2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

කලා ලොවේ තරු ජෝඩු - 3

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 316

දේශීය කලා කෙත පෝෂණය කිරීමෙහිලා මහඟු දායකත්වයක් ලබාදුන් තවත් තරු ජෝඩු 7ක් කෙරෙහි අදත් අපේ අවධානය යොමු කරන්නෙමු.

ස්ටැන්ලි පෙරේරා - 
ගර්ලි ගුණවර්ධන

ප්‍රවීණ රංගන ශිල්පීන් ස්ටැන්ලි පෙරේරා හා ගර්ලි ගුණවර්ධනගේ කලා ලොවේ දායකත්වය ගැන මෙනෙහි කළවිට අපේ මතකයට නැඟෙන්නේ ජනප්‍රිය චිත්‍රපට නිළි සබීතා පෙරේරාය.
ස්ටැන්ලි හා ගර්ලි විසින් සිංහල සිනමාවට දායද කළ වටිනාම වස්තුව සබීතා යැයි කීම සාධාරණය.

ස්ටැන්ලි පෙරේරාගේ හා ගර්ලි ගුණවර්ධනගේ සිනමා ගමන ඇරඹෙන්නේ 1953 දීය. කැලෑ හඳ චිත්‍රපටයේ ජෝන් ජයපාලගේ ප්‍රධාන භූමිකාවට පණ පොවමින් ස්ටැන්ලි පෙරේරා රංගන දිවියට ඇතුළත් වූ අතර ගර්ලි එම වසරේ “ප්‍රේම තරගය චිත්‍රපටයේ නැටුම් දර්ශනයක් හරහා සිනමා ලොවට අවතීර්ණ වූවාය.
ගල්කිස්සේ උපන් ගර්ලින්, වෙන්නප්පුවේ උපන් ස්ටැන්ලිත් සිනමා ලොවේදී මුණගැසී ප්‍රේමයෙන් වෙලී විවාහ වූහ.
දුප්පතාගේ දුක, චණ්ඩාලි, ලාදලු, ගංතෙර ඇතුළු චිත්‍රපට ගණනාවක රංගනයෙන් දායකවූ ස්ටැන්ලි හා ගර්ලි ගේ දායකත්වය සුවිශේෂීය. 

 

රාජා සුමනපාල - 
රත්නා සුමනපාල 

රාජා සුමනපාල හා රත්නා සුමනපාල ප්‍රවීණ රංගන ශිල්පින්ගේ නම් සිහියට නැගෙත්ම අපේ මතකයට නැගෙන්නේ කෝපි කඩේ අලි ජේම්ස් හා කෝපි කඩේ හාමිනේය.
දශක ගණනාවක් පුරා කලා ලොව පෝෂණය කළ රාජා හා රත්නා කලා ලෝකයට පා තබන්නේ ඔවුන්ගේ ගම වන රත්නපුර ලෙල්ලොපිටිය හා ගන්කන්ද මධ්‍ය විදුහල් පාසලේ පසුබිම ආශ්‍රයෙන්ය. 
රත්නා සුමනපාලට මුලින්ම රාජා සුමනපාල මුණගැසෙන්නේ ඇය මුල්වරට රංගනයෙන් දායක වූ සුගතපාල සෙනරත් යාපාගේ පින් බත් නාට්‍යයේදීය.

එම හමුවීමෙන් ඇතිවූ දැන හැඳුනුම්කම පසු කලෙක ප්‍රේමයකට පෙරළී විවාහයෙන් අවසන් විය.
කෝපි කඩේ ටෙලි නාට්‍යයට අමතරව රාජා හා රත්නා වේදිකා නාට්‍ය, චිත්‍රපට හා ටෙලි නාට්‍ය රැසක් ද රංගනයෙන් දායක වූහ. 

 

විජේරත්න වරකාගොඩ - 
චිත්‍රා වරකාකොඩ

ප්‍රතිභාපූර්ණ නළු නිළි යුවලක්වන විජේරත්න වරකාගොඩ හා චිත්‍රා වරකාගොඩ රංගන දිවියට අවතීර්ණ වන්නේ වේදිකාව හරහාය.
උපාධිධාරිනියක වූ චිත්‍රා වරකාගොඩ මුලින්ම රංගනයට එකතු වූයේ හෙන්රි ජයසේනයන්ගේ, කුවේණි වේදිකා නාට්‍යය හරහාය. ඉන් අනතුරුව වේදිකා නාට්‍ය මෙන්ම චිත්‍රපට හා ටෙලි නාට්‍ය ගණනාවක ඇය ඇගේ රංග ප්‍රතිභාවන් ප්‍රකට කළාය.
අතිදක්ෂ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ සමඟ 1970 ජනවාරි මස 28 දින අතගත් චිත්‍රා හා වරකාගොඩ යුවළ වින්ධ්‍යා හා ජනනාත් කලා ලොවට දායාද කළහ.

පාසැල් අධ්‍යාපනයෙන් අනතුරුව පොලිස් සේවයට බැඳුණු වරකාගොඩ 1960 දී ගුවන් විදුලියේ “ඒ ශ්‍රේණියේ ගායකයෙක් ලෙස දොරට වැඩියේ “මැණිකේ හිනැහෙනවා ගීතය තුළින්ය.
“රඟහල දැන් ඇත අඬඅඳුරේ වරකාගොඩගේ අතිශයින්ම ජනප්‍රිය වූ ගීතයකි.
මුවන් පැලැස්සේ ආරච්චි ලෙස දශක ගණනාවක් පුරා ශ්‍රාවකයින් පිනවූ වරකාගොඩ වේදිකා නාට්‍ය මෙන්ම චිත්‍රපට හා ටෙලි නාට්‍ය නළුවෙකු ලෙසද කැපී පෙනුණි.

 

සම්පත් තෙන්නකෝන්
- රත්නා ලාලනී

ලාංකික වේදිකා කේෂත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් වන සම්පත් තෙන්නකෝන් හා රත්නා ලාලනී ජයකොඩි මුල්වරට හමුවුයේ 1981 දීය. ඒ සෝමපාල පතිරගේ නිර්මාණය කළ “තුංමංසල වේදිකා නාට්‍යයේය. 
ඒ මුණගැසීමේ ප්‍රතිඵලයක් ලෙස සම්පත් හා රත්නා වේදිකාවේ පෙම්වතුන් ලෙස “පුත්‍ර සමාගම, “සුභ සැන්දෑවක් වැනි නිර්මාණවල රංගනයෙන් දායක වූහ.
සැබෑ ලොවේ පෙම්වතුන් වූ සම්පත් හා රත්නා 1990 ජූලි 23 වැනි දින විවාහ දිවියට ඇතුළත් වූහ.

 

රවීන්ද්‍ර රන්දෙනිය - 
ප්‍රීති සෙනෙවිරත්න

ශ්‍රී ලාංකික සිනමාවේ ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙනිය රංගන දිවිය ආරම්භ කරන්නේ වේදිකාව හරහාය. ඒ “මූදු පුත්තු නිර්මාණය තුළින්ය.
ප්‍රීති සෙනෙවිරත්න (රන්දෙනිය) රංගනයට එක්වන්නේද දයනාන්ද ගුණවර්ධනයන්ගේ “නරි බෑණා වේදිකා නාට්‍ය හරහාය. 70 දශකයේ මුල් භාගයේදී රවීන්ද්‍ර වගේම ප්‍රීති ද සිනමා රංගනයට පිවිසි අතර රවී හා ප්‍රීති මුල්වරට මුණගැසෙන්නේ “තරංගා චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරය. ඉන් අනතුරුව රවීන්ද්‍ර හා ප්‍රීති “දෑස නිසා, “දුහුළු මලක් වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වූ අතර එම දැනහැඳුනුම්කම ප්‍රේම සම්බන්ධතාවයක් බවට පරිවර්තනය විය.

රවීන්ද්‍ර හා ප්‍රීතිට මංගල සීනු හැඬවූයේ 1974 ඔක්තෝබර් 31 දිනය. රවීන්ද්‍ර රන්දෙනිය සම්මානනීය රංගධරයෙක් ලෙස තම ස්ථාවරය පිළිබිඹු කොට තිබෙන අතර ප්‍රීති රංගනයෙන් ඈත්වී ලේඛන කලාවට යොමුවී කටයුතු කරන්නීය.

 

විජය නන්දසිරි - 
දේවිකා මිහිරානි

විජය නන්දසිරි නම් වූ අති දක්ෂ රංගන ශිල්පියා දශක ගණනාවක් පුරා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ වේදිකා නාට්‍යයේ මනමේ කුමරු විය.
1987 දී ඔහුගේ අතගත් ප්‍රවීණ රංගන ශිල්පිනී දේවිකා මිහිරානී ශ්‍රී ලාංකික ටෙලි නාට්‍ය කලාවේ පුරෝගාමී නිළිය වීමේ භාග්‍ය ලැබුවාය. කලාව විසින් කලා ලෝකය තුළම ඒ දෙදෙනාගේ හමුවීම සිදුවිය. පෙම්වතුන් වූ විජය හා දේවිකාගේ විවාහයෙන් පසුවත් දෙදෙනාම කලාව වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළහ.‍

රංගනයට මෙන්ම නාට්‍ය නිෂ්පාදනයට ද විජය හා දේවිකාගේ යොමුවීම අගේ කළ යුත්තකි.
 

► Text – Ramesh Uvais