2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

රන් කිරුළක් රටට ගෙනා ලෝක සුන්දරී

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:31 258

ගැහැනියක රූමතියක වන්නේ පෙර පිනකටයැයි අපේ ගැමි සමාජයේ කියමනක් තිබේ. ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරි පසුගියදා ඇමෙරිකාවේ ලස් වේගාස් නුවර පැවැති 2020 ලෝක විවාහක රූ රැජන තරගයේදී වසර 35කට පසු යළිත් එම කිරුළ දිනා ගැනීමට සමත් වූයේ පෙර පින නිසාම විය හැකිය. රටවල් 51ක් නියෝජනය කරමින් විවාහක සුරූපිනියක් පනස් එක් දෙනකු 2020 ලෝක  විවාහක රූ රැජන තරගය නියෝජනය කළහ. වෙස්ට්ගේට් ලස් වේගාස් රිසෝට් ඇන්ඩ් කැසිනෝ ශාලාවට එක්ව සිටි එම රූමතියන් අතරින් ලෝක විවාහක රූ රැජන කිරුළ හිමි කර ගැනීමට කැරොලයින් සමත් වූවාය.

ශ්‍රී ලංකාව ලෝක රූ රැජන කිරුළ දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වේ.  ඇමෙරිකාවේ පැවැති මිසිස් ඇමෙරිකා තරගය ඇසුරින් 1984 වසරේ පළමුවරට විවාහක ලෝක රූ රැජන තරගය ආරම්භ කෙරිණි. එම තරගයට ලොව විවිධ රටවලින් විවාහක රූමතියන් 32කු සහභාගී වූ අතර පළමු විවාහක රූ රැජන ලෙසින් කිරුළ හිමිකර ගත්තේ වත්මන් කොළඹ නගරාධිපතිනිය වන රෝසි සේනානායක මහත්මියයි. ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ්හිදී පැවැති එම තරගයේදී ඇය ලොව රූමත්ම විවාහක කාන්තාව ලෙස කිරුළ හිමිකරගත්තේ ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්පත් කර දෙමිනි. මිස් වර්ල්ඩ් කිරුළ අවස්ථා ගණනකදී දිනාගත් ඉන්දියාව, මිසිස් වර්ල්ඩ් නොහොත් විවාහක රූ රැජන  කිරුළ හිමිකරගෙන ඇත්තේ එක් වරක් පමණි. ඒ 2001 වසරේදී ය. කැරොලයින් ජූරිගේ ජයග්‍රහණයත් සමඟ අවස්ථා දෙකකදී හෝ ඊට වැඩි ගණනකදී මෙම කිරුළ හිමිකරගත් ලොව සිව්වැනි රට බවට ශ්‍රී ලංකාව පත්විය.

කැරොලයින් මෙම තරගයට සහභාගී වීම සඳහා සුදුසුකම් ලැබුවේ පසුගිය ඔක්තෝබරයේ මෙරට පැවැති 2019 ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගනිමිනි. විවාහක ලෝක රූ රැජන ලෙස කැරොලයින් ජූරි කිරුළු පළදන විට දෙවැනි ස්ථානය අයර්ලන්ත සුරූපිනියටත්, තෙවැනි ස්ථානය වර්ජින් අයිලන්ඩ් රූමතියටත් හිමි විය. 2019 ලෝක විවාහක රූ රැජන ලෙස කිරුළ හිමිකරගත් වියට්නාමයේ ජෙනිෆර් ලේ විසින් ඇයට කිරුළ පළඳවනු ලැබීය.

මෙම තරගයේදී ඇයගේ ඉදිරි අරමුණු පිළිබඳව විමසා සිටි අවස්ථාවේ කැරොලයින් මෙලෙස ප්‍රකාශ කළාය. මගේ ළමා වියේ මා දැඩි මානසික ආතතියකින් පෙළුණා. ඇතැම් අවස්ථාවල දිවි නසා ගැනීමට පවා උත්සාහ කළා. ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු මම දරුවන් වෙනුවෙන් බී යූ නමින්  ව්‍යාපෘතියක් ආරම්භ කළා. එහි අරමුණ වූයේ ‘ඔබ කවරකු වුවත්, කුමන තත්ත්වයකට මුහුණ දුන්නත් ස්වශක්තියෙන් නැඟී සිටිය යුතුය‘ යන පණිවුඩය දරුවන්ට ලබා දීමයි. මා ලෝක රූ රැජන ලෙස කිරුළ දිනාගතහොත් එම වැඩසටහන ලොවටම හඳුන්වා දී ආතතියෙන් පීඩා විඳින දරුවන් ඉන් මුදා ගැනීමට පියවර ගන්නවා“.

ජයග්‍රහණයෙන් පසු විඩියෝවක් මගින් ඇය තමාට උපකාර කළ සියල්ලන් වෙත කෘතඥතාව පළ කළාය. මගේ රටට ගෞරවයක් ගෙනදීමට හැකිවීම පිළිබඳව මම සතුටු වෙනවා. සියල්ලන්ගෙන් මා ලද සුබපැතුම්වලට හා  මේ ගමන ආරම්භ කළ අවස්ථාවේ සිට ජයග්‍රහණය දක්වා යෑමට මට උපකාර කළ සැමට ස්තූතියි. යනුවෙන් ඇය එහි සඳහන් කළාය. 

1992 වසරේ ඔක්තෝබර් 08 දින උපත ලද කැරොලයින් මේ වන විට 27 හැවිරිදිය. ඇය දෙහැවිරිදි සිඟිති දියණියකගේ මවකි. කඳාන සාන්ත සෙබස්තියන් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඇය වෘත්තීය නොවන නිරූපන ශිල්පිනියක ලෙසද කටයුතු කළාය. පසුව ඩුබායිහි පාරිභෝගික සේවා විධායකවරියක ලෙස සේවය කළ ඇයට  තම අනාගත සැමියා හමුවූයේ 2016 වසරේ එරටදීය. ඔහු වෙළෙඳ කළමනාකරුවකු ලෙස එරට සේවය කළේය. 2017දී ඔවුහු විවාහ වූහ. 

පසුගිය ඔක්තෝබරයේ රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ සංවිධානය කළ ශ්‍රී ලංකා විවාහක රෑ රුජන තරගයට ඉදිරිපත් වූ කැරොලයින් ඉන් ජයග්‍රහණය කළාය. ඇගේ අපේක්ෂාව වූයේ ලෝක විවාහක රූ රැජන තරගය නියෝජනය කිරීමයි. ඒ සඳහා ඇයගේ සැමියා වන නිශාන්ත දීපාල්ගෙන් මහඟු සහයක් ලැබිණි. තම සැමියාගේ හා සිඟිති දියණියගේ වැඩකටයුතු අතපසු නොකර සිදු කරන අතරම රුක්මාල් සේනානායක යටතේ තරගය සඳහා පුහුණුවීමේ කටයුතුවලද කැරොලයින් නිරත වූවාය. 
තරගයට සහභාගී වීමේදී ඇයට විවිධ බාධක පැවැති බව ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගයේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ සඳහන් කරයි.  මම දැන සිටියා කැරොලයින් ජයග්‍රහණය කරන බව. පැජන්ට් කියන දේ නිවැරදි තැනට ගෙන එන්නට මට හැකි වීම ගැන සතුටුයි. ඇයට මෙරටදී උපකාර කරන්න සිටියේ කීප දෙනෙක් පමණයි වි‍ශේෂයෙන් රෝසි සේනානායක මහත්මියට ස්තුති කළ යුතුයි. මට ලංකාව ලෝකයේ පළමු තැනට ගෙන ඒමට දායක වීමට හැකිවීම ගැන ගොඩක් සතුටුයි. අනාගතයේ ලංකාවෙන් බිහිවන ඕනෑම රූ රැජනකට සහයෝගය ලබා දෙන ලෙස මා සැමගෙන් ඉල්ලා සිටිනවා.

තරගයට සහභාගී වීම සඳහා කැරොලයින් නොවැම්බර් 29 දින ඇමෙරිකාවේ සිටිය යුතු විය. එහෙත් නොවැම්බර් 27 දින වන විටද වීසා ලැබී නොතිබිණි.ඇයගේ වීසා අයැදුම්පත දෙවරක්ම ප්‍රතික්ෂේප විය. තමාට තරගයට සහභාගී වීමට නොලැබේදෝ යන බිය ඇය තුළ විය. කෙසේ වුවද අවසාන මොහොතේ ඇයට වීසා ලැබිණි.

කැරොලයින් ජූරිගේ සැමියා වන නිශාන්ත දීපාල් තම බිරියගේ ජයග්‍රහණය පිළිබඳව මෙලෙස මාධ්‍යට ප්‍රකාශ කළේය.  ඇයට විශාල ආසාවක් තිබුණා ලෝක රූ රැජන තරගයට සහභාගී වෙන්න. මගෙන් ඒ සඳහා අවසර ඉල්ලුවාම මා ඇයට අවසර දුන්නා. ඇය පවුල වෙනුවෙන් කැපවූ කාන්තාවක්.  අපේ දරුවාට සැබෑම අම්මා කෙනෙක්. කැරොලයින් ජූරි  වත්තල මහබාගේ ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇයට සොහොයුරු සොහොයුරියන් සිව් දෙ‍ෙනකි. කැරොලයින් ජයග්‍රහණය හිමිකරගත්තේ ඇය තුළ වූ අරමුණ කරා යෑමේ අධිෂ්ඨානය හා මහඟු කැපවීම නිසාය.

පළමු ලෝක විවාහක රූ රැජන ලෙස කිරුළ දිනාගත් රෝසි සේනානායක කැරොලයින්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඇයට සුබපැතුම් එක් කළාය. ඉදිරි වසර පුරා ඇයට ලොවට මහඟු සේවයක් කිරීමට අවස්ථාව උදාවී ඇති හෙයින් එය සාර්ථකව ඉටු කිරීම සඳහා සුභාශිංශන සහ තම පූර්ණ සහයෝගය ලබා දෙන බව සේනානායක මහත්මිය තම සුබපැතුම සමඟ ඇයට දන්වා තිබිණි.

2020 ජගත් විවාහක රූ රැජන වූ කැරොලයින් ජූරි පසුගිය 10දා යළි දිවයිනට පැමිණියාය. ඇය පිළිගැනීම සඳහා විශාල පිරිසක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල වෙත පැමිණ සිටියහ.  පසුව කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ කැරොලයින් මෙලෙස ප්‍රකාශ කළාය. මෙම ස්ථානයට පැමිණි සියලු දෙනාට මගේ ස්තුතියි හිමිවෙනවා. විශේෂයෙන් මගේ සැමියාටත් නැන්දණියටත් ස්තුතියි. මෙම තරගයට සහභාගීවන්නට මට තිබූ ආසාව හඳුනාගත් මගේ නැන්දණිය මගේ සැමියට කිව්වා මගේ ලේලිය ලෝක විවාහක රූ රැජන වෙනවා දකින්න ආසයි. ඒ නිසා ඇයව කොහොම හරි මේ තරගයට යවන්න කියලා. මම නවකයකු නිසා මෙම තරගයට සහභාගී වන්නට කිසිවකුගේ අනුග්‍රහයක් ලැබුණේ නැහැ. මගේ සැමියා හිතවතකුගෙන් මුදල් ටිකක් ඉල්ලගෙන තමයි මේ ගමන සංවිධානය කළේ. ශ්‍රී ලංකාවෙන් මෙවැනි තරගවලට සහභාගී වන ඕනෑම කෙනෙකුට උපකාර කරන මෙන් මම හැමෝගෙන්ම ඉල්ලනවා. ඔවුන් නියෝජනය කරන්නේ අපේ රට. ඒ නිසා ඔවුන්ට උපකාර කරන්න.
ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ආ මෙම සුරූපිනියට අපගේ සුභාශිංශන මෙලෙස එක් කරමු.

 

► Text -Priyanjan  /  Pic – Intarnet