2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

මාලය උගස්කරලා මහපොළ සල්ලිත් දාලා ව්‍යාපාරය පටන් ගත්තා

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:31 186

- රෝයල් කැෂූ කළමනාකාර අධ්‍ය වෛද්‍ය රුවන් වතුගල

මම කියන ‍මමේ කාලයේ මේ කතාවේ නායකයාට වයස අවුරුදු 22යි. අද මේ මම කියන්න හදන කතාව සිද්ද වෙන්නේ අතීතයේ එක්තරා දවසක. එදත් සුපුරුදු පරිදි තමන්ගේ බයික් එකට නැගලා කඩවසම් වෛද්‍ය ශිෂ්‍යයෙක් කොළඹ වෛද්‍ය පීඨයට එන්නේ වෛද්‍ය විද්‍යාවට අදාළ දේශන සඳහා සහභාගී වෙන්න. ඒත් එදා ඔහුගේ හිත ඉගෙනුමට වඩා යකාගේ කම්හල වගේ වෙලා තිබුණේ ඔහු දැක්ක සිහිනයක් ඉෂ්ට කරගන්න පෙරළි කරන සිතුවිලිවලින්.

 ඒත් එදා පුදුමාකාර දවසක්. උදේ පාන්දර නැගෙනහිර ආකාසෙන් සූර්යා හිනාවෙවී එබිකම් කරද්දී මේ කියන කඩවසම් තරුණයා කොළඹ විශ්ව විද්‍යාලයට එන්නේ ටික වෙලාවකින් වෙනත් ගමනාන්තයකට ළඟාවෙන්න හිතාගෙන. හිරු ටිකෙක් ටික මැදියමට ළංවෙද්දී එක පාරටම මහා හුළඟක් හමාගෙන යනවා. ගස්වල අතු ඉති සෙලවමින් හමාගෙන යන සුළඟ තිබුණේ ටික වෙලාවයි, මෙන්න අකුණු ගගහ මොරගෙඩි වගේ වැසි දිය බිමට පාත්වෙන්න පටන් ගන්නවා. විනාඩි කිහිපයක් ඒ දිහා දිලිසෙන දෑසින් බලාගෙන ඉන්න මේ කියන කඩවසම් හාදයා මෙන්න එක පාරටම හෙල්මට් එක දාගෙන යතුරු පැදියට නගින්නේ මහපාර දියපාරක් ලෙසින් වැසි දියෙන් පිරී තියෙද්දී. යතුරු පැදියකින් තියා රෝද හතරේ වාහනයකින්වත් ගමන් කරන්න නොහැකි මං මාවත් දිගේ මේ තරුණයා බොහොම සීරු මාරුවට තමන්ගේ යතුරුපැදිය කොළඹ ඉඳන් පානදුරේට යනකම් ධාවනය කරගෙන ගිහින් තමන්ට එන්න අවශ්‍ය තැනින් නතර කරනවා. තෙත බේරෙන ඇඳුම් ආයිත්තම්වලින් සැරසුණු ඔහු ගොඩවන්නේ පානදුරේ එක්තරා ආයතනයකට. ඒ ගිය ගමනේ ප‍්‍රතිඵලේ වෙන්නේ අද දෙසීය පනහකට අධික ප‍්‍රමාණයකට රැකියා සපයන දේශීය වගේම ජාත්‍යන්තර ආයතනයක සාර්ථක ව්‍යවසායකයෙක් වුණු එකයි. මෙන්න මේ තරුණ කඩවසම් ව්‍යවාසයකයා හොයාගෙන දේශයේ අපි ජා ඇල පාරේ කිරිඳිවිට තියෙන ඔහුගේ ව්‍යාපාර ආයතනය ආරම්භ කළ ස්ථානයට ගියා. 

ඔබ කවුද මොනවද කරන්නේ කියලා ඇහුවොත්?
මම වෛද්‍ය රුවන් වතුගල. ඒ වගේම මම ව්‍යාපාරිකයෙක්. මම තමයි රෝයල් කැෂූ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා. මම දැනට සීදුව විජය කුමාර අනුස්මරණ රෝහලේ වෛද්‍යවරයෙක් විදියට වැඩ කරනවා. මගේ අප්පච්චි දැනට ජීවතුන් අතර නැහැ. ඔහු දෙනියායේ කෙනෙක්. ඒ වගෙම ඔහු වෘත්තියෙන් මිනින්දෝරුවෙක්. මම ඉපදුණේ දියතලාවේ. තාත්තගේ රැකියාව නිසා විවිධ පළාත්වල ජීවත්වෙන්න වාසනාව ලැබුණා. මගේ පවුලේ ඉන්නේ මමයි අම්මයි තාත්තයි අක්කලා දෙන්නයි මල්ලියි. අපි මාතර දෙනියායේ ඉඳලා 1980 අවුරුද්දෙදී ගම්පහට පදිංචියට ආවා. මමයි අක්කලා දෙන්නයි මල්ලියි හතර දෙනාම ශිෂ්‍යත්වය සමත්වුණා. ලොකු අක්කා දේවී බාලිකාවටත් පොඩි අක්කා සිරිමාවෝ එකටත් මමයි මල්ලියි කොළඹ රාජකීය විද්‍යාලයටත් තමයි ගියේ. 

ව්‍යාපාර ආරම්භ කරන්න හිතුණේ කොයි කාලයේ වගේද?
පුංචි කාලයේ ඉඳන් මට අපේ රටට කෘෂිකර්මාන්තය ක්ෂේත්‍රයෙන් මොනවා හරි කරන්න ඕන කියලා හිතුණා. මොකද ගම්පහට එනකොට මම හිටියේ 6 පන්තියේ. ඒ කාලයේ අපේ අප්පච්චි රැකියාව කළේ විදෙස් රටක. ඒත් අපි ගම්වල අයනේ. තාත්තාගේ අදහසක් තිබුණා අනිවාර් යෙන්ම අපිටත් කුඹුරක් තියෙන්න ඕන කියලා. ඒ හින්දා අප්පච්චි ගම්පහින් කුඹුරු අක්කර දෙකක් ගත්තා. අන්න ඒ කුඹුරුවලට මිනිස්සු දම්මවලා ඒවා කෙරෙව්වේ මම. මම කුඹුර සී සාන දවසට හරක් ගේන්නේ එතකොට කුඹුරු හාන්නේ. මම බයිසිකලේ නැගලා හරක් අයිති අයට එන්න කියලා හරක් බාන 06ක් දානවා. මම තමයි ඒ ගොල්ලන්ට අවශ්‍ය කෑමබීම ගෙනිහින් දෙන්නේ. හවසට ඒ ගොල්ලන්ගේ කුලිය ගෙවන්නෙත් මම. හීයක් හෑවම හරක් බානකට රුපියල් 60 ගාණේ ගෙවනවා. වැඩකරන අයට දවසේ කුලිය එතකොට රුපියල් 40යි. මට ඒ කාලේ ඉඳන් කළමනාකරණය කියන දේ පොත පතින් ඉගෙන නොගත්තට ඉගෙනගන්න ලැබුණා ප‍්‍රායෝගිකවම. අනිත් එක තමයි මම ඒ කාලයේම නිෂ්පාදනයන්ට අගයක් දෙන්න ඕන කියලා හිතුණා.

ඒ කිව්වේ?
ගොඩාක් අය එතකොට කළේ වී ගොවිතැන් කරලා වී විකුණන එක. වී විකිණෙන්නේ අඩු ගාණකට. ඒත් බිත්තර වී ඊට වැඩිය මිලට විකුණන්නේ. බිත්තර වී හදන්නේ වී නියම ආකාරයට වේලලා ඒවා නිසි ආකාරයට ගබඩා කරලා තියාගෙනනේ. ඉතින් මම කළදේ වී විකුණන්නේ නැතුව බිත්තර වී හදලා වැඩිගාණට විකිණුවා. මගේ ඔළුවට වී වලට අගයක් එකතු කරන්න ඕන කියන අදහස ආවා.

බොහෝ ව්‍යාපාරිකයින් වගේ ඔබත් මේ අද ඉන්න තැනට ගොඩාක් දුක් වින්දා කියලද කියන්නේ?
නැහැ නැහැ. මම නම් දුක් විඳලා නැහැ. මොකද මම කරන හැමදෙයක්ම මම ආසාවෙන් කළා. මට ආර්ථික ප‍්‍රශ්න තිබුණේ නැහැ. ගමක ජීවත්වෙනව නම් කුඹුරුක් කරන්න ඕන කියලයි අපේ අප්පච්චිගේ අදහස් වුණේ. මම සතුටෙන් ඉතාම මහන්සි වුණා. හුඟාක් මහන්සි වුණා. දුක් වින්දේ නැහැ. අලුත් ව්‍යවාසයකයින් වෙන්න හිතේ යන්තම් හෝ අදහසක් තියෙන අයට මම නම් කියන්නේ ඔබ කරන කාර්ය නිසි ආකාරයට මහන්සිවෙලා හරියට කරන්න. ඒත් ඒක දුකක් කියල හිතන්න එපා. ආසාවෙන් කරද්දී කිසිම දේක දුකක් නැහැ. මම කිසිම වෙලාවක දුක්වින්දා කියන වචනය කියන්නෙවත් නැහැ. නිකම් හිතන්න බලන්න.... කන්නෙ නැතුව බඩගින්නේ ඉඳලා ඒකවත් හරියට කළමනාකරණය කරගන්න බැරි කෙනෙක් කොහොමද හොඳ ව්‍යවාසයකයෙක් වෙන්නේ. මම කියන්නේ අපි මොනවා හෝ කන්න ඕන වෙලාවට. රුපියල් 50කට කන්නත් පුළුවන් කෙනෙක්ට රුපියල් 2500 – 3000 ඉඳන් දහ පහළොස්දාහටත් කන්න පුළුවන්. මම කියන්නේ බඩගින්නේ අපි ඉන්න අවශ්‍ය නැහැ. අපි හැම දෙයක්ම කලමනාකරණය කරගන්න ඕන. අපි අපේ සිහිනය සැබෑ කරගන්න මහන්සි වෙන්නම  ඕන. ඒකත් අපි බොහොම සතුටින් කරන්න ඕන. මම කුඹුරු කරවන කාලයේ එතන වැඩ කළ අයගේ බොස් වුණේ මමනේ. ඉතින් මම ඒක ගොඩාක් ආසාවෙන් සතුටෙන් කළා. ඒකේ ප‍්‍රතිඵල භුක්ති වින්දා.

ඔබ අද වනවිට හොඳ ව්‍යවාසයකයෙක්. මේ සිහිනය හඹාඑද්දී කුඹුරු කෙරෙව්වා කිව්ව. වෙන මොනවද කළේ?
මම උසස් පෙළ කරද්දී කොටස් වෙ‍ළෙඳපොළ ගැන උනන්දු වුණා. මම අප්පච්චිගේ සල්ලි තමයි කොටස් වෙළඳපොළේ ආයෝජනය කළේ. මම මුලින් මුලින් අදාළ සමාගමක කොටස් අරගෙන ඉන්නේ කියලා හිතුවා. ඒත් මම අරගෙන නැහැ. ඒවා අලෙවි වන ආකාරය ඒ විදිය අධ්‍යයනය කළා. ඊටපස්සේ මම මුදල් ආයෝජනය කළා. විශ්ව විද්‍යාලයට ගියාට පස්සේ තමයි මම ව්‍යවාසයකයෙක් වෙන්න හිතුවේ. මම එතකොට වෛද්‍ය විද්‍යාලයේ පළවෙනි වසරේ හිටියේ. මගේ යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් කජු ව්‍යාපාරයේ නියැලුනා. ඔය අපේ අහල පහල මැදගම, බටපොත කජු ව්‍යාපාරවල නිරත වෙන අය තමයි ගොඩාක් හිටියේ. ඒ ගොල්ලෝ කජු මද අතින් ගලවලා පොලිතින් කොළවල දාලා පැකට් කරලා විකුණනවා. ලෝකේ හොඳම කජු තියෙන්නේ අපේ රටේ. මම ලෝකෙටම අපේ රටේ කජු යවන්න ඕන කියලා හිතුවා. ලංකාවේ මාර්කට් එකට දාලා ඊට පස්සේ පිටරට යවන්නයි මට ඕන කළේ.
ඒ කියන්නේ ඔබ එකපාරටම කජු ව්‍යාපාරයට සල්ලි දාලා වැඩේ පටන් ගත්තා.

අනේ නැහැ. දැන් මට අභියෝග කිහිපයක් තියෙනවා. පළවෙනි එක වැඩේට මුදල් හොයාගන්න ඕන. වැඩේ ගැන මම දන්නෙත් නැහැ. ඒ හින්දා මම කළේ කජු ගැන හොඳට දන්න කපිල අයියා කියලා හොඳ දක්ෂයෙක් හිටියා. එයාට මම මගේ අදහස කියලා එයාගෙන් උපදෙස් ගත්තා. ඊටපස්සේ මට ජේ.ඩී.සී. පෙරේරා කියලා මහත්මයෙක්ගෙනුත් උපදෙස් ලැබුණා. අපි මොනදේ කළත් හරිම කෙනෙගෙන් තමයි උපදෙස් ගන්න ඕනෑ. නැතුව තමන්ට සමීපම අය කියලා ගෙදර අයගෙන් උපදෙස් අරගෙන නම් වැඩක් නැහැ කියන එකයි මගේ අදහස. මට වැඩේ පටන්ගන්න සුපර් මාර්කට් වලට දමලා දෙන්නම් කියලා කපිල අයියා කිව්වත් මම වැඩේ තනියම කරගෙන යන්න පටන් ගත්තා. මොකද මට අවශ්‍ය වුණේ දන්න කෙනෙක්ගෙන් උපදෙස් විතරයි. පළවෙනිම අභියෝගය වුණේ පැකින් එක. අන්න ඒ අවශ්‍ය අසුරණ ගන්න තමයි මම වැස්සේ තෙමි තෙමී පානදුරට ගියේ. යෙලෝ පේජස් එකේ තමයි වොන්ඩපැක් ගැන දාලා තිබුණේ. මම මෙඩිකල් කොලේජ් යන ගමන් මේ දේවල් කළේ. එදා වැස්ස හින්දා වෙන කෙනෙක් නම් යන්නේ නැහැනේ. ඒත් මම වැස්ස නිසා නැවතුණොතින් ලොකු ගමනක් යන එක නවතිනවා කියලයි මට හිතුණේ. අන්න ඒ නිසා එදා මම ඒ මහා වැස්ස නොතකා මගේ අවශ්‍යතාව ඉෂ්ට කරගන්න පානදුරයට ගියා.

එදා මම යද්දී ගොඩාක් පාරවල් වැස්සට යටවෙලා පාරවල්වත් හරියට පෙනුණේ නැහැ. ඒත් එදා නොගියනම් මම ඔබ අද එන්නේ නැහැ මාව හොයාගෙන... අද මේ ආටිකල් එක කරන්න.... මම හරි නේද?

එදා මම සල්ලි හොයාගත්ත විදියත් කියන්නම්... මේ බලන්න. මෙන්න මේක.... වෛද්‍ය රුවන් ප‍්‍රවේශමට අසුරා තිබූ අසුරණයක් දිග හරිමින් මට චේන්පොටක් පෙන්වමින්....,මෙන්න මේ චේන් එක එතකොට මගේ කරේ තිබුණේ. මම එදා පානදුරෙන් මේක රුපියල් 3500කට උගස් කරලා ගත්ත සල්ලියි මට මහපොළ වාරික දෙකකින් එකතුවුණු රුපියල් 2500කුයි දාලා තමයි මේ ව්‍යාපාරය ආරම්භ කළේ. මූලික ප‍්‍රාග්ධනය හොයා ගත්තෙ මම අන්න එහෙමයි.

දැන් ඔක්කොම හරි. දැන් මට  ඕන කජු. මම යාළුවගේ ගෙදර ගිහින් එයාගේ තාත්තගෙන් කජු ටිකක් අරගෙන ආවා. ඒ ලේබල් එක හදාගන්න ඕන නිසා. මම ඒ කජු ගෙනල්ලා හෙවනැලි වැටෙන්නේ නැතිවෙන්න ෆොටෝ ගන්න ඕන නිසා කුඹුරක් මැද්දට ගිහින් මම ෆොටෝ ගත්තා. මේ තියෙනෙන අන්න ඒ ගත්ත ෆොටෝ. ඊට පස්සේ ඒ ෆොටෝ අරගෙන මෙන්න මේ විදියට ඒවා කපලා ලේබල් එකත් අලවා ගත්තා. දැන් පැකින් හැරි. ලේබල් එක හරි. නමක් තමයි දැන් අඩු.

ලබන සතියට......

► Text — Chandana Waravitage

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30