2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

ඒ දිග කොණ්ඩය දැන් මට නෑ..

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 75

දිනෙත්.. මේ දිනවල Face To Face තුළින් දැකගන්න පුළුවන් වෙලා තියෙනවා. Face To Face චිත්‍රපටයට ආරාධනා ලැබුණේ කොයි කාලේදී ද?
හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ “Face To Face* චිත්‍රපටය අපි රූගත කිරීම් කළේ මීට අවුරුදු තුනකට විතර කලිනුයි. කාලයක් තිස්සේ හර්ෂ මගේ FB එකේ හිටියා. දවසක් අහම්බෙන් වගේ හර්ෂව මට මහරගමදී මුණගැහුණා. ඒ වනවිට හර්ෂ “පිටකොටුව කියලා ටෙලිනාට්‍යයක් රෑගත කිරීම් කරමිනුයි හිටියේ. මගේ යාළුවෙක් වුණ දස්සා (දසුන් පතිරණ) තමයි හර්ෂව මට හඳුන්වලා දුන්නේ. ඊට දින කිහිපයකට පස්සේ හර්ෂ මට කෝල් කරලා “දිනෙත් අපි අලුත් වැඩක් කරනවා. එකතු වෙමුද කියලා පොඩි යෝජනාවක් කළා.

ලැබුණු පිටපතෙන් නිර්මාණයට දායක වෙන්න කැමැත්තක් ඇති වුණාද?
ඔව්... හර්ෂ මට මේ පිටපත එව්වා. ඒ පිටපත කියෙව්වට පස්සේ එහි වෙනස් අපූර්ත්වයක් තියෙනවා කියලා මටම හිතුණා. මමත් හැමවෙලේම එකම රාමුවකට කොටුවෙන්න කැමති කෙනෙක් නෙමේ. මම විවිධ චරිත රඟපාන්න ආසා කළා. ඒ නිසා මේ පිටපත තුළින් කුතුහලය, ආදරය, විහිළුව, හීනය හැමදේම ඇතුළත් වෙලා තියෙන බව මම දැක්කා. ඒ නිසා හර්ෂත් එක්ක සම්බන්ධ වෙලා මේ නිර්මාණයේ කටයුතු කරන්න බාර ගත්තා.

දිනෙත් රඟපෑ චරිතය ගැන කතා කළොත්...?
මේ චිත්‍රපටයේ මම රඟපාන්නේ ඉරේෂ් කියන තරුණයෙකුගේ චරිතයයි. මේ චිත්‍රපටයේ එකම කාලයක් තුළදී වකවානු දෙකක් කතා කරනවා. මේ චිත්‍රපටය ආරම්භ වෙන්නේ අතීතයකිනුයි. ඒ කාලය වෙනුවෙන් අවුරුදු ගණනාවක් තිස්සේ මම වවල තිබුණ කොණ්ඩය මට කපන්න සිද්ධ වුණා. මේ චිත්‍රපටයේදී මගේම පෙම්වතියව දුෂ්ඨයන් පිරිසක් විසින් පැහැරගෙන ගිහින් නැතිවෙනවා. ඒ දුෂ්ඨයන්ව හොය හොයා ගිහින් මරණ චරිතයක් තමයි මම රඟපාන්නේ. ආදරය කරපු පෙම්වතිය නැතිවීමෙන් මානසික ව්‍යාකූලතාවයකිනුත් මම පෙළෙනවා. දුෂ්ඨයන් දුටු දුටු තැන මම මරණවා. ඊට පස්සේ ආදරවන්තියත් එක්ක හිටපු කාලයත් මම රඟපානවා. මේ නිසා මේකේ චරිත වකවානු දෙකක් ගතවෙනවා. අවුරුද්දක් ඇතුළතදීත් එකම චරිතය කාල වකවානු දෙකක රඟපෑම ලොකු අභියෝගයක් වුණා.

ආසාවෙන් වවපු දිනෙත්ට වෙනස් හැඩයක් එක්කළ කොණ්ඩය නිර්මාණය වෙනුවෙන් කපන්න එකවරම හිත හදාගත්තද?
ඔව්... අවුරුදු හතරමාරක් පුරාවට මම වවපු කොණ්ඩය මම ඉරේෂ් කියන චරිතය වෙනුවෙන් කපලා දැම්මා. මේකේ චරිතය අනුව කාල පරාස දෙකක් නිසා හර්ෂ “දිනෙත් මෙහෙම වැඩක් කරන්න කැමතිද කියලා ඉල්ලීමක් කළා. මම කොණ්ඩය වවන්න පටන් ගත්තෙත් චිත්‍රපට කටයුත්තක් වෙනුවෙනුයි. ඒ නිසා ආයෙත් වෙනත් චිත්‍රපටයක් වෙනුවෙන් කොණ්ඩය කපන්න මම දෙපාරක් හිතුවේ නැහැ. නළුවෙක් වුණාට පස්සේ අපේ පෙනුම අපිට අයිති දෙයක් නෙමේ. ඒක චරිතයට අදාළව වේෂ නිරූපණ ශිල්පියාට අයිති දෙයක් වෙනවා. ඒ නිසා ආසාවෙන් වවපු කොණ්ඩය මට කපන්න සිද්ධ වුණා. ඒ කැපීමත් එක්ක මගේ බාහිර පෙනුමත් වෙනස් වුණා. ඒ නිසා ඒ වකවානු දෙකට යම් විදිහකින් මගේ පෙනුමෙනුත් මම යම් සාධාරණයක් ඉටුකළා කියලා මට හිතෙනවා.

Face To Face චිත්‍රපටයේදී අනිකුත් පිරිසගෙන් ලැබුණු සහයෝගය කොහොමද..?
ඒ ගැන කියන්නම ඕනේ. මේ චිත්‍රපටයේ ශ්‍රියන්ත අයියා (ශ්‍රියන්ත මෙන්ඩිස්) රොෂාන් රණවන, රජිත හිරාන්ගෙන් මට ලොකු සහයෝගයක් වගේම උපදෙස් ලැබුණා. ඕෂධී හිමාෂා සහ ෂෙහානි පෙරේරා ගෙනුත් සහයෝගයත් ලැබුණා. ඒ වගේම අධ්‍යක්ෂණයෙන් හර්ෂ උඩකන්ද, කැමරාවෙන් මහේෂ් වගේම සටන් අධ්‍යක්ෂණය කළ සමන්ත මායාදුන්නවත් ආදරයෙන් මතක් කරනවා. චිත්‍රපටය පුරාවට විශාල ලෙස සටන් ජවනිකා තිබ්බා. අපි ඒ වෙනුවෙන් ගොඩාක් මහන්සි වුණා. ඔහුගේ හොඳ කණ්ඩායමක් හිටියා. ඒ හැමකෙනාගේන්ම ලැබුණු සහයෝගය මේ වෙලාවේ ආදරයෙන් මතක් කරන්න කැමතියි. 

මේ දවස්වල දිනෙත් කරන වැඩකටයුතු මොනවාද..?
මේ දවස්වල මම “ෂෙලීනා චිත්‍රපටයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඒක එදිරි අයියාගේත් පූජිත අයියාගෙත් වැඩක්. ඒ චිත්‍රපටයේත් වැඩකටයුතු නිමා කරලයි තිබෙන්නේ. ඊට අමතරව තව අලුත් වැඩකටත් අතගහන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. මම රඟපාපු තව චිත්‍රපට තුනක් ඉදිරියේදී තිරගත වන්නට නියමිතයි.

ඔය අතරේ දිනෙත් රඟපෑ “හිතුමතේ ජීවිතේ* චිත්‍රපටයත් තිරගත වන්නට නියමිතයි නේද?
ඔව්.. ඒ චිත්‍රපටයත් බොහෝ විට ලබන වසරේ මුල් කාලයේදී තිරගත වේවී. ඉතින්.. හරිම ආසාවෙන් ඒ චිත්‍රපට තිරගත වන තුරු බලාගෙන ඉන්නවා. 

මේ දැකපු පුංචි කාලේ හීනයක්ද?
ඔව්... මම පුංචි කාලේ නළුවෙක් වෙන්න බලාපොරොත්තුවෙන් හිටපු කෙනෙක් නොවේ. නමුත් කාලයක් නිරූපණ ශිල්පියෙක් විදිහට වැඩ කළා. කාලයක ඉඳන් මම චිත්‍රපටවලට බොහෝම ආසා කරපු කෙනෙක්. කාලයක් තිස්සේ හිතේ තිබුණු ඒ ආසාව පහුකාලයකදී ඉෂ්ට වුණා. මම නොදැක්ක අමුතුම හීනයක් අද හැබෑවෙලා තියෙනවා.

ජීවිතේ කොහොමද?
ජීවිතේ හොඳයි.. මම දැන් විවාහකයි. ඇයගේ නම අරෝෂා සිතාරි. ඇය බොහෝම හොඳට මගේ කටයුතුවලට උදව් කරනවා. ඒවගේම මගේ මව්පියන් ඇයගේ මව්පියන්ගෙන් ලොකු ආශිර්වාදයක් මට ලැබෙනවා. මගේ බිරිඳ මගේ කලා කටයුතුවලට ලොකු ශක්තියක්.

ඊළඟට තියෙන බලාපොරොත්තු මොනවාද?
සමාජයට, මිනිස්සුන්ට යම් පණිවිඩයක් දියහැකි හොඳ නිර්මාණවලට දායක වෙලා මේ ගමන දිගටම යන්න බලාපොරොත්තු වෙනවා. 

 

► Text - Dishani  /   Pic -   Internet