2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

හිඟා නොකා හිඟා කාපු කාලයක් මට තිබුණා

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:31 225

පසුගිය දිනෙක ඔබේ ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පැවැත්වුණා. ඔබ මේ ප්‍රසංගය නම් කරලා තිබුණේ මනමාල හැන්දෑව යන නමින්?
ඔව්. මේ වනවිට මම විවිධ නම්වලින් මගේ ඒක පුද්ගල ගී ප්‍රසංග කිහිපයක්ම කරලා තිබුණා. මේ පාර මේ ප්‍රසංගයට ටිකක් වෙනස් විදිහේ නමක් යොදන්න ඕනේ කියලා මට හිතුණා. මීට වසර ගණනාවකට උඩදී මම ගායනා කරපු, ප්‍රවීණ ගීත රචක උපාලි බණ්ඩාර වීරසේකර ලියූ සරත් ද අල්විස් සංගීතවත් කළ මනමාල හැන්දෑව කියන ගීතය මගේ මතකයට ආවා.

මනමාල හැන්දෑවේ පිණි වැස්ස වහිනවා
සුළං කෝඩේ එතී ඔබේ සුවඳ සිඹිනවා
දරාගන්න බැරි දුකක් මගේ හිතට දැනෙනවා
මතක් වෙනකොට ඔයා හිතම ගිනි ගන්නවා

ඒ ගීතය හරි අපූරු ගීතයක්. ඒ නිසා ටිකක් වෙනස් නමක් මගේ ප්‍රසංගයට තියන්න ඕනෙ කියලා හිතලා මේ නමින් ඒ ප්‍රසංගය නම්කළා. ඇත්තටම ඒක හරි අපූරු හැන්දෑවක් වුණා. මනමාලකම කියන දේ තරුණකමේ සිට වයසට ගියත් කාගේ හිත්වලත් තියෙනවා. අපි හැමෝම අද වැඩිහිටියන් වුණත් තරුණ කාලේ පසුකරලා ආපු අයයි. ඒ නිසා මේ නමට හැමෝම කැමැති වේවි කියලා මට හිතුණා. මේක ඒක පුද්ගල ප්‍රසංගයක් වුණත් යුග ගීත බොහෝමයක් තිබුණා. මේ ප්‍රසංගය සංගීතවත් කළේ නාලක සජීව් කියන නව පරපුරේ දක්ෂ සංගීතවේදියයි. ඔහු සමඟ ශිල්පීන් තිස්පස්දෙනෙක් එදා සංගීත කණ්ඩායමක් ලෙසින් සහභාගී වුණා. පෙරදිග, බටහිර විවිධාකාර සංගීත භාණ්ඩවලින් සැදුම්ලත් අපූරු සංගීත කණ්ඩායමක් එදා මගේ ප්‍රසංගය සංගීතවත් කළා. මුල් කාලේ සිට මම ගායනා කළ මගේ ජනප්‍රිය ගීත අතරින් ඒ ඒ යුගවලදී, ප්‍රසංගවල රසික රසිකාවියන් ප්‍රිය කරපු ගීතවලට චන්න විජේවර්ධනයන්ගේ නර්තන කණ්ඩායම් හරි අපූරු නර්තනයන් ද එක්කළා.

මෙම ඒකපුද්ගල ගී ප්‍රසංගයෙන් ලැබෙන මුදල් කීර්ති යම් පුන්‍ය කටයුත්තකට බැර කරන්නට බලාපොරොත්තු වෙනවද?
ඔව්.. මම මේ වසරේ මුලදී ප්‍රාර්ථනා නමින් ලංකාවේ සිටින රුධිර රෝගවලින් පීඩා විඳින රෝගීන් වෙනුවෙන් වැඩපිළිවෙලක් ආරම්භ කළා. රුධිර රෝගවලින් පීඩා විඳින රෝගීන්ට ඇති දැඩි අවශ්‍යතාවයක් තමයි ඇටමිඳුළු බද්ධ කිරීමේ ඒකකයක් ලංකාවේ නොමැතිකමයි. ඇත්තම කිව්වොත් එහෙම ඒකකයක් ලංකාවේ තියෙනවා. නමුත් එය නිවැරදි ප්‍රතිකාර ක්‍රමය නෙවේ. ඒ ප්‍රතිකාර සඳහා නොමිලේ ප්‍රතිකාර කරගැනීම සඳහා ලංකාවේ ක්‍රමයක් නැහැ. මුදල් වියදම් කර ප්‍රතිකාර ගැනීමට පෞද්ගලික රෝහල්වල පහසුකම් තිබුණත් ඒ සැත්කමක් සඳහා ඉතා විශාල මුදලක් වියදම් කරන්නට සිදුවෙනවා. නමුත් ඒක සාමාන්‍ය ජීවිතයක් ගෙවන මිනිසෙක්ට කොහෙත්ම දරාගන්නට බැරි මුදලක්.

ප්‍රාර්ථනා නමින් ඇරඹූ ව්‍යාපෘතියේ අරමුණ මොකද්ද?
ප්‍රාර්ථනා නමින් නම් කළ මේ වැඩසටහනට ලක්ෂ තුන්දාහක් වැයවෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දළ වශයෙන් මිලියන තුන්සීයක් වැයවෙනවා. පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහතාගේ ඉල්ලීමක් මත තමයි මම මේ ව්‍යාපෘතියට අත ගැහුවේ. එතුමාගේ වෛද්‍ය කණ්ඩායමක් සමඟ එකතු වෙලා තමයි අපි මේ ව්‍යාපෘතිය කරන්නේ. කොතලාවල ආරක්ෂක ආරෝග්‍ය ශාලාවේ මේක ස්ථාපිත කරලා නොමිලේ ප්‍රතිකාර කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එයින් මෙය නිවැරදිව ස්ථාපිත කළාට පසුව රෝගීන් පන්සීය දෙනකුට එක වසරකට ප්‍රතිකාරය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මේ ප්‍රතිකාර ලබාදීම තුළින් පන්සිය දෙනකුගේ ජීවිත බේරා ගන්නට අපිට හැකියාව ලැබෙනවා. රුධිර ආශ්‍රිත රෝගීන් එක්දාස් පන්සීයක් පමණ වසරකට අලුතින් රෝගීන් ගොන්නට එකතු වෙනවා. අද වෙද්දී මේ එකතුව එන්න එන්නම වැඩිවෙනවා. මේ නිසා නිවැරදි ප්‍රතිකාර ක්‍රමයක් නොලැබී ඇත්තටම විශාල අභාග්‍යයක්. මෙවැනි ඒකකයක් මහරගම අපේක්ෂා රෝහලේත් නැහැ. මෙයට වෛද්‍ය ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමන්ට ඇටමිදුළු ගෙන පිරිසිදු කර තමන්ටම බද්ධ කිරීම. ඒක දැනට රෝහල් කිහිපයක සිදුකෙරෙනවා. නමුත් නිරෝගී කෙනකුගේ ඇටමිදුළු ගෙන රෝගී කෙනකුට බද්ධ කිරීම පෞද්ගලික රෝහල් කිහිපයක හැරුණු විට රජයේ රෝහල්වල සිදුවන්නේ නැහැ. ඒක ස්ථාපිත කරන්නට ලක්ෂ තුන්දාහක විශාල මුදලක් වැය වෙනවා. ඒකට තමයි අපි මේ උත්සාහ ගන්නේ. ජනවාරි මාසෙදී මම ප්‍රාර්ථනා නමින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රසංගයක් පැවැත්වූවා. ඒකෙන් මේ අරමුදල ආරම්භ කළා. මේ ප්‍රසංගයෙන් ලැබුණු ලාභයත් මම මේ සත්ක්‍රියාව සඳහාම තමයි යෙදෙව්වේ.

කීර්තිගේ ගම කොළඹ නෙවෙයි?
ඔව්. මගේ ගම මහනුවර. මම මහනුවර ඉපදුණත් මගේ අම්මයි තාත්තායි දෙන්නම දකුණු පළාතේ වැසියෝ. තාත්තා ගාල්ලෙ සහ අම්මා බලපිටියේ තමයි ඉඳලා තියෙන්නේ. දකුණේ ඉපදුණු ඒ දෙන්නා නුවර පදිංචියට ඇවිත් තියෙනවා. ඒ නිසා අපි ඉපදුණේ මහනුවරයි. මම ප්‍රාථමික අංශයේ සිට ද්විතීක අංශ දක්වාම ඉගෙනගත්තේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේයි. පාසල් අධ්‍යාපනය කරන කාලෙදිත් මම සංගීතයට ගොඩක් ලැදියි. මගේ සංගීත ගුරැවරයා වුණේ එම්. පී. පෙරේරා ගුරුතුමායි. එතුමා මගේ ප්‍රාථමික අංශයේ සංගීත ගුරුවරයා. එතුමා පියානෝව වාදනය කළා. අපි දන්නො බුදුන්ගේ, අඹ දඹ නාරං වැනි ගීත ගායනා කළා. ඒක තමයි අපේ පළමු සංගීත පාඩම වුණේ. පසුකාලයේදී පාසලේ තිබුණු විවිධ ප්‍රසංගවලට නාට්‍යවලට අපි එකතු වෙලා පොඩියට සංගීතයක් සැපයුවා.

පාසලෙන් පසුව සංගීතයට පැත්තට කීර්ති යොමු වුණේ කොහොමද?
පාසල් අධ්‍යාපනයෙන් පසුව මගේ වැඩිමහල් සහෝදරයා ෆෝචූන්ස් සංගීත කණ්ඩායමේ වාදකයෙක් විදිහට කටයුතු කළා. ඔහු ලීඩ් ගිටාර් වාදකයෙක්. අයියාගේ ගිටාර් එක ගෙ දර තිබුණා. මමත් හෙමීට ඒ ගිටාර් එක වාදනය කළා. හැබැයි කවදාවත් අයියා ඕක ගන්න එපා කියලා මට කිව්වේ නැහැ. අයියගේ ඒ ආභාෂයත් එක්ක මට හෙමීට ගිටාර් වයන්න පුළුවන් වුණා. මමත් අධ්‍යාපනය මඟ නගර කරගෙන සංගීත කණ්ඩායම්වලට එකතු වුණා. ඊටපස්සේ මමත් 1976දී සංගීත කණ්ඩායමකට එකතු වුණා.

කීර්ති සංගීත කණ්ඩායමකට සම්බන්ධ වෙනවට ගෙදරින් තිබුණු සහයෝගය කොහොමද?
මුලදී මම මේ දේවල්වලට සම්බන්ධ වෙනවට අම්මා, තාත්තා අකමැති වුණා. පාසල් අධ්‍යාපනයත් නතර කරගෙන සංගීතයට නැඹුරු වෙනවට ඒ අය කැමති වුණේ නැහැ. මට අවුරුදු දහයෙදී මගේ තාත්තා නැතිවුණා. ඒ නිසා මම වෙනුවෙන් සියල්ලම කළේ මගේ අම්මා. තාත්තා නැතිවෙනකොට අපේ තිබුණු ව්‍යාපාරයට අම්මා කළාට ඒක හරියට අම්මට කරගන්න බැරිවුණා. මගේ තරුණ වයසට එද්දී අපේ පවුලේ ආදායම් සියල්ලම අඩු වෙලා අපි සෑහෙන දරිද්‍රතාවයකිනුයි හිටියේ. මට අක්කලා තුන්දෙනෙක්, අයියා කෙනෙක් හිටියා. ඒ හතරදෙනාගේ තරුණ වයසේදී ඒ සැපපහසුකම් ලැබුණත් මගේ තරුණ වයසේදී මට සැප සම්පත් තිබුණේ නැහැ. මම ගොඩක් දුක් වින්දා. මට ඒ කාලේ ඉස්කෝලේ අඳින්න තිබුණේ එක කොට කලිසමයි. ඒකටත් පුළුවන් තරම් අණ්ඩ දාලයි තිබුණේ. රබර් සෙරප්පු දෙකේ යට හොඳටම ගෙවිලා කකුලට වැලි පෑගුණා. සමහර දවස්වලට රබර් සෙරප්පු දෙකේ කොන්වල කටු ගහලා පවා තිබුණා. හැබැයි ඒ ජීවිතයට කවදාවත් මම සාප කළේ නෑ. මට ඒ කාලේ තිබුණේ එක කමිසයයි. මගේම වයසේ හිටපු ඥාති සහෝදරයා එක්ක මම එයාගේ කමිසය මාරු කර කර ඇන්දා. එතකොට සමහර යාළුවෝ මට කමිස දෙකක් තියෙනවා කියලා හිතුවා.

යුධ හමුදාවට අයදුම්පතක් දැම්මේ කවුද?
මගේ අම්මා. ඔය කාලෙදී මම අර සංගීත කණ්ඩායමේ වැඩ. ඔහොම සංගීත වැඩ කරගෙන ඉඳලා හරියන්නෙ නැහැ කියලා හිතාගෙන අම්මා මගේ අයදුම්පතක් යුධ හමුදාවට දාලා තිබුණා. මාත් ඉතින් ඒ සම්මුඛ පරික්ෂණවලට සහභාගී වුණා. මම 1976 අප්‍රේල් මාසේ 09 වැනිදාට පත්වීම බාරගන්නත් තිබුණා. ඒ පත්වීම් ලිපියත් අරගෙන මම අපේ සංගීත කණ්ඩායම බාරව හිටපු ස්ටැන්ලි පීරිස් මහත්මයාව මුණගැහෙන්න ගියා. ඒ කාලෙදී ඒ සංගීත කණ්ඩායමේ රුකාන්ත ගුණතිලක, මහින්ද බණ්ඩාර වගේම තව ශිල්පීන් කිහිපදෙනෙක් හිටියා. මගේ ලියුම බලපු ස්ටැන්ලි අයියා කීර්ති ඔයා රස්සාවල්වලට යන්න එපා. මේකෙ හිටියොත් ඔයාගෙ අනාගතය දියුණු වේවි. මේක ඔයා රස්සාවක් හැටියට කරන්න කියලා මට කිව්වා. ඒ වචන ටික තමයි මගේ ජීවිතේ වෙනස් කරපු හැරවුම් ලක්ෂය වුණේ.

ඒ කාලේ ලැබුණු මුදල මතකද?
ඔව්. මට තාම මතකයි ඒ කාලේ මම මුලින්ම වැඩකට ගිහින් රුපියල් පහලොවයි ලැබුණේ. ගැලැක්සීස් සංගීත කණ්ඩායමේ අපි ඉතාමත් කැපවීමෙන් පුහුණුවීම් කළා. මාස හයක් හතක් කිසිම වැඩක් බාරගත්තෙම නැතිව අපි එකදිගටම හොඳට පුහුණුවීම් කළා. හොඳින් පුහුණුවීම් කිරීමෙන් පසුව ගැලැක්සීස් එළියට ආවට පස්සේ නුවර තිබුණු හැම ප්‍රසංගයකටම වාගේ අපිට ආරාධනා ලැබුණා. එතනින් පස්සේ ටිකින් ටික මගේ ආදායම හොඳ වුණා. ස්ටැන්ලි අයියා විවිධ පටිගත කිරීම්වලට කොළඹට එද්දි අපිවත් කොළඹට නිතර නිතර එක්කගෙන ආවා. ඒ පටිගත කිරීම්වලදී මමත් පොඩි පොඩි වාදන භාණ්ඩ වාදනය කළා. තැනින් ටිකින් ටික සංගීත ශිල්පීන්ව හඳුනාගන්න අපිට හැකියාව ලැබුණා.

ඔය කාලෙදී කීර්ති විවාහ වෙලා නේද හිටියේ?
ඔව්. 1978 දී මම විවාහ වුණා. ඒ නිසා නුවර ඉඳන් කොළඹට පදිංචියට ආවා. ඔය කාලෙදී මගේ ගීත කිහිපයක්ම කරගන්න පුළුවන් වුණා. ඔය අතරේ අපි පටිගත කිරීම් කරද්දි එක එක්කෙනා දවසකට පටිගතකිරීමක් අවසානයේදී එක ගීතයක් පටිගත කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේ ගීත පහලොවකට විතර මම එකතු වුණා. 1985 දී මගේ මුල්ම කැසට්පටය නිකුත් වුණා.

කාලයක් ලංකාවේ හිටපු කීර්ති ලංකාව අතහැරලා යන්න ගියා නේද?
ඔව්. කාලයක් යද්දි මම ටිකක් ජනප්‍රිය වුණා. 1988 දී මම මගේ පළමු ඒක පුද්ගල ගී ප්‍රසංගය පැවැත්වුවා. ඔය කාලෙදී රටේ යුද්ධයත් එක්ක රටේ වාතාවරණය නරක අතට හැරුණු 1995 වෙද්දි සංගීත කටයුතු අඩාල වුණා. ඒ නිසා මම පොඩි පොඩි ව්‍යාපාර පටන්ගත්තා. පිටරටින් පරණ ලී බඩු ගෙනත් විකුණුවා. වාහන ගෙනත් විකුණුවා. ඒ නිසා මට යම් මුදලක් ඉතිරි කරගන්න පුළුවන් වුණා. ඔය වෙද්දී රටේ ජනප්‍රිය පුවත්පත් කලාවේදියෙක් වන මගේ මිතුරෙක් සංචාරක ව්‍යාපාරයක් කරමුයැයි යෝජනාවක් ගෙනාවා. මම ඔහුව විශ්වාස කරලා මගේ අතේ තිබුණු සියලුම මුදල් ඒ වෙනුවෙන් යෙදෙව්වා. සංචාරකයන් ලංකාවට එන්නෙ නැති කාලයක තමයි අපි මේ ව්‍යාපාරය පටන්ගත්තේ. ඒකෙන් මගේ අතේ තිබුණු මුදල් සියල්ලම යට වුණා. මගේ තිබුණු ගෙය මට නැති වුණා. කොහුවල තිබුණු මගේ ගේ පවා විකුණලා මගේ වාහනය පවා විකුණලා මට රට යන්න සිද්ධ වුණා.

රට ගිහින් කීර්ති මොකද කළේ?
ගොඩක් වෙලාවට සංගීතයට අදාළ දේවල් තමයි මම කළේ. එහේ මගේ සංගීත කණ්ඩායමක් තිබුණා. සිතිජය කියලා ගුවන්විදුලි වැඩසටහනක් කළා. මම සංගීතය ඉගැන්වුවා. තනු නිර්මාණය කළා. අදටත් නවසීලන්තයේ ඉන්න ලාංකිකයන්ට මම හිටපු කාලයේ කරපු දේවල් හොඳට මතකයි. 2004දී ලංකාවට එද්දි මල් වලට වැඩිපුර ලියවුණු රැල්ලක් තමයි ලංකාවේ තිබුණේ. ඔය වෙද්දි මට කඳුළ ඉතින් සමාවෙයන් ගීතය ලැබුණා. මම මේ ගීතය පටිගත කරලා ගෙදර අහන්න යද්දි නීලා වික්‍රමසිංහ ගායන ශිල්පිණිය අපේ ගෙදර ඇවිත් හිටියා. ගීතය අහපු නීලා කීර්ති මේක අනිවාර්යයෙන්ම ජනප්‍රිය වෙන ගීතයක්. ඔයා වහාම මේක මාධ්‍යයට දෙන්න කියලා කිව්වා. ඇත්තටම මම හිතුවේ නැති විදිහට කඳුල මගේ ජීවිතේ ලොකු වෙනසක් කළා. අදටත් ඒ ගීතයට මිනිස්සු හරි කැමතියි. සංගීතයේ දෙවැනි ගමන මට යන්නට උදවු කළේ කඳුලයි.

ඔබ දරුවන් හතර දෙනකුගේ පියෙක්?
ඔව්. මට දරුවන් හතර දෙනෙක් ඉන්නවා. මට විවාහයන් දෙකක් තිබුණා. පළමු විවාහය 1994දී නැතිවුණා. 1995දී මම දෙවැනි බිරිඳ විවාහ කරගත්තා. පළමු විවාහයෙන් මට දුවෙක් සහ පුතෙක් ඉන්නවා. දුව දැන් විවාහ වෙලා එයාලගේ නිවසේ ඉන්නේ. දැන් මම සීයා කෙනෙක්. දෙවැනි විවාහයෙන් මට දුවලා දෙන්නෙක් ඉන්නවා. මේ දරුවො හතරදෙනා ගැනම මට තියෙන්නේ ලොකු සතුටක්. ඒ හතර දෙනාම හරිම සතුටින්, ආදරෙන් හරි බැඳීමකින් ජීවත් වෙනවා. අපි අතරේ කිසිම ප්‍රශ්නයක් නැහැ.

 

► Text - Dishani  /   Pic -Sumudu

 

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30