2019 ජනවාරි 26 වන සෙනසුරාදා

ඒ ගමේ කෙල්ලට මම හරි කැමතියි

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 237

හඬ: චරිතා ප්‍රියදර්ශනී

නිල් සයුරේ රළ පෙළ ගාණේ ආදරෙයි මං ආදරෙයි...

ආදරය ගැන වගේම ජීවිතය ගැන ලෝකය ගැන ඇය ගීයෙන් කළ නන්දනීය සල්ලාප අපමණයි. ජීවිතය කියන කටු අත්තේ ඇය පොබ කළ පොහොට්ටු අද සුගන්ධවත් කුසුම් වී හමාරයි. ඇය අද සාරෙට නෙළා ගන්නේ ජීවිතය කියන මහපොළොවේ වපුරපු ප්‍රාර්ථනා බිජුවරක මහා අස්වැන්නක්...

ඇයගේ ජීවිත පතුල ස්පර්ශ කරද්දී මට හිතෙන්නේ මම එහෙම කියන එක නිවැරදියි... ඇය චරිතා ප්‍රියදර්ශනී පීරිස්...
අහන් ඉන්න ඇය කතා කරන්නේ කුමක් ගැනද කියලා....

මේ දවස්වල වෙන වැඩකටයුතු ගැන අපිට පොඩ්ඩක් කියන්නකෝ...
මේ දවස්වල මාරම්බරී ප්‍රසංගයත් එකක් රට වටේම යනවා... ඒත් එක්කම මගේ ශ්‍රාස්ත්‍රපති උපාධියේ අධ්‍යාපන කටයුතුයි, ගෙදර දොර දරැවන්ගේ වැඩකටයුතුයි සමබරව කරගෙන යනවා... ඕවා තමා ඉතින්...
චරිතා  දුන්න කෙටි පිළිතුරෙන් සෑහිලා... දැන් අපි වැඩේට බහිමු එහෙනම්... හරි මම මෙහෙම ඇහුවොත් චරිතාගෙන්...

චරිතා ප්‍රියදර්ශනීගේ ජීවිතයට සමීප වුණු, පේනවාට වඩා වැඩි දෙයක් හිතට කාවද්දපු,  සරලවම කිව්වොත් චරිතාගේ හිතට දැනුණු නිර්මාණයක් ගැන පොඩ්ඩක් කතාකරමුද..?  ඒක ගීතයක් වෙන්නත් බෑ. චරිතා සම්බන්ධ නිර්මාණයක් නම් කොහොමත් බෑ....  එකඟද?

එකඟයි කියන්නා මෙන් මුහුණපුර සුන්දර සිනහා රැල්ලක්...  
මෙහෙමයි... නිදහසක් හම්බවෙන හැම වෙලාවෙම මොනව හරි දෙයක් බලන්න මම ආසකරන කෙනෙක්... ඒ දේ පොතක්, පත්තරයක්, වේදිකා නාට්‍ය, චිත්‍රපටයක් කියලා තෝරා බේරා ගැනීමක් නෑ... මමත් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් විදියට සහ මම  හදාරණ ශ්‍රාස්ත්‍රපති උපාධියටත් ඒක උපකාරිවෙන නිසා මම ඒ හැමදෙයක් ගැනම වඩාත් උනන්දුයි. ඒත් ටෙලිනාට්‍ය විෂය විතරක් තෝරා බේරාගෙන සීමිත හොඳ ටෙලි විතරක් බැලීමට මම පරිස්සම් වෙනවා. ඒකට හේතුව තමයි දිර්ඝ වර්ෂයෙන් නියමිත වෙලාවකටනේ ටෙලියක් විකාශය වෙන්නේ... ටෙලිනාට්‍ය කේෂ්ත්‍රය ගත්තාම ආනන්ද අබේනායක කියන චරිතය සුවිශේෂි චරිතයක්. ඔහු නිර්මාණය කරපු හැම ටෙලිනාට්‍යම වගේ මම නරඹලා රසවිඳලා තියෙනවා... චෙස්, තක්සලාව, අහසින් වැටුණා,මේ වසන්ත කාලයයි වගේ ටෙලි නිර්මාණ රසාස්වාදයෙන් උසස් මට්ටමක තිබුණා. ඔහු නිර්මාණය කපුර. ඒ ටෙලිනිර්මාණ අතරිනුත් මෑතකදී විකාශය වුණු මගේ හිතට තදින්ම කාවැදුණු, ටෙලිය තමයි බැද්දේ කුලවමිය කියන නිර්මාණ ඒක තමයි මම අද තෝරගන්නෙ.. සාමාන්‍යයෙන් නවකතාවක් චිත්‍රපටයකට ආවත් ටෙලියකට ආවත් යම් යම් අඩුපාඩු වෙනස්කම් තියෙනවා. රූපා ශ්‍රියානි ඒකනායක ලියූ බැද්දේ කුලවමිය කියන නවකතාව තිරපිටපතට එනකොට ඉතා සුළු සුළු වෙනස්කම් කීපයක් විතරයි අපිට දකින්න තියෙන්නෙ. අතිශය තරගකාරී ආර්ථික රටාවකට කොටුවෙලා ජීවත්වන වර්තමාන සමාජයේ, ගම නගරය අතර මානව හැඟීම් සහ මානව සම්බන්ධතා ඇතිවෙන විදිය සහ නැතිවෙන විදිය තමයි මේ ටෙලියෙන් මූලිකව දිගහැරෙන්නෙ.. සරලවම කිව්වොත් මේ අපි අපි ගැන කතාකරන නිර්මාණයක්.  හරිම විශිෂ්ඨ හදවතට සමීප නිර්මාණයක් විදියට තමයි මම බැද්දේ කුලවමිය දකින්නෙ...

බැද්දේ කුලවමිය කියන නිර්මාණයෙයි... අනිත් ටෙලිනා නාට්‍ය අතර වෙනස චරිතා කොහොමද දකින්නෙ?
අතිශය සියුම් මානව හැඟීම් සහ සංකීර්ණ ප්‍රශ්න එකිනෙක ගැටෙනකොට මනුස්සකම් දෝලනය වන විදිය මේ නාට්‍ය පුරාවට අපිට විශේෂ විදියකට දකින්න පුළුවන්.. කොහොමත් ආනන්ද අබේනායකගේ නිර්මාණ ශෛලිය වෙනස්ම එකක්.. කැමරා කෝණ, දෙබස්, පසුතල පවා හරිම විශේෂයි.. ඒකට මම ගොඩක් කැමතියි.

නිර්මාණයක් රසවිඳිද්දි ඒ නිර්මාණය ඇතුළේ ඉන්න චරිත අපේ කරගන්න අපි කැමතියි... චරිතා ඔබ ඔබේම කරගත්ත චරිතයක් ඉන්නවද?
මට මේ ටෙලිනාට්‍යයේ හැම චරිතයක්ම වගේ විශේෂයි... ආනන්ද අබේනායක කියන නිර්මාණකරුවාගේ තියෙන විශේෂත්වයත් ඒකම තමයි... ටෙලියේ ඉන්න ප්‍රධාන චරිත පමණක් නෙමේ සෙසු සුළු සුළු චරිත පවා හරිම විශේෂ විදියට ඔහු නාට්‍ය තුළ හසුරුවනවා... මේ ටෙලිනාට්‍යයේ නළු නිළියන්ගේ රංගනය ගැනත් කියන්නම ඕන කාරණාව තමා... ඔවුන් සියල්ලන් තමන්ගේ චරිතවලට ඉතා හොඳ සාධාරණයක් ඉටුකරනවා... මේ ටෙලියේ ප්‍රධාන චරිත ගැන ටිකක් කතාකරොත් රෝෂාන් රවින්ද්‍ර චරිතය ගැන කතා නොකරම බෑ ඔහු ඩොක්ටර් කෙනෙක්... ඉහළ පැලැන්තියේ ව්‍යාපාර පවුලක පුතෙක්.. රොෂාන්ගේ දෙමවුපියන් විදියට රංගනයේ යෙදෙන්නේ චාන්දනී සෙනෙවිරත්න සහ මහේන්ද්‍ර පෙරේරා කියන විශිෂ්ඨ නළු නිළි යුවළ... නදී කම්මැල්ලවීරගෙ චරිතයත් හරිම විශේෂයි... ඇය ගමක ඉපදුණු යුවතියක් වුණාට.. සම්ප්‍රදායික ගෙදර උයන, රෙදි හෝදන, අනුන් කියන දේ අහගෙන ඉන්නන කෙල්ලෙක් නම් නෙමේ... ඕනම දෙයක් ඉක්මනින් ඉගෙන ගන්න දක්ෂ කෙල්ලෙක්. ගමද නගරය කියන එක වැදගත් නෑ. ගමේ කෙල්ලෙක් කොච්චර ස්ථාවරද, කොච්චර ශක්තිමත්ද  කියන එක මේ නාට්‍ය අවසානයේ අපිට ඒත්තු යනවා..  

චරිතා ප්‍රියදර්ශනීගේ සිත සංවේදී කරපු බැද්දේ කුලවමියේ තැනක් දෙකක් මතක් කරමුද...
ඔව් ඒ වගේ තැනක් කීපයක්ම තියෙනවා... මහේන්ද්‍ර රඟපාන්නේ ඒඩිවන් කියන ව්‍යාපාරිකයාගේ  චරිතයට ඔහුට අනියම් ඇසුරක් තියෙනවා.. ඔහුගේ ලේලියට තමයි නදී රඟපාන්නේ. නදී තම මාමණ්ඩියගේ බිස්නස්වලට ගොඩක් උදව් කරනවා... මේක බලන් ඉන්න බැරුව එඩ්වින්ගේ අනියම් බිරිඳ ඒඩිවින්වයි ලේලිවයි අල්ලලා කටකතාව හදනවා ඔවුන් දෙදෙනා අතර වැරිදි සම්බන්ධයක් තියෙනවා කියලා... ඒක ඒඩිවන් දැනගෙන අනියම් බිරිඳට මෙහෙම කියනවා.. මම මොනතරම් වැරදි වැඩ කළත් මේ වගේ ජරාවැඩ කරන්න නෑ.. මගේ පුතාගේ බිරිඳත් එක්ක වැරදි ලෙස සම්බන්ධ වෙන්න තරම් මම නරුමයෙක් නෙමේ කියලා... ඒ දෙබස මට ගොඩක් දැනුනේ කොච්චර වැරදි වැඩ කරන කළු චරිතවල පවා හොඳ ගති තියෙනවා කියන එකත් එකක්.. අපිට කළු චරිත සුදු චරිතය කියලා වෙන්කරන්න බෑ. අපි කවුරුත් වැරදි කරනවා.. සමාජයට සුදු චරිත කියලා පෙන්නන් ඉන්න ගොඩක් අයගේ ජීවිත යට ගොඩක් කළු දේවල් තියෙනවා.

මේ නාට්‍ය අවසාන කොටසෙදි... ඔබට මොනවගේ හැඟීමක්ද හිතට ආවේ.. ?
ආදරය කියන්නෙ සල්ලි, බලය, දේපල, බාහිර අනිකුත් කිසිම දෙයක් නෙමේ.. ඒක උත්තරීතර මානව හැඟීමක් කියන එක හරි ලස්සනට මේ ටෙලියේ අවසානයේ අපිට පෙන්නලා තිබුණා... මට ඒ වෙලාවෙ හිතුණා මිනිස්සුන්ට මොනතරම් යහපත්ව හොඳට ජීවත් වෙන්න පුළුන්වද? ඇයි බහුතරයක් මිනිස්සු එහෙම වෙන්න උත්සාහයක්වත් නෑ නේද කියලත් හිතුණා... මේ නාට්‍යයේ අවසානයේ අපිට ජීවිතය ගැන අලුතෙන් හිතන්න දෙයක් ඉතුරු කරනවා.. 

බැද්දේ කුලවමිය වගේ නිර්මාණ තුළින් සමාජය මොනවගේ බලපෑමක් කරන්න පුළුවන් කියලාද ඔබට හිතෙන්නේ..?
මෙහෙමයි මේ නිර්මාණ නරඹන්නේ අපේ සමාජයේ එක් එක් ස්ථරවල ඉන්න මිනිස්සු.. ඒ මිනිස්සුන්ගේ චරිත තමයි මේ නිර්මාණ ඇතුළෙත් තියෙන්නෙ.. එතකොට තම තමන්ට හිතාගන්න පුළුවන් තමන්ගේ චරිතය කවුද.. ඒ ගති ගුණ මොනවද ඒවගේ හැසිරීම තුළින් අනිත් මිනිස්සුන්ට මොනවගේ බලපෑමක් වෙලා තියෙනවා කියන එක.. ඒ චර්යා රටා තුළින් හොඳ වගේම නරක ප්‍රතිඵලත් අනිත් මිනිස්සුන්ට විඳන්න, විඳවන්න වෙලා තියෙනවා.. හොඳ දේවල් එහෙමම් තියාගෙන තමන් අතින් වෙච්ච වැරදි හදාගන්න, තමන්ගේ ආත්මයෙන්ම ප්‍රශ්න කරගන්න හෘද සාක්ෂිය අනුව ජීවත්වෙන්න හිතහදාගන්න අඩු වැඩි වශයෙන් මෙවැනි නිර්මාණ අපිට පාවිච්චි කරන්න පුළුවන්...  ඒ කාරණා වෙන කෙනෙක්ට තේරුම් කරනවට වඩා නිර්මාණය තුළින් රසවිඳලා හිත හැඩගස්වාගන්න ලේසියි... 

එහෙම තමයි චරිතා කතාවට තිත තිබ්බේ...

► Text - Danushka Wijesiri   /   Pic- Internet