත් රොෂාන්) මට මූලික පරීක්ෂණයට එන්න පුළුවන් ද කියලා අහලා තිබුණා. ඉතින් මම ගියා. එදා මූලික පරීක්ෂණයේදී තමයි මට මුලින්ම ජයන්ත අංකල්ව මුණගැහුණේ. ඒ වෙද්දී මේ චරිතය වෙනුවෙන් බොහෝ දෙනෙක්ට ඉන්ටවීව් කරලා තිබුණා. හැබැයි මම ගියපු මුල්ම මූලික පරීක්ෂණයේදීම මාව මේ චරිතයට තෝරා ගත්තා. එදා මටයි කාවිටයි (කාවින්ද්‍යා) සින්දුවක් දාලා ඒකට රඟපාලා පෙන්නන්නත් කිව්වා. අවසානයේ දී අපිව මේ චරිත දෙකට ජයන්ත අංකල් තෝරා ගත්තා.

රූගත කිරීම් කරපු කාලය හරි අපූරුයිනේ. ටිකක් මතක් කරමුකෝ ඒ කාලය ගැනත්...?
ඔව්... අපි මාස දෙකක් විතර රූගත කිරීම් කළා. ඇත්තටම ඒ කාලය හරි අපූරුයි. මුල්ම චිත්‍රපටය කරද්දී මට අවුරුදු දොළහයිනේ. ඊට පස්සේ මේ කරපු නිර්මාණයේදී බොහෝ අත්දැකීම් ලැබුණා. වෙළඳදැන්වීමක්, ටෙලි නාට්‍යයක් කරනවා වගේ නෙමෙයි. අපි හැමෝගෙම ඒ මහන්සිය කවදාවත් අපතේ ගියේ නැහැ. ඇත්තටම ජයන්ත අංකල්ගේ අධ්‍යක්ෂණයක් යටතේ කරත් නිර්මාණයකට දායක වීමත් සිනමා පාසැලක අධ්‍යාපනය ලැබීම හා සමානයි. ඔහු ඇත්තටම හරි අපූරු අධ්‍යක්ෂකවරයෙක්. නිර්මාණයේදී අපි ඒ චරිතයට ගැලපෙන මූඩ් එකේ හිටියේ නැත්නම් අපිට බණිනවා. හැබැයි ඔහු ඇත්තටම හොඳ ගුරුවරයෙක්. ජයන්ත අංකල්ගෙන් මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. මමත් නොදැනුවත්වම ජයන්ත අංකල් මාව පුහුණු කළා.

ඔයාට වැඩිපුර රඟපාන්න තිබුණේ කාවින්ද්‍යා එක්කනේ. ඇය මොනවගේ කෙනෙක් ද...?
මුලදීනම් අපි මුණගැහිලා තිබුණේ නැහැ. ඝරසර්ප චිත්‍රපටය නිසා තමයි කාවියි මායි මුණගැහුණේ. කවි ඇත්තටම හොඳ කෙනෙක්. මට ඇත්තටම ඇය හොඳ සහෝදරියක්. මට මගේ චරිතය ගොඩනගන්න හොඳ සහයෝගයක් දුන්නා. ඝරසර්ප වැඩි වශයෙන් රූගත කිරීම් කළේ කළුතර සහ අනුරාධපුර ප්‍රදේශයේ. ඉතින් අපි දෙන්නට රූගත කිරීම් නැති වෙලාවල අපි සෙල්ෆි ගන්නවා. සමහර වෙලාවට අපි රූගත කිරීම් කරන දින බලාගෙන ඉන්නවා. සමහරදාට උදේ පාන්දර රූගත කිරීම් පටන් ගත්තට පස්සේ පොඩි බ්‍රේක් එකක් ලැබුණොත් අපි ඔය පැත්තකට වෙලා පොඩ්ඩක් නිදාගත්තා.

ඝරසර්ප චිත්‍රපටයේ අධ්‍යක්ෂක වගේම බොහෝ ප්‍රවීණ නළු නිළියන් පිරිසක් රඟපෑවා. ඔවුන්ගෙන් ආධුනික දෙව්නකට ලැබුණු සහයෝගය කොහොමද...?
ජැක්සන් ඇන්තනි, ශ්‍රියන්ත මෙන්ඩිස්, කමල් අද්දරආරච්චි, සංගීතා වීරරත්න වගේ ප්‍රවීණ අය එක්ක මෙහෙම රඟපාන්න ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. ජැක්සන් අංකල්ගෙයි මගෙයි එක දිග සීන්එකක් රඟපාන්න තිබුණා. ඇත්තටම නිර්මාණය පුරාම ඔහුයි මායි මුණගැහෙන්නේ ඒ එක කොටසේදී විතරයි. හැබැයි මුලදී ජැක්සන් අංකල්ව දකිද්දී මට බය හිතුණා. හැබැයි ඊට පස්සේ ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. ශ්‍රියන්ත අංකල් වගේම ජැක්සන් අංකල් මට ගොඩාක් ලොකු සහයෝගයක් දුන්නා. මට බොහෝ දේවල් කියලා දුන්නා.

බ්‍රේක් එකක් ලැබුණ ගමන් සෙල්ෆි ගැහුවා-නිදාගත්තා

ඝරසර්ප චිත්‍රපටයේ අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති...?
මගේයි කවීගෙයි ෆිල්ම් හෝල් එකක රඟපාන කොටසක් රූගත කිරීම් කරන්න තිබුණා. එතනදී අපි දෙන්නට අඬන්න තමයි තිබුණේ. ඔය කොටසේ පොඩි බ්‍රේක් එකේදී අපි දෙන්නා විහිළු කර කර හොඳටම හිණා වුණා. ඒ වෙලාවේ ජයන්ත අංකල්ට අපේ හිනාව ඇහිලා අපි දෙන්නට කෑ ගහලා බැන්නා. රෑගත කිරීම් කරන අතරදීත් ඒ දෙබසට ගැලපෙන මූඩ් එක තියාගන්න ඕනේ කියලා අපි ඒ වෙලාවේ දැනගත්තා.

දෙව්නකගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද...?
මම සිනමා නිර්මාණවලට දායක වෙන්න ආසයි. මේ වෙනකොට මම පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබනවා. ඉතින් අධ්‍යාපන කටයුතු එක්ක මේ වගේ හොඳ නිර්මාණවලට දායක වෙන්න ආසයි. ළඟදීම ඝරසර්ප චිත්‍රපටය තිරගත වේවී. ඉතින්... ඇත්තටම ඒක හරි අපූරු සිනමා නිර්මාණයක්. ඉතින් හැමෝටම ඒ අපූරු නිර්මාණය එදාට දකින්න කියලා මම ආරාධනා කරනවා.

► Text – Dishani   /  Pic - Sumudu