2017 ජුනි 24 වන සෙනසුරාදා

කැමරාව හැර දමා සිනමාව හැඩ කළා

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 809

ඕනෑම සිනමා නිර්මාණයකදී, කැමරා ශිල්පියා විසින් ලබාදෙන දායකත්වය තීරණාත්මක එකක්. සිංහල සිනමාවේ අතිදක්ෂ කැමරා ශිල්පීන් පසුකලෙක අතිදක්ෂ අධ්‍යක්ෂවරු බවට පත්වූයේ එහෙයිනි. අපේ සිනමා ඉතිහාසය දෙස විමසීමේදී අපට එවන් චරිත රැසක් හමුවන අතර මේ ලිපියෙන් අප කියන්නේ සිනමා අධ්‍යක්ෂණයට පිවිසි එවන් කැමරා ශිල්පීන් පිළිබඳවයි.

එම්. මස්තාන්
සිංහල සිනමා වංශකතාවේ දෙවන කතානාද චිත්‍රපටය වූ අශෝකමාලා (1947) හි ප්‍රධාන කැමරා ශිල්පියා ලෙස කටයුතු කළ එම්. මස්තාන් පසුව සුජාතා චිත්‍රපටයේද කැමරා ශිල්පියා ලෙස කටයුතු කළේය. ඉන්දියාවේ ඉපදුණද, ලංකාවේ හැදී වැඩුණ මස්තාන් අධ්‍යාපනය ලැබුවේද අප රටේය.

මස්තාන් අධ්‍යක්ෂකවරයකු ලෙස දොරට වැඩියේ 1957 දී සුකුමලී චිත්‍රපටය හරහාය. එතැනින් ඇරුඹි ඔහුගේ ගමන් මඟේ අධ්‍යක්ෂණය කළ සුවිශේෂී චිත්‍රපට අතර අදට වැඩිය හෙට හොඳයි (1963), උඩරට මැණිකේ (1963), ධීවරයෝ (1964), සූර චෞරයා (1967), අල්ලපු ගෙදර (1969), අටවෙනි පුදුමය (1969) සහ ආත්ම පූජා (1970) සුවිශේෂී මං සලකුණු ලෙස හැඳින්විය හැක.

ලෙනින් මොරායස්
මුල් කාලයේ සිනමා නිර්මාණ රැසක සහාය කැමරා ශිල්පියකු ලෙස කටයුතු කළ ලෙනින් මොරායස් ප්‍රධාන කැමරා ශිල්පියෙකු ලෙස ස්වීජ ටිකට්, කපටිකම, බයිසිකල් හොරා, දැන් මතකද, හතර දෙනාම සූරයෝ වැනි චිත්‍රපටවල සිය දායකත්වය ලබාදුන්නේය. 1966 දී ඔහු චිත්‍රපට අධ්‍යක්ෂණයට අවතීර්ණ වූයේ සුදු දුව හරහාය. ඉන් අනතුරැව ලෙනින් අධ්‍යක්ෂණය කළ සූරයන්ගෙත් සූරයා (1969), අභිරහස (1971), එදත් සූරයා අදත් සූරයා (1972), හොඳම වෙලාව (1973), හොඳයි නරකයි (1973), ඔන්න බබෝ බිල්ලෝ එනවා (1974), ආවා සොයා ආදරේ (1975), සූරයා සූරයාමයි (1975), උන්නත් දාහයි මලත් දාහයි (1976), ඔන්න මාමෙ කෙල්ල පැනපි (1976), ආදරෙයි මං ආදරෙයි (1976), හිතුවොත් හිතුවාමයි (1977), හිතමිතුරා (1978) හා යුගයෙන් යුගයට (1987) ඉමහත් ජනප්‍රියත්වයට පත් නිර්මාණයන්ය.

ඩී.බී. නිහාල්සිංහ
1967 දී මහාචාර්ය සිරි ගුනසිංහ අධ්‍යක්ෂණය කළ සත් සමුදුර චිත්‍රපටයේ ප්‍රධාන කැමරා ශිල්පියා ලෙස කටයුතු කළ ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන් පසු කලෙක සම්මානනීය සිනමා අධ්‍යක්ෂකවරයකු බවට පත්වූයේය. දහසක් සිතුවිලි, පාරා වළලු, බිනරමලී හා කැලෑමල් චිත්‍රපටවලද කැමරා අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ඩී.බී. නිහාල්සිංහයන් 1971 දී වැලිකතර අධ්‍යක්ෂණය කරමින් ඔහුගේ සුවිශේෂී නිර්මාණාත්මක ප්‍රතිභාවන් ප්‍රකට කළේය. ඉන් අනතුරුව නිහාල්සිංහයන් රිදී නිම්නය (1982), මල්දෙණියේ සිමියොන් (1986) හා කෙළිමඬල (1991) අධ්‍යක්ෂණය කළේය.

දයා විමලවීර
තම පියා සිරිසේන විමලවීරයන්ගේ එකමත් එක රටක^ චිත්‍රපටයේ සහාය කැමරා ශිල්පියා ලෙස සිනමා ගමන ආරම්භ කළ දයා විමලවීර, ප්‍රධාන කැමරා ශිල්පියා ලෙස රොඩී කෙල්ල, පටාචාරා, ආදරයයි කරුණාවයි, කළණ මිතුරෝ, සිකුරුලියා වැනි චිත්‍රපටවලට දායක විය. 1972 වීදුරු ගෙවල් තුළින් දයා අධ්‍යක්ෂණයට පිවිසි අතර ඉන් අනතුරුව චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළේය. ඔහු අධ්‍යක්ෂණය කළ ජනප්‍රිය චිත්‍රපට අතර ජීවන කඳුළු (1979), මිහිදුම් සිහින (1982), මේ ජර් සර් (1982), දෙව්දුව (1986), මධු සිහින (1990), රජ දරුවෝ (1992), චායා (1993) සහ සුජාතා (1994) ජනප්‍රිය විය.

තිමති වීරරත්න
1965 දී හතර මහ නිධානය චිත්‍රපටයේ ප්‍රධාන කැමරා ශිල්පියා ලෙස ගමන් ආරම්භ කළ බදුල්ලේ උපන් තිමති වීරරත්න, පසුකලෙක පිපෙන කුමදු, හතර කේන්දරේ, හතර පෙරළිය, හතර වටේ, සුසී, කුණ්ඩල කේෂී, සැලී වැනි චිත්‍රපටවලද කැමරා ශිල්පියා විය. 1971 දී තිමති මුල්වරට අධ්‍යක්ෂකවරයකු ලෙස දොරට වැඩියේ දැවෙන පිපාසය චිත්‍රපටය තුළින්ය.
1972 දී මේ දෑස් කුමටද, සංගීතා (1975), රජ දවසක් (1980) හා වන බඹරා (1990) අධ්‍යක්ෂණය කරමින් තිමති තවත් පියවර කිහිපයක් ඉදිරියට තැබුවේය.

එම්.එස්. ආනන්ද
නිධානය, ගොළු හදවත, ගැහුනු ළමයි, මඩොල් දූව, අක්කර පහ, ගැහැනු ගැට, සැඬොල් කඳුළු වැනි චිත්‍රපටවල ප්‍රධාන කැමරා ශිල්පියා ලෙස කටයුතු කළ එම්.එස්. ආනන්ද (එකල එම්.එස්. ආනන්දන්) අධ්‍යක්ෂකවරයෙකු ලෙස දොරට වැඩියේ 1964දී &සිතක මහිම චිත්‍රපටය හරහාය. ඉන් අනතුරැව ඔහු සත පනහ (1965),  ඇතුළුවීම තහනම් (1966), ප්‍රවේශම් වෙන්න (1969) ඇතුළු ජනප්‍රිය චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළේය.

ඩැනී ඩබ්. පතිරණ
කස්තුරි සුවඳ, නිල්ල සොයා, ආශා දෑසින්, අජාසත්ත, චංචල රේඛා, යළි හමුවෙන්නයි වැනි ජනප්‍රිය චිත්‍රපට සඳහා කැමරාකරණයෙන් දායක වූ ඩැනී ඩබ්. පතිරණ, පසුකලෙක චිත්‍රපට කීපයක් අධ්‍යක්ෂණය කළේය.
ඒ අතරින් බයිසිකලේ (1982), චන්දිරා (1983), කවුලුව (1987), අහිමි දඩමං (1992), ඉන්ස්පෙක්ටර් ගීතා (1995) හා සීත සමීරේ (1999) ප්‍රධාන වේ.

එම්.ඒ. ගෆූර්
සත්වෙනි දවස, දිනුම, බංගලි වළලු, සිංහයන්ගෙන් සිංහයා, චණ්ඩිත්ගෙන් චණ්ඩියා, ගිනිගත් මධුසමය, ලෙෆ්ට් රයිට් සර් ඇතුළු සිංහල චිත්‍රපට වැඩිම ගණනාවක කැමරා ශිල්පියා ලෙස කටයුතු කළ එම්.ඒ. ගෆූර් 1984 දී ශිරානි චිත්‍රපටයද 1993 දී සාගර තිළිණ චිත්‍රපටයද අධ්‍යක්ෂණය කළේය.

ජේ. සෙල්වරත්නම්
ඔහොම හොඳද, සහනය, හොඳට හොඳයි, අප්සරා, කවුද රජා, චිංචිං නෝනා, සබීතා වැනි ජනප්‍රිය වාණිජ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ජේ. සෙල්වරත්නම් සිනමා ලොවට පිවිසියේ කැමරා ශිල්පියෙකු ලෙසය.
1964 දී සසරක හැටි චිත්‍රපටයේ කැමරා ශිල්පියා වූ ජේ. සෙල්වරත්නම් අමතක වුණාද (1967) හා ගොපලු හඬ (1973) චිත්‍රපට සඳහාද කැමරාකරණයෙන් දායක විය.

විලියම් ඔලම්ස්
තුෂාරා, අලි බබා සහ හොරු හතළිහ, මනමාලයෝ, අක්ක නගෝ, සීගිරි කාශ්‍යප වැනි චිත්‍රපටවල ප්‍රධාන කැමරා ශිල්පියා වූ විලියම් ඔලම්ස්, 1976 දී අධ්‍යක්ෂණයට පිවිසියේ හරියට හරි චිත්‍රපටය හරහාය. ඔහු 1977 දී සකුන්තලා අධ්‍යක්ෂණය කළ අතර 1984 දී කෝකිලා සහ 2006 දී සමුනොගන්න සුගන්ධිකා චිත්‍රපටද නිර්මාණය කළේය.

කේ.ඩී. දයානන්ද
දිය යට ගින්දර, රන් දිය දහර, සුමේධා, ප්‍රේමවන්තයෝ, පූජා, හිමගිර, ගුරු ගෙදර, යස ඉසුරු වැනි චිත්‍රපටවල කැමරා අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ කේ.ඩී. දයානන්ද 1983 දී ලොකු තාත්තා සිනමා පටයද 1984 දී මල් වරුසා චිත්‍රපටයද අධ්‍යක්ෂණය කළේය.

ජයනාත් ගුණවර්ධන
අංජලිකා, ආසයි මං පියාඹන්න, දොරකඩ මාරාව, හිරිපොද වැස්ස, සොල්දාදු උන්නැහෙ වැනි වාණිජ මෙන්ම කලාත්මක චිත්‍රපට රැසක කැමරා ශිල්පියා වූ ජයනාත් ගුණවර්ධන පරාවර්තන චිත්‍රපටය තුළින් සිනමා අධ්‍යක්ෂණයට අවතීර්ණ විය.

විලී බ්ලේක්
රේඛාව, ගම්පෙරළිය, බැද්දේගම, සංදේශය, දෙලොවක් අතර, ලොකු දුව වැනි සම්මානනීය චිත්‍රපට රැසක කැමරා ශිල්පියා ලෙස කටයුතු කළ විලී බ්ලේක් 1972 දී වනරාජා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය.

මර්සලින් එස්. පෙරේරා
සදහටම ඔබ මගේ, දිනුම් කණුව, නුවන් රේණු, මධුවන්ති, අහිංසා, නැවත අපි එක්වෙමු ඇතුළු චිත්‍රපට රැසකට කැමරාකරණයෙන් දායක වූ මර්සලින් එස්. පෙරේරා 1985 දී චලිත රංගාලි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය.

Text – Ramesh Uvais / Pic - Internet