2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

අනාවැකිය බොරුවුණොත් ජ්‍යොතිෂ්‍ය පොත්වලට ගිනි තියනවා කීවා

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 88

- ෆීලන් සමූහ ව්‍යාපාරයේ සභාපති ලැනී බී ගමගේ

මේ හඳහන බොහෝම බලවත් එකක්... ඔහේලා ආවේ?
අපි ආවේ අපේ කරගෙන යන ව්‍යාපාරයට නමක් ගන්න.
නම් ලියාගෙන ආවද.?
ඔව් නම් දහයක් විතර ලියාගෙන ආවා.
කෝ මෙහාට ගමු බලන්න.

නක්ෂත‍්‍රකරුවා නළල රැලි කරගෙන නම් තියෙන කොල කෑල්ලේ ඇති නම් පරීක්ෂා කරමින් සිටී..
ම්ම්ම්.. ලැන්කෝමේ පළවෙනියට තියෙන නම හරියන්නේ නැහැ. මෙන්න මේ යට හරියේ තියෙන නම හොඳයි තමුන්ගේ ව්‍යාපාරෙට තියන්න. ඔව්, ෆ‍්‍රීලන් කියන නම රෙජිස්ටර් කරන්න. මේ නම ජාත්‍යන්තරේටත් යනවා ඔන්න.
මාතර ජීවත් වුණු ජ්‍යොතිෂවේදියෙක් මීට අවුරුදු ගාණකට කලින් ෆ‍්‍රීලන් සමූහ ව්‍යාපාරයේ සභාපති ලැනී බී ගමගේ මහතාට කිව්වේ ඔන්න ඔය වගේ අනාවැකියක්. ඒ ගැන අහන්න කලින් අපි අද ෆ‍්‍රීලන් සමූහ ව්‍යාපාරයේ සභාපති ලැනී බී ගමගේ මහතාගෙන් ඔහුගේ කුඩා අවදිය ගත වුණේ කොහොමද කියන ප‍්‍රශ්නය අහමු

මගේ නම ලැනී බී ගමගේ. මම ෆ‍්‍රීලන් සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා. මම ගමේ ඉස්කෝලෙකට ගියේ. මුලින්ම මම ගියේ රන්සෑගොඩ හොරබුරුආර විද්‍යාලයට. ඊටපස්සේ මම කඹුරැපිටිය විද්‍යා නිකේතන විද්‍යාලයට ගියේ.
මම ඉපදිලා මට අවුරුදු හතරක් විතර වෙනකොට මගේ අම්මා ජීවිතක්ෂයට පත්වුණා. ඊටපස්සේ මාව අපේ තාත්තා අපේ නැන්දා කෙනෙක්ට හදාගන්න භාර දුන්නා. ඒ හින්දා මම මාතර ඉපදුණත් රන්සෑගොඩට ගියේ අන්න ඒ ආකාරයටයි. මගේ පවුලේ 09 දෙනෙක්. මම තමයි පවුලේ බාලයා. දැනට ජීවතුන් අතර ඉන්නේ මමයි තව අක්කා කෙනෙකුයි විතරයි.

අම්මා තාත්තා ළඟ නැතුව ගෙවුණ ඒ කුඩා කාලය ගැන මොනවද කියන්න තියෙන්නේ?
තාත්තා මාව නැන්දා කෙනෙක්ට භාර දෙන්නේ වෙන කරන්න දෙයක් නැති හින්දනේ. මගේ අක්කලා සමහර අය ඒ වෙනකොට විවාහ වෙලා. ඉතින් තාත්තා මාව නැන්දට හදාගන්න භාරදුන්නා. මට ඉතින් අම්මා තාත්තගෙ ආදරය සෙනෙහස විඳින්න ලැබුණේ නැහැ. අම්මා කෙනෙක්ගේ උණුහුම විඳින්න බැරිවුණා. මට ඉගෙනගන්න අවශ්‍ය දේ හමුවුණා. නමුත් ඉතින් මට ඕන හැමදේම ලැබුණේ නැහැ. විදුහල්පතිවරයෙක් හිටියා මගේ ඥති අයියා කෙනෙක්. ඔහු තමයි මට ඉගෙනගන්න උදවු කළේ. මට කියන්න අමතක් වුණා මම ඉපදුණේ මාතර මැද්දේවත්තේ. අම්මා නැති දුකෙන් මම නිතරම වගේ දුක් වින්දා. මම බලාපොරොත්තු වුණ හැම සැප සම්පතක්ම ලැබුණේ නැහැ මට. දැන් කාලේ ළමයින්ට වගේ මට හැමදේම ලැබුණේ නැහැ. අඩුම ගාණේ මට ඉස්කෝලේ යන්න පාපැදියක්වත් තිබුණේ නැහැ. මගේ යාළුවෙක් හිටියා එයාට බයිසිකලයක් තිබුණා. එයා මම හැදුණු වැඩුණු ගෙදරට ඇවිල්ලා මාවත් දාගෙන ඉස්කෝලෙට ගියා. ඔය ආකාරයට මම ඉගෙනගන්න එක කළා. මම උසස් පෙළ එතකොට ඉගෙන ගන්න ගමන් හිටියේ. 

ඒ අතරේ වෙනස්ම තීරණයක් ගන්නවා ඔබ?
ඔව්. මම රැකියාවකට යන්න ඉල්ලුම්පත‍්‍ර දමලා තිබුණේ. ඒ 1964 අවුරුද්ද. මට සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ රුකියාවක් හමුවුණා. මම උසස් පෙළ කරන එක අතරමඟ නතර කළා. අනිත් එක තමයි ඔය කිව්වේ අද තියෙන සතොස ගැන නෙවෙයි. මම දක්ෂ විදිහට මහන්සි වෙලා වැඩ කළා. මම ආයතනයට ළැදිව රජයේ රැකියාවක්නේ කියලා අයිස් ගහන්නේ නැතුව වැඩ කළා. මට මුලින්ම ගාලු දිස්ත‍්‍රික්කයටයි ගබඩා පාලක විදිහට රැකියාව හමුවුණේ. එතකොට සතොස තමයි බඩු ඒකාධිකාරිය පවත්වාගෙන ගියේ. එතකොට පෞද්ගලික අංශය අද කාලේ වගේ ක‍්‍රියාත්මක නැහැනේ.‍ෙහාල්, අල, පරිප්පු, මිරිස් ඇතුළු හැම දෙයක ගෙන්නුවා. ගාල්ල දිස්ත‍්‍රික්කයට බෙදා හැරීමේ බලය තිබුණේ මට. අපි ප‍්‍රධාන ආයතනයේ ඉඳන් ගම්වල තියෙන සමූපකාර සමිතිවලට බඩු යවනවා. තොග වෙළෙඳුන්ට බඩු දෙන්න ඕන. ඒ කාලෙ බඩු සුලබ නැහැ අද වගේ. ඒ නිසා බඩුවකට ඉල්ලුම වැඩියි. අත්‍යවශ්‍ය ආහාර ගන්න පවා ඔය කාලේ පෝලිම් තිබුණා. කොයි වෙලේ බැලුවත් මහජනතාවගෙන් ප‍්‍රශ්න. සමහර වෙලාවට පොලීසිය පවා ගෙන්නවන්න වෙනවා. ටික කාලයක් යද්දී ගාල්ල, මාතර, හම්බන්තොට කියන දිස්ත‍්‍රික්ක තුනටම බඩු බෙදුවේ මමයි. ටික කාලයකින් මට කළුතරට මාරැවක් හම්බවුණා. එක්දහස් නවසීය හැත්තෑ ගණන්වලදී දිස්ත‍්‍රික්කය තුළ ඉහළම අලෙවියක් සිදු කිරීම් වෙනුවෙන් මට සභාපතිතුමයි සහොස අධ්‍යක්ෂක මණ්ඩලයි මගේ සේවය අගය කරලා සහතිකයක් පවා දුන්නා. එතකොට සභාපතිතුමා විදිහට හිටියේ ජනාධිපති නීතීඥ ෆාරැක් මහත්මයා. ඒ කාලේ එතුමව හමුවෙන්න ලේසියෙන් බැහැ. එදා චිට් එකක් දාලා ගිහින් තමයි එතුමව හමුවෙන්න ඕන. ඒත් කාලය මැවූ වෙනසක අරුමයකින් අද එතුමයි මමයි හොඳ මිත‍්‍රයන්. ඒ මේ ව්‍යාපාර කටයුතු නිසා මට ලැබුණු දෙයක්. ඔන්න ඔය අතරේ මට ව්‍යාපාරයක් පටන් ගන්න  ඕන කියලා හිතුණා.

ව්‍යාපාරයක් පටන් ගන්න මොකක් හෝ හේතුවක් තිබුණද? එහෙනම් මොකක්ද ඒ හේතුව?
මට හම්බවෙන පඩියට වැඩිය අමතර මුදලක් හම්බ කරගන්න ඕන වුණා. එතකොට මට පඩිය රුපියල් හාරසීයයි. බෝඩිමට එතකොට රැපියක් හතළිහයි. ජීවත් වෙන්න ලැබෙන ගාණ ඇති වුණා. ඒත් මට වැඩිය මුදල් හම්බ කරන්න ඕන කියලා හිත හැම වෙලාවෙම කිව්වා. ආහාර ද්‍රව්‍ය ගැන මට පළපුරුද්ද සහ අවබෝධයත් තියෙනවනේ.

මම මිරිස් මෝලක් තමයි පටන්ගන්න හැදුවේ. රැපියල් දෙසීයක් විතර හොයාගත්තනම් ඇති කියලා තමයි හිතුණේ. ඔන්න මාතර බතූතා පාරේ තමයි මිරිස් මෝල පටන් ගත්තේ. බතූතා පාර කියන්නේ මාතර තියෙන මුස්ලිම් මිනිස්සු ජීවත් වෙන වීදියක්. සතොසෙ මගෙත් එක්ක ක්ලාක් කෙනෙක් වැඩ කළා. එයා මුස්ලිම් මනුස්සයෙක්. අන්න එයාගේ තාත්තා බතූතා පාරේ පළාතේ ප‍්‍රසිද්ධ වෙද මහතමයෙක්. බතූතා පාරේ කඩයක් තියෙනවා ඒක කරන මනුස්සයා හරියට කරගෙන යන්නේ නැහැ කියලා මට ඒක අරන් දෙන්නම් කියලා ඒ වෙදමහත්මයා මට කිව්වා. ඔය වෙදමහත්මයා ගැනත් කියලම ඉන්න ඕන. එයා වෙදහෙදකම ඉගෙනගෙන තිබුණේ හාමුදුරුනමකගෙන්. ඒ හින්දා හොඳට සිංහල ලියන්න, කියවන්න එයාට පුළුවන්. ඒ පළාතේ නායකයත් එතුමමයි. ඔන්න කඩේ බද්දට ගන්නවා කියලා කුවිතාන්සිය ලිව්වෙත් ඒ වෙද මහත්මයමයි. ඊටපස්සේ කඩේ භාරදෙන ගමන් මේ කඩේ සදාකාලිකව ඔබතුමාගේ තමයි කියලා ඒ වෙදමහත්මයා මට කිව්වා. ඔන්න මම දැන් මැෂිම හයි කරලා මිරිස් කොටන්න පටන් ගත්තා. මිරිස් තුනපහ ඔය හැමදේම මිනිස්සු අරගෙන ආවම කොටලා දෙනවා. ටික කාලයක් යද්දි මම ඒ කඩේ සින්නක්කරේට ගත්තා. ඔන්න මම පාරිභෝගිකයෝ ගේන ඒවා කොටනවට අමතරව බෝතල් ටිකක මිරිස් තුනපහ කොටලා දමලා විකුණන්න පටන් ගත්තා.

ඒවා අපි ගෙදරදී තමයි හදාගෙන ගියේ. ඔන්න දවසක් දිසාපති කාර්යාලයෙන් ඇවිල්ලා මේ කඩේ රෙජිස්ටර් කරලද කියලා ඇහුවා. ඊටපසේ තමයි ලියාපදිංචියට නමක් ඕන නිසා මමයි යාළුවෙකුයි එකතුවෙලා නම් 10ක් 15ක් හදාගෙන නක්ෂත‍්‍රකරුවෙක් ගාවට ගියේ. ඒ කාලේ ඒ මනුස්සයා හොඳ ජනප‍්‍රිය නක්ෂත‍්‍රකරුවෙක්. මේ කාලේ වගේ බොරුකාරයෝ නෙවෙයි. දක්ෂ මනුස්සයෙක්. දැන්නම් ජීවතුන් අතර නැහැ. එයා තමයි පහළම හරියේ ලියලා තිබුණ ෆ‍්‍රීලන් කියන නම ව්‍යාපාරයට තියන්න කියලා කිව්වේ. ඒ වගේම මේ නිෂ්පාදන කවදහරි දවසක රට රටවලත් ප‍්‍රචලිත වෙනවා කියලත් එයා කිව්වා. ඒත් එදා මට හිනා ගියා. මොකෝ ඉතින් එතකොට මම මේ බෝතල් ටිකක දාගෙනනේ මිරිස් තුනපහ එහෙම විකුණන්නේ. මම මේ කියන දේ වැරදුණොත් මගේ ජ්‍යොතිශ පොත් ඔක්කොම ගිනි තියනවා කියලා ඔහු කිව්වා.

ඊටපස්සේ ෆ‍්‍රීලන් කියන නම ලියාපදිංචි කරලා ලිතෙන් අශුභ හෝරාව පන්නලා අපේ කඩේ අහල පහළ තේ කඩයක් කරන මනුස්සයෙක්ට අපේ බිස්නස් එක පටන් ගන්නවා ඔහේ ඇවිල්ලා මොනවා හරි අරගෙන යන්න කියලා වෙලාව කිව්වා. මම එන්නම් මහත්තයා කියලා ඒ මනුස්සයා කිව්වා. ඒ මුස්ලිම් මනුස්සයා කීව වෙලාවටම ඇවිල්ලා ග‍්‍රෑම් 250 ගාණේ වගේ මිරිස් තුනපහ අරගෙන ගියා. අද වෙද්දී ඒ මනුස්සයත් ජීවතුන් අත‍ර නැහැ. අනිත් කාරණේ තමයි ඒ මනුස්සයත් මුස්ලිම් මනුස්සයෙක්. ඔන්න ඊටපස්සේ දවසින් දවස කටින් කට ප‍්‍රචාරය වෙලා බිස්නස් වැඩිවුණා. ටික දවසක් යනකොට මිරිස් තුනපහ දමලා තිබුණ බෝතල් අයින් කරලා ඊට වැඩිය ලොකු බෝතල්වල දමන්න වුණා. මොකද වෙළෙඳාම දවසින් දවසම සරු වුණා.

ඔය කියන්න හදන්නේ ඔබ ව්‍යාපාරයට ප‍්‍රචාරණය දුන්නු තව කට්ටියක් ගැනනේ නේද.?
ඔව් ඔව් සාම්පල් බලන්න කියලා පී.එච්.අයි. මහත්තයලා ඇවිල්ලා හිටිගමන් සාම්පල් අරගෙන යනවා. ඒගොල්ලො එනවට මම එච්චර කැමැත්තක් දැක්වුවේ නැහැ. මොකෝ ඉතින් ඒගොල්ලො මේ විකුණන්න තියෙන ඒවගෙන්නේ අරගෙන යන්නේ. මට ඒක පාඩුවක්නේ. ඔන්න දවසක් ඒ ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට රැස්වීමක් තිබුණා. ඒ වෙලවේ පී.එච්.අයි. මහත්තුරු කිව්වා අපි සාම්පල් ගන්න ගියාම සමහර ව්‍යාපාරිකයන්ගේ මුහුණු අඳුරු වෙනවා ඒ වුණාට ඒ ව්‍යාපාරය ගැන මේ පළාතෙම අපේ කටින්ම හොඳයි කියලා ප‍්‍රචාරය වෙනවා කියලා. ඒ කීවේ මගේ දිහා බලාගෙන. ඒ කිව්වා වගේම ඒ අය අපේ බඩු හොඳයි කියලා කියන එකෙන් ඒවට තව ප‍්‍රචාරය හමුවුණා. ඔය අතරේ රාජ්‍ය ආයතනවල අයත් අපේ ගාවට ඇවිත් අපෙන් මිරිස් තුනපහ ගන්න පටන් ගත්තා. විශේෂයෙන්ම පාසැල් ගුරුවරියෝ බැංකුවල වැඩ කරන අය වගේ නානාප‍්‍රකාර අය ආවා. මාතර තියෙන වෙඩින් හෝල්වලින් අපේ කුළුබඩු ගන්න පටන් ගත්තා. වෙඩින්වලට වෙනම ඕර්ඩර් එන්න පටන් ගත්තා. අපි හිතුවට වැඩිය ව්‍යාපාරය සරු වුණා.

( ඉතිරිය ඊළඟ සතියට )

► Text — Chandana Waravitage 

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00