2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

End එක මට ටිකක් අවුල්

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 248

Art එකේ කැරට්ටුව..

හඬ: ශ්‍රියන්ත මෙන්ඩිස්

අපි වේලාසනින් අවදි වුණෙමු..
එහෙත් අප වේලාසනින් අවදි වූ පමණින් ඉරු පායන්නෙ නැත..
නමුත් කවදා හෝ දිනක ඉරු පායද්දී වේලාසනින් අවදි වී සිටීම අපට ප්‍රයෝජනය වනු ඇත...
මේ කවියේ අයිතිකාරයා රෝහණ ...  

එසේත් නැත්නම් රුසියාවේ ලුමුම්බා සරසවියට පය තිබ්බ හීන කණපිට හරවලා අලුත් හීනයක් හොයාගෙන ජන්ම ලාභය ලද බිමට ඇවිත් රතු මල් පිපුණු හීන අස්වද්දන්න ගිහින් වේදනාත්මක මරණයක් අයිතිකරගත්ත රෝහණ විජේවීර... ඇත්තටම රෝහණ විජේවීර විප්ලවවාදියෙක්ද? නිර්වචනය... උත්තරය ඔබ සතු අයිතියක්... ඉන් එහා නෑ කතා... ශ්‍රියන්තගේ දිලිසෙන විසල් ඇස් ගැඹුරට එබෙන්න ඊළඟ මොහොත මට අවශ්‍යයයි.
මම මේ දවස්වල හර්ෂ උඩකන්දගේ ගෝරී කියන චිත්‍රපටයේ වැඩකරගෙන යනවා... ටෙලි නිර්මාණ කිහිපයකටමත් දායකවෙලා දැනටමත් වැඩ කටයුතු කරගෙන යනවා... ඉදිරියේදී අලුත් ටෙලි කිහිපයකටම ආරාධනා ලැබිලත් තියෙනවා... ඒත් එක්කම සුබ සහ යස, සුදු සහ කළු, හංකිචි දහතුන කියන වේදිකා නාට්‍යවලත් රඟපාමින් ඉන්නවා... එහෙම බලද්දි මාධ්‍ය ත්‍රිත්වයටම සම්බන්ධවෙලා වැඩකරගෙන යනවා ඉතින්....

කියමුකො බලන්න රසවින්ද මතක හිටි නිර්මාණයක් ගැන විස්තර ටිකක්... ඒ නිර්මාණය ශ්‍රියන්තගේ  හිතට තදින් වැදුනු එකක් නම් මරු... 
සාමාන්‍යයෙන් චිත්‍රපටයක ස්මරණයන් නැවත නැවත ස්මරණය කරන්න පුළුවන් නම් ඒක සදාකාලික චිත්‍රපටයක් බවට පත්වෙනවා... මෑත කාලයේ බිහිවුණු එවැනි නිර්මාණයක් තමයි අනුරැද්ධ ජයසිංහ කියන ප්‍රවීණ අධ්‍යක්ෂවරයා නිර්මාණය කරපු ගින්නෙන් උපන් සීතල කියන නිර්මාණය... ගින්නෙන් උපන් සීතල ටිකක් ආන්දෝලනාත්මක චිත්‍රපටයක්. ඒකට හේතුව දේශපාලන වටපිටාවකට මේ චිත්‍රපටය සම්බන්ධයක් තියෙන නිසා.. ඒ චිත්‍රපටයේ තියෙන ආකෘතියටත් මගේ ලොකු කැමැත්තක් තියෙනවා... තව මේ චිත්‍රපටයේ රංගනයන් පිළිබඳ ලොකු කෑදරකමකුත් මට තියෙනවා.. වර්තමානයේ මගේ සිත්ගත් චිත්‍රපටයක් බවට ගින්නෙන් උපන් සීතල පත්වෙලා ඉවරයි...

පුද්ගලයෙකුගේ ජීවිත කතා පාදක කරගෙන නිර්මාණය වෙච්ච නිර්මාණ ලෝකයේ සහ අපේ රටෙත් ගොඩක් තියෙනවා... විශේෂ හේතුවක් තියෙනවද රෝහණ විජේවීරගේ ජීවිත කතාවට මෙච්චරම කැමැත්තක් ඇතිවෙන්න...?
අපි ලෝකයේ ජීවත් වෙනකොට අඩුවැඩි වශයෙන් දේශපාලන සත්වයෝ බවට පත්වෙනවා... දේශපාලන ප්‍රවාහයෙන් මිදිලා කිසි කෙනෙකුට තමන්ගේ පාඩුවෙ වැඩකටයුතු කරන්න බෑ... කවුරු මොනව කිව්වත් ඒක තමයි ඇත්ත තත්ත්වය. කා වෙනුවෙන් හරි කොයි මොහොතක හරි තුන් පැත්තකින් වටකරලා තියෙන පෙට්ටියක් ඇතුළට ගිහින් කතිරයක් ගහන්න වෙනවා... මේ චිත්‍රපටයේ කතාකරන්නේ රෝහණ විජේවීර කියන ඓතිහාසික සුවිශේෂ පුද්ගලයාගේ ජීවන චාර්යාව පිළිබඳව. ඔහු පිළිබඳව අපිට යම්කිසි විශ්වාසයක් ගොඩනැගෙන්න හේතුවක් තමයි.. ඒ කාලේ දේශපාලන කලේ යමක් කමක් තියෙන පුද්ගලයොනේ... ගමේ මැම්බර් ගමේ ඉන්න සල්ලිකාරයා... ගම්මුලාදැනී වෙන්න තත්ත්වය සහ සල්ලි දෙකම තියෙන්න ඕනෙ.. ගමේ මන්ත්‍රීලා වෙන්නේ හොඳට සල්ලි වියදම් කරන්න පුළුවන් අය.. උසස් පැලැන්තියට, සල්ලි තියන අයට තමයි මේ තනතුරැ සීමාවෙලා තිබුණේ..  රෝහණ විජේවීර තමයි ගම ඇතුලට ගිහින් ගමේ ඉන්න සාමාන්‍ය ජනතාවට මේ ක්‍රියාවලිය හඳුන්වා දුන් නායකයා කියලයි මගේ පෞද්ගලික අදහස.. ඒ නිසාම මේ සුවිශේෂි පුද්ගලයා ජීවත්වුණු විදිය ඔහුගේ ජීවිතයේ යම් යම් විශේෂ සංසිද්ධි කැමරා කාචයට හසුකරගෙන තිබුණු ආකාරය නිසා තමයි අනිකුත් චිත්‍රපටවලට වඩා මට මේ චිත්‍රපටය විශේෂ වෙන්නේ...

ඔබේම ජීවිතය අත්දැකීමට ළංවෙච්ච නිර්මාණයක් විදියට ගින්නෙන් උපන් සීතල ඔබට දැනෙනවද?
ඇත්තටම ඔව්... අපිත් ඒ තාරුණ්‍යයේ භද්‍ර යෞවනයේ, ඉන්නකොට යම්කිසි දේශපාලන උණුසුමක් වින්ඳ අයනේ. ඒ කාලේ අපි දැක්ක නායකයෙක් තමයි රෝහණ විජේවීරයන්... ඔහු බොහොම උනන්දුවෙන්, උවමනාවෙන් මේ අධිරාජ්‍යවාදී, ධනවාදී සමාජ ව්‍යුහයේ හැඩය වෙනස් කරන්න උරදුන්න නායකයෙක්. එහෙම උරදුන්න නායකයෙක්ගේ චරිත නිරූපණයක් සිනමාව තුළ වර්ණවත් වෙනවා නම් මම හිතන්නේ ඒක විශේෂ අවස්ථාවක්. මම චාලි චැප්ලීන්ගේ චරිතාපදානය දැකලා තිබුණා. ලෝකයේ හිටපු ක්‍රීඩකයින්, ගායකයින්, නළුවන්, නිළියන් විවිධ පුද්ගල චරිත ගැන කතිකාවක් හැදිච්ච අවස්ථාවන් තිබුණා.. ඒ අය ගැන චිත්‍රපට තිබුණා... ලංකාවේ දේශපාන ක්‍රියාවලි තුළ ඩී.එස්. සේනානායකගෙන් පස්සේ අපිට දැනෙන කතිකාවක් ඇතිවුණ චරිතයක් තමයි රෝහණ විජේවීර කියන්නෙ... මේ චරිතය පණපොවන්න තෝරා ගත්තෙත් අපේම හොඳ මිත්‍රයෙක්... කමල් අද්දරආරච්චි. ඔහු විජේවීරගේ චරිතය හොඳින් අධ්‍යනය කරලා ඉතා අපූරුවට ඒ චරිතය නිරෑපණය කරලා තියෙනවා. 

හරි... ශ්‍රියන්ත ඔබේ හිතට වැදුණු නිර්මාණය ඇතුළේ ඔයා කැමතිම චරිතයක් ඉන්න ඇති නේද?
ප්‍රධාන චරිතය වන රෝහණ විජේවීර භූමිකාව තමයි විශේෂයෙන්ම කැපී පෙනෙන්නේ... ඒකට මූලික හේතුවක් තමයි කමල් අද්දරආරච්චිගේ සුවිශේෂි රංගනය. රෝහණ විජේවීරගේ ගති ලක්ෂණ සහ හැඩතල සහ රෝහණ තුළ තිබ්බ දේශපාලන ඥානය වමාරන්න කමල් ගත්ත හොඳ උත්සාහයක් වශයෙන් මම ඔහුගේ රංගනය දකිනවා... සුලෝචනා වීරසිංහගේ රංගනය ගැනත් කතා නොකරම බෑ. ඇය නිරූපණය කරන්නේ රෝහණ විජේවීරගේ බිරිඳගේ චරිතය ඇයත් හොඳින් ඒ කාර්යය ඉටුකරනවා... අනුරුද්ධ ජයසිංහ අනිකුත් අවශේෂ චරිත හරි පරිස්සමට මෙහෙයවලා සැබෑ චරිතවලට සමාන චරිතම තෝරගෙන ඔහුගේ චිත්‍රපටයට ඒ අයගේ දායකත්වය ලබාගන්න දක්ෂවෙලා තියෙනවා...

කමල් අද්දරාරච්චි නිර්පණය කරපු රෝහණගේ චරිතය ශ්‍රියන්තට හම්බවුණානම් කොහොමද?
ඇත්තටම මම රෝහණ විජේවීරගේ චරිතය කරලා තියෙනවා... ගාමිණී ෆොන්සේකා මහත්මයා එක අවස්ථාවකදී විජයග්‍රහණය කියලා චිත්‍රපටයක් කරන්න සැලසුම්කරා ඒ චිත්‍රපටයේ රෝහණ විජේවීරගේ චරිතය හම්බවුණේ මට... අපි අංග රචනාවකුත් කරා... විජේවීරගේ චරිත නිරූපණයක් මුලින්ම කරපු අවස්ථාව තමයි ඒක. අවාසනාවක ගාමිණී ෆොන්සේකාට ඒ චිත්‍රපට නිමකිරීමට අවස්ථාවක් හම්බවුණේ නෑ.. ඒක කාලයේ වැලිතලාවට වැළලී ගියා... ඒ නිසා තමයි ගොඩක් දුරට විජේවීරගේ චරිතයට කැමැත්තත් ඇල්මක් බැල්මක් ඇති වුණේ.. මොකද මමත් සෑහෙන දුරට සෑහෙන කාලයක් විජේවීරගේ චරිතය අධ්‍යනය කරපු කෙනෙක්. 

ගින්නෙන් උපන් සීතල ඇතුළේ ශ්‍රියන්තව වැඩියෙන් සංවේදී කරපු තැනක් මතකද?
විජේවීර දරුවන්ට ගොඩක් ආදරය කරපු කෙනෙක්.  ඔහුගේ දියණිය එක අවස්ථාවකදී තාත්තා වෙනුවෙන් කවියක් ලියනවා... 

තාත්තේ උඹ මේ භූමියේ 
මේ තණකොළ පිඩලි යට කොහේ හෝ නිදන බව මම දනිමි 
ඒ තණකොළ පිඩලි උඩින් රතු මල් පිපෙනු ඇත.
කෙදින හෝ මමද උඹගේ මඟ යෑමට සූදානම්ය

ඒ තමයි දියණිය පියා වෙනුවෙන් කරපු ආවර්ජනය... චිත්‍රපටයේ ඇය ඉතා කුඩා ළදැරියක් වුණාට දැන් ඇය යෞවනියක්...
වඩාත් සංවේදී වන තැන තමයි විජේවීරව අත්අඩංගුවට පත්වන අවස්ථාව... ඔහුගේ දරුවන් ජනේලයකින් ඒ දෙස බලාගෙන ඉන්නවා. පියා කවදාහරි එයි කියලා.. නමුත් ඔහු නැවත පැමිණියේ නැහැ...
මේ චිත්‍රපටය තිරගතවෙලා වැඩි කාලයක් නෑ... ඔබ දැනට කී වතාවක් මේ චිත්‍රපටය නැරඹුවාද?
දැනට නම් එක වතාවයි.. තවත් වතාවක් බලන්න මගේ හිතේ අදහසක් තියෙනවා...
ශ්‍රියන්තට මේ චිත්‍රපටයේ එන්ඩ් එකේ මොනවගේ හැඟීමක්ද දැනුණේ....
ශ්‍රියන්තගේ මුහුණේ සිසාරා සිනාරැල්ලක්....

වර්තමාන දේශපාලනඥයන්ට වඩා රෝහණ විජේවීර තමන්ගේ මුළු ජීවිතෙන්ම ඇප කැප වෙච්ච පුද්ගල චරිතයක්. මම ඔහුව දැකලත් තියෙනවා... අවාසනාවකට මට ඔහුත් එකක් කතා කරන්න හම්බවෙලා නෑ... ඒත් මට 71 කැරුල්ල 88-89 භීෂණ යුගය මේ සියල්ල මට ආවර්ජන වුණා මේ චිත්‍රපටය නරඹද්දී.. හැබැයි මගේ පෞද්ගලික අදහස නම් මේ චිත්‍රපටයේ එන්ඩ් එක මේක නෙමේ කියලා.. එක්කෝ ඒ එන්ඩ් එක අහම්බෙන් මඟ ඇරිලා.... නැත්නම් ඒක උවමනාවෙන්ම මඟ ඇරියද කියලා එක වෙලාවක මට හිතුණා... චිත්‍රපටය අවසානයේ මට ඇත්තටම කනගාටුවක් දැනුණා. හේතු තමයි දේශපාලන ව්‍යාපාරයක් තුළ මිනිස්සු රඳවාගන්න මොනතරම් මහන්සියන් වෙන්න ඕනෙද කියන කාරණාවත් එක්ක. හැබැයි ඒ මහන්සියෙන් පැලකරපු බීජවල අද මල් පිපෙනවා...

මට මතක් වෙනවා... සෝවියට දේශයේ හිටපු මහා කවියෙක් වන ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ කවියක්...
මේ භූමිය මත ජීවත්වන ඔවුන් 
මගේ පුරා කතා නැවත කියවෙනු ඇත...

මේ භූමිය මත ජීවත්වන ඔවුන්ගේ සෑම මුවකින්ම 
මගේ නම කියවෙනු ඇත.

හේතුව මා ප්‍රකාශ කළදේ සත්‍ය නිසාය... 
ශ්‍රියන්ත මෙන්ඩිස්ට ඒ කවියට නිර්වචනයකුත් තිබුණා...  ඒක තමයි.. 
සත්‍යයේ මාවත වල් බිහිවී ඇත. 

මහා පුරුෂයා සොයා යමු ඒ නටඹුන් වූ නගරය.. 
එවිට වැළලුන සත්‍යය ඔබට හමුවනු ඇත..... 
එහෙම තමයි ශ්‍රියන්ත කතාවට තිත තිබ්බේ...

 

► Text - Danushka Wijesiri   /   Pic- Internet