2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

මගේ හීන දෙකෙන් එකක් හරි ගියා...

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 106

උමයංගනා... මේ දවස්වල වැඩිපුර කාලයක් දීලා තියෙන්නේ වේදිකාවට කියලයි අපිට නම් හිතෙන්නේ...?
ම්... මෙහෙමයි... ටෙලිනාට්‍යවල වැඩකරන්නේ නැතිවාම නෙමේ. ටෙලි නාට්‍යවලටත් මම මේ දවස්වල සම්බන්ධ වෙනවා. චිත්‍රපටයකටත් සම්බන්ධ වෙලා තියෙනවා. තාමත් මම හරි කැමති ක්ෂේත්‍රය තමයි ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය. ඉතින්... සුපුරුදු පරිදි ඒ දේවල්වලටත් මගේ දායකත්වය ලැබෙනවා.

මොනවද ඒ...?
මේ දවල්වල ජාතික රූපවාහිනියේ ඉරිදා රාත්‍රී අටහමාරට විකාශනය වන ටෙලිනාට්‍යයකට මම සම්බන්ධ වෙනවා. ඊට අමතරව චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ දඬුකඳයි රන් කඳයි කියන අලුත්ම නාට්‍යයෙත් මම රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. තවත් ටෙලිනාට්‍ය කීපයකට ආරාධනා ලැබුණා. ඒ අතර දමයන්ති ෆොන්සේකා මහත්මියගේ ඉතාම ලස්සන පිටපතකට දායක වෙන්න මම ආසාවෙන් ඉන්නවා. ඊට අමතරව විශ්ව කියලා අලුත් චිත්‍රපටයකටත් දායක වෙනවා.

වේදිකාවත් දැන් උමයංගනාට හුරුපුරුදු තැනක්...?
ඔව්... දැන් වේදිකාවටත් මම සම්බන්ධ වුණා. ඒක මට අත්‍යවශ්‍යයි කියලා දැන් මම දන්නවා රංගන ශිල්පිනියක් විදිහට මගේ වෘත්තිය නඟා සිටුවන්නට. දැන් මම වේදිකාවට ගොඩාක් කැමතියි. යම්කිසි හැදෑරීමක් එක්ක බොහෝ දේවල් ඉගෙනගන්න පුළුවන් තැනක් තමයි වේදිකාව කියන්නේ. මම වෘත්තියෙන් රංගන ශිල්පිනියක්. ඉතින් මම වේදිකාවෙත් නිරත වෙනවා. ඒ අතරේ මේ දවස්වල “පුද්ගලිකයි රහසිගතයි* වේදිකා නාට්‍යයේ රඟපානවා. බාල ඝනයේ හරසුන් නාට්‍ය බිහිවන කාලවකවානුවක හොඳ හරයක් තියෙන ඉතාම හොඳ පිටපතක් තමයි මේක. නමුත් හාස්‍ය කියන දේත් මේකෙ මිශ්‍රවෙලා තියෙනවා. ඒක මම හිතන්නේ මේක ඕනෑම ප්‍රේක්ෂකාගාරයකට සුදුසුවෙන ගැලපෙන නාට්‍යයක් කියලයි.

මම දැන් වැඩියෙන්ම කියවන්නෙ  බෟෙද්ධ පාෙත්  

ඔය කාර්යබහුල ජීවිතයත් එක්ක සාමාන්‍ය ජීවිතයකට කාලය තියෙනවද...?
අපිට බත් කන්න වෙලාවක් තියෙනවා නම් නාන්න වෙලාවක් තියෙනවා නම් මම හිතන්නේ අනික් දේවල්වලටත් වෙලාවක් තියෙනවා. අපිට ඒ වෙනුවෙන් වෙලාවක් හදාගන්න පුළුවන්.

එතකොට ඒ ඉඩ ලැබෙන වෙලාවලදී මොනවද උමයංගනා කරන්නේ...?
මම පොත් කියවන්න හරි කැමතියි. ඒකට මට වෙනමම විෂයක් තියෙනවා. නාට්‍ය ක්ෂේත්‍රයට අදාළ දේවල් කියවන්නේ නැතුවාම නොවේ. ඒ දේවලුත් මම කියවනවා. ඊට අමතරව මම වැඩිපුරම බෞද්ධ දර්ශනයට අදාළ පොත්පත් කියවනවා. ආගමක් විදිහටත් වඩා මම දර්ශනයක් විදිහට ඒකට ගොඩාක් සමීපයි. ඒ බෞද්ධ දර්ශනයම තමයි ගොඩාක් දුරට රඟපෑම තුළත් සිද්ධ වෙන්නේ. රඟපෑමක් සිහියෙන් කළේ නැත්නම් ඒ රංගනය හරියට කරන්න බෑ. සිහිය කියන දේ ඉතා වැදගත් වෙනවා. විවේක තියෙන වෙලාවට මම කැලණි පන්සල් එහෙම යන්න හරි කැමතියි. එක දිගට මහන්සි වෙච්චි දවස්වලට මම විවේකයක් තියෙනවා නම් චුට්ටක් වැඩිපුර නිදාගන්නත් බලනවා.

අම්මා මට දීපු දේවල් පස් යට වැළලුනේ නෑ 

ජීවිතේ ලැබිච්ච වටිනාම දේ මොකක්ද...?
මගේ ජීවිතේ මට ලැබිච්ච වටිනාම දේ මගේ අම්මා. අද මගේ අම්මා ජීවතුන් අතර නෑ. මගේ අම්මට මම කොච්චර ආදරෙන් හිටියද කියලා මම දැනගත්තේ මගේ අම්මා මාව දාලා ගියපු දවසෙයි. එදා මට හිතුණා මගේ මුළු ලෝකයම කඩා වැටුණා කියලා. අම්මා මට දීපු දේවල් මගේ ජීවිතේ තාම තියෙනවා. ඒ දේවල් පස් යට වැළලුනේ නෑ. මම පස් යට වැළලෙනකන් අම්මා මට දුන්නු, අම්මා මට කියලා දීපු දේවල් මාත් එක්ක තියේවී. අම්මාගේ අඩුව අම්මා නැතිවුණාට පස්සේ අදටත් මට දැනෙනවා. අම්මා ඉදිද්දීත් “අම්මා නැතිවෙයි... අම්මා නැතිවෙයි කියන බයකින් මම හිටියා. අම්මා නැති වුණු දුක මට අදටත් දරාගන්න බෑ.

උමයංගනාගේ පෙනුමත් එක්ක... රඟපාන වරිතත් එක්ක දකින අහිංසකකම සෑබෑ ජීවිතේදීත් තියෙනවාද...? ඇත්තටම උමයංගනා අහිංසකද...?
ඒක ඇත්තටම දන්නේ මාව ඇසුරු කරන අය තමයි. හැම වෙලාවෙම අහිංසකව ඉන්න බැරි අවස්ථා තියෙන්න පුළුවන්නේ. හැබැයි සාමාන්‍ය විදිහට ගත්තොත් මම බොහෝම කැමතියි සාමාන්‍ය සරල ජීවිතයක් ගත කරන්නයි. මම ගොඩාක් වෙලාවට ඉක්මනට කේන්ති යන චරිතයක්නම් නෙමේ.

විවේකයක් ලැබුණ ගමන් මම කැලණි පන්සල් යනවා නැත්තම් නිදියනවා  

පුංචි කාලේ ඉඳන් ආසාවෙන් හිටියේ නිළියක් වෙන්නද...? මොකක්ද තිබුණු හීනය...?
නෑ... රඟපාන්නනම් මගේ ඒ පුංචි ජීවිතේ කොහොමත් හීනයක් තිබුණේ නෑ. පුංචි කාලේ ඉඳන් මගේ හීන දෙකක් තිබුණා. ඒ තමයි වෛද්‍යවරියක් වීමයි. ප්‍රවෘත්ති නිවේදිකාවක් වීමයි. ඔය හීන දෙකට මම මාර විදිහට ආස කළා. මගේ අම්මා උඩරට පහතරට නර්තනය හදාරලා තිබුණා. අම්මා ගුවන්විදුලි සංස්ථාවේ නිවේදිකාවක් විදිහට වැඩකරලා තිබුණා. අම්මා ටවර්හෝල් රංගන ශිල්පිනියක්. මගේ අම්මා අනුලා කාන්ති කුමාරි. ඉතින් අම්මා වගේම තාත්තත් කලාවට හරි කැමතියි. ගෙදරදී ඉස්සර අපි සින්දු කියනවා. ඉතින්... පුංචි කාලේ තිබිච්චි එක හීනයක් මම කොහොමහරි හැබෑ කරගත්තා. ඒ ප්‍රවෘත්ති නිවේදිකාවක් වීමෙන්. දෙරණ නාලිකාවේ මම ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට අවුරුද්දක් වැඩ කළා. මාධ්‍යවේදිනියක් වෙන්නත් සුදුසුකම් ලැබුණා... ඒ වෙද්දිත් මම කලා ක්ෂේත්‍රයට ගිහින් ඉවර නිසා මම දිගටම කලාවේ රැඳිලා හිටියා.

 

► Text – jayamali  /  Pic - Sumudu