2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා

දර කෑල්ල මතක් කරද්දී ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ...

 2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා, පෙ.ව. 12:01 797

ඔන්න මෙවර අපි ඔබයි මමයි තුළින් එකතු කරගත්තේ දෙන්නෙක් අතර කතාබහකට නෙමෙයි. මේ කතාබහට හතර දෙනෙක්ම එකතු වෙනවා. මුලින්ම මේ හතරදෙනාව ඔයාලට දැකබලාගන්නට පුළුවන් වෙන්නේ අරුණ ජයවර්ධනගේ සල්මල් ආරාමය ටෙලිනාට්‍යය තුළිනුයි.

දිවුලපිටිය ප්‍රදේශයේ පිහිටා තිබුණු කුඹුරු යායකින් වටවුණු හරි අපූරු විහාරස්ථානයකට ගොඩවැදෙද්දීත් අරුණ ඇතුළු පිරිස හරි හරියට වැඩ. සමහරු කැමරාව පිටිපස්සේ. තවත් සමහරු ලයිට් බෝඩ් උස්සගෙන. හරියට කඩි ගුලක් වගේ. ඔය අතරේ අපි හොඳට දන්න කියන මුහුණු කිහිපයක්ම අපිට මුණ ගැහුණා. චමිලා පීරිස්, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, සරත් චන්ද්‍රසිරි,නිල්මිනී කොට්ටේගොඩ, සංගීත් ප්‍රභූ වගේ හොඳට දන්න කියන අයත් ඔය අතරේ සිටියා.

කෙරෝනා වෛරසය නිසා අද මුළු රටටම ඇඳිරි නීතිය පනවා තිබුණත් මේ අපි ගියපු අවස්ථාවේ ඇඳිරි නීතිය පැනවිලා තිබුණේ නැහැ. හැබැයි කොරෝනා නිසාම හොඳ වෙනිවැල් ගැට කෝප්පයකින් සප්පායම් වෙන්නට නම් අපිටත් අවස්ථාව ලැබුණා.

දැන් අපි තේ වෙනුවට බොන්නේ වෙනිවැල් ගැට, ඉරමුසු වගේ දේවල් සංගීත් වෙනිවැල් ගැට කෝප්පය දෙන ගමන් අපිට කිව්වේ එහෙම.

ඔන්න ඉතින් සමනල සංධ්වනිය චිත්‍රපටයෙන් සිනමා රාමුවට හඳුන්වා දුන්නු, අද වෙද්දී පුංචි තිරයේත්, සිනමාවේත් හරි අපූරු කලාකරුවෙක් වෙන සුර්යා දයාරුවන් හරිම විනීත ගමනින් අපි ළඟට ආවා. ඉඳගෙන හිටිය තැනින් ඉබේටම වගේ අපි නැගිට්ටේ ඒ ඇඳ සිටි චීවරය නිසාමද මන්දා....

ඔන්න... අපි ආවා... ලොකු හාමුදුරුවනේ...
චීවරයක් දරාගත්තු සුමේධ හිමිට රංගනයෙන් දායක වෙන සූර්යා ඒ කතාවෙන් අපූරුවට හිනාවුණා. ඒත් එක්කම පන්සල්වල පුංචි සාමනේර හිමි නමකගේ අපූරු දඟකාරකමක් එක්ක අපි ළඟට දුවගෙන ආවේ සල්මල් ආරාමය පුංචිම සාමනේර හිමිනමයි.

ඔයාලා ෆොටෝ ටික ගන්න. කමක් නැහැ. ඕන වුණොත් අපි කතා කරන්නම්.
අරුණ අපිට ඉඩකඩ ලබාදුන්නු නිසාම සූර්යා අනෙකුත් සාමනේර හිමිවරුන්ට රංගනයෙන් දායක වෙන පුංචි එවුන් ටික අපිට මුණගැසුණා.

එමීර හංසල

එමීර හංසල දෙමටගොඩ ජීවත්වෙන පුංචි පුතෙක්. දෙමටගොඩ මහින්ද විදුහලෙන් ඉගෙනුම ලබන එමීර පවුලේ දෙවැන්නා. වැඩිමහල් සහෝදරයෙක් ඉන්න චමීර දඟකාරයි. ඒ වගේම හරි කටකාරයි. පුංචියට හිටියත් මේ එමීරගේ පළමු රංගන නිර්මාණය නම් නෙවේ. සිද්ධාර්ථ ටෙලිනාට්‍යෙය් නන්ද කුමාරයා වන්නේ ඔහුයි. එය ඔහුගේ පළමු රංගනයයි. එතැනින් පසුව චමීර කවට අන්දරේ සහ ජීවිතය ඇතිතුරා නම් නාට්‍යවලද රඟපෑවේය. සල්මල් ආරාමය ඔහුගේ පස්වැනි නිර්මාණයයි. මේ වනවිට පාසැලේදී චමීරව ජනප්‍රිය වන්නේ සුමන හාමුදුරුවන් නමිනි.

ඉස්කෝලේදී මට යාළුවෝ කියන්නේ සුමනේ කියලයි. මම මේ ටෙලිනාට්‍යයේ රඟපාන්නේ හරිම ආසාවෙන්. හැමෝම හරි හොඳයි. අපිට හරි ආදරෙයි. මාත් එක්ක රඟපාන සහන් අයියයි, යශ්මිත අයියයි හරිම හොඳයි. අපි සෙල්ලම් කරනවා. හැබැයි මම වතුරට නම් බයයි. මට පීනන්න බැහැනේ... චමීර කියන්නේ එහෙම.

සහන් නෙත්සර

සහන් නෙත්සර පදිංචිය කුරුණෑගල. සහන්ගේත් මේ පළමු රංගනය නෙමෙයි. සුපර් හීරෝ තරගයට එක්වුණු සහන් ඒ ඔස්සේ සසර සෙවණැලි ටෙලි සිනමා ආදී නිර්මාණවලට රංගනයෙන් දායක වී ඇත. කුරුණෑගල ශාන්ත ජෝන් විදුහලෙන් සිප් සතර හදාරන සහන් සල්මල් ආරාමය ටෙලිනාට්‍යයේ රඟපාන්නේ සුමේධ හාමුදුරුවන්ගේ චරිතයයි. පසුගිය කාලවලදී පාසල් වැඩ අතපසු වෙද්දී ඒ සියල්ලටම සහන්ගේ යාළුවන්ගේ උදව් උපකාරය ලැබෙන නිසා අපහසුවකින් තොරව අධ්‍යාපන කටයුතු කරගෙන ගිය බවයි සහන් කියන්නේ.

කුරුණෑගල ඉඳලා කොළඹට එද්දී පසුගිය දවස්වල දින කිහිපයක් විතර ඉස්කෝලේ වැඩ අතපසු වුණා. හැබැයි ඒ හැමදේටම වගේ ගෙදරින්, මගේ ගුරුවරුන් වගේම මගේ යාළුවන් මට උදව් කළා. මම ඉගෙනගන්නේ හය වසරේ. මේ ටෙලි නාට්‍යය නිසා මට හොඳ යාළුවෝ දෙන්නෙක් මුණගැහුණා. වැඩියෙන්ම දඟ සුමනේ.

ඔන්න එහෙම කිව්වම නම් සුමන හාමුදුරැවන්ට නම් පොඩ්ඩක් කේන්ති ගියා. බොරු මම දඟ නැහැ. වැඩියෙන්ම දඟ සුමේධ.
එහෙම තමයි සුමන හාමුදුරැවන් කිව්වේ. හැබැයි ඉතින් වැඩියෙන්ම දඟ කවුද කියල සල්මල් ආරාමය මුළු කණ්ඩායම වගේම රෑගත කිරීම් කරන තැනට ගිය අපිටත් හොඳටම තේරිලයි තිබුණේ.

යෂ්මිත හර්ෂුල

යෂ්මිත හර්ෂුල ඉගෙනුම ලබන්නේ කොටිකාවත්ත ශ්‍රී රාජසිංහ මධ්‍ය මහ විද්‍යාලයේ දහය වසරෙයි. යශ්මිත සුපර් හීරෝ තරගාවලියට සහභාගි වුණා. ඔහු සසර සෙවණැලි වෙසක් පෝය නාට්‍යයේ හාමුදුරු නාට්‍යයේ චරිතයකින් රංගනයට එකතු වුණා. ඔහු නාට්‍ය කිහිපයක හඬ කැවීමෙන්ද සම්බන්ධ වී ඇත.
ඇත්තටම අපි වෙනදාට දඟලනවානේ. හැබැයි මේ සිවුර ඇන්දට පන්සේ අපිට දඟලන්න බැහැ. අපි සංවරව ඉන්න ඕනේ. වෙනදා කරපු දඟ වැඩ අපි දැන් කරන්නේ නැහැ. සහන්ව මට සුපර් හීරෝ තරගයේදීත් මුණගැහිලා තියෙනවා. මේ නාට්‍යයේදී මට චමිර මල්ලිත් සූර්යා අයියවත් මුණගැහුණා. සූර්යා අයියා ගොඩක් හොඳ කෙනෙක්. සූර්යා අයියා ලොකු වුණාට පොඩි ළමයෙක් වගේ අපි තුන්දෙනා එක්ක යාළුවෝ වගේ ඉන්නවා. සූර්යා අයියා කියන්නේ දක්ෂ නළුවෙක්. එයාගෙන් අපි තුන්දෙනාට ඔවදන් ලැබෙනවා. මම මේ නාට්‍යයේ රාහුල හාමුදුරුවන්ගේ චරිතය තමයි රඟපාන්නේ. රාහුල හාමුදුරැවෝ කවිබණ කියන හාමුදුරු නමක්. ඉතින් සූර්යා අයියා ගායකයෙක්නේ. ඉතින් මම කවිබණ කියන්න ගිය වෙලාවට ඒවා කියන විදිහ ගැන කියල දෙන්නේ සූර්යා අයියයි. මම නාට්‍යය විෂ්‍ය් හැදෑරුවේ රත්නා ටීචර්ගෙන්. (රත්නා ලාලනී ජයකොඩි) රත්නා මිස් නිසා තමයි නාට්‍ය විෂයට මට ලොකු ඇල්මක් ඇතිවුණේ. ඒ ගුරැතුමිය හරහා මට රජිත හේවාතන්ත්‍ර ගුරුවරයා මුණගැහුණා. ඔවුන් නිසා තමයි මම නාට්‍ය අදටත් කරන්නේ පාසැලෙන් වගේම මගේ යාළුවන්ගේත් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අයියයි. මම පවුලේ බාලයා.
ඔන්න ඔහොම තමයි පොඩි හාමුදුරුවන් තුන්දෙනා ඒ අයගේ විස්තර ටික අපිට කිව්වේ. සූර්යා ගැන අමුතුවෙන් කතා කරන්න ඕනේ නැහැනේ.

සූර්යා.... අද රංගනයට හෝ සිවුරක් දා හාමුදුරු නමක් වෙලා ඉන්නවා. මොකද හිතෙන්නේ?
මීට පෙර මම අරුණ අයියගේම (අරුණ ජයවර්ධන) ඒකාංගික නාට්‍යයක හාමුදුරු නමකගේ චරිතයක් රඟපෑවා. ඒක එක දවසින් රූගත කිරීම් කරලා අවසන් කළා. නමුත් සල්මල් ආරාමය ටෙලිනාට්‍යයේ රෑගත කිරීම්වලදී. කාලයක් තිස්සේ සිවුර ඇඟලාගෙන ඉඳිද්දී දැනුණු සැහැල්ලුව හරිම වෙනස්. ඒක වචනවලින් කියන්න හරි අමාරුයි. ටෙලිනාට්‍යයක් කියන දේ ඔලුවේ තියෙනවා. ඒ නිසා ඒ සැහැල්ලු බව තාවකාලිකව මෙහෙම අපිට දැනෙනවා නම් ඇත්තටම සිවුර දාගත්තු හාමුදුරු නමකට ඒ සනීප බව සැහැල්ලු කොයිතරම්ද කියලා මට වෙලාවකට හිතෙනවා.

සමහරු සූර්යාට දණ නමා වඳිනවා කියලයි ආරංචිය?
අනේ ඔව්.... එක දවසක් මම තවත් කෙනෙක් එක්ක කතාකරමින් ඉඳිද්දී පන්සලට ආපු කෙනෙක් මම ළඟට ඇවිත් දණ ගහලා වැන්දා. මට හිතාගන්නවත් බැරිවුණා. මම ටග් ගාලා අනේ මම හාමුදුරු කෙනෙක් නෙමෙයි... කියලා කියද්දී තමයි ඒ අය මාව හඳුනාගෙන මාත් එක්ක කතා කළා. දැන් මේ තුන්දෙනා දැකලත් සමහරැ හාමුදුරුවරු කියලා රැවටුණ වෙලාවල් තිබුණා.

මේ තුන්දෙනා එක්ක ගෙවන කාලය කොහොමද?
ෂූටිං වෙලාවේදී නම් කියන දේ අහගෙන තුන්දෙනාම හොඳටම කරනවා. හැබැයි ඉතින් ෂූටිං නැතිවෙලාවට ඉන්න ටිකක් අමාරුයි. සෙල්ලම් තමයි. තුන්දෙනාම මට හරි ආදරෙයි. මාත් එහෙමම තමයි. හොඳ අවබෝධයක් තුන්දෙනාටම තියෙනවා. හරිම ආසාවෙන් කියන දේ කරනවා. තුන්දෙනාම දක්ෂයි. තාම ඉතින් පොඩියිනේ.

අර දර කෑල්ලේ කතාව මොකක්ද...?
මේ තුන්දෙනාට හරි හරි වැඩ වෙනවා. එක දවසක් අපි ටිකක් කැලෑවක් වෙන්න තැනක රූගත කිරීම් කළා. කොහොම හරි මේ තුන්දෙනාගෙන් එක් කෙනෙක් පොඩි දර කෑල්ලක් අතේ තියාගෙන ඒක පොඩියට කඩ කඩා හිටියා. ලොකේෂන් එකේ කෙනෙක් හාමුදුරුවන්ගේ නම කියලා ඔය අතේ මොකක්ද?* කියලා ඇහුවා. මේ දර කෑල්ලක්.... ඇයි ඕනේද? කියලා ඔන්න ඉතින් ඒ හාමුදුරු නමත් කිව්වා. ඒ වෙලාවේ අපේ තවත් කෙනෙක්. හොඳට බලන්න දර කෑල්ලක්ද කියලා කියද්දී අත දිගහැරලා බලද්දි පොඩි නම දර කෑල්ලක් කියලා කඩලා තියෙන්නේ බල්ලෙකුගේ වේළුණු මළ කෑල්ලක්. (හාමුදුරු තුන්දෙනාගෙන් කවුද දර කෑල්ල කැඩුවේ කියලා නම් කියන්නේ නැහැ. ඒ දේ දන්නෝ දනිති) දැන් ඉතින් සමහර මූඩ්වලට හාමුදුරැ නමට ගෙනෙද්දී කවුරු හරි ඔය දර කෑල්ල මතක් කරද්දී නම් හරි අපූරැවට අර මූඩ් එක හාමුදුරැවෝ ලබලා දෙනවා.

සූර්යා එහෙම කියද්දී දර කෑල්ල කඩපු කෙනා අතින් හාමුදුරු දෙන්නාට එලවගෙන ගියපු හැටියට දර කෑල්ල කඩපු කෙනාව අපි නම් හඳුනා ගත්තා. මේ තුන්දෙනාගෙන් වැඩියෙන්ම කේන්ති යන්නේ සුමන හාමුදුරුවන්ටයි.
ඔන්න ඔහොම තමයි සූර්යා සල්මල් ආරාමය ගැන අපිට කිව්ෙව්. සූර්යා රඟපාන තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍ය මේ දිනවල ස්වාධීන රෑපවාහිනියත් දැකබලා ගන්නට පුළුවන්. එමෙන්ම මහේෂ් රත්සර මද්දුමආරච්චි ලියූ පී. නන්දසේන අධ්‍යක්ෂණය කරනා හිතුවක්කාරී නම් නිර්මාණයෙන්ද ඉදිරියේදී සූර්යා දැකබලාගන්නට පුළුවන් වේවි. ඔහු විසින් නිර්මාණය කළ අළුත්ම මියුසික් වීඩියෝව අනුරාගිනී මේ දිනවල ප්‍රචාරය වෙනවා. ඊට අමතරව මම බත්තරමුල්ල ආරම්භ කළ King’s ඇකඩමියේ හඬ පාලනය සහ ගායනය උගන්වන්නට සූදානමින් ඉන්නවා.

 

► Text - Dishani   /   Pic -  Sumudu