2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

අපේ නත්තල්

 2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 337

රත්තරන්, රිදී, රතු කොළ නිල් පාට එක්ක නත්තලේ අසිරිය දොරින් දොර සැම තැනම. අපි කිතුනුවන් නෙවෙයිනේ... ඒ නිසා අපට නත්තල් නෑනේ කියලා කියන්න කවුරුත්ම කැමති නැති පාටයි... නත්තල වෙනුවෙන් තරුවක් හරි එල්ලන්න හැමෝම හිතන්නේ ඒ හිතුවිල්ල හින්දද කොහෙද? ආගම ක්‍රිස්තියානි නොවුණත්, ආදරයෙන් නත්තල සමරන නත්තලේ සතුට අසිරිය විඳින අපේ තරැ එක්කත් නත්තල ගැන කතා කරන්න අපි හිතුවා.
බෞද්ධ නළු නිළියන් කිහිපදෙනෙක්ගෙන් ඔයාලත්  නත්තල් සමරනවද? ඒ කොහොමද කියලා අපි ඇහුවෙ ඒකයි.

 

අාරාධනා ගාෙඩයි

අනූෂා දමයන්ති

නත්තල කිව්ව සැණින් අපිට අපූරු කාලයක්නේ මතක් වෙන්නේ. අපේ සිංහල අලුත් අවුරුද්ද වගේම ක්‍රිස්තියානි හැම ගෙදරකම ඒ අසිරිය තියෙනවා. ඉතින් මේ නත්තල් දවස්වලට මගේ කතෝලික යාළුවන්ගෙන් ආරාධනා ලැබෙනවා. අපි ඒ අයගේ ගෙවල්වලට යනවා. විනෝද වෙනවා. සමහර අවුරුදුවලදී නත්තල් වෙනුවෙන් මම මගේ කතෝලික යාළුවන් ඇතුළු යාළුවන්ට ආරාධනා කරලා අපේ ගෙදර පාටියක් එහෙමත් දානවා. නත්තල් කියන්නේ ඇත්තටම සතුටින් පිරිච්ච කාලයක්. ඒකට ආගම් ප්‍රශ්නයක් කොහෙත්ම නෑ.

 

අපේ ගෙදර නෑදෑයාෙ පිරෙනවා

මොරින් චාරුනී

මගේ තාත්තා කතෝලික ආගමේ. මගේ අම්මා බුද්ධාගමේ. හැබැයි අපි පුංචි කාලේ ඉඳන්ම බුද්ධාගමේ විදිහට වැඩ කළාට නත්තල් දවස්වලට අපේ ගෙදර නත්තල් සිරිය උපරිමයෙන් තිබුණා. මගේ තාත්තාගේ පවුලේ සහෝදර සහෝදරියන් දහතුන්දෙනෙක් හිටියා. තාත්තාගේ මහගෙදර වෙන්නප්පුවේ. ඉතින් හැම නත්තලටම තාත්තාගේ පවුලේ අය අපේ ගෙදරට ආවා. ඔසම් කිව්වා. නත්තල් දවසට ගමේ පල්ලියේ කැරොල් කණ්ඩායම අපේ ගෙදරට ආවා. අපි හැමෝටම සංග්‍රහ කළා. නත්තල් දවසට අපේ ගෙදර නෑදෑයෝ පිරිලා. දැන් තාත්තා නැතිවෙලා අවුරුදු ගණනාවක් වෙනවා. අදටත් අපි තාත්තා හිටිය කාලේ වගේම ඒ වැඩ ටික කරනවා. දැන් අපේ මහගෙදර ඉන්නේ මගේ මල්ලී. තාත්තාගේ සහෝදරී සහෝදරියන් අද ඉන්නේ කීපදෙනයි. ඒ අය රෑ පූජාවට පල්ලි ගිහින් අදටත් අපේ ගෙදර එනවා. අපි ඉස්සර වගේම නත්තල් සමරනවා. අපි බුද්ධාගමේ වුණාට එදා වගේම අදටත් නත්තල් සමරනවා.

 

නත්තල කියන්නෙ සතුට

ගයේෂා පෙරේරා

අපිට ආගම් භේදයක් නෑ. මම නම් හිතන්නේ වසරේ ලස්සනම කාලය තමය් නත්තල් කාලය. කාලයක් තිස්සේ මාත් අපේ ගෙදර නත්තල් ගහක් හදලා නත්තල සමරනවා. මේ දෙසැම්බර් 01 වැනිදාත් අපි නත්තල් ගහ හදලා නත්තලට ලෑස්ති වුණා. ඉතින් නත්තල හැම කතෝලික වැසියෙකුටම වගේම අපි හැමෝටම සතුට අරන් එනවා. ඇත්තටම නත්තල අපි හැමෝගෙම උත්සවයක්.

නත්තලට මම ඩුබායි

අමිල අබේසේකර

මේ පාර නත්තලට මම ලංකාවේ නෑ. මේ පාර මම නත්තල් සමරන්නේ තේජා එක්ක ඩුබායිවලයි. හැබැයි ඉතින් ලංකාවේ හිටපු වසරවල්වලදී නත්තලත් මම සමරුවා. මගේ කතෝලික යාළුවන් එයාලගේ ගෙවල්වල උත්සවවලට මට ආරාධනා කළා. මම ඒවාට සහභාගි වුණා. කොහොමටත් නත්තල් කාලය හරි සුන්දරයිනේ. ඒක වෙනස්ම අත්දැකීමක්. ඉතින් නත්තල කියන්නේ අපි හැමෝම සමරන උත්සවයක්.
 

25 රෑට පාටියක් ෂුවර්

දුලානි අනුරාධා

මට කතෝලික යාළුවෝ ඉන්නවා. ඉතින් ඒ අයගෙන් නත්තල් පාටිවලට මටත් ආරාධනා ලැබෙනවා. මාත් ඒවාට යනවා. සමහර අවුරුදුවලදී මම මගේ යාළුවෝ එක්ක 24 වැනිදා රෑ දේව පූජාවට පල්ලියට පවා ගිහින් තියෙනවා. එයාලගේ දේව මෙහෙය වුණත් බලන්න මම හරි ආසයි. නත්තල් කාලවලදී දැනෙන වෙනස වෙන කිසිම කාලයක ලබාගන්න බෑ. කොහොමටත් හැම නත්තල් දවසකම රෑට මගේ යාළුවන් එක්ක නත්තල් පාටියකට යනවා. කොහොමත් නත්තල් දවසට එළිය හරි ලස්සනයි. ඉතින් එදාට ඒ පරිසරය විඳින්න මම හරි ආසයි.

රෑ 12ට අපි පල්ලියේ

මේනකා මධුවන්ති

මම කතෝලික ආගමේ කෙනෙක් නොවුණත් තවත් ආගමික උත්සවයක් වගේම හැම ආගමකටම මම ගරු කරනවා. නත්තල් දවසේම මගේ කතෝලික යාළුවන්ගේ නත්තල් පාටිවලට මම යනවා. ඉතින් ඒ ගියාම හරිම ෂෝක්. මේ පාරනම් මට නත්තල් විශේෂයි. මේ පාර 24 වෙනිදා රෑ දොළහට පල්ලිත් යනවා. කොහොමත් මේ අවුරැද්දේ ඉඳන් මාත් නත්තල සමරනවා. (ඒ සමරන්නට හේතුවුණු මේනකාගේ විශේෂ කෙනා ගැන අපි ලබන අවුරුද්දේ කතා කරමු.) 

 

හවසට යාළුවාේ එක්ක Enjoy කරනවා

ගයාත්‍රි ඩයස්

නත්තල කියන්නේ කතෝලික ආගමික උත්සවයන් වුණත් අපි හැමෝම හැම ආගමකම ප්‍රතිපත්තිවලට ගරු කරන්න ඕනේ. ඇත්තටම මමනම් හැම ආගමකටම ගරු කරනවා, පන්සල් යන්න, පල්ලි යන්න, කෝවිල් යන්න මම මැලිවෙන්නේ නෑ. මම පල්ලිත් යනවා. බැහැයි මම හොඳ බෞද්ධයෙක්. මමනම් නත්තල කියන දේ දකින්නේ ගොඩාක් මිනිස්සු සතුටින් ඉන්න මාසයක් විදිහටයි. මේ සතුටට ආගමක්, ජාතියක් බලපාන්නේ නෑ. ආගම් භේදයකින් තොරව හැම මනුස්සයෙක්ම Free එකේ ඉන්න කාලයක් තමයි මේ. නත්තලත් සමඟ අලුත් අවුරුද්දත් උදාවෙනවනේ. ඉතින් මේ කාලය හරි ලස්සනයි. ගොඩාක් වෙලාවට නත්තල් දවස අපේ උදේ කාලය ගෙවෙන්නේ මාධ්‍ය නාළිකා එක්කයි. සවස කාලය යාළුවන් එක්ක ටිකක් විනෝදවෙලා සතුටු සාමිචියේ යෙදෙනවා.

 

මට නත්තල් දවසෙත් ෂූටිං

මේනකා පීරිස්

ආගම් භේදයක් නැතිව සමරන උත්සවයක් තමයි නත්තල කියන්නේ. පසුගිය අවුරැදුවලදී වගේම මේ අවුරුද්දේත් නත්තල් වෙනුවෙන් විවිධ උත්සව කීපයකටම මට ආරාධනා ලැබුණා. මම ඒවාට සහභාගී වෙනවා. හැබැයි මේ පාර නත්තල් දවසට මට ෂූටිං...

 

► Text - Dishani / Pic- Sumudu & Internet