2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

පුංචිම කාලේ රුපියල් දහය පහළොව හම්බ කරලා ගෙදරට දුන්නා

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:31 228

- Lffe පුන්සිරි සොයිසා

සංගීතයට කැමැත්ත ඇතිවුණේ ඔබේ ළමා කාලයේ පටන්මද?
ඔව්... අනිවාර්යෙන්ම.. මම පුංචි කාලේ ඉඳන්ම සංගීතයට හරිම කැමතියි. මම ඉපදුණුදාට පස්සේ මගේ උපන් වෙලාවට අනුව කේන්දරය බලපු නැකැත්කරුවා “කවදා හරි දවසක මේ ළමයා ලංකාවේ ප්‍රසිද්ධ කෙනෙක් වෙනවා කියලා තිබුණා... ඉතින් පුංචි කාලේ ඉඳන්ම අපේ ගෙදර තිබුණු ගුවන්විදුලියෙන් මට නිතරම ගීත ඇහෙන්න පටන් ගත්තා. ඒ නිසාම මමත් නිතැතින්ම ගීත ඇසීමේ පුරුද්දක් කරගෙන ආවා. මට අවුරැදු දහය විතර වෙද්දී මට මොහිදින් බෙග් මාස්ටර්ගේ, මිල්ටන් පෙරේරා මහතාගේ ගීත නිතර නිතර අහලා ඒ ගීත හෙමිහිට මුමුණන්න පටන් ගත්තා.

ඔය මුමුණපු ගීත ප්‍රසිද්ධියේ ගායනා කළේ නැද්ද?
ටික දවසක් යද්දී අපේ ගමේ තිබුණු ප්‍රියසම්භාෂනවලට පැදුරු පාටිවලට ගීත ගයන්නත් මට අවස්ථාව ලැබුණා. ඒ ගිහිල්ලත් මම වැඩිපුරම ගායනා කළේ මොහිදින් බෙග්, මිල්ටන් පෙරේරා වැනි ප්‍රවීණයන්ගේ ගීතයි.

ඒ දේවල්වලට ඔබව එක්කගෙන ගියේ කවුද?
ඒ හැමදේටම මාව උනන්දු කරලා එක්කගෙන ගියේ මගේ තාත්තා. මගේ අම්මා වගේම තාත්තාත් මගේ කලා ජීවිතයේ පිටිපස්සේ ඉඳගෙන මට හෙවනැල්ලක් වුණා. තාත්තා හරිම ආසාවෙන් හිටියේ මම ගායකයෙක් වෙනවා දකින්න. ආධුනික තරගවලට ගිහින් අයඳුම්පත් මම වෙනුවෙන් ගෙනල්ලා ඒවා පුරෝවලා ඒ හැම දෙයක්ම ඉදිරිපත් කළේ මගේ තාත්තාය. සමහරු පැඳුරු පාටිවලට ගිහින් “මගේ පුතාටත් සින්දු කියන්න පුළුවන් කියලා මම ගැන විශ්වාස කරලා ඒ හැමෝටම හඳුන්වලා දුන්නේ මගේ තාත්තායි.

ඔබේ පවුලේ විස්තර ටිකක් කිව්වොත්?
මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අයියයි, මල්ලිලා තුන්දෙනයි, නංගියි. ඒ හැමෝම මගේ කටහඬ අගේ කළා. මම ගීත ගායනා කරද්දී මගේ මුල්ම ප්‍රේක්ෂකාගාරය වුණේ මගේ ගෙදරයි. සමහරදාට රෑට මම ඒ හැමෝටම ඇහෙන්න ගීත ගායනා කළා. ඒක ඇත්තටම සුන්දර කාලයක්. මගේ ළමා කාලය මම වැඩිපුරම ගෙව්වේ සංගීතයත් එක්කම තමයි.

පැදුරු පාටිවලට වගේම ඔබ සංගීත තරගවලටත් ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලැබුවා නේද?
ඔව්.. ඔව්.. ඒ හැම තරගයකටම ඉල්ලුම්පත්‍ර ගෙනාවේ මගේ තාත්තා. මුලින්ම වෙසක් භක්ති ගීත තරගයකට තමයි මම සහභාගී වුණේ. ඒ තරගයෙන් මම ප්‍රථම ස්ථානය දිනාගත්තා. එදා මගේ තාත්තා ගොඩාක් සතුටු වුණා. 1967 දී ලබපු ඒ මුල් ජයග්‍රහණයෙන් මටත් ලොකු කුසලානයක් ලැබුණා. අදටත් ඒ කුසලානය මම ළඟ තියෙනවා.

ප්‍රියසම්භාෂනවලදී පැදුරු පාටිවලදී ගී ගැයීමෙන් පුන්සිරිට මුදල් එහෙමත් ලැබුණා ද?
ඔව්.. ඔව්... පොඩි ගාණක් දාපු ලියුම් කවරයක් තෑගි ලැබෙනවා. බොහෝ වෙලාවට ඒ ලියුම් කවරවල රුපියල් දහයක් පහළොවක් වගේ තමයි තියෙන්නේ. හැබැයි ඒ කාලේදී ඒක හරි ලොකු මුදලක්. මම ඒ හැම මුදලක්ම ගෙනත් මගේ තාත්තාට දුන්නා. මගේ පොඩි වයසට “මමත් සල්ලි හම්බ කරනවානේ කියලා හිතද්දී ඒ කාලේ මට හරිම ලොකු දෙයක්. පුංචි කාලේ ඉඳන්ම මම ඒ විදිහට සංගීතයෙන් කීය කීය හරි හම්බ කරලා ගෙදරට ගෙනත් දුන්නා. අද ඒ ගැන හිතද්දී දැනෙන්නේ ලොකු සතුටක්.

පාසලේදී පුන්සිරි මොනවගේ චරිතයක් ද?
මම මුලින්ම ඉගෙන ගත්තේ ගමේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙයි. ඒ පාසලේ තුන්වෙනි පන්තිය දක්වා ඉගෙන ගෙන මම මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට ඇතුළත් වුණා. පාසලේදී මම හැම සාහිත්‍ය සංගමයකම ගීතයක් ගායනා කළා. ඒ නිසා පාසලේදීත් මම “ගායකයා වුණා. ඔය කාලේදී මම ගුවන්විදුලියේ කරුණාරත්න අබේසේකරයන් මෙහෙයවූ ළමා පිටියටත් සම්බන්ධ වුණා. ඒ ඔස්සේ මම සරල ගී වැඩසටහන්වලට සහභාගී වුණා. 1968 වසරේදී පැවැත්වූ සරල ගී පරීක්ෂණයට මමත් සහභාගී වුණා. ඒ තරගයෙන් මම “බී ශ්‍රේණියේ ශිල්පියෙක් විදිහට සමත් වුණා. 

නැවතත් සරල ගී පරීක්ෂණයක් තිබුණා. ඒකටත් මම පෙනීඉඳලා ඒ වතාවේ “ඒ ශ්‍රේණියේ ශිල්පියෙක් විදිහට සමත් වුණා. ඊට පස්සේ සරල ගී වැඩසටහන් විනාඩි පහළොවකට පවත්වන්න අවස්ථාව ලැබුණා. ඔය විදිහට මම වැඩසටහන් කිහිපයකට සහභාගී වුණා. මුලින්ම 1970 දශකයේදී මම සහභාගී වෙද්දී ගීත තුන හතරක් පටිගත කරලා ඒක ගුවන්විදුලියේ ප්‍රචාරය කරලා ඒ මකාදමනවා. එක පාරයි ඒ ගීත ගුවන්විදුලියේ ප්‍රචාරය වුණේ. ඔය අතරේ දෙවැනි තුන්වැනි වැඩසටහන්වලදී කරපු ගීත ගුවන්විදුලියේ ප්‍රචාරය කරලා ඒවා තැටිගත කළා. ඒ තැටිගත කිරීම් ගුවන්විදුලියේ දිගින් දිගටම ප්‍රචාරය වුණා.

මතකද මුලින්ම ගැයූ ගීතය?
ඔව්.. එක්දහස් නවසිය හැත්තෑවේදී මගේ හිතවත් සහෝදරයෙක් වුණු සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් පදරචනා කළ “උදාවන මිහිර පිරි හෙටක් ගැන හිතලා ගීතය තමයි ඒ මුලින්ම ගායනා කළේ. ඒ ගීතය සංගීතවත් කළේ ආර්.ඒ. චන්ද්‍රසේන මාස්ටර්. ඔහු ඉතා ප්‍රවීණ චිත්‍රපට සංගීත අධ්‍යක්ෂකවරයෙක්. පසුකාලයේදී ගුවන්විදුලියේ සංගීත වැඩසටහන්වලදී මගේ ඒ ගීත පටිගත වුණා. 1974 වසරේදී සරල ගී වැඩසටහනේ නොහඬන් ළඳුනේ, ගංගා දියඇළි ගලා, ඇතුළු ගීත හතරක් මම ගායනා කළා. ඒ ගීත හතරින් “නොහඬන් ළඳුනේ ගීතය පුදුම විදිහට ජනප්‍රිය වුණා. 

නොහඬන් ළඳුනේ
සුරා පොදක් මා තොල ගෑ පමණින්
සුරා සොඩෙකු වේදෝ
ඇය අතගෙන රැඟුමක් පෑ පමණින්
මා සළලෙකු වේදෝ..

ඒ ගීතය ලංකාවේ අස්සක් මුල්ලක් නෑර අතිශයින් ජනප්‍රිය වුණා. ඒ ගීතය චන්ද්‍රසේන රංගේ මහතා පදරචනා කළේ ස්ටැන්ලියන් ප්‍රනාන්දු. එතුමාන් ගුවන්විදුලියේ වැඩ කළේ. ඊට අමතරව මගේ සංගීත ජීවිතය ආලෝකමත් කරගන්න, නවරත්න ගමගේ, අශෝකා පීරිස්, සරත් දසනායක, සරත් ද අල්විස්, ඇතුළු බොහෝ දෙනා උදව් කළා.

නොහඬන් ළඳුනේ ගීතයත් සමඟ අතිශයින්ම ජනප්‍රිය වුණු පුන්සිරි ප්‍රසංග වේදිකාවේ නැතිවම බැරි ගායකයෙක් වුණා?
ඔව්.. මගේ ජීවිතේ මුලින්ම විදෙස් සංචාරයකට සහභාගී වුණේ බහරේන්වලයි. නොහඬන් ළඳුනේ ගීතය ගැයීමෙන් පසුව ගීත කිහිපයක්ම ගායනා කරන්න අවස්ථාව ලැබුණා.

සුභා කියා මා අමතන්නද
ස්වර්ණමාලි ලෙස ඔබ අමතන්නද 
මට නම් නොහැඟෙන්නේ
කොහොම ඇමතුවත් ඒ හා සැසඳෙන ඔබේ රැවේ
භවය පුරා මා සුවපත් වෙන්නේ

ඒ ගීත ජනප්‍රිය වීමත් සමඟ මට විදෙස් සංචාරවලට ආරාධනා බොහෝමයක් ලැබුණා. මට මතකයි ඒ කාලේදී මම එකදිගට බහරේන්, ඩුබායි, කුවේට්, ලෙබනන්, ජෝර්දාන්, ඉතාලිය, ප්‍රංශය වැනි බොහෝ රටවල්වලට එකදිගට සංචාරය කළා. ඒ හැම ප්‍රසංගයක්ම ඉතා සාර්ථක වුණා. එදා වගේම අදටත් දෙයියන්ගේ පිහිටෙන් ප්‍රසංගවලින් නම් අඩුවක් නැහැ. අදටත් මගේ රසික රසිකාවියන් පුදුම විදිහට හරි ආදරෙයි. සමහර ප්‍රසංගවලට සහභාගී වෙද්දීම “පුන්සිරි අයියා.. මේ බස් නැවතුම කියන්නකෝ... නොහඬන් ළඳුනේ.. කියන්නකෝ... කියලා ඉල්ලීම් කරනවා.

මේ බස් නැවතුම
පෙර හැම දිනකම
අප හමුවුණු හැටි දැන උන්නේ
මා තනිවුණු බව
ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ

ඔබේ ගීත ඔබේ අත්දැකීම් වුණේ නැද්ද?
මගේ අත්දැකීම් කියලා කියන්නම බැහැ. බොහෝ ගීත ඒ ඒ ගීත රචකයන්ගේ පෞද්ගලික අත්දැකීම් හෝ ලබපු අත්දැකීම් ඇසුරින් නිර්මාණය වුණා. මගේ ඉල්ලීම මත “සුභා කියා මා අමතන්නද ගීතය ලියවුණා. ඒ විදිහට මම ඉල්ලීම් කරලා ලියවුණු ගීත කිහිපයක්ම තියෙනවා. 

ඔබේ ආදරණීය බිරිඳව මුණගැහුණු ආදර කතාව ගැනත් අපිට ටිකක් කියමුද?
ඔව්.. අපි දෙන්නා මුලින්ම හිතවත්.. ඊට පස්සේ හොඳ යාළුවෝ වුණා. මගේ බිරිඳ පදිංචි වෙලා හිටියේ මොරටුව එගොඩඋයනේ. මමත් කාලයක් මොරටුවේ පදිංචි වෙලා හිටියා. ඉතින් ඒ කාලේදී අපි මුණගැහුණා. අපි දෙන්නා ආදරය කළා. ගෙවල්වලින් පොඩි පොඩි බාධාවල් තිබුණා. ඒ බාධාවල් මැද්දේ අපි දෙන්නා 1978 වසරේදී විවාහ වුණා. එයා කුමුදිකා පෙරේරා. අපිට දියණියන් තුන්දෙනෙක් ඉන්නවා. ලොකු දුව ඉංජිනේරැ සංස්ථාවේ සේවය කරනවා. දෙවැනි දුව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිය අවසන් කරලා දැනට පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. මගේ දෙවැනි දුව මම වගේම සංගීතයට ළැදියි. එයා විශාරද විභාගය සමත්. ගායනය වගේම වයලින් වාදනයටත් එයා දක්ෂයි. රාවතාවත්තේ සංහිඳ කලායතනයේ අමරසිරි මුණසිංහ මහත්මයා යටතේ දුව සංගීතය හැදෑරුවා. තුන්වෙනි දුව විදුලිබල මණ්ඩලයේ සේවය කරනවා. දරුවන් දෙන්නෙක් විවාහකයි.

අද බොහෝ රියැලටි ප්‍රසංගවලදී ඔබේ ගීත ආධුනිකයින් ගායනා කරනවා. මොකද හිතෙන්නේ?
ඒ ගැන මම වරදක් හිතන්නේ නැහැ. තරගවලට ඒ ආධුනික දරුවන් මගේ ගීත ගැයීම ගැන මම දොසක් කියන්නේ නැහැ. මමත් ආධුනික තරගවලට ගායනා කළේ ඒ කාලේ අපේ රටේ ප්‍රවීණයන් ගායනා කරපු ගීතයි. මිල්ටන් පෙරේරා මහතාගේ, මොහිදින් බෙග් මාස්ටර්ගේ ගීත ගායනා කරලා තමයි අද මම මගේම ගීතවලින් මේ ගමන ඇවිත් ඉන්නේ. හැබැයි තරගවලින් පසුව තමන් තමන්ගේ ගීත ගැයීම කළයුතු වෙනවා. තමන්ගේ අනන්‍යතාවයක් ගොඩනගා ගතයුතු වෙනවා. මිල්ටන් පෙරේරා මහත්තයා ඒ කාලේ වේදිකාවේ ගායනා කරද්දී මම වේදිකාව ඉස්සරහ ඉඳගෙන ඒ දිහා බලාගෙන හිටියා. මට අද වගේ මතකයි. හැබැයි පසුකාලීනව මම ඒ අය එක්ක එකම වේදිකාවේ ගායකයෙකු විදිහට මගේම ගීත ගායනා කළා. ඒ ගැන මට ඇත්තටම තියෙන්නේ සතුටක්. ඒ නිසා තරගවලින් පසුව තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගතයුතු වෙනවා. මම පාසල් කාලේදී කැස්බෑවේ ගයාත්‍රි කලායතනයට ඇතුළත් වෙලා වින්සන්ට් සෝමපාල සංගීත මාස්ටර් යටතේ රාගධාරී සංගීතය හැදෑරුවා. හැබැයි ඔය කාලේදී මගේ තාත්තා ඔත්පල වුණ නිසා ඒ සංගීතය වැඩිදුර හදාරන්න මට බැරිවුණා.

ගායකයෙක් විදිහට අද මොකද හිතෙන්නේ?
ගොඩාක් සතුටුයි. අදටත් මට ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා. මම ඒවාට සහභාගී වෙනවා. මිනිසුන්ගේ ලැබෙන ආදරය සල්ලිවලට ගන්න බැහැ. මම ගයනා ගීත අදටත් ජනප්‍රියයි. අද මම බිරිඳ, දරුවන් එක්ක සතුටින් ජීවත් වෙනවා.

 

► Text - Dishani  /   Pic -Sumudu