2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

එක රැහේ කලා තරු

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 537

කලා ලොවේ විවිධ අංශයන් හරහා පෙළහර පානා මව්පිය දූ දරුවන් වගේම කලා කෙත පෝෂණය කළ අඹුසැමියන් කෙරෙහිද අපේ අවධානය පසුගිය කාලය තුළ යොමුවුණා. අද අපේ අවධානය යොමුවන්නේ අපේ කලා ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන හා ලබාදුන් කලා ලොවේ සහෝදර සහෝදරියන් කෙරෙහිය.

 

ජීවරාණි කුරුකුලසූරිය - ශිරාණි - ජානකී - මැණික්

60 දශකයේ ජනප්‍රිය තරුවක් ලෙස ප්‍රේක්ෂක ජනාදරයට පත් ජීවරාණි කුරුකුලසූරිය, සිංහල සිනමාවට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකි.

වේදිකාවෙන් සිනමා ලොවට අවතීර්ණ වූ ජීවරාණි වීර විජය, රන්මුතුදූව, අදට වැඩිය හෙට හොඳයි, සැනසුම කොතැනද, සුජාගෙ රහස, යටගිය දවස, දෙලොවක් අතර, ඉපදුණේ ඇයි, ගොපළු හඬ, ශීලා ඇතුළු චිත්‍රපට රැසක සිය කුසලතාවන් ප්‍රකට කළාය. ඇගේ අඩිපාරේ යමින් ඇගේ බාල සොයුරියන්, ශිරාණි, ජානකී හා මැණික්ද රංගනයට එක්වූහ. සෙනෙහස චිත්‍රපටයේ ප්‍රධාන නිළි භූමිකාවට පණපෙවූ ශිරාණි, අක්කර පහ, නිමිවළල්ල, කතරුමුවාත් ඇතුළු චිත්‍රපටවල රඟපෑ අතර ජානකී රන්මුතුදූව, සැනසුම කොතැනද, අක්කර පහ, ළසඳා, නිවෙන්න ගින්න වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වූවාය.

තම වැඩිමල් සොයුරියන්ගේ අඩිපාරේ යමින් මැණික්, අහස් ගව්ව, ගෝඩ් කිං, බඹා කෙටූ හැටි, වජිරා, තණ ගිරවි, සක්විති සුවය, තනි තරුව, ක්‍රිස්තු චරිතය වැනි චිත්‍රපටවල වගේම සුසීමා ඇතුළු ටෙලිනාට්‍ය කීපයක් හරහාද ප්‍රේක්ෂක හමුවට පැමිණියාය.

 

බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න - එඩී ජයමාන්න

1974 ජනවාරි මස 21 වැනි දින තිරගත වුණු අපේ මුල්ම කතානාද චිත්‍රපටය වන කඩවුණු පොරොන්දුව නිර්මාණයේ පටන්ම කලා ලොවේ සහෝදර සහෝදරියන්ගේ දායකත්වය නොඅඩුව ලැබී තිබේ.
සිංහල සිනමාවේ මුල්ම විකට නළුවා ලෙස තම දස්කම් ප්‍රකට කළ එඩී ජයමාන්න, කඩවුණු පොරොන්දුවේ ප්‍රධාන නළු බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නගේ සොයුරාය. මිනර්වා නාට්‍ය කණ්ඩායමේ නිර්මාතෘ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න පසු කලෙක පෙරළෙන ඉරණම, වැරදුණු කුරුමානම, උමතු විශ්වාසය, කපටි ආරක්ෂකයා, හදිසි විනිශ්චය, අයිරාංගනී හා කැලෑ හඳ වැනි චිත්‍රපට නිර්මාණයන් හට විශාල දායකත්වයක් ලබා දී තිබිණ.

එඩී ජයමාන්න මනප්පුවා ලෙස කළ මුල්ම සිනමා රංගනයෙන් අනතුරුව චිත්‍රපට විශාල සංඛ්‍යාවක රංගනයෙන් දායක වූ අතර ඔහුගේ බිරිය රුක්මණී දේවි සමඟ චිත්‍රපට නිෂ්පාදනයටද යොමු විය.

 

මේබල් බ්ලයිත් - ෂර්ලි බ්ලයිත්

අපේ මුල් යුගයේ සිනමා නිර්මාණ රුසකට දායක වූ මේබල් බ්ලයිත් හා ෂර්ලි බ්ලයිත් දෙසොයුරියන්ද කැපීපෙනෙන චරිත දෙකකි.
පෙරළෙන ඉරණම, හදිසි විනිශ්චය, සැඟවුණ පිළිතුර, කැලෑ හඳ වැනි නිර්මාණ රුසකට දායක වූ මේබල් බ්ලයිත් ගායිකාවක ලෙසද දස්කම් ප්‍රකට කළාය. සරා ගොයියා හරි මිනිහා හා පරණ පිනක් මගේ හිසේ කඩාගෙන වැටුණ (එඩී සමඟ) ගායනා කළේද මේබල්ය.

ඇගේ සොයුරිය ෂර්ලි බ්ලයිත් හදිසි විනිශ්චය, කුසුමලතා, අයිරාංගනී, දෛව විපාකය වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වූ අතර වනලිය (1958) චිත්‍රපටයේ ඇය මුල්වරට ත්‍රිත්ව චරිතයක් රඟපෑමේ භාග්‍ය උදාකර ගත්තාය.

 

මාලනී ෆොන්සේකා - ශිරාණි - රසාදරී - දමයන්ති - ආනන්ද

සිංහල සිනමාවේ නිළි රැජන ලෙස කිරුළු පලන් අග්‍රගණ්‍ය රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා පසුගියදා සිය සිනමා රංගන දිවියේ පනස් වැනි සංවත්සරය සැමරුවාය.
වන්නිආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා, සිනමා රංගනයට පිවිසුණේ පුංචි බබා හරහාය. ඊට පෙරාතුව ඇය වේදිකා නිළියක ලෙස සම්මානයට පවා පාත්‍ර වූ අතිදක්ෂ රංගන ශිල්පිනියක ලෙස ප්‍රකටව සිටියාය. සිනමා නිර්මාණ 150කට අධික ප්‍රමාණයකට රංගනයෙන් දායක වූ මාලනී, පසු කලෙක චිත්‍රපට නිෂ්පාදනයට හා අධ්‍යක්ෂණයටද පිවිසියාය. එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටයේ රංගනය උදෙසා දේශීය සිනමාවේ (සිනමා නිළියකට හිමි) මුල්ම විදෙස් සම්මානයට පාත්‍ර වූ මාලනී සිය රංගන දිවියේ සුවිශේෂී විදෙස් හා දේශීය සම්මාන රාශියකට හිමිකම් කීවාය.

නිධානය, බඹරු ඇවිත්, පෙම්බර මධූ, ස්ත්‍රී, වසන්තේ දවසක්, සොල්දාදු උන්නැහෙ, ආකාස කුසුම්, සිරිපාල සහ රන්මැණිකා වැනි චිත්‍රපටවල මෙන්ම තුෂාරා, හතර දෙනාම සූරයෝ, ආවා සොයා ආදරේ, හොඳයි නරකයි, කවුද රජා, සසර චේතනා, පයිලට් ප්‍රේම්නාත් ඇතුළු අතිශය ජනප්‍රිය වූ වාණිජමය චිත්‍රපට රැසකද ඇගේ රංගන ප්‍රතිභාවන් ප්‍රකට කළාය. ඇගේ සොයුරිය ශිරාණි ෆොන්සේකා ලොකුම හිනාව, හොඳයි නරකයි, තිලක සහ තිලකා, නෑදෑයෝ, නිවෙන ගින්න, සෙලීනාගේ වලව්ව, රාං කුරැල්ලෝ, අනූෂා වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වූවාය. 1981 වසරේ සිනමා ලොවට එක්වූ ප්‍රවීණ රංගධර සනත් ගුණතිලකගේ මුල්ම පෙම්වතිය ලෙස සිටු කුමරියෝ චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ රසාදරී ෆොන්සේකා තිලක සහ තිලකා, ඈතින් ඈතට වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වූවාය. දැනට විදෙස් රටක පදිංචිව සිටින රසාදරී විවාහ වූයේ රංගන ශිල්පී කරුණාරත්න හඟවත්ත සමඟය.

මාලනීගේ සොයුරු ආනන්ද ෆොන්සේකාද සිනමා නළුවෙකු හා අධ්‍යක්ෂකවරයකු ලෙස සිය දක්ෂතා පළ කළ කලා ශිල්පියෙකි. අමර්නාත් ජයතිලකගේ තිලක් සහ තිලකා චිත්‍රපටය තුළින් රංගන ලොවට පිවිසි ආනන්ද එයා දැන් ලොකු ළමයෙක්, වසන්තේ දවසක්, අනුපමා, බඹා කෙටූ හැටි, සසර චේතනා චිත්‍රපටවලද රංගනයෙන් දායක වූ අතර උමයංගනා චිත්‍රපටය නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණය කළේය. ඔහුගේ දියණිය සමනලී ෆොන්සේකා වත්මන් පරපුරේ ප්‍රතිභාපූර්ණ නිළියකි.
මාලනීගේ තවත් සොයුරියක වන දමයන්ති ෆොන්සේකාද වේදිකා නාට්‍ය රැසක සිය රංගන ප්‍රතිභාවන් ප්‍රකට කර ඇත.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ මඩොල් දූව හරහා සිනමා රංගනයට පිවිසි දමයන්ති දොළොස් මහේ පහන, ස්ත්‍රී, උමයංගනා, පවුරු වළලු ඇතුළු චිත්‍රපටවල රඟපෑවාය.
ඇගේ සැමියා සම්මානනීය සිනමාවේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ පවුරු වළලු, පුරහඳ කළුවර, අනන්ත රාත්‍රිය ඇතුළු චිත්‍රපට නිෂ්පාදනය කළේ දමයන්තිය. ඇය වේදිකා නාට්‍ය කීපයක්ද නිෂ්පාදනය කළාය.

 

ගීතා කාන්ති ජයකොඩි - රත්නා ලාලනී ජයකොඩි

කැලණි පාලම, වැනීසියේ වෙළෙන්දා, මායාදේවී, අහසින් වැටුණු මිනිස්සු වැනි වේදිකා නාට්‍ය හරහා රංගන ලොවට පා තැබූ ගීතා කාන්ති ජයකොඩි අද වන විට ටෙලිනාට්‍ය නිළියක ලෙසද ප්‍රකටය. වජිරා, එක මවකගෙ දරුවෝ, යශෝරාවය, කළු හංසයෝ වැනි ටෙලිනාට්‍ය තුළින් තම රංගන ප්‍රතිභාවන් පිළිබිඹු කළ ගීතා භාග්‍යා, හංස පිහාටු, ස්නේහා, අමා වැනි ටෙලිනාට්‍ය හරහාද සුවිශේෂී දස්කම් ප්‍රකට කළාය.

ආචාර්ය ඩී.බී. නිහාල් සිංහයන්ගේ රිදී නිම්නය චිත්‍රපටය තුළින් සිනමා රංගනයට අවතීර්ණ වූ ගීතා, පූජා, දොරකඩ මාරාව, පරාවර්තන, මහරජ අජාසත්, චණ්ඩි රුජන, සිරි සිරිමල් ඇතුළු නිර්මාණ රුසක රංගනයෙන් දායක වූවාය. ඇය මුලින්ම කලා ලොවට පිවිසුණේ ගුවන් විදුලි යේ ළමාපිටිය හරහාය.

ප්‍රතිභාපූර්ණ වේදිකා රංගනවේදී රත්නා ලාලනී ජයකොඩි, ගීතාගේ සොහොයුරියයි. රත්නා ලාලනී වෘත්තියෙන් ගුරුවරියක වුවද රංගනය අත්නොහැර ඊට හැකි සැමවිටම සිය දායකත්වය ලබා දුන්නාය. වැනීසියේ වෙළෙන්දා, සුබ රාත්‍රියක්, මායාදේවී, මනමේ, පුත්‍ර සමාගම, තලමල පිපිලා, ගුරු තරුව වගේම දැනට සාර්ථකව වේදිකාගත වන ඇගේ සැමියා සම්පත් තෙන්නකෝන් සමඟ ඇය නිර්මාණය කළ 200-300 වේදිකා නාට්‍යයේද ඇය රංගන දායකත්වය ලබාදෙයි.
ධර්මසිරි ගමගේ ශූරීන්ගේ පූජා චිත්‍රපටය හරහා සිනමා රංගනයට පිවිසි රත්නා, සිරි මැඳුර, අවරගිර, පුංචි සුරංගනාවි, රන්දිය දහර, සිරි රජ සිරි, ඇඩ්‍රස් නෑ, සරිගම හා ගාමණී චිත්‍රපටවලද සිය කුසලතාවන් පිළිබිඹු කළාය.

තවත් කොටසක් ලබන සතියේ

► Text – Ramesh Uvais / Pic – Internet