2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

බතලේගලදී අපි පට්ට අනාථයි

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 159

එක දවසක් අපි රූගත කිරීම් කළේ බොහෝම මෑතකදී... මොබයිල් ඇප් එකකට නේද...?
ඔව්... මෙම චිත්‍රපටය රූගත කළේ ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේදියි. ඇත්තටම මේක කරන්න හේතු වුණේ එක්තරා මොබයිල් ආයතනයකින් මොබයිල් ඇප් එකක්ම මොබයිල් චිත්‍රපටයක් විදිහට තමයි මේ සඳහා මුල්ම යෝජනා ආවේ. එහෙම කිව්වහම සමහරු හිතුවා මේක මොබයිල් ෆෝන්වලින් රූගත කිරීම් කළ චිත්‍රපටයක් කියලා. හැබැයි මේක එහෙම එකක් නෙමේ. මේක සාමාන්‍යයෙන් චිත්‍රපටයක් රූගත කිරීම් කරනවා වගේම කරපු නිර්මාණයක්. කැමරා, ලයිට්, සංස්කරණය මේ හැමදෙයක්ම ඒ විදිහටම අපි පාවිච්චි කළා. ඒ විදිහට රූගත කරපු චිත්‍රපටය මොබයිල් චිත්‍රපටයක් විදිහට කරන්න අපිට ඕන වුණා.

චිත්‍රපටය කළාට පස්සේ ඒ අදහස වෙනස් වුණාද...?
ඔව්... චිත්‍රපටය කළාට පස්සේ එම ආයතනය තීරණය කළා මේක කෙටි කලාපයකට (ප්‍රධාන ධාරාවේ විකාශනය නොවී) මේ චිත්‍රපටය මුදාහරින්න. මේක මොබයිල් ඇප් එකකට කළ චිත්‍රපටයක් වුණාට සාමාන්‍ය චිත්‍රපටයක් කරන මහන්සියම කරන්න වුණා. මේක මොබයිල් එකේ බලන්න ඕනේ නිසා ඒක විකාශනය වෙන වෙලාව ටිකක් අඩුයි. වෙන චිත්‍රපටවලට විකාශන කාලය පැය එකහමාරක් ගතවුණත් මේ චිත්‍රපටයේ විකාශන කාලය පැයයි විනාඩි දහයයි.

මේ සඳහා සහභාගි වුණු රංගන ශිල්පින් ශිල්පිනියන් ඉතා සීමිතයි නේද...?
ඔව්... මේක චරිත දෙකක් වටා සම්පූර්ණ කතා ධාරාව විකාශනය වෙනවා. මේකේ ප්‍රධාන චරිතය පුබුදු චතුරංග සහ නයනතාරා වික්‍රමාරච්චි වටා ගෙතෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබන විමුක්ති, ශ්‍රාස්ත්‍ර පීඨයේ ඉගෙනුම ලබන පාරමීත් අතර ගොඩනැගෙන ආදර කතාවක් තමයි මේ චිත්‍රපටය පුරා දිගහැරෙන්නේ. ඊට අමතරව වීණා ජයකොඩි සහ මේධා ජයරත්න ඇතුළු කිහිප දෙනෙක් මෙහි රංගනයෙන් දායක වෙනවා.

එක දවසක් අපි චිත්‍රපටය තුළින් ඔබ මේ රටේ මිනිසුන්ට කියන්නට උත්සාහ දරන්නේ මොකක්ද...?
මේක ආදර කතාවක්... නමුත් ඒ ආදර කතාව ඇතුළාන්තයෙන් අප සමාජයේ තියෙන පීඩිත කුල ක්‍රමයත්. අබලන් වුණු සමාජ චින්තනයත් ගැන කතා කරනවා. ආදරය කරපු දෙන්නෙකුගේ විවාහය වගේ කටයුත්තකදී සමාජයේ තියෙන බෙදීමක් බලපාන්නේ කොහොමද කියලා අපි මේ හරහා කතා කරන්න උත්සාහ කරනවා. ආදරය කියන්නේ මානව හැඟීමක්. ඒ පිරිසිදු මානව හැඟීම සමාජයේ බාධාවන් හමුවේ මුහුණ දෙන අභියෝග අපි කතාබහ කළා. ‍

මේ නිර්මාණය කරද්දී අමතක නොවන සිදුවීමක් මතක් කළොත්...?
මේක දවස් දහයකින් රූගත කිරීම් කරලා අවසන් කළා. මේකේ තියෙන බජට් එකත් එක්ක ලොකු කාලයක් කරන්න බැහැනේ. අපි අවසාන රූගත කිරීම් කළේ බතලේගල කියන කඩුගන්නාව නගිද්දී දකුණු අත පැත්තේ ඈත පෙනෙන විශාල කන්දේ ඒක ඉතාම දරුණු ප්‍රපාතයක්. ඒ වගේම ඒක නගිනවා කියන්නේ ඉතා දුෂ්කර ගමනක්. පාරක් නැහැ. ගස්කොළන් මැද්දේ ඉතාම දුෂ්කර විදිහට කිලෝමීටර් එකාමාරක් විදිහට උඩට නගින්න ඕනේ. සමහර තැන් අංශක අනූව වගේ තැන් තියෙනවා. ඉතින් අපි රූගත කිරීම් කරන්න ගියාම හොඳටම රෑ වුණා. අපි උඩ ඉඳිද්දී හොඳටම වැස්සා. පහළට එන්න විදිහක් නෑ. කළුවරයි. අපේ ෆෝන්වල එළියෙන් දැන් අපි පහළට එද්දී අපිව අතරමං වුණා. ගමට යන විදිහ සොයාගන්නම බෑ. පහළට එද්දී කිහිපදෙනෙක් ලිස්සලා වැටුණා... එක ගලකින් මාවත් පහළට ලිස්සලා වැටිලා කකුලත් හොඳටම තුවාල වුණා. කළුවරේ පහළට රූටලා යද්දී හිතාගන්නවත් බෑ. මඩත් එක්ක, කොළත් එක්ක වැස්සේ තෙමිච්චි ඒ දවස අමතක කරන්න බෑ. කන්ද උඩ ඉඳන් හයියෙන් පහළට කෑ ගහද්දී ගමේ මිනිස්සු ඉක්මනට ටෝච් එහෙම අරගෙන අපි ඉන්න තැන්වලට ඇවිත් තමයි අපිව පහළට ගෙනිච්චේ. එදා ගමේ මිනිස්සු අපිට ගොඩාක් උදවු කළා.

ඔබේ ඊළඟ නිර්මාණය “ගින්නෙන් උපන් සීතල වැඩකටයුතු කොහොමද...?
ඔව්... ඒකේ රූගත කිරීම් කරලා අවසානයි. දැන් දෙබස් කැවීම් කටයුතුත් බොහෝ දුරට ඉවරයි. එහි සංගීතය නදීක ගුරුගේ. ඉතින් නදීකත් එක්ක ඒ පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නේ. ඒවගේම ග්‍රැෆික් නිර්මාණ කටයුතුත් කරමින් පසුවෙනවා. කොහොමත් ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ අවසාන වැඩකටයුතු කරමින් තමයි පසුවන්නේ.

එක දවසක් අපි චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාරය කොහොමද...?
චිත්‍රපටය ලොකු තිරගතවීමක් බලාපොරොත්තු වුණේ නෑ. නමුත් තිරගත වුණු පොඩි කාලය ඇතුළත චිත්‍රපටය ගැන කතාබහක් ඇති වුණා. බොහෝ අයට පුදුම හිතුණා චරිත දෙකක් අරගෙන චිත්‍රපටයක් කරන්නේ කොහොමද කියලා. මේ චිත්‍රපටය විධායක නිෂ්පාදනය ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු.

► Text – Jayamali