2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

කකුල් දෙක ගැලවිලා ගිහින් වාහනේ උඩට වැටුණා

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 199

Art එකේ කැරට්ටුව.. හඬ: චින්තන ධර්මදාස

වෙනස් මානයන් හොයාගෙන යන්නේ වෙනස් විදියට හිතන මිනිස්සු...

ගිනි ගහන අව්වෙන් මුළු කොළඹම පිච්චෙන වෙලාවක එහෙම හිතන මිනිහෙක් මුණගැහෙන්න හිතාගෙන තමයි අද අපි පාරට බැස්සේ... දින ගණනාවක ඉඳලා ඉර හරි සැරයි... අද නම් වෙනදටත් වඩා සැරයි වගේ... නිල් අහස සිසාරා ඉඳහිට වැහි වලාකුළු නොතිබුණාමත් නෙමේ... ඒ වලාකුළු අතරින් තදට ඉරඑළිය තාර ඇතිරිල්ලට පතිත මොහොතක අපි ගියේ මරදාන දුම්රිය පොළට... ඒ දුම්රියෙන් ගමනක් යන්න හිතාගෙන නම් නෙමේ... වෙන වැඩකට...
අද ටිකක් පාරවලුත් ට්‍රැෆික්, මමත් ටිකක් පරක්කුයි...

කවුන්ටරෙන් ගත්ත ෆ්ලැට්ෆෝම් ටිකට් එක සාක්කුවේ දාගෙන ඉක්මනට දුම්රිය පොළ ඇතුළට ගියේ විශේෂ කෙනෙක් මුණගැහෙන්න.
2 වැනි ෆ්ලැට් ෆෝම් එකේ මැදට වෙන්න තියෙන පුංචි බංකුවේ මැදකට වෙන්න තියෙන අසුනෙ ඔහු අසුන්ගෙන හිටියේ ලොකු කල්පනාවකට සමවැදිලා.. 
සමාවෙන්න ඕනෙ මම ටිකක් පරක්කුයි.. 
හෙලෝ මචාං... මමත් දැන් තමයි ආවේ... 

ඔහුගේ උත්තරය  හරි ළෙන්ගතුයි.. 
එයා ගැන මම මෙහෙම පටන්ගන්නම්කො... කලාව ගැන වෙනස්ම විදිහක රහක් තියෙන, නිර්මාණයට උපරිම සාධාරණයක් ඉටුකරන අපේ කාලේ තරුණ කොල්ලෙක්..  මේ දවස්වල එයා ගැන කතාබහ වෙනවා වැඩියි... එයා කරපු පළමු චිත්‍රපටය නිසා.. ඇවිලෙනසුලුයි ඒක තමයි ෆිල්ම් එකේ නම...  දැන් දන්නවා මේ කවුරු ගැනද කතා කරන්නෙ කියලා... චින්තන ධර්මදාස... ඔව් ඒ එයා තමයි... චින්තන වෘත්තියෙන් දැන්වීම් නිර්මාණ ක්ෂේත්‍රයේ නියැලෙන කෙනෙක් වගේම ලේඛකයෙක්. ෆැකල්ටි ඔෆ් සෙක්ස් එයා ලියපු කා අතරත් කතාබහට ලක්වෙච්ච පොත් පෙළක්... ඒ තමයි චින්තන ගැන මගේ කියවීම...

චින්තන මොනවාද මේ දවස්වල වෙන්නෙ... අපි එහෙම පටන් ගමු නේද?
මේ දවස්වල මගේ අලුත් ෆිල්ම් එක ඇවිලෙනසුලු එක්ක තමයි කාලය ගතවෙන්නෙ.. මීට දින දෙකට කලින් තමයි ෆිල්ම් එක රිලීස් වුණේ... දැනටමත් හොඳ ප්‍රතිචාර තියෙනවා... ලංකාවේ පළවෙනි රොඩ් තිලර් චිත්‍රපටය විදියට තමයි ඇවිලෙනසුලුයි චිත්‍රපටය අපේ සිනමාශාලාවල තිරගත වෙන්නෙ. සරලව කිව්වොත් පාරක් දිගේ යන ගමනක් මුල්කරගෙන ඒ තුළ තිබුණෙ කුතුහල, භීතිය, ආදරය වගේ අත්දැකීම් මුසුවුණු කතාවක්... ඒක ප්‍රේක්ෂකයාට වෙනස්ම අත්දැකීමක් වෙයි කියලා මම හිතනවා... මීට අමතරව මගේ ෆැකල්ටි ඔෆ් සෙක්ස් පොත් එකතුවේ අලුත්ම පොත මේ දවස්වල ලියාගෙන යනවා... මේ අවුරුද්දෙ ඒ පොත ප්‍රකාශයට පත් කරන්න බලාපොරොත්තු වෙනවා... ඕවා තමයි ඉතින්...
හරි... අපි එහෙනම් මතෘකාවට බහිමුකෝ...

චින්තනගේ නිර්මාණ අපි දැකලා තියෙනවා... ඒවා ගැන නෙමේ... ඔබේ  හිතට තදින්ම කාවැදුණු නිර්මාණයක් ගැන චුට්ටක් කතා කරමුද? අපේ වචනෙන්ම කිව්වොත්... බොක්කටම වැදුණු එකක් ගැන... හැබැයි... ඒක සින්දුවක් වෙන්නත් බෑ...
මට මේ වෙලාවේ එකපාරට මතකයට එන්නෙ මගේ චිත්‍රපටයත් එකක් සමීප චිත්‍රපටයක්... ඒක ගොඩක් කට්ටිය මගේ චිත්‍රපටයක් එකක් සංසන්දනය කරමින් කතා කරන්නත් පටන් ගත්තා... ඒ තමයි ක්වෙන්ටින් ටැරෙන්ටිනෝගේ (Quentin Tarantino) ඩෙත් ප_ෆ්... ඔහු මේ චිත්‍රපටය නිර්මාණය කරන්නෙ චිත්‍රපට දෙකක එකතුවක් විදියට ෆ්ලැනට් ටෙරර් (Planet terror) කියන චිත්‍රපටයකුයි ඩෙත් පෘෆ් කියන චිත්‍රපයටයයි දෙකම එකතුකරලා පැය තුනක ෆිල්ම් එකක් විදියට තමයි මුදාහැරෙන්නෙ... ෆ්ලැනට් එරර් (Planet terror) කියන චිත්‍රපටය නිර්මාණය කරන්නෙ මම ආසම තවත් අධ්‍යක්ෂවරයෙක් වන රොබට් රොඩ්රිගස් (Robert rodriguez) . මේ දෙන්නම හොඳ යාළුවෝ.. ක්වෙන්ටින් ටැරෙන්ටිනෝ මෑතක කාලේ සෑහෙන්න ජනප්‍රිය වුණා. ඒ ඒයා වන්සපෝන ටයිම් හොලිවුඩ් චිත්‍රපටය නිසා... මොකද ඒ ෆිල්ම් එක සම්මානනීය චිත්‍රපටයක්... කාලෙකට කලින් ග්‍රයින්ඩ් හවුස් මූවි (Grindhouse movies)  කියලා ඇමෙරිකාවේ චිත්‍රපට සම්ප්‍රදායක තිබුණා. ඒ කියන්නෙ ත්‍රසජනක එහෙම නැත්නම් ක්‍රියාදාම පුපුරණ ගිනිගන්න චිත්‍රපට එකතුකරලා නිර්මාණය වුණු එකක්. මේවා ගොඩක්ම නිර්මාණ වුණේ රාත්‍රී ප්‍රේක්ෂකයන්ව ඉලක්ක කරලා.. මේ රුල්ල ඇමෙරිකාවේ හරි ජනප්‍රියයි.. අපේ රටෙත් කාලෙකට කලින් චිත්‍රකතා රැල්ලක් තිබ්බේ... අන්න ඒ වගේ.... මේ චිත්‍රපට පාට් වන්, පාට් ටූ කියලා දිගට දිගට හැදෙනවා. ටැරෙන්ටිනෝට මේ චිත්‍රපටයත් එකක් ලොකු සම්බන්ධයක් තියෙනවා. මෙයා කලින් වැඩකරන්නෙ වීඩියෝ කඩේක... තියෙන තරම් චිත්‍රපට හොඳ නරක බේදයකින් තොරව මෙයා බලනවා... ඒක නිසා චිත්‍රපට මෙයාට දැනෙන්න ගන්නෙ උස් පහත් නිර්මාණ විදියට නෙමේ ආට් එකක් විදියට. එයා බලනවා මේ චිත්‍රපටය කරලා තියෙන විදිය ගැන... ඔහුට හොඳ සෞන්දර්ය සංකල්පයක් තියෙනවා. මේ චිත්‍රපට ඉස්සර පෙන්නුවේ නෙගෙටිව්ස්වලින්නේ.... උදාහරණයක් විදියට මේ චිත්‍රපට පෙන්නගෙන යනකොට රීල් එක නැතිවෙලා... එතකොට ස්ක්‍රීන්ගේ වැටෙන්නෙ රීල් ඉස් මිසින් කියලා... ඒක ගැන ප්‍රේක්ෂකයාට ප්‍රශ්න කරන්න බෑ.. ඒක ප්‍රේක්ෂකයාට වගකියන සම්ප්‍රදායක් නෙමේ..  ටැරෙන්ටිනෝ එයාගේ අලුත් චිත්‍රපටය කරනකොට මේ පරණ සම්ප්‍රදායන්  එකතු කරගත්තා. එහෙම එකතු කරගෙන ඉතා විශිෂ්ඨ නිර්මාණය බිහිකරනවා. ඒ වෙනකොට හැම ෆිල්ම් එකක්ම බිහිවුණේ පිරිමියාව වීරයා කරලා... ටැරෙන්ටිනෝ ස්ත්‍රියක් වීරත්වයට පත්කරලා ඒ සම්ප්‍රදාය බිඳිනවා...

චින්තන කොහොමද මේ චිත්‍රපටයේ කතාව දිවෙන්නෙ..?
මේ චිත්‍රපටයේ කතාව හරි සරලයි. දඟකාර, විසේකාර, අපේ භාෂාවෙන් කියනවා නම්... පිස්සුකෙළින බය නැති කෙල්ලො කීපදෙනෙක් ගැන කතාවක්... මේ කෙල්ලො ටික එක රාත්‍රියක විනෝදවෙන්න එනවා... ඒ අවස්ථාවේ මෙයාලට මුණගැහෙනවා ස්ටන්ට්මන් මයික්  කියන චිත්‍රපටවල ත්‍රාසජනක ජවනිකා කරන ප්‍රධාන නළුවට සහය වන අමතර නළුවා විදියට වැඩකරන කෙනෙක්... ඔහු තමයි මේ චිත්‍රපටයේ දුෂ්ටයට පාවිච්චි කරන්නෙ... ඔහු හදාගෙන ඉන්නවා කාර් එකක්... ඒ කාර් එක කොච්චර හැප්පුනත් ඔහුට අනතුරක් වෙන්නෙ නෑ. අනතුරට මුහුණපාන අයට අනතුර වෙන විදියට තමයි නිර්මාණය කරලා තිබුණේ. එයාගේ විනෝදාංශ තමයි කෙල්ලන්ව අරගෙන ගිහින් තැන් තැන්වල හප්පලා ඒ කෙල්ලන්ව මරලා දාන එක... මේ විදියට අර කෙළිලොල් කෙල්ලන් යන වාහනයත් මොහු ලුහුබඳිනවා... මේ චිත්‍රපටයේ එක අපූරු දර්ශනයක් තියෙනවා... ඒ දර්ශනය මගේ චිත්‍රපටයටත් මම ගේන්න උත්සාහ කරනවා. ඒ තමයි කෙල්ලෙක්ගෙ ලස්සන කකුල් දෙක වාහනේ ඩෑෂ් බෝඩ් එක උඩ තියාගෙන යන දර්ශනය. හැබැයි ටික වෙලාවකින් මේ දුෂ්ටයා ඔහුගේ වාහනේ ඒ වාහනයේ හප්පනවා.. මෙච්චර වෙලා අපි ආසාවෙන් බලාගෙන හිටපු ඒ ලස්සන කකුල් දෙක මොහොතකින් ගැලවිලා ගිහිල්ලා පිටිපස්සෙ ආපු වාහනේ උඩට වැටෙනවා... අපි තිගැස්සෙනවා... මෙච්චර භයානක මේ පුද්ගලයාව කෙල්ලො තුන්දෙනෙක් මෙල්ල කරන විදිය තමයි මේ චිත්‍රපටයේ තියෙන්නෙ...

මේ චිත්‍රපටයේ නරඹද්දී ඔබට සමීපම වෙච්ච චරිතයක් එහෙම ඇති නේද?
මම මේ චිත්‍රපටයේ දුෂ්ටයාගේ චරිතයටත් ගොඩක් කැමතියි.. දුෂ්ටයාට චරිතය නිරෑපණය කරන්නෙ කර්ට් රසල්... ටැරෙන්ටිනෝ ෆිල්ම්වල එක ලක්ෂණයක් තියෙනවා යටපත් වූ නළුවෙක්ව නැවත ගෙනල්ලා එකපාරටම ඉස්මතු කරලා ගන්නවා... කර්ට් රසල් සෑහෙන කාලෙකට පස්සෙ දුෂ්ටයෙක් විදියට නැවත කරළියට එනවා.. ඊට පස්සෙ ඔහු සෑහෙන ජනප්‍රිය වෙනවා.. ඊට කලින් ජෝන් ට්‍රැවල්ටත් එහෙම ජනප්‍රිය වෙච්ච කෙනෙක්... ඒක නිසා කර්ට් රසල්ට මම ගොඩක් කැමතියි. තව මම කැමතියි මේ චිත්‍රපටයේ කාන්තාවට දෙන අර්ථකථනයටත්...

චින්තනව කම්පනය කරපු අවස්ථා මේ චිත්‍රපටය පුරා ගොඩක් ඇති නේද... එකක් දෙකක් මතක් කරමුද?
ටැරෙන්ටිනෝගේ චිත්‍රපටවල තියෙන විශේෂත්වය තමයි හරි ප්‍රබල ලෙස ඔහු දෙබස් පාවිච්චි කරන එක.. ඒ දෙබස් වෙන කාටවත් ලියන්න පුළුවන් ඒවා නෙමේ.. මම කැමති දර්ශනය මම කලිනුත් මතක් කළා.. අර සුන්දර ලලනාව ඩෑෂ් බෝඩ් එකට කකුල තියන් යන දර්ශනය තමයි... ඒ දර්ශනය සරල විදියට පෙනුනට සිනමාත්මකව ගැඹුරු කියවීමක් ඒ තුළ තියෙනවා...
කොහොමද මේ නිර්මාණය මුලින්ම ඔබේ ඇස ගැටුණේ....

ටැරෙන්ටිනෝගේ ෆිල්ම් එකක් එනවා කිව්වාම මම කට ඇරගෙන බලාගෙන ඉන්නෙ.. සෑහෙන කාලයක් ගන්නව මෙයා අලුත් ෆිල්ම් එකක් කරන්න... අනිත් කෙනා ඩග්ලස් රුද්ද්‍රෙගා. මේ දෙන්නා එකතුවෙලා ග්‍රයින්ඩ් හවුස් මූවි (Grindhouse movies) එකක් අත්හදා බලනවා කිව්වා.. මට පුදුම ආසාවක් ආවේ මේක බලන්න... තියටර්ස්වලට එනකන් බලන් හිටියා... නමුත් ආවේ නෑ... ඊටපස්සේ මුලින්ම කැමරා කොපිය බැලුවා පස්සේ ඔර්ජිනල් එක බැලුවා.. 

මෙච්චර ආසකරන නිර්මාණය කී පාරක් ඔබ නැරඹුවද?
දැනට පස් පාරක් බලලා තියෙනවා...

මේ වගේ චිත්‍රපටයක් නරඹලා ඔබට මොනවගේ දෙයක්ද ගන්න පුළුවන් වුණාද..?
මෙහෙමයි. මම හිතන් නෑ.... නිර්මාණයක් රසවිඳලා වචනයෙන් කියන්න පුළුවන් අර්ථයක් හමුවෙනවා කියලා... මම හිතපු විදිය වෙනස් වුණා කියලා හරි, නැත්නම් දර්ශනවාදයක් ඉගෙන ගත්ත කියලා එකක් හරි හොඳ නිර්මාණයකින් වෙන්නෙ නෑ.. ලංකාවේ අපි හැමවෙලාවෙම අත්විඳින යථාර්ථවාදී නිර්මාණ, ටෙලිනාට්‍ය ගත්තත්, සිනමාව ගත්තත් එහෙමමයි... ලංකාව ඇතුළේ සම්මානයක් පවා හිමිවෙන්න ඒක යථාර්ථවාදී නිර්මාණයක් වෙන්නම ඕනෙ... නමුත් ටැරන්ටිනෝ අත්හදා බලන සිනමාව යථාර්ථය ඉක්මවූ දෙයක්.. අධි තාත්ත්විකයක් ඒ නිර්මාණවල තියෙනවා.. මෙන්න මේ විදියේ ලෝකයක් සිනමාව විදියට අත්විඳන්න ලැබීම තමයි මට හම්බවෙච්ච ලොකුම භාග්‍ය. රසාස්වාදනය.. 

චින්තනට මේ චිත්‍රපටය අවසානයේ මොනවගේ හැඟීමක්ද දැනුණේ..?
මේ චිත්‍රපට සම්ප්‍රදායේ තියෙන විශේෂත්වය තමයි එන්ඩ් එක කවදාවත් දුක්බර නෑ.. පොඩි වීරත්වයකින්, නැත්නම් පිපිරීමකින්.. ධනාත්මකව තමයි ඒ අවසානය සටහන් වෙන්නෙ.. මේ ෆිල්ම් එකේ මට ආසම එක තමයි මෙච්චර වෙලා මිනීමරණ නපුරු දුෂ්ටයාව ගෑනු තුන්දෙනක් උඩ දදා වටවෙලා ගහනවා.. එක තමයි අවසාන දර්ශනය ඒ දර්ශනය මට කවදාවත් අමතක වෙන්නෙ නෑ...

 

► Text - Danushka Wijesiri   /   Pic -  Internet

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00