2019 ජුනි 08 වන සෙනසුරාදා

මම දැන් සහස්පුරේ පොරක්

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 63

ධනුෂ්ක... මුලින්ම අපි ඔයා ගැන පොඩි විස්තරයක් කියමුද?
මම ධනුෂ්ක ජයසිංහ. මම ඉපදුනේ මැද කොළඹ පරිසරයේ. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, නංගියි මමයි විතරයි. මගේ අම්මා දමිළ කාන්තාවක්. තාත්තා සිංහල.

ඉගෙනගත්තේ මොන පාසලේදිද?
මම මුලින්ම මහබෝධි මහ විද්‍යාලයටත්, ඊට පස්සේ ශිෂ්‍යත්වයක් ලැබිලා කොටහේන ශාන්ත බෙනඩික් විදුහලටත් ඇතුළත් වුණා. ඒ පාසලේදී තමයි මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණේ.

ධනුෂ්කගේ ජීවිතේ හිනය වෙලා තිබුණේ මොකද්ද?
පාසල් අධ්‍යාපනය හමාර කරලා පාසලෙන් එළියට එද්දිත් මගේ ලොකුම හීනය වෙලා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එකතු වෙන්නයි. පාසලේදී මම ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂතාවයක් පෙන්නුවා. මම පාසලේදිත් අවුරුදු දහනවයෙන් පහළ ක්‍රිකට් කණ්ඩායමට තේරිලා හොඳට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. ඒ නිසා මට ඕන වුණේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්නයි.

ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න හීන දැකපු ධනුෂ්ක කලාවට සම්බන්ධ වුණේ කොහොමද?
ක්‍රිකට් ක්‍රීඩකයෙක් නොවී කලාවට සම්බන්ධ වෙන්න ප්‍රධානම හේතුව වුණේ මගේ අම්මයි. අපේ ගෙදර නිතරම දාලා තිබුණේ සිංහල, හින්දි, දෙමළ චිත්‍රපටයි. ඒ නිසා ඒ ෆිල්ම් බලලා මොකද්දෝ ආසාවක් මගේ ඔළුවට දැනුණා. කලාවට එන්න ඕන නිසා මොකද්ද වෙන්න ඕනෙ කියලා මම දන්න අයගෙන් අහගෙන යද්දි නාමෙල් මාලනී පුංචි තියටර් එකේ නාට්‍ය වැඩමුළුවක් තියෙනවා කියලා මට අවාරංචි වුණා. ඒ නිසා මීට අවුරැදු දහයකට විතර කලින් මම ඒ වැඩමුළුවට සහභාගී වුණා. ඒ හරහා මට ගයාන් දේශප්‍රිය ඇතුළු හොඳ යාළුවෝ පිරිසක් ගොඩනැගුණා.

ඒ ඔස්සේ ධනුෂ්කලා කරපු නිර්මාණ මොනවද?
ඒ වැඩමුළුවලින් එකතු වුණු අපේ යාළුවෝ පිරිසක් එකතු වෙලා කූඩුවට එනකල් කියලා වේදිකා නාට්‍යයක් හැදුවා. ඒ නාට්‍ය 2009 වසරේදී තරුණ සේවා සභාවේ හොඳම නිෂ්පාදනය වුණා. ඒ වගේම ඒ වසරේදී රාජ්‍ය උළෙලේදීත් හොඳම නිෂ්පාදනය බවට පත්වුණා. ඊටපස්සේ තවත් නාට්‍ය කිහිපයක්ම අපි කළා. මේ සම්බන්ධව නිසි විදිහට හදාරන්න පාසලක් නොමැතිකම නිසාම අවුරුදු නවයක් විතර ඇතුළේ වැඩ කරන ගමන්ම මේ දේවල් හැදෑරුවා. ෆීල්ඩ් එකේ හැම තැනකම රිංගලා මොකද්ද මේක කියලා හොයාගන්න මම වැඩකරලා තියෙනවා.

යං ටෙලි නාට්‍යයට ධනුෂ්ක සම්බන්ධ වෙන්නේ කොහොමද?
ගයාන් දේශප්‍රියගේ හොඳම යාළුවෙක් තමයි චරිත් අබේසිංහ කියන්නේ. ඉතින් චරිත් සහ ගයාන් එකතු වෙලා නිර්මාණයක් කරන්න තීරණය කළා. ඒ යං ටෙලි නාට්‍යයයි. ඒ හරහා මට ලැබුණු චරිතය තමයි සහස්පුර මධූ කියන චරිතය. ඒ චරිතය මට ලබලා දුන්නට චරිත්ට වගේම ගයාන්ටත් ස්තූති කරනවා. ඒ වගේම මේ වගේ අලුත් මුහුණු ටිකක් දාලා &යං* කරපු වැඩේ පෙන්නන්න බාරගත්තු ස්වාධීන රූපවාහිනී සේවයටත් මම ස්තූති කරනවා.

යං වෙනස් විදිහේ වැඩක්.. එහෙම නේද?
ඔව්. මේක එදිනෙදා පෙන්නන සාමාන්‍ය නාට්‍යයක් නෙවේ. මේක සම්පූර්ණයෙන්ම පොළොවෙ පය ගහලා ජීවත් වෙන කොල්ලො කෙල්ලන්ගේ කතාවක්. දැනටමත් මේ චරිතවල අයගේ ජීවිත කලාවල ඇත්ත චරිත මේ මහ පොළොවේ ජීවත් වෙනවා.

සහස්පුර රූගත කිරීමේදී ධනුෂ්ක ලබපු අත්දැකීම් මොනවද?
සහස්පුරේ මධූ තවමත් ඉන්නේ සහස්පුරේම තමයි. ඉතින් මම එයාටත් හොරෙන් හෙමීට එයාට කිට්ටු කරලා එයාව අධ්‍යයනය කරලා තමයි මේ චරිතය ගොඩනගා ගත්තේ. එයා සම්පූර්ණයෙන්ම ක්‍රීඩාවටම යොමු වුණු ක්‍රීඩා පිස්සෙක්. එක වැඩක්වත් සම්පූර්ණ කරන්නේ නැති, අතරමඟදී දාලා යන චරිතයක්. මමත් දැන් ඉන්නේ ඒ මධූ ඉන්න ප්‍රදේශයෙම තමයි. සහස්පුරේ මිනිස්සු ජාති බේද ගැන බලන්නේ නැති මිනිස්සු පිරිසක්. හැමකෙනාම එකට ජීවත් වෙනවා. ඒ මිනිස්සු හරිම සුහදශීලියි. වැඩක් කරද්දි මාර විදිහට සපෝට් කරනවා. මිනිස්සුන්ව හොඳට හඳුනනවා. අගෞරව කරන්නන්ට අගෞරව කරන්නත් වගේම ගෞරව කරන්නන්ට හොඳට ගෞරව කරන්නත් ඒ මිනිස්සු දන්නවා.

මීට අමතරව ධනුෂ්ක වෙනත් නිර්මාණවලට සම්බන්ධ වුණාද?
මේ ටෙලිනාට්‍ය විකාශනය වෙද්දි මට තව නිර්මාණ දෙකකට ආරාධනා ලැබුණා. නිර්මාණ කිරීම එහෙම ආවට ගියාට කරන්න මම කැමති නැහැ. මට මේ රේස් එක ටග්ගාලා දුවලා ඉවර කරන්න ඕනෙ නැහැ. මේ රේස් එක දුවන්න හොඳ පිට්ටනියක් තියෙන්න ඕනේ. හොඳ පිට්ටනියක් නැතිව දුවන්නන්වාලේ දුවන්න මම කැමති නැහැ. අපි ඇත්තටම කලාවට ආදරෙයි. කලාව කරන්න කැමතියි. ඒ නිසා අපි ඒ පිට්ටනිය හරියට හදන්න කැමතියි. ඊටපස්සේ ඒ පිට්ටනියේ සෙල්ලම් කරන අය සෙල්ලම් කරාවි.

 

► Text - Dishani / Pic – Internet