2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

තරු ජෝඩු - 04

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 461

ලූෂන් බුලත්සිංහල - අනුලා බුලත්සිංහල
රංගන ශිල්පියෙක්, නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්, ගී පද රචකයෙක්, නිවේදකයෙක් හා පිටපත් රචකයෙක් ලෙස දශක ගණනාවක් පුරා කලාව පෝෂණය කළ ලූෂන් බුලත්සිංහල විවිධ සම්මානවලින් ද පිදුම් ලැබූවෙකි.
තාරාවෝ ඉගිලෙති නාට්‍ය නිර්මාණය හරහා අදටත් ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වී සිටින ලූෂන්ගේ ආදරයට පාත්‍ර වූයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ අනුලා මෙන්ඩිස්ය. විවාහයෙන් අනතුරුව අනුලා බුලත්සිංහල වූ ඇය, තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ එන දී කිරි දී කිරි ගීතය හරහා එක රැයකින් ජනප්‍රිය වූ ශිල්පිනියකි. ගුවන් විදුලි ඒ ශ්‍රේණියේ ගායිකාවක වන අනුලාගේ කලා දිවියට මේ වසරේ දී පනස් වැනි වසර පිරේ. 1967 දී ඇය මුලින්ම රංගනයට පිවිසියේ ආර්.ආර්. සමරකෝන්ගේ ලෙඩක් නැති ලෙඩක් වේදිකා නාට්‍ය තුළින්ය. 

වොලී නානායක්කාර - නෙතලි නානායක්කාර
ගුවන් විදුලිය, සිනමාව හා වේදිකා ක්ෂේත්‍රයන්හි කැපීපෙනෙන දක්ෂතා ප්‍රකට කළ ප්‍රතිභාපූර්ණ කලා ශිල්පී වොලී නානායක්කාර කලා ලොවට පිවිසියේ ගුවන් විදුලියේ මුවන් පැලැස්සේ උක්කු බණ්ඩාගේ චරිතය හරහාය.
වොලී විවාහ වූයේ ප්‍රවීණ ගුවන් විදුලි හා රංගන ශිල්පිනී නෙතලි නානායක්කාර සමඟිනි.
නෙතලි නානායක්කාරගේ කලා දිවියට ද පනස් විය සපුරා ඇත.

සොමී රත්නායක - සුසිලා රත්නායක
විශිෂ්ට චරිතාංග නළුවෙකු හා සිනමා අධ්‍යක්ෂකවරයෙකු වූ සොමී රත්නායක, නළුවෙකු ලෙස දොරට වැඩියේ එරබදු මල් නාට්‍ය හරහාය.
විවිධ සම්මානවලින් පිදුම් ලැබූ සොමී, ගාමිණී ෆොන්සේකාගේ උතුමාණෙනි චිත්‍රපටයේ ප්‍රකට කළ රංගනය වගේම සිනමා කෘති රාශියක සිය රංගන ප්‍රතිභාව ප්‍රකට කළේය.
හිතට දුකක් නැති මිනිසා චිත්‍රපටය හරහා රංගනයට පිවිසි සුසිලා රත්නායක, සොමීගේ අතගත් වාසනාවන්තිය වූවාය.

ආනන්ද වික්‍රමගේ - මානෙල් වානගුරු
දශක ගණනාවක් පුරා කලා ක්ෂේත්‍රයට මහඟු දායකත්වයක් ලබාදුන් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පී හා නාට්‍යවේදී ආනන්ද වික්‍රමගේ ටී.බී. ඉලංගරත්නයන්ගේ ශෛලා - සනය වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිසියේය.
වැනීසියේ වෙළෙන්ඳා, නෙයිනගෙ සූදුව, දෙව්ලෝ දෝනි වැනි නාට්‍ය රැසක මෙන්ම චිත්‍රපට රැසක ද කැපීපෙනෙන චරිත නිරූපණය කළේය.
1983 දී සිනමා නිළියක වන මානෙල් වානගුරුගේ අතගත් ආනන්ද ටෙලිනාට්‍ය රාශියක ද රංගනයෙන් දායක විය.
පිය උරුමයෙන් රංගනයට පිවිසි මානෙල් වානගුරු, වනලිය චිත්‍රපටයේ ළමා චරිතයක් රඟපාමින් රංගනයට පිවිසියාය. කස්තුරි සුවඳ, නිල්ල සොයා, රජගෙදර පරෙවියෝ ඇතුළු චිත්‍රපට විශාල සංඛ්‍යාවක රඟපෑ මානෙල්, නාට්‍ය නිෂ්පාදකවරියක් ලෙස ද සුවිශේෂී දායකත්වයක් ලබාදෙන කලා ශිල්පිනියකි.

ශ්‍රියන්ත මෙන්ඩිස් - කුසුම් රේණු
1986 වසරේ ඔක්තෝබර් මස 25 දින මංගල ගමන ආරම්භ කළ දේශීය කලා කෙතේ ප්‍රතිභාපූර්ණ නළු නිළි යුවලක් වන ශ්‍රියන්ත මෙන්ඩිස් හා කුසුම් රේණු, කලා ලොවට අවතීර්ණ වූයේ 70 දශකයේ අග භාගයේදීය.
තම මාමා කෙනෙකු වූ එවකට ජනප්‍රිය සිනමා නළුවෙකු වූ සේනාධීර කුරුප්පුගේ යොමු කිරීමෙන් සිනමා රංගනයට පිවිසි කුසුම්, පසු කලෙක වඩාත් ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූයේ ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක ලෙසය.
කුසලතා පූර්ණ රංගන ශිල්පියකු වූ ශ්‍රියන්ත, විදේශ ගුරුවරුන්ගෙන් රංගනය හදාරා ක්ෂේත්‍රය තුළ නොමැකෙන නාමයක් ගොඩනගාගත් ශිල්පියෙකි.
සම්මාන රැසකට හිමිකම් කී ශ්‍රියන්ත, දශක ගණනාවකට පෙර රඟපෑ පට් පට් චරිතය අදටත් ප්‍රේක්ෂක මනසේ ළෙන්ගතු මතකයන් ඉතිරි කර ඇත.
ශ්‍රියන්ත වේදිකා නාට්‍ය නිෂ්පාදනයට ද යොමුවීම අගය කළ යුතු කාර්යයකි.

එඩ්වඩ් ජයකොඩි - 
චරිතා ප්‍රියදර්ශනී පීරිස්

සංගීත ලොවේ පෙළහර පානා ජනප්‍රිය චරිත දෙකක් වන විශාරද එඩ්වඩ් ජයකොඩි හා විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් මෙරට කලා ලොවට සුවිශාල දායකත්වයක් ලබා දී තිබෙන තවත් තරු යුවලකි.
1991 වසරේ විවාහ දිවියට සම්ප්‍රාප්ත වූ එඩ්වඩ් හා චරිතා සුභාවිත ගීතය පෝෂණය කිරීමෙහිලා විශිෂ්ට සේවාවක් ඉටු කර ඇත.
ගුවන් විදුලියෙන් ආරම්භ කළ එඩ්වඩ්ගේ ගායන දිවිය ඔහුගේ ජීවිතයේ ගීතවත් පරිච්ඡේදයක ආරම්භයක් සටහන් කළේය.
ගායනය හා සංගීතය තුළින් විවිධ පැතිකඩ ස්පර්ශ කළ එඩ්වඩ් හා චරිතා, සමාජ සුභසිද්ධිය සඳහා සත්කාර රැසක් ද ඉටු කර ඇති කලා ලොවේ තරු යුවලකි.
රූපවාහිනී නිවේදිකාවක මෙන්ම ගායිකාවක් ලෙස ද ප්‍රකට චරිතා, එඩ්වඩ් මෙන්ම සම්මාන රැසකට පාත්‍ර වී තිබේ.
මාරම්බරී ඒකපුද්ගල සංගීත ප්‍රසංගය හරහා වෙනස්ම ආකෘතියක් සටහන් කළ එඩ්වඩ් හා චරිතා, ලෝකයේ විවිධ රටවල්වල වෙසෙන ශ්‍රී ලාංකික දූ දරුවන් වෙනුවෙන් ද සුවිශේෂී මෙහෙවරක් ඉටු කර ඇත.

( තවත් කොටසක් ලබන සතියේ )

► Text – Ramesh Uvais  / Pic - Internet