2017 ජුනි 17 වන සෙනසුරාදා

මුහුද දිගේ ලෝකේ වටේ රජ ගමනකට Majestic Princess

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 185

අහස් යාත්‍රාවට පෙර ලොව රටකින් තවත් රටකට යාමට තිබූ එකම ක්‍රමය වූයේ මුහුදු මාර්ගය හෙවත් නැව් ගමනාගමනයයි. ජෙට් ගුවන් යානා ජනප්‍රිය අද කාලයේ වුවද නාවික ගමනාගමනයේ ඇති වැදගත්කම අඩු වී නැත. නමුත් අද නාවික ගමනාගමනය සංචාරක ව්‍යාපාරය හා තදින් බද්ධ වී තිබේ. මේ නිසාම අති සුඛෝපභෝගි නැව් සංචාරක ක්ෂේත්‍රය තුළට පිවිස තිබේ. එවැනි සුන්දර නෞකා රාජිනියකගේ සම්ප්‍රාප්තියක් පසුගියදා කොළඹ වරායේදී දැකගැනීමට ලැබුණි. රාජිනියක් ලෙස හැඳින්වුවද ඇගේ නම Majestic Princess ය. 

මහල් 19කින් යුත් මෙම දැවැන්ත නෞකාව කොළඹට සේන්දු වූයේ, ඉතාලියේ සිට චීනය බලා යන දින 49ක  සංචාරය අතරවාරයේ දීය. 
ඇයව දැකගැනීමට අප වරාය කරා යන විට උදෑසන 11 පමණ වී තිබුණි. කන්ටේනර් බහාලුම් පුරවාගත් සහ තැනින් තැන මල කෑ නෞකා කිහිපයක් ඇගේ සුන්දරත්වයට හානි ගෙනදෙමින් තිබුණ ද මුළු වරාය පර්යන්තයේම ඇස් යොමුව තිබුණේ Majestic Princess වෙත ය. හෝරා කිහිපයකට පමණක් නෞකාව කොළඹ නැංගුරම් ලා තිබූ බැවින් එහි සිට පැමිණි සංචාරකයෝ ඒ අසලම පිහිටුවා තිබුණු ඇඳුම්, විසිතුරු හා සමරු භාණ්ඩ කඩ අතර ලහි ලහියේ එහා මෙහා දුවමින් සිටියහ. 
මිනිත්තු කිහිපයකට පසු අප සිටියේ නෞකාව තුළය. අතිශය මිත්‍රශීලි මෙන්ම විවිධ ජාතීන්ට අයත් කාර්ය මණ්ඩලයක් දැකගැනීමට හමුවිය. නෞකාවට ඇතුළුවන තැනම හුන්නේ පිලිපීන ජාතික නිලධාරියෙකි. “මම ලංකාවෙ ටිකක් ඇවිදින්න ආසාවෙන් හිටියෙ. නමුත් අපිට අදම නැවත පිටත් වෙන්න වෙලා තියෙනවා. ආපහු පැමිණි වෙලාවකදිවත් ලංකාවෙ ඇවිදින්න ඕනෙ”. ඔහු කීය. 

නැවට ඇතුළු වූ පසු එය නැවක් බව දැනුණේ විටින් විට ඔබ මොබ ගමන් කරන නාවික ඇඳුමින් සැරසුණු නිලධාරීන් කිහිපදෙනා නිසා ය. එයද නොවූයේ නම් සැබවින්ම තරු පහේ හෝටලයකට ඇතුළු වූවාක් බඳුය. 
ඇතුළු වූ තැනම තිබුණේ විශාල ආලින්දයකි. එහි මේස පුටු තබා තිබුණු අතර ජීවිතයේ සැඳෑ සමය ගතකරමින් සිටි යුරෝපීය ජාතිකයන් රැසක් එහි උන්හ. අයෙකු කෝපි කෝප්පයක් තොල ගාද්දි තවකෙකු බීර වීදුරුවක රස බලයි. තවත් යුවලක් එකම ආසනයකට වී පොත් කියවති. 

නැවේ ගමන් කළ හැකි සංචාරකයින් ප්‍රමාණය 3560කි. ඒ මොහොතේදීත් 3000ක පමණ සංචාරකයින් පිරිසක් එහි ගමන් කරමින් සිටින බව කාර්ය මණ්ඩල සාමාජිකයෝ අප හා පැවසූහ. සංචාරකයින්ට අමතරව ඔවුන්ට සේවා සැලසීමටත් නෞකාව මෙහෙයවීමටත් තවත් 1500ක කාර්ය මණ්ඩලයක් එහි සිටී. 

නෞකාව එකිනෙකට වෙනස් අවන්හල් 20කින් සමන්විතය. ඊට අමතරව The Seawalk, Movies Under the stars, Water color Fantasy, Youth and Teen centers, Vista gaming lounge වැනි විශේෂ ස්ථාන රැසක් එහි විය. නෞකාව තුළ වර්ග අඩි 1100කට වැඩි ප්‍රමාණයක් වෙන්වී තිබුණේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක් වෙනුවෙනි. ලොව උසස්ම තත්ත්වයේ සන්නාම රැසක, ආභරණ, අත් ඔරලෝසු, ඇඳුම් පැළඳුම් රුසක් ඒ අතර දක්නට ලැබුණි.
Majestic Princess නෞකාව අයත් වන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ පිහිටි Princess Cruises නම් සමාගමට ය. 1965 වසරේදී සංචාරක නෞකා ප්‍රවාහන කටයුතු ආරම්භ කළ මෙම සමාගම සතුව දැනට මෙවැනි නෞකා 18ක් පවතී. 

එම සමාගමේ නෞකා ගමන් පහසුකම් සම්බන්ධීකරණය සඳහා මෙරට තුළ මෙහෙයුම් කටයුතු සිදුකරන්නේ Worldlink Air Serices සමාගම විසිනි. Majestic Princess හි සුන්දරත්වයත් විවිධ ආහාර රැසක රසත් භුක්ති විඳි අප ඇගෙන් සමුගත්තේ පැය ගණනක් ඇඟේ රුවත් - සුවයත් විඳගැනීමෙන් ඉනික්බිතිවය.

► Text  - Rajitha / Pic - Sumudu