2019 ජුනි 01 වන සෙනසුරාදා

මතකය කෙතරම් සොඳුරුද

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 103

මතකය කෙතරම් සොඳුරුද හිතවත... මම අහන්නේ ඔයාගෙන්... අපි - අපි මුණගැහිලා ඊයේට.. ඒ කීවේ ජූනි 1 සෙනසුරාදාට හරියටම අවුරුදු පහයි.. කතා කළා අපි හුඟාක් දේවල්.. ලෝකය පුරා අක්ෂර දිගේ අපි ඇවිද්දා... මිතුරණි... ජීවිතය සුන්දර වසන්තයක් ආදරය හැම හිතුවිල්ලකම දැවටෙද්දී... ඔයා මම ඒ සහෘදත්වය තුළ විඳගත්තේ ආදරය...

විජය පුවත්පත් සමාගම කියන මහා වනස්පතිය පාමුල දළු ලෑව දේශය කියන පැලය දැන් පුංචි ගසක් තරමටම මුල් ඇදලා... මල් පිපෙන ළදළු ඉපදෙන පල බර ඒ ගහේ සෙවණ යට නැවතුණ ඔයාලා හැමෝම අපිට අපේ ආදරණීය ළතෙත් හිත් ඇති සහෘදයන්... ඔයා - මම, ඔයාලා - අපි අතර තිබුණේ අක්ෂර හිතුවිලි ගනුදෙනුවක් විතරක් නෙවෙයි... ඒ අකුරු ගැඹුරේ කලවම් කරලා සම්මිශ්‍රණය කරලා මනුෂ්‍යත්වයේ හැඟීම් සමුදායක් විශ්වයේ අහුමුළු නෑර දැනුම් පසිඳින දියවරක් ඔයාට තෑගි කරන්න අපි හැමදාම උත්සාහ ගත්තා...

තිඹිරි ගෙයි සිට සුසානය තෙක් යන සසර සුවිසැරියේ අපි යාත්‍රිකයන්.. ඒ යාත්‍රාවේ නවාතැන් අපමණක් අපට මුණගැසෙනවා.. නවතින නොනවතින නැවතී අත්හරින නවාතැන් කොතෙක්ද කියලා ගණන් නොහැදුවත් මතක කොච්චරද කියලා සංඛ්‍යාත්මකව නොදත්තත් මතක මහා සමුදායක් අපි උරහිස දරන පැසෙහි රුවා ගන්නවා. හුදෙකලාව සඳ සෙවණක් යට නැවතුණු රැයෙක අනවසරයෙන් මතක අහසේ ඉගිල්ලෙන්නේ ඒ අතීත මතක කුරුල්ලන්... තෙත බරිත අහසක් දිලිසෙන ඇස්වලින් අයදින වැහිලිහිණියන් වගෙයි අපි...

පොළොව හොයාගෙන එන වැහි දිය අතරේ බොහොම කලාතුරකින් තාරුකත් තියෙනවා. පොළොවට වැටෙන තරු පොළොවේ පැලවෙන හීන දකින්න බෑ අපිට. ජීවිතයට සීමා මායිම් සංස්කෘතික සදාචාර සීමා මායිම් අදාළ නොවෙන්න පුළුවන්... ඒත් හීන තියෙන්නේ සිර ගෙයක. නින්ද කියන සිරගෙය තුළ පාවෙන හීන අපි ඇස් පියන් යට හංගා ගන්නවා මොහොතක්. ඒත් හැම දිගු නින්දක් කෙළවරම අපට අැහැරෙන්න සිද්ධ වෙනවා...
මොන තරම් අකුණු ගැහුවත් මහා වැහි වැස්සත් අව් දහරා සඳ දහරා දිග හැරියත් වලාකුළු වියන් හැදුවත් අපි හැමෝම ඉල්ලන්නේ හිස් අහසක්... ඒ රිසි රිසි සේ අත්තටු දිග හැර ඉගිල්ලෙන්න... අපි හොයන්නේ අපි ප්‍රාර්ථනා කරන්නේ එහෙම අහසක්...

තව දවස් ගත වේවි... කාලය ඉගිල්ලෙද්දෙන්...

එහෙම අහසක් අපි තනාගමු. අපටම කියලා ඉගිල්ලෙන්න.
ප්‍රඥාව මලක් සේ නෙළාගත නොහැකිය

එය කන්දකි
තරණය කරන්න.