2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා

යසෝදරා තරම් උතුම් ළඳක් ලෝකයේ තවත් නෑ...

 2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 156

Art එකේ කැරට්ටුව.. හඬ: චන්දන ලියනආරච්චි

ඔහුව දැක්ක ගමන් මගේ මතකයට ආවේ.. එයා ගායනා කරපු සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන් මල් සින්දුව...  දැන් දන්නවා මේ කවුරු ගැනද කතා කරන්නෙ කියලා...   

ඔව්... ඔව්.. චන්දන ලියනආරච්චි තමයි...
එයා අපිව සුන්දර හිනාවකින්ම පිළිගත්තා...
ආයුබෝවන්... ආයුබෝවන්...
අහන් ඉන්න චන්දන කතා කරන්නේ මොකක් ගැනද කියලා...

ඊට කලින් චන්දන ලියනආරච්චි මේ දවස්වල කරන වැඩකටයුතු ගැන පොඩ්ඩක් අහලා ඉමු...?
පහුගිය දවස්වලට මම අලුත් නිර්මාණ කීපයකටම දායක වුණා... ඒ නිර්මාණ බහුතරයක් නවක ගීත රචකයන්ගේ නිර්මාණ වුණාට ඒ ගීත සංගීතවත් කරලා තියෙන්නෙ ප්‍රවීන සංගීත අධ්‍යක්ෂකවරු... ඒ නිර්මාණ අතරින් මා මේ කළා කියන ගීතය සහ වීඩියෝ එක මීට මාසයකට විතර කලින් අන්තර්ජාලය නිකුත් කළා... ඒ ගීතට දැනටම සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබෙනවා... ඊට අමතරව සාමාන්‍ය පරිදි කාලය ගත කරනවා...
චන්දන දුන්න පිළිතුරෙන් සෑහිලා... දැන් අපි වැඩේට බහිමු එහෙනම්... 

චන්දන ලියනආරච්චිගේ ජීවිතයට සමීප වුණු, පේනවාට වඩා වැඩි දෙයක් හිතට කාවද්දපු,  සරලවම කිව්වොත් චන්දනගේ හිතට දැනුණු නිර්මාණයක් ගැන පොඩ්ඩක් කතාකරමුද..?  ඒක ගීතයක් වෙන්නත් බෑ. 

හිතට තදින් දැනුණු නිර්මාණ කිහිපයක්ම තියෙනවා... ඒ අතරින්  මෑතකාලේ මම නරඹපු නිර්මාණයක් මට තෝරගන්න හිතුණා. මම නිතර චිත්‍රපට බලන්න උනන්දු වෙන කෙනෙක් නෙමෙයි. නමුත් දෙදාස් දහඅට වසරේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කරපු යසෝදරා චිත්‍රපටයට මම ගොඩක් ආකර්ෂණය වෙනවා..... ඒකට හේතු කිහිපයක් තියෙනවා... මම කතෝලිකයෙක් විදියට තමයි මේ චිත්‍රපටය නැරඹුවේ... නමුත් මම කොහොමත් බෞද්ධ කතා සහ සිදුහත් චරිතය ගැන දැනගන්න ගොඩක් කැමති කෙනෙක්.... යසෝදරා දේවිය සිද්ධාර්ථ කුමාරයා වෙනුවෙන් කරන ජීවිත කැපකිරීම මේ නිර්මාණ ඇතුළේ හරි අපූරුවට ගොඩනගලා තිබුණා... සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පත්වෙනකම්ම යසෝදරා දේවිය හෙවනැල්ලක් වගේ පිටිපස්සෙ හිටියා. යසෝදරා ගැහැනියක් විදියට ජීවිතේ ප්‍රශ්න දරාගන්නා ආකාරය සංවේදීව රූපරාමුවලට කොටුකරගෙන තිබුණා. ලෝකයේ කැපීපෙනෙන විශිෂ්ඨ චරිත අපි දැක්කට ඒ චරිතය පිටුපස ඉන්න සෙසු චරිත ගැන අපිට දකින්න අහන්න ලැබෙන්නෙ කලාතුරකින්නෙ... සිද්ධාර්ථ කුමාරයාට බුද්ධත්වය දක්වා යන ගමන් මගේ හෙවනැල්ල වගේ ළඟ ඉන්නෙ යසෝදරා දේවියයි. මේ නිර්මාණයක් තුළින් හරි අපූරුවට ඒ සිද්ධින් ඔප්පු කරලා තිබුණා... යසෝදරා දේවියගේ චරිතය අධ්‍යනය කරන්න කෙනෙකුට මේ චිත්‍රපටය හරි ප්‍රයෝජනවත්... මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය සහ සමස්ථ නිර්මාණය පිටුපස ඉතා විශිෂ්ඨ කාර්යබාරය කරලා තිබුණා..... ඒ බව මේ නිර්මාණයේ සාර්ථකත්වයෙන් ප්‍රේක්ෂකයාට දැනෙන්න ගන්නවා. නිර්මාණයට ගැලපෙන ආකාරයට සාර්ථකව නළු නිළියන් තොරාගැනීමත් හොඳ මට්ටමක තිබුණා... චිත්‍රපටයේ ප්‍රධානම චරිත දෙක සඳහා ඉන්දීය නළු නිළි යුවළක් තමයි යොදාගෙන තිබුණේ. ප්‍රධාන චරිතය වන යසෝදරා දේවියට රංගනයෙන් දායක වෙන්නෙ ඉන්දීය නිළි පල්ලවි සුභාෂ්. සිද්ධාර්ථ චරිතයට පණ පොවන්නෙ අර්ජිත් වෞද්රි... ඔවුන් දෙදෙනා විශිෂ්ඨ ආකාරයට චරිත නිරෑපණය කරනවා. අනිත් සුවිශේෂීම දේ තමයි චිත්‍රපටයේ දෙබස් සහ භාෂාව. ඒ ගැන යමක් කියන්නම ඕනෙ.. හරිම සුපැහැදිලිව චිත්‍රපටයේ දෙබස් රචනා කරලා තිබුණු නිසා රසාස්වාදයට කිසිම බාධාවක් ඇතිවුණේ නෑ... සංගීතය නිර්මාණය කරලා තිබුණේ රෝහණ වීරසිංහයන්... එතුමාගේ විශිෂ්ඨ සංගීතයත් සෑහෙන්න බලපෑවා මේ චිත්‍රපට කෙරෙහි ආසාව වැඩිවෙන්න. මේ සමස්ථ කාරණා නිසා තමයි මේ චිත්‍රපටය මට සුවිශේෂි වෙන්නෙ.. 

නිර්මාණයක් රසවිඳිද්දී ඒ නිර්මාණය ඇතුළේ ඉන්න චරිත අපේ කරගන්න අපි කැමතියි. චන්දන ඔබ ඔබේම කරගත්ත චරිතයක් ඉන්නවද?
මෙහෙමයි, මේ නිර්මාණයේ සියලුම චරිතවලට මගේ විශේෂ කැමැත්තක් තියෙනවා. සියලුම රංගන ශිල්පීන් හරිම දක්ෂ ශිල්පීන්... ඒ අය සියයට දෙසීයක් ඒ චරිතවලට සාධාරණයක් කරනවා. ඒ ගැන තර්කයක් නෑ. නමුත් මගේ ගොඩක්ම කැමත්ත යසෝදරා දේවිය චරිතය නිරූපණයට තමයි. පල්ලවි සුභාෂ්ගේ දක්ෂතාව කැපී පෙනෙන කරුණක්. අපේ රටේ බෞද්ධයන් සහ අනිකුත් අයගේ ගෞරවාදරයට පාත්‍රවුණු යසෝදරා දේවිය වැනි කෙනෙකුගේ චරිතයක් නිරූපනය කරන්න ලොකු කැපකිරීමක් කරන්න ඕනෙ. ප්‍රේක්ෂකයන්ගේ ගෞරවයට හානියක් නොවෙන්න ලෙස පල්ලවි රංගනයේ නිරතවෙනවා... ඒ නිසා මම ඇයගේ රංගනයට ගොඩක් කැමතියි.. 

මේ චිත්‍රපටයේ ඔබව සංවේදී කරපු තැන් ඕන තරම් තියෙන්න ඇති.. එකක් දෙකක් මතක් කරමුද?

ඔව් ඒ වගේ තැනක් කීපයක්ම තියෙනවා... සිදුහත් කුමාරයා බුදුබව පතාගෙන ගිහිගෙය අතර හැරලා ගියාට පස්සෙ රාහුල පුතා සමග යසෝදරා තනිවෙනවනේ..  යසෝදරා දේවිය සිද්ධාර්ථ කුමාරයා කවදාහරි එයි කියලා බලාගෙන ඉන්නවා...  සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පත්වෙලා නැවත මාලිගාවට එනවා.. ඒ අවස්ථාවේ යසෝදරා දේවිය බුදුහිමියන්ගේ සිරිපතුල් දෙක ළඟ වැඳවැටිලා අඬන දර්ශනයක් තියෙනවා... අන්න ඒ රූපරාමුව හරිම සංවේදීයි. ප්‍රේක්ෂකයාගේ නෙත කඳුළක් එන වුණ තැනක්... බුදුහිමියන් සමග රාහුල කුමාරයත් මහනදම් පුරන්න යනකොට යසෝදරා දේවිය තවත් තනිවෙනවා. ඒ අවස්ථාවත් හරිම සංවේදීයි. මේ තැන් දෙක තමයි මගේ මතකයට තදින් දැනු‍ණේ.

මේ නිර්මාණය ගැන ඔබට මුලින්ම කියන්නෙ කවුද..?
මම කලිනුත් කිව්වගේ මම කතෝලිකයෙක් වුණාට බුදුරජාණන් වහන්සේගේ චරිතය ගැන දැනගන්න මම ගොඩක් උනන්දුයි.. විශේෂයෙන් ජාතක කතා බලන්න අහනන් මම ගොඩක් ආසයි... මට පූර්ව ප්‍රචාරක පට මගින් යසෝදරා චිත්‍රපටය ගැන දැනගන්න ලැබුණා. ඊට පස්සෙ තමයි මම තීරණය කළේ මගේ පවුලේ අයත් එක්ක මම මේ චිත්‍රපටය බලනවා කියලා.

දැනට කී වතාවක් මේ චිත්‍රපටය බැලුවද?
දැනට නම් එක වතාවයි මේ චිත්‍රපටය බැලුවේ. නැවතත් බලන්න අදහසක් තියෙනවා.. මේ චිත්‍රපටය බලලා මම ගොඩක් අයට කිව්වේ මේ චිත්‍රපටය බලන්න කියලා..   

මෙවැනි චිත්‍රපටය තුළින් ඔබගේ ජීවිතය එකතු වුණේ මොනවගේ ඵලයක්ද..?
මෙහෙමයි කලා නිර්මාණයකින් විශාල සමාජ විපරියාසයක් කරන්න අමාරුයි... ඒත් යසෝදරා චරිතය තුළින් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඇය සිද්ධාර්ථ කුමාරයාට බුද්ධත්වය සඳහා දෙන සහාය සහ කැපකිරීම කෙනෙකුට ආදර්ශයක්.. මොනතරම් බලපෑම් ආවත් ඇය තම සැමියා කෙරෙහි දක්වන පතිභක්තිය වෙනස් වෙන්නෙ නෑ. සමස්ථ කාන්තාවන්ට වගේම ලෝකයේ සියලුම දෙනාට යසෝධරා චරිතයෙන් ඉගෙන ගන්න තියෙන දේ බොහෝමයි. හොඳ පවුල් ජීවිතයක් ගතකිරීමට මෙවැනි නිර්මාණ තුළින් උත්තේජනයක් ලබාදෙනවා. සැමියා සහ බිරිඳ එකිනෙකා කෙරෙහි මොනතරම් ගෞරවක් තිබිය යුතුද කියන එක සහ එකිනෙකො කෙරෙහි මොනතරම් කැපකිරීමක් කළ යුතුද කියන එක දනවනවා.. 

මේ චිත්‍රපටය නරඹලා අවසානයේ ඔබට මොනවගේ හැඟීමක්ද හිතට ආවේ.. ?
මෙහෙමයි මේ නිර්මාණයේ අවසානයේ මට දැනුණේ හොඳ නිර්මාණයක් නරඹපුවාම ලැබෙන තෘප්තිමත්භාවය තමයි... ඇත්තටම දුකකුත් දැනුණා... ඒ හැඟීම වචනයෙන් කියන්න පුළුවන් එකක් නෙමේ.. ඒක හරි අමුතුම හැඟීමක්.. 
එහෙම තමයි චන්දන කතාවට තිත තිබ්බේ...

 

► Text - Danushka Wijesiri   /   Pic -  Internet

 

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00