2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

කලකට පසු බන්දු-ටෙනී

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 195

ඒ කියන්නේ යම රජ සිරිට චිත්‍රපට පෝලිමේ ඉන්න සිදුවුණේ නැද්ද?
මෙහෙමයි.. අපි මේක සිනමා කර්මාන්තය වෙනුවෙන් කළ චිත්‍රපටයක්. අපේ අරමුණ වුණේ සිනමා කර්මාන්තය වෙනුවෙන් සිනමා කර්මාන්තයෙන් ඈත් වුණ මිනිස්සුන්ගෙන් ආයෙත් සිනමාහල් පුරවන්න පුළුවන් වැඩක් කරන්නයි. ඒක තමයි අපේ බලාපොරොත්තුව වුණෙත්. මම බන්දු සමරසිංහ මහත්මයා සහ ටෙනිසන් කුරේ මහත්මයා මුණගැහෙන්න ගියා. ඒ අවස්ථාවේදී බන්දු සමරසිංහ මහත්මයාගෙන් අපේ ආයතනය මඟින් මේකට යොදාගත යුතු අධ්‍යක්ෂකවරයා කවුද... කියලා ඇහුවා. විවිධ නම් යෝජනා වෙද්දී බන්දු සමරසිංහ මහත්මයා තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා හැටියට මාව යෝජනා කළේ. ඒ අනුව තමයි අහම්බෙන් වගේ යම රජ සිරි චිත්‍රපටය හරහා මම අධ්‍යක්ෂකවරයෙක් වුණේ.

 

විශ්වාස කරනවද යම රජ සිරි සාර්ථක නිර්මාණයක් කියලා?
සාර්ථකයි කියලා හිතෙන ඉඟි කිහිපයක්ම තියෙනවා. ඒ යම රජ සිරි චිත්‍රපටය බලන පිරිස සහ චිත්‍රපටය පිළිබඳව මුලින්ම තීරණය ගන්නේ චිත්‍රපට ශාලා හිමියන්. චිත්‍රපටය විකුණගන්න පුළුවන්ද කියන එක තමයි ඒ අය බලන්නේ. එතැනදී අපිට තියෙන ඉල්ලුමත් එක්ක චිත්‍රපටයේ සාර්ථකත්වය අපට දැනෙනවා. ශාලා හැටකටත් අධික සංඛ්‍යාවක මේක මුදාහැරලා තියෙනවා. ඒ වගේම අපිට ලැබෙන ප්‍රතිචාරත් එක්ක අපි හිතනවා අපි සාර්ථකයි කියලා...

ඒ ඉල්ලුම ලැබෙන්නේ බන්දු - ටෙනීගේ සුසංයෝගය නිසා කියලා හිතෙන්නේ නැද්ද?
ඔව්.. ඒක තමයි අපේ මුල්ම උපක්‍රමය වුණේ. අපි චිත්‍රපටයක් කරද්දී මුලින්ම හිතන්නේ කොහොමද සාර්ථක චිත්‍රපටයක් කරන්නේ කියලා. අද සිනමා කර්මාන්තයේ අර්බුද තියෙනවා. මිනිස්සුන්ට වෙලාව වෙන්කරගෙන, මුදල් වෙන්කරගෙන චිත්‍රපටයක් බලන්න අපේ මිනිස්සුන්ට දැන් කාලය නැහැ. එහෙම තියෙන යුගයක චිත්‍රපට ශාලාවකට මිනිස්සු ගෙන්වා ගන්නවා කියන්නේ ලොකු අභියෝගයක්. අද බොහෝ සිනමා ශිල්පීන් ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙලා තියෙනවා. ගෙදර ඉඳගෙන ටෙලිවිෂන් එකෙන් ලැබෙන දේ මුදලක් ගෙවාගෙන බලන්න තරම් අපේ ප්‍රේක්ෂකයන් කැමති නැහැ. ඒ විතරක් නෙවේ DVD කර්මාන්තය හරහා සිනමාවට ලොකු බලපෑමක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා අපිට ඕන වුණා මේ වගේ යුගයක ටෙනීව සහ බන්දුව එකතු කරගෙන මේ චිත්‍රපටය කරන්න. ඒක ලොකු ජයග්‍රහණයක් වුණා.යම රජ සිරි චිත්‍රපටයේ පවුල් දෙකට ළමුන් සංඛ්‍යාව ගොඩක් වැඩියි. ඔවුන්ට රඟපාන්න කිසිම දෙයක් තිබුණේ නැහැ.. හිතෙන්නේ නැද්ද ඒ චරිත ප්‍රමාණය වැඩියි කියලා?

කොමඩි කියන චිත්‍රපට බොහෝමයක දෙපට කැපෙන වචන, එහෙම නැත්නම් කුණුහරප වචන පාවිච්චි කරනවා. මේ චිත්‍රපටයේදී එහෙම නැතිව බන්දු ටෙනී මේ යුගලය සම්බන්ධ කරගෙන වෙනස්ම විදිහේ වැඩක් කරන්න අපිට ඕන වුණා. මේක ධරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් දෙකක් වටා ගෙතුණු කතාවක්. එවැනි වටපිටාවක් එක්ක පවුල්වල පවතින අර්බුද තමයි අපි මේකෙන් කියන්න උත්සාහ කළේ.

නමුත් ඒ දරැවන්ට අඩුම තරමේ රඟපෑමක් තිබුණේ නැහැ. කැමරාවට මුහුණ දීමක් පමණයිනේ සිද්ධ වුණේ. චිත්‍රපටය පුරාවටම දරුවන් දෙන්නෙක්ට කියන්න තිබුණු දෙබස් කාණ්ඩ දෙකත් ළමයින්ට උචිත නොවන දෙබස් පේලි දෙකක්?
එක එක්කෙනා ඒක බලන විදිහත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. මෙතැනදී මට ඕන වුණේ ඒ චරිත අවස්ථාව විතරයි. දරුවන් හරහා වෙන දෙයක් කතා කරන්න අවශ්‍ය වුණේ නැහැ. මේ චිත්‍රපටයේ ප්‍රධාන වුණේ බන්දු සහ ටෙනීගේ චරිත දෙකයි. ඒකෙදී පවුල කියන්නේ එක අවස්ථාවක් විතරයි. මේ චිත්‍රපටයේ ගොඩාක් ළමයි අපි පෙන්වන්නේ පවුල කියන පසුබිම පෙන්නන්නයි.

යම රජ සිරි චිත්‍රපටයේ සංකල්ප අධ්‍යක්ෂක විතරක් නෙමේ... ප්‍රධාන අංශ කිහිපයක් ඇතුළත අංශ එකොළහකටම ඔබ සම්බන්ධ වෙනවා?
මම මේ චිත්‍රපටය කරන්න පටන් ගනිද්දී එහෙම අදහසක්නම් තිබුණේ නැහැ. මේ වෙනකොට මම චිත්‍රපට පහක පමණ සංස්කරණය, සංගීතය, කැමරා අධ්‍යක්ෂණය වගේ ප්‍රධාන අංග කරලා තිබුණා. ඒකත් එක්ක අධ්‍යක්ෂණය කියන දේ ආවට පස්සේ අනෙක් අංග කෙරෙහිත් එකතු වෙන්න සිද්ධ වුණා. මම කලාව පටන්ගන්නේ සංගීත අධ්‍යක්ෂණයෙන්. ඒ සම්බන්ධව මට විශාරද සහතිකය තියෙනවා. ඒ වගේම සංස්කරණ ශිල්පියෙක් විදිහටත් මම අවුරුදු ගාණක් වැඩ කරලා තියෙනවා. ඉන්දියානු අධක්ෂණයන් යටතේ මට වැඩ කරන්න ලැබුණා. ඉතින් ඒ අත්දැකීම් මේ නිර්මාණයට එකතු කරන්න මට පුළුවන් වුණා.

යම රජ සිරි කොමඩි චිත්‍රපටයක් විතරක්ද? දරුවන්ට මව්පියන්ට එකට හිඳ බලන්න පුළුවන් නිර්මාණයක් කියලා විශ්වාස කරනවද?
ඔව්... අනිවාර්‍ෙය න්ම. මේකේ දෙපිට කැපෙන වචන පාවිච්චි කළේ නැහැ. අපි නිවාඩු කාළයේ මේක ප්‍රදර්ශනය කළෙත් ඒකමයි. මුළු පවුලටම ගිහින් එකට හිඳගෙන බලන්න පුළුවන් බයිස්කෝප් එකක් කරලා තියෙනවා.
 

► Text – Jayamali / Pic – Internet