2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

කවුරු දාලා ගියත් මැරෙන්නෙ නම් නෑ

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 142

- ඉසුරු ලොකුහෙට්ටිආරච්චි

ඉතින් ඉසුරු කොහොමද ජීවිතේ?
ජීවිතේ හරි සුන්දරයි. මම මගේ ජීවිතේ බොහෝම සුභවාදීව දකින්න කැමති කෙනෙක්. මම තවත් කෙනකුගේ ජීවිතයක් එක්ක මගේ ජීවිතය සංසන්දනය කරන්න හුරු වෙලා නැහැ. එහෙම තවත් කෙනකුගේ ජීවිතයක් එක්ක සංසන්දය කළොත් ජීවත් වෙන්න හරි අමාරුයි. ඒ නිසා ලැබෙන දෙයින් සතුටු වෙලා හැමදේ දිහාම බොහෝම උපේක්ෂාවෙන් බලලා මම සතුටින් ජීවත් වෙනවා.

ඔය ජීවිතය පටන්ගත්තේ කොතැනින්ද?
මේ ජීවිතය පටන්ගන්නේ දකුණෙන්. මගේ උපන්ගම මාතර නිදන්ගලයි. මාතර ඉඳන් කිලෝමීටර් විස්සක් විතර ඇතුළත තමයි ඒ සුන්දර ගම තියෙන්නේ. ඒ සුන්දර පොඩි ගමෙන් පටන්ගත්තු මේ ජීවිතේ අද නිදහසේ ගලාගෙන යනවා.

ජීවිතේ කවුරු වෙන්නද හීන දැක්කේ?
මගේ ජීවිතේ එහෙම දකින්න හීනයක් තිබුණේ නෑ. මම හීන දකින කෙනෙක් නෙවේ. මගේ ජීවිතේ බලාපොරොත්තු විතරයි තියෙන්නේ. මම හැමදාම ඒ කාලෙට කරන දේ හරියට කරන කෙනෙක්. ඉස්කෝලෙදි මම නාට්‍ය රඟපෑවා. සංගීතය කළා. ඒ කරපු දේවල ප්‍රතිඵලයක් හැටියට රංගන ශිල්පියෙක් වෙන්න අවස්ථාව ලැබුණා. වෘත්තිමය රංගන ශිල්පියෙක් වෙන බලාපොරොත්තුවක් මගේ තිබුණේ නැහැ. හැබැයි පොඩි කාලේ මගේ වීරයා වුණේ අපේ පාරේ ගිය බස් එකේ ඩ්‍රයිවර් අන්කල්. ලොකු පහසුකම් එක්ක මහ දේවල් දකින්න අපේ ගමේ තිබුණේ නෑ. බොහෝම පුංචි ලෝකයක හිටපු මට ඩ්‍රයිවර් අන්කල් ලොකු වීරයෙක් වුණා.

ඉසුරු ජීවිතේ කාපු ලොකුම කට්ට කෑවේ කොයි කාලෙදිද?
යුද හමුදා නිලධාරියෙක් විදිහට දියතලාව ආරක්ෂක පීඨයට බැඳිලා ඒ කරපු පුහුණුවීම් හරි අමාරුයි. යුනිෆෝම් එකක් අඳින්න ඒ විනය පුහුණුවීම් කරන්න කරපු දේ හරි අමාරුයි. ඒක මම අද කට්ටක් විදිහට හිතන්නේ නැහැ. ඒ කාලේ මට ඒක හරි අමාරුයි. මගේ ජීවිතේ අපහසුම කාලය වුණේ ඒ පුහුණුවීම් කාලයයි. සිවිල් මිනිහෙක්ට යුද හමුදා නිලධාරියෙක් කරන්න කරන ඒ පුහුණුවීම් හරි දුෂ්කරයි. හැබැයි අද ඇස් දෙක වහගෙන ඒ කාලය ගැන හිතද්දි හරි සුන්දරකමක් මට දැනෙනවා. වෙලාවට වැඩ කිරීම, දරා ගැනීම, කෙනකුට ගරු කිරීම මේ හැමදේම මම ඉගෙනගත්තේ ඒ පුහුණුවීම් එක්කයි.

බුදු අම්මෝ-බීවේ මූඩියයි උගුරම පිච්චුනා

ජීවිතේ වැඩියෙන්ම ආදරේ කාටද?
මගේ අම්මා තාත්තාට හැර මම මගේ ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරන්නේ මගේ අයියටයි. මම පොඩි කාලේ ඉඳන් මගේ අයියා මට තාත්තා කෙනෙක් වගෙයි. මගේ හැම දේකදිම පිටිපස්සේ ඉන්නේ මගේ අයියයි. අදටත් මගේ අයියා මගේ සෙවනැල්ල වගෙයි. අයියගෙයි මගෙයි අතර රහස් නැහැ. මගේ සතුට වගේම මගේ දුකත් මම අයියා එක්ක බෙදාගන්නවා. මට වඩා අවුරුදු දහයක් අයියා වැඩිමල්. ඒ ජ්‍යෙෂ්ඨත්වයත් එක්ක මට ඔහු එක්ක ලොකු බැඳීමක් තියෙනවා. අයියා ගයාන් ලොකුහෙට්ටිආරච්චි.

ජීවිතේ එකම එක දවසක්වත් මැරෙන්න හිතුණේ නැද්ද?
මම මගේ ජීවිතේ කවුරුත් නිසාවත් මැරෙන්න හිතිලා නැහැ. පොඩි කාලේ ඉඳන් අපි පො‍ෙළාවත් එක්ක හැදිච්ච, පො‍ෙළාවේ පය ගහලා ජීවත් වුණු කොල්ලෝ. අපේ තාත්තා අම්මා බෞද්ධ වටපිටාවක් එක්ක හැදුණු මිනිස්සු. ඒ නිසා අතහැරිලා යාම දරාගන්න අපිට පුළුවන්. මම පොඩි කාලේ ඉඳන්ම හැම බැඳීමකම කෙළවර වේදනාවකින් නැති වෙනවා කියලා දැනගෙන හිටියා. මාව දාලා ගිය අය හැටියට මම මැරුණානම් අද ඉසුරු කියලා කෙනෙක් නෑ. කවුරුවත් මාව දාලා ගියාට මම මැරෙන්නේ නැහැ. හැබැයි මගේ ජීවිතේ මැරෙන්න ගිය අවස්ථා තියෙනවා.ව ගිනි අවි සහ ගිනි කෙළි ටෙලිනාට්‍යයේ රඟපාද්දි පාලමක් උඩින් පනින්න ගිහින් මගේ කකුල කැඩුණා. එදා ලොකු ඔපරේෂන් එකක් කළා. එදානම් මම මාර විදිහට බය වුණා. මට මරණ බය දැනුණා. ජීවිත කාලයේම මම අබ්බගාතයෙක් වෙයි කියලා මට හිතුණා. දවසක් මාතර පොල්හේනේ නාන්න ගිය වෙලාවක මාව දියේ ගිලුණා. එදත් මට මරණ බය දැනුණා. නිදිමතේ වාහනය ඩ්‍රයිව් කරලා තවත් දවසක වාහනට ඇක්සිඩන්ට් වුණා. ඒ හැම මොහොතකම මගේ හිතට මරණ බිය දැනුණා.

ඉසුරුගේ ජීවිතේ කරපු මුල්ම රැයාව මතකද?
හොඳට මතකයි. අපේ ගමේ කොල්ලෝ ටික එකතු වෙලා එක්සලන්ට් කියලා සංගීත කණ්ඩායමක් හැදුවා. ඒ සෙට් එකෙන් තාමත් කලාව කරන්නේ මම විතරයි. ඒක තමයි මගේ මුල්ම රැකියාව වුණේ.

ඒ රැකියාවෙන් ලැබුණ මුල්ම වැටුප කීයද? මතකද ඒ සල්ලිවලට කරපු දේ?
අපි පුහුණුවීම් කරද්දි ගමේ තිබුණු වෙඩිමක බෑන්ඩ් එකට සින්දු කියන්න අවස්ථාව ලැබුණා. බෑන්ඩ් එකට ලැබුණු මුල්ම වැඩේනේ. අපිට මාර හැපී. වැඩේ ඉවරවෙලා බෑන්ඩ් එකේ එකෙක්ට රුපියල් දෙසීය ගාණේ ලැබුණා. තමන්ගේ මහන්සියෙන් ලැබුණ මුල් පඩිය. මාර හැපී. කොහොමටත් මම පුංචි කාලේ ඉඳන් සල්ලි අනවශ්‍ය විදිහට වියදම් කරපු කෙනෙක් නෙවේ. මගේ තාත්තා සල්ලි හම්බකරපු හැටි මම දැකලා තියෙනවා. සල්ලි වියදම් කරන්න හරි ලේසියි. හැබැයි ඒ සල්ලි හම්බකරන්න හරි අමාරුයි කියලා මම දැනගෙන හිටියා. ඒ නිසා පොඩි කාලේ ඉඳන් මම අරපිරිමැස්සෙන් සල්ලි එකතු කරපු කෙනෙක්. හැබැයි පොඩි කාලේ ඉඳන් මම ලස්සනට ආසයි. ඒ නිසා රුපියල් දෙසීයෙන් මම පේමන්ට් එකෙන් කලිසමකුයි ටීෂර්ට් එකකුයි ගත්තා.

කරන්නම් වාලේ ප්‍රේම කරන්න ගිය එක තමා කරගත්ත ලොකුම 
ගොන්කම

ජීවිතේ මුලින්ම මධුවිත ටිකක් පාවිච්චි කළේ කවද්ද?
ඔන්න දැම්මා මාව අමාරු ප්‍රශ්නෙක. අපේ පවුලේ කට්ටිය එකතු වුණ මගුල් ගේක තමයි මම මුලින්ම ඔය මධුවිත පොඩ්ඩක් රහ බැලුවේ. එතකොට මගේ වයස අවුරුදු පහළොවක් විතර ඇති. මම ඒ වෙද්දී ඒකේ රසේ වගේම ඒකේ රඟේ දැනගෙන හිටියේ නෑ. ඔය බීම පානය කරලා එහාට මෙහාට වැනෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නේ මගේ හිතේ නිතරම ඒ කාලේ වැඩ කළා. දවසක් අපේ පවුලේම ඥාතියෙක්ගේ මගුල් ගෙදරක අපේ ලොකු මාමලා එහෙම එකතු වෙලා මධුවිත පානය කළා. කට්ටිය එහාට මෙහාට වුණාට පස්සේ මම අර මේසේ උඩ තිබුණු ඉවර වෙච්චි මත්පැන් බෝතල් දෙකක අඩියේ තිබුණ ටික මූඩියකට හලාගෙන ගහක් අස්සට ගිහින් වටපිට බලලා කාටත් හොරෙන් එක හුස්මට උගුරට හලාගත්තා. බුදුඅම්මෝ... මගේ උගුර පිච්චුණා වගේ දැනුණා. මේ මිනිස්සු කොහොමද මේවා බොන්නේ කියලා ඒ වෙලාවෙනම් මට හිතුණා. ඊටපස්සේ මට බයයි ඒ ගහ ගාවින් කට්ටිය ඉන්න තැනට යන්න. මූඩිය ගහ මුල තියලා මම මාව වැනේවිද මාව වැටේවිද කියන බයෙන් තමයි ආයෙත් මගුල් ගේ ඇතුළට ගියේ.

ජීවිතේ මුලින්ම කැමරාවක් ඉදිරියේ හිටියේ කවදද?
චරිත් කොතලාවල මහතාගේ දෙන්නට දෙන්නා^ කියන ටෙලිනාට්‍යයේදී තමයි මම මුලින්ම කැමරාවක් ඉස්සරහා රංගනයක් ඉදිරිපත් කළේ. ඒක මාව හරියටම පේන්නෙත් නැති එකක්. අද වනතුරු ඒ දෙන්නට දෙන්නා ටෙලිනාට්‍ය විකාශය වෙලත් නැහැ.

ජීවිතේදි තමන් නළුවෙක් කියලා හිතුණේ නැද්ද?
මම මුලින්ම නමක් තියෙන චරිතයක් ලැබුණේ දෙරණ නාලිකාවේ විකාශනය වුණු මලී කියන ටෙලිනාට්‍යයෙන්. ඒ ටෙලිනාට්‍යයේ මම පියරත්න කියන සුළු චරිතයක් කළා. දවසක් මම මහරගම වෙළෙඳ සංකීර්ණයක් ඇතුළට යද්දි වැදගත් ජෝඩුවක් ළඟට ඇවිත් ආ... ඔයා නේද පියරත්න කියලා මගෙන් ඇහුවා. එදා මට මාර සතුටුයි. මාරයිනේ දැන් මාත් නළුවෙක්නේ* කියලා එදා මට හිතුණා.

ජීවිතේ තමන් ගත්තු තීරණයක් වැරදියි කියලා මුලින්ම හිතුණේ කවද්ද?
පාසල් කාලෙදි ප්‍රේම කරන්න ගියපු එක වැරදියි කියලා අදටත් හිතෙනවා. ඉගෙන ගන්න තියෙන කාලේ ඉගෙනගන්න තිබුණා. හැමෝම කරන්නන්වාලේ ඒ කාලෙදි ප්‍රේම කරපු එක ජීවිතේ ලොකු මෝඩකමක් කියලා වෙලාවකට හිතෙනවා.

ඉසුරුගේ ප්‍රථම ප්‍රේමය පාසල් ප්‍රේමයක් වගෙයි?
ඔව්.. මම ඉගෙන ගත්තේ මාතර රාහුල විද්‍යාලයේ. මට අවුරුද් පහළවේදී මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ හිටපු මගේ වයසෙම ගෑනු ළමයෙක්ගේ පස්සෙන් ගිහින් යාළු වුණා. ඒ ආදරය අවුරුදු තුනක් විතර තිබුණා.

තරින්දිව ජීවිතයට ළංකරගන්නේ කොයි කාලෙදිද?
තරින්දිව මගේ ජීවිතයට ළංකරගන්නේ පැහැසරා ටෙලිනාට්‍යයේ පෙම්වතිය විදිහටයි. එතනින් එහාට ළංවෙලා නෑ. කට්ටිය මට කොච්චර දේවල් කිව්වද? ටෙලිනාට්‍යයේ රඟපාද්දි තරින්දිවයි මාවයි ඈඳලා කට්ටිය එක එක දේවල් කිව්වා. කට්ටිය මට එක එක්කෙනාට ජෝඩු කරනවා. ලස්සන කොල්ලෙක් තනිකඩව ඉන්නකොට හැමෝම මොකක්හරි කතාවක් හදන්න බලනවා. අපේ අම්මා මම පොඩි කාලේ ඉඳන් පුතේ උඹ ලස්සනයි. ඒ නිසා පරිස්සම් වෙයං කියලා කිව්වා.

ජීවිතේ හැබෑ කරගන්න තියෙන හීනය, බලාපොරොත්තුව මොකද්ද?
සිංහල සිනමාවේ නමක් තියන්න පුළුවන් දක්ෂතම චරිතාංග ශිල්පියෙක් වෙන බලාපොරොත්තුවක් මට තියෙනවා. අද වෙනකල් මට ටෙලිනට්‍යයන් තුළ විවිධ චරිත ලැබිලා තියෙනවා. චිත්‍රපට තුළත් මම එකිනෙකට වෙනස් චරිත කළා. ජීවිතේ අවසානයේදී මගේ රටට මගේ මහපො‍ළාවට හොඳ මිනිහෙක් වෙලා මේ පො‍ෙළාවට පස් වෙන්න මම ආසයි.

ජීවිතේ වැඩියෙන්ම කියන්නේ?
හොඳ වැඩේ

 

                       සේයාරූ - සුමුදු හේවාපතිරණ 

 

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:01
 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00