2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

මම අනූෂාට කියන්නේ ශිල්පා ෂෙට්ටි කියලා

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:31 224

අනූෂා මුලින්ම රජිතව මුණගැහුණ කාලය මතකද?
රජිතව මට මුණගැහුණේ රෝයි අයියගේ (රෝයි ද සිල්වා) ෆිල්ම් එකකිනුයි. ඊට කලින් පාටි එකකදී වගේ මට රජිතව මුණගැහිලා තිබුණා;. හැබැයි එකට වැඩ කරන්න ලැබුණෙනම් රෝයි අයියගේ ෆිල්ම් එකකින් තමයි.

රජිත කියන්නේ මොනවගේ කෙනෙක්ද?
රජිත කියන්නේ ඇත්තටම හරිම විනෝදකාමී යාළුවෙක්. එයා ඉන්න කිසිම තැනක පාළුවක් දැනෙන්නේ නැහැ. ඒ වගේම රජිත කියන්නේ හරි හොඳ කෙනෙක්. එයා හරි දක්ෂ කෙනෙක්. අපි දකින රජිතට වඩා රජිත තුළ හොඳ නිර්මාණවේදියෙක් ඉන්නවා. අපි දකින රජිතට වඩා ඊට එහා ගිය දක්ෂයෙක් එයා තුළ ජීවත් වෙනවා. මම  හිතන විදිහට තාමත් රජිතගෙන් ඒ දක්ෂයව කවුරුත් හරියට හඳුනාගෙන නැහැ කියලයි. නර්තනය, රංගනය, කොමඩි රඟපෑම් වැනි හැම දෙයකටම රජිත දක්ෂයි. ඉතා ඉක්මනින්නම වෙනස් වෙලා ඒ ඒ චරිතයට මාරු වෙලා ඒ චරිතයන්ට ඉතා සාධාරණයක් කරන්න පුළුවන් නළුවෙක් තමයි රජිත කියන්නේ. 

ඇතැමුන් රජිතට කොමඩි චරිතවලට කොටු කරලයි තියෙන්නේ. කොමඩි කරන්න එතරම් ලේසියෙන් බැහැ. අනූෂාට ඒ ගැන මොකද හිතෙන්නේ?
ඇත්ත. කොමඩි නළුවෙක් වෙන්න කෙනෙක්ව හිනස්සන තත්ත්වයට ගේන්න හරි අමාරුයි. ඒක උපරිම දක්ෂතාවයක් කියලයි මට හිතෙන්නේ. රජිත ඉන්න තැනදි වුණත් අපිට හිනා යනවා. ඇත්තටම ඒක එක්තරා විදිහක දක්ෂතාවයක්. අපේ අධ්‍යක්ෂකවරුන් එක රූප රාමුවකට කොටු කළාට රජිතලා වගේ අයව එහෙම කොටු කරන්න හොඳ නෑ. විකට චරිත වගේම ඊට එයා ගිය බොහෝ දක්ෂතා රැසක් තියෙන නළුවෙක් විදිහට තමයි මම රජිතව දකින්නේ. විකට නළුවා කියන්නේ එයාගේ එක කොටසක් පමණයි.

රජිතට කේන්ති යනවද?
රජිතට කේන්ති යනවනම් මම දැකලා නැහැ. හැබැයි අසාධාරණය වෙනුවෙන් ඕනෑම වෙලාවක කෙළින් කතා කරන බය නැති කෙනෙක් කියලා මම දන්නවා. අපි දකිනවාට වඩා වගකීම් දරන්න පුළුවන් මනුස්සයෙක් රජිත තුළ ඉන්නවා. අපි හිතන්නේ ගෙදරින් රජිත හැමවෙලේම විහිළු තහළුවෙන් ඉන්න මනුස්සයෙක් කියලනේ. ඒත් රජිත කියන්නේ වගකීමක් දරන, යුතුකම් ඉටු කරන හොඳ කෙනෙක්. එයාගේ වයිෆ් එක්ක දරුවන් දෙන්නා එක්ක හරි අපූරුවට ජීවත් වෙන කෙනෙක්. ඔහු මම දන්නා තරම හොඳ සැමියෙක් වගේම හොඳ තාත්තා කෙනෙක්.

රජිතගේ විලාසිතා ගැන අනූෂාට මොකද හිතෙන්නේ?
එයා නළුවෙකුට උචිතයි කියලයි මට හිතෙන්නේ. නළුවෙක් කියන්නේ විලාසිතා මවන්නෙක්. ඔහුගෙන් විලාසිතා බොහොමයක් එළියට යනවා. දකින දකින සැරේට රජිත වෙනස් වෙනවා. මම හිතන විදිහට ඒක හොඳ දෙයක්. රජිත රජිතවම විඳිනවා. රජිත දකින සිහිනය රජිත විසින්ම ඉෂ්ඨ කරගන්නට කියලයි මම නම් හිතන්නේ. එයාට හිතුණොත් මම මේ විදිහට ඉන්න ඕනේ කියලා රජිත ඒ විලාසිතාව කරනවා. සමහර වෙලාවට රජිත කොණ්ඩේ කපනවා. සමහර වෙලාවට තට්ටෙ ගාලා ඉන්නවා. ඉතින් එයාව කවදාවත් අපිට එකම විදිහට එකම රූපෙන් දකින්න ලැබෙන්නේ නැහැ. වෙනස්කම් කරමින් එයා විලාසිතා මවනවා. මමනම් ඒකට කැමතියි. ඒකාකාරී වෙන්න ඕනෙ නෑ. ඒ නිසාම රජිතට සමහර චරිත කරන්න ලේසි වුණා.

අනූෂායි, රජිතයි විදෙස් සංචාර බොහෝමයකට සහභාගී වුණානේ. අමතක නොවන සිදුවීම් එහෙමත් වෙලා ඇති නේද?
ඔව්. මම රජිතත් එක්ක යුරෝපා සහ මැදපෙරදිග සංචාර බොහොමයකට සහභාගී වෙලා තියෙනවා. දවසක් සංචාරයකට හදිස්සියේ යන්න සිද්ධ වුණා. ඒ ගමනට මගේ අම්මාගේ වීසා එක ආවේ නැහැ. ඉතින් හැබැයි මම මේ ගමනට යන්නම ඕනෑ. ඒකට සුරේෂ්, රජිත, මම ගියේ. ඒ ගිහින් ප්‍රසංගය ඉවරවුණු ගමන් මම ආයෙමත් ලංකාවට එන්නත් ඕනේ. ඉතින් ඔන්න අම්මා නැතිව මම රජිතයි, සුරේෂුයි එක්ක කුවේට්වලට ගියා. මගේ අම්මා මාව බලාගැනීමේ වගකීම මේ දෙන්නට පැවරුවා. රජිතටයි, සුරේෂ්ටයි ලියුම් දෙකකුත් දීලා මාව බලාගන්න කියලා අම්මා ලියලා තිබුණා. මාව හොඳට බලාගන්න කියපු නිසා මේ දෙන්නාගේම වැඩේ මම පස්සෙන්ම එන එකයි. අපි වෙනම පොඩි ගෙයක් අරගෙන තමයි නතර වුණේ. ඒ ගෙදර මම වෙනම කාමරයක් ගනිද්දි මේ දෙන්නත් මගේ කාමරේටම එනවා. මට washroom එකටවත් තනියම යන්න දෙන්නෙ නැහැ දොර ගාවට වෙලා හිටගෙන ඉන්නවා. අපි අම්මාට ඔයාට බලාගන්න පොරොන්දු වුණා කියලා ඉන්නකම්ම මට දස වදයක් දුන්නා. නිදාගන්න හදද්දිත් එහා පැත්තෙ ඇඳට වෙලා නිදාගන්නත් හැදුවා. ඔන්න ඉතින් බොහොම අමාරුවෙන් මම ඒ දෙන්නව කාමරෙන් එළියට දාලා මගේ කාමරේ දොරත් ලොක් කළා. ටික වෙලාවකින් මම එකපාරට නින්දෙන් ඇහැරිලා බලද්දි මට පේනවා මගේ දෙර ළඟ කවුදෝ වාඩිවෙලා ඉන්නවා. කළුවරේ දැකපු ඒ දෙයින් මම හොඳටම බය වුණා. මම මහ හයියෙන් කෑගැහුවා. බලද්දි තමයි වැඩේ තේරුණේ. මට ආරක්ෂකයෝ දෙන්නා ඕන නිසා රජිත පුටුවකට ඇඳුමක් අන්දවලා කෝට් එකකුත් දාලා මගේ දොර ගාවම හදලා. එදානම් මම හොඳටම බය වුණා. ඔන්න ඔහොමයි උන් දෙන්නා මාව ආරක්ෂා කළේ.

රජිත කරන විහිළුවලට අනූෂාට කේන්ති යන්නෙ නැද්ද?
අනේ නැහැ. එයත් එක්ක ඉඳිද්දි හරි විනෝදයි. දවසක් මගේ ෆොටෝ ගහන්න කියලා මගේ ෆෝන් එක රජිත අතට ගත්තා. ඔන්න ඉතින් සෙල්ෆිත් ගත්තා. මගේ ෆොටෝත් ගත්තා. අපි හරි ලස්සන ලස්සන තැන් ෆොටෝ ගත්තා. මම ඒ ෆොටෝවලට හරි ආස වුණා. රෑ අපි නැවතිලා ඉන්න තැනට ඇවිත් රජිත මගේ ෆෝන් එක අරගෙන අර ගත්තු ෆොටෝ ආයෙ ආයෙ බලලා අනූෂා මේක බලන්න. මේක ලස්සනයි නේද? කිය කියා බල බලා හිටියා. ටික වෙලාවකින් බලද්දි එක ෆොටෝ එකක්වත් ෆෝන් එකේ නැහැ. ආසාවෙන් ගත්තු හැම ෆොටෝ එකක්ම රජිත අතින් ඩිලීට් වෙලා.

සාමාන්‍ය ජීවිතේ ඉන්න රජිතව අනූෂා දකින්නේ කොහොමද?
රජිත කියන්නේ හරිම සුන්දර දක්ෂ මනුස්සයෙක්. එයා විවාහ වෙන්න ඕනෙ කියලා හිතද්දි එයාගේ පොඩි කාලේ ඉඳන්ම තිබුණු ආදරයත් එක්ක විවාහ වෙලා අද දරුවන් දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්. රජිත වගකීම් දරන සැමියෙක් වගේම වගකීම් බිරිඳට විතරක් බාරදීලා නැහැ. ෂූටිං අතරතුරේදී වුණත් සමහර දාට එයා ඉඩ ලබාගෙන ඒවාට බාධාවක් නොවන විදිහට දරුවන්ගේ කටයුතුත් කරනවා. එයා වයිෆ්ට හොඳ ලස්සනට සළකන සැමියෙක්. ඒ දෙන්නා කතාකරගෙන හොඳ අවබෝධයෙන් ජීවත් වෙන දෙන්නෙක් කියලා අපි දන්නවා. එයාගේ වයිෆ් එයාට ලොකු ආභරණයක්. ඇයගෙන් ලොකු සහයෝගයක් රජිතට ලැබෙනවා. මම දැකපු හරිම ලස්සන පවුලක්.

රජිත වගේ කෙනෙක් ජීවිතයට මුණගැහුණු එක ගැන අනූෂාට මොකද හිතෙන්නේ?
මට ගොඩක් සතුටුයි. මම දන්නා කාලයේ ඉඳන් රජිත මට හොඳ යාළුවෙක්. අපි කවදාවත් වචනයකින්වත් හිත රිදවගෙන නෑ. එයා හරි අවංක යාළුවෙක්. හැමවෙලේම අපේ දක්ෂතාවයන් අපි හුවමාරු කරගෙන තියෙනවා. වැඩක් කරද්දි වුණත් එයා හරිම සහයෝගයෙන් වැඩ කරනවා. ඇත්තටම රජිත කියන්නේ හිත හොඳ අවංක, මානුෂීය යාළුවෙක්.
ඔන්න ඔහොම තමයි රජිත ගැන අනූෂා කිව්වේ. දැන් එහෙමනම් අපි බලමුද අනූෂා ගැන රජිත මොනවද කිව්වෙ කියලා.. ඒකත් හරි විහිළුවක්ම තමයි. කවුරුත් නොදැන හිටියට අනූෂා හිතාගෙන ඉඳලා තියෙන්නේ රජිත එයාගේ නෑදෑයෝ කියලයි.

රජිත මතකද අනූෂාව මුණගැහුණු මුල්ම කාලේ?
අනූෂාව මට මුලින්ම මුණගැහෙන්නේ 2004 – 2005 වගේ කාලවලදී. ඒ කාලෙදී අනූෂා ක්ෂේත්‍රයේ හරිම ජනප්‍රිය චරිතයක්. හැබැයි මම ක්ෂේත්‍රයට අලුත්. ඉතින් ඒ කාලයේදී එක්තරා පුවත්පතකට කවරයක් කරන්න මාවයි අනූෂවයි යොදාගෙන තිබුණා. ඒ කාලෙදී මම පිංපොං විදිහට ජනප්‍රිය වෙලා තිබුණට තනියම කවරයක් කරන්න එයාලා කැමති වුණේ නැහැ. අපි මන්නාරමේ ගිහින් තමයි ඒ කවරය කළේ. එදා අනූෂා මට ගොඩක් උදව් කළා. ප්‍රධාන චරිතයක් රඟපාන නිළියක් විදිහට, සිනමාවට අලුත් කෙනෙක් විදිහට මාත් එක්ක බොහෝම නිහතමානීව එකතු වුණාට අදටත් අනූෂාට ස්තූති කරන්න ඕනේ.

අද වෙනකොට අනූෂා කියන්නේ මොනවගේ කෙනෙක්ද?
ලංකාවේ ඉන්න නිළියන්ගෙන් දක්ෂම නිර්තන ශිල්පිණියන්ගෙන් මුල්ම තැන අනූෂාටයි, නිලන්තිටයි හිමිවෙන්නම ඕනේ. අනූෂා එයාටම ආවේණික විලාසිතාවක් තමයි අනුගමනය කරන්නේ. අනූෂා දමයන්ති කියන කෙනා ඕනෑම තැනක කැපිලා පේනවා. අනූෂාට හරි ලස්සන ගැමි පෙනුමක් තියෙනවා. ඒක වැඩිය කවුරුත් දන්නේ නැහැ. ධන ඍණ කියන චිත්‍රපටයේ මේක් අප් නැතිව අනූෂා රඟපානවා මම දැක්කා. ඇත්තටම අනූෂාට ගැමි පෙනුමක් තියෙන්නේ. නායකත්ව ගති ලක්ෂණ අනූෂා හැමවෙලේම පෙන්නුම් කරනවා. මම හිතන විදිහට තාමත් ලංකාවේ අධ්‍යක්ෂකවරුන් අනූෂාගේ රංගනයෙන් ලොකු වැඩක් අරගෙන නැහැ. අනූෂා කියන්නේ ඇත්තටම දක්ෂ කලාකාරිනියක්. අනූෂාව හැමවෙලේම මට පෙන්නේ ශිල්පා ෂෙට්ටි වගෙයි. මම ශිල්පා ෂෙට්ටි කියලා තමයි අනූෂාට කියන්නේ.

අනූෂා කියන්නේ හරිම විනෝදකාමී චරිතයක් නේද?
ඔව්.. අනූෂා කියන්නේ පුම්බගෙන ඉන්න චරිතයක් නෙවේ. අනූෂා හැමවෙලේම හායි ගාගෙන ඇවිත් හැමෝම එක්ක හරිම සුහඳව වැඩ කරන කෙනෙක්. හැමෝටම එක හා සමානව ඒ සුහදත්වය අනූෂා බෙදනවා. අපි මොන විහිළුවක් කළත් අනූෂාට ඒක ගාණක් නැහැ. කේන්ති යන විහිළු මොනවා කළත් අනූෂා කවදාවත් තරහා වෙන්නේ නැහැ. සමහර විහිළු අනූෂාට මතකත් නැහැ. ආ ඇත්තද ඩාලින්.. කියලා සමහර වෙලාවට අහනවා.

එහෙම කරපු විහිළුවක් කියමුද?
එහෙම කරපු විහිළුවක් කියන්නද? මේක ගැන අනූෂා කිසිම දෙයක් දන්නෙ නෑ. අනූෂා තාම හිතාගෙන ඉන්නේ අපි දෙන්නා නෑදෑයෝ කියලා (ඔන්න ඒ නෑදෑ පට්ටම ගැලවෙන දවස ළඟයි වගේ) මම ෂූටිං ගිය තැනකට අනූෂාගේ සීයා අඳුරන කෙනෙක් මට මුණගැහුණා. එයා රාජගිරියේ සීමන් මුදලාලි කියලා කෙනෙක්. ඔන්න ඉතින් මම ඒ මනුස්සයාගෙන් පවුලේ සියලුම විස්තර දැනගත්තා. දවසක් මට අනූෂා මුණගැහුණා. මාත් ටික වෙලාවකින් සීමන් සීයා ඔයාලගේ කවුද කියලා ඇහුවා. ඒ මගේ සීයා ඔන්න ඉතින් මම ගම ගැන, නෑදෑයෝ ගැන කියද්දි අනූෂාට පුදුමයි. දැන් මම මාතර නන්දාවතී නැන්දාගේ කසින් අයියාත් ඔයාගේ සීයා නේද කියලා අහද්දි අනූෂා එයාගේ අම්මටත් කතා කරලා අපේ නෑදෑ විස්තරේ කිව්වා. අම්මටත් සතුටුයි. දැන් ඉතින් බොරුවෙ හැටියට අපේ ආච්චියි, අනූෂාගේ සීයයි කසීන්ලා. ඔන්න ඔහොම තමයි මම අනූෂාගේ නෑදෑයා වුණේ. හැබැයි ලිපිය කියවලා අනූෂා දක්වන ප්‍රතිචාරයනම් මොනව වෙයිද දන්නෙ නම් නැහැ

රජිතගේ කමිසය අනූෂා හැංගුවේ ඇයි?
ආ.... ඒක වුණේ කොරියා ටුවර් එකකදී. මම සාමාන්‍යයෙන් සින්දු කියද්දි ටීෂර්ට් එකක් එහෙම ඉරලා පොඩි වැඩ කෑලි ටිකක් එහෙම දාලා විසි කරනවනේ. ඔන්න ඉතින් මම එදාත් එහෙම ඉරන ටීෂර්ට් එක අනූෂාට දුන්නා. මම ඉල්ලුවම දෙන්න කියලා හරි බබා... හරි ඩාලිං.. මම දෙන්නම් කියලා අනූෂා ඒක බෑග් එකෙ දාගත්තා. දැන් ඔන්න මම අන්තිම සින්දු දෙක කියන්න ළංවෙද්දි ටීෂර්ට් එක තියා අනූෂාවත් හොයාගන්න නැහැ. මට ටීෂර්ට් එක ඉරන්නත් ඕනෙ වැඩ දාන්නත් ඕනේ. මම ටග් ගාලා ළඟ හිටපු සුරේෂ්ගේ ටී ෂර්ට් එක ගලවලා ඒ සින්දු දෙක කිව්වා. අතරමගදී සුරේෂ්ගේ ටීෂර්ට් එක ඉරලා විසිකළා. ඒක සුරේෂ්ගේ හොඳම ටීෂර්ට් එකක්. අනූෂා නිසා අන්තිමට සුරේෂ්ට ටීෂර්ට් එකක් නැති වුණා.

අනූෂා වගේ යාළුවෙක් මුණගැහුණ එක ගැන රජිත මොකද හිතෙන්නේ?
ඇත්තටම අනූෂා කියන්නේ මට හොඳ යාළුවෙක්. ඒ වගේ යාළුවෙක් මුණගැහුණු එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. මගේ ජීවිතේ සතුටේදී වගේම දුකේදිත් අනූෂා මාත් එක්ක හිටියා. සිනමාවෙත් මට හොඳ යාළුවෝ පිරිසක් මුණගැහුණා. සිනමාවෙන් මට ලැබුණු වටිනාම දේ තමයි ඒ යාළුවෝ.

 

► Text - Dishani  /   Pic -  Sumudu & Internet