2019 මැයි 11 වන සෙනසුරාදා

දේශය සහෘද මෙහෙවර

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:31 85

දස විධ සුවඳ මහාචාර්වරයා සිඹගත්තේ නවකතාවක පිටුවකින්.
මුල් සුවඳ මල් සුවඳ කොළ සුවඳ ඵල සුවඳ මඩ සුවඳ, රොන් සුවඳ...

ඒ සුවඳ මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ විඳගත්තේ චම්මින්ද වෙලගෙදරගේ නවකතාවක පිටු අස්සෙන්.

මුල් සුවඳ හඳුනන මිනිහෙකුට විතරයි මල් සුවඳ හඳුනාගන්න පුළුවන්. අසේල කියන්නේ මුල් සුවඳ මල් සුවඳ විඳින කෙනෙක්... අසේල දුර ළඟ කරන්න පුළුවන් හදවතක් තියෙන මිනිහෙක්... මට ඔහු දැනුණු මොහොත තමයි ඉගෙන ගත්තෙ කොහෙද කියලා අහද්දී ඔහු මට කීවේ පේරාදෙණිය සරසවියවත් එංගලන්තයේ අමෙරිකාවේ සරසවි ගැනවත් නෙවෙයි නාගොල්ලාගම පුංචි  ඉස්කෝලෙ ගැන.

පාසල් වියේදී ඔහු දක්ෂ ක්‍රීඩකයෙක්. ඒත් සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතයට විද්‍යාවට උසස් සාමාර්ථ නොතිබුණු හින්දා අසේල ඉස්කෝලේ විද්‍යා පන්තියේ ඉගෙන ගන්න එනවට ගුරැවරැ කැමති වුණේ නෑ. විද්‍යා විෂයන් කරන්න එපා කියද්දී මට පන්තියේ පිටිපස්සෙම පේළියේ පුටුවක් තියාගන්න ඉඩ දෙන්න සර්. මම ආසයි විද්‍යා විෂයන් කරන්න කියලා බලහත්කාරයෙන් ඉඩක් ඉල්ලාගෙන ඔහු විද්‍යා පන්තියට ඇතුළු වුණා. අවසානයේ ඔහු ගුරුවරුන්ගේ දැක්ම වෙනස් කළේ ඒ වසරේ දී කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයෙන් අනාගත වෛද්‍යවරුන් වෙන්නට සුදුසුකම් ලද ශිෂ්‍යයන් දෙදෙනාගෙන් එක්කෙනෙක් බවට පත්වෙමින්.

එංගලන්තයේ තේම්ස් නදිය ළඟ පබ් එකක මධුවිතක්  තොල ගාමින් සුද්දෙක් එක්ක සතුටු සාමීචියේ යෙදෙන්න පුළුවන් වුණේ ගමේ පිල්කඩකට වෙලා කයියක් ගහන ගමන් කහට කෝප්පයක් හකුරු කෑල්ලක් එක්ක බොන්න පුළුවන් වුණු නාගොල්ලාගම ගමේ දුප්පත් ගෙදරක ඉපදුණු දුප්පත් කොල්ලෙකුටම තමයි. අවුරුදු හතක් වගේ වයසකදී ගොයම් මිටිය බයිසිකලේ බැඳගෙන යද්දී ගොයම් මිටියේ බරට බයිසිකලය පෙරළෙද්දී ආපහු නැඟිටගෙන කාගේ හරි උදව්වෙන් ගොයම් මිටියත් උස්සාගෙන බයිසිකලේ බැඳගෙන ඔහු උරදුන්නේ ජීවිතේ දුප්පත්කමට. දුප්පත්කමට හම්බවුණු වියළි සහනාධාරය වෙනුවෙන් ගමේ බෝක්කුවක් හදද්දී පාරක් කපද්දී හිලව්වට උදැල්ල අතට ගත්තේ සෙල්ලම් බඩුත් එක්ක පොතපතත් එක්ක රැඳෙන වයසේදී. අඹ දිවුල් හැදෙන කාලෙට දවස් දෙක තුන අඹ කාලා බඩගින්න නිවාගත්තේ. උදේ පාන්දර අඹ දිවුල් ඇහිඳින්න ගිහින් අහුලාගත්ත අඹ දිවුල් බරට සරම කඩාගෙන වැටෙද්දී මහා වස්තුවක් වගේ ආයෙත් ඒ අඹ දිවුල් ගොඩ සරම් ඔඩොක්කුවේ ගැටගහගත්තේ දුප්පත්කමට. හරක් දක්කාගෙන ගල් මුල් උඩින් පයට සෙරෙප්පු දෙකක් නැතුව දුවද්දී යටිපතුල් කටු ඇනිලා හීරිලා ලේ ගලද්දී රෑට අම්මා කකුල්වල ගාන තෙල් බිඳුවකින් සැනහීගෙන ඒ වේදනාව දරාගත්තේ දුප්පත්කමට නෙවෙයි ධෛර්යයට... නාගොල්ලාගමින් රොබරෝසියා බුමුතුරුණු එලා පිළිගත් පේරාදෙණිය සරසවියටත් එතනින් එංගලන්තයටත් රට රටවල්වලටත් ජීවිතය සාරසුබාවට අස්වද්දන්නට ප්‍රස්තුත බිජුවට සොයමින් ගියේ කොයිතරම් දුක වාං දැම්මත්  මහා කන්දක් වගේ අකම්පිතව ඒ දුක් පිරිපත දරාගන්න හදවතක් තිබූ මනුෂ්‍යයෙක්ද කියලා අපි කියෙව්වෙත් ගීතයකින් ජීවිතය කියවමු පොතේ පියාණනී ගීත විචාරයෙන්... ඔහු විචාරයට ලක්කළ නන්විධ අනුභූතීන් හා පරාසයන් තුළ විහිද ගිය ගීත පනස් හතරක් පුරා විවිධ වෙසින් ජීවිත ගිරිදුර්ගයෙන් ඔහු උකහාගත් අත්දැකීම් සමුදායක්ම සංනිදර්ශනය වී තිබුණු හැටි පුදුමයි... ඒ වගේම හරි රහයි.

ගීතයකින් ජීවිතය කියවමු නමින් හදසර කලා අතිරේකයට අසේල විජේසුන්දර ලියූ ගීත විචාර සංග්‍රහය මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ සන්ථව ප්‍රකාශන වෙතින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ග්‍රන්ථයක් ලෙස ද්වාර අභිමුඛ වූ දා ඔහු විචාරයට ලක් කළ ඇතැම් ගීතයක අයිතිකාර ගී පද රචකයා පැමිණ සිටියා ප්‍රතිවිචාර හා සමවිචාර මැද ඒ ගීතය ගැන කියන්න. බණ්ඩාර ඇහැලියගොඩ, මහාචාර්ය සමන්ත හේරත්, බන්දුල නානායක්කාරවසම් වැනි ප්‍රවීණ ගී පද රචකයන් ඒ ගීතය ගැන කතා කරද්දී සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස්, සමන් ලෙනින්, අනුරාධා නන්දසිරි, නිලක්ෂි හැලපිටිය, ශානිකා සුමනසේකර, පවරි අමරසා වැනි ගායක ගායිකාවන් ඒ ගීත වේදිකාව මත සුගායනයෙන් ජීවමාන කළා. ඇත්තටම ඒ හැන්දෑව හරි කදිමයි... එනයින්ම හරි සොඳුරුයි...

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අද අපි ඉන්නේ ගිනි කන්දක් වගේ රත්වෙච්ච ගිහිගන්න රටක කියලා බොහෝම සංවේදීව කියන ගමන් අසේල විජේසුන්දරගේ විචාරාත්මක හැකියාව අගය කළේ ඔහු ගීත විචාරයේ දී ව්‍යක්ත භාෂාව සේම හැඟුම්බර භාෂාව ද මානව හිතවාදය ද මෙවලමක් සේ අවශ්‍ය තැනදී යොදන බව කියමින්. ගීත විචාරකයකුට ඒ භාෂා ප්‍රයෝග ද්විත්වයේම පරිචය අවැසි බවයි, ආචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන්ගේ අදහස වුණේ. දැනුම, අත්දැකීම්, කියවීම හා දැනීම තුළ උකහා ගත් දෑ විචාර ප්‍රකාශන තුළින් අසේල විජේසුන්දර එළිදක්වා ඇති ආකාරය ආචාර්ය අභයසුන්දර ප්‍රශංසාත්මකව අගය කරද්දී ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් මේ සැම දෙනාටම කලින් කී දේ අවසානයට ලියා තියන්න මට හිතුණා.

මෙතන ප්‍රවීණ ගී පද රචකයන් ඉන්නවා. කලාවේදීන් ඉන්නවා. ඇයි ඒ කවුරුත් අද මේ රට පත්වී ඇති ඉරණම ගැන ගීත නොලියන්නේ. මේ මහපොළොව මත කශේරුකාව කෙලින් තබාගෙන නිවහල් ජාතියක් ලෙස නැගී සිටිය හැකි දිනක් යළි බිහි කරන්නට අප අධිෂ්ඨාන කළ යුතුයි...

වර්ගවාදී ළය ලෙය සිතුවිලි භෂ්මාවශේෂයක් හෝ ශේෂ නොකර පොළෝ ගැඹුරේ මිහිදන් කර ජීවනයේ පහන් මේ මිහි මත දල්වාලන දවසක් ගැනයි උන්වහන්සේ කතා කළේ. ඒ දවසක් වෙනුවෙන් කලාවේදියාගේ වගකීම යුතුකම අධිෂ්ඨානය හා දැක්ම ගැනයි උන්වහන්සේ කතා කළේ...

මහා සංඝරත්නයටත්, අසේල විජේසුන්දරයන්ගේ මෑණියන් වූ යසසීලී විජේසුන්දර මෑණියන්ටත් විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ දිනපතා ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතාටත් දේශය කර්තෘ රන්ජිත් ආනන්ද ජයසිංහ මහතාටත් භක්ත්‍යාදරයෙන් පිළිගැන්වූ ගීතයකින් ජීවිතය කියවමු ග්‍රන්ථය දොරට වැඩි දා කලාකීර්ති එඩ්වින් ආරියදාස, මහාචාර්ය සමන්ත හේරත්, ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන්, ආචාර්ය කුසුමලතා ලංකාමුල්ල,බ්‍රිගේඩියර් ප්‍රසාද් සමරසිංහ, නියෝජ්‍ය අධ්‍ය විශේෂඥ වෛද්‍ය නන්දික වික්‍රමසිංහ,කෑගල්ල ප්‍රාදේශීය මැලේරියා මර්දන වෛද්‍ය නිලධාරි සනත් ප්‍රනාන්දු ඇතුළු වෛද්‍ය නිලධාරින්, සුනිල් සරත් පෙරේරා, ෆාස්ට් පබ්ලිෂින් සහ ෆාස්ට් ඇඩ් අධිපති ප්‍රේම් දිසානායක, ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස්, මල්කාන්ති නන්දසිරි, නිරංජලා සරෝජනී, දයා ද අල්විස්, දිනක්ෂි ප්‍රියසාද්, සාරංග දිසාසේකර, චම්පා කල්හාරි, බුද්ධදාස ගලප්පත්ති, සුසිලා කෝට්ටගේ, රේණුකා බාලසූරිය, සෝමරත්න දිසානායක, ගයා රම්‍ය අල්විස්, ගාමින්ද ප්‍රියවිරාජ්, සුනෙත් චිත්‍රානන්ද යශෝධා විමලධර්ම,කරැණා පෙරේරා, නවරත්න ගමගේ වැනි ප්‍රවීණ සංගීතවේදීන් ගී පද රචකයන්, නළු නිළියන්,ලේඛකයන් ඇතුළු සජ්ජන සමූහයක් දේශය අපිත් එක්ක එකතු වී කතුවරයාට ආශිර්වාදය පිළිගැන්වූවා... කසුන් කල්හාර ගයන සියක් දහසක් ඇවිත් යන්නැති ගීතය සමඟ ගීත කිහිපයක් රචනා කළ අසේල විජේසුන්දරගේ එකෝමත් එක එකම දවසක  ගීතය ගැයුවේ ගීතය ගැයීම වෙනුවෙන්ම එංගලන්තයේ සිට පැමිණි එංගලන්තයේ ප්‍රසංග සංවිධායකවරයෙක් වන භූමින්ද කරුණාතිලකයි. සුරේෂ් මාලියද්ද ඒ මොහොතේ ගීතයේ සංගීතය ගැන කතා කරන්න වේදිකාවට ආවා.  ප්‍රවීණ ගී පද රචක බන්දුල නානායක්කාරවසම් හුදෙක් නිවේදන ආකෘතියට පමණක් සීමානොවී ව්‍යක්ත ලෙස සභාව මෙහෙයවූ අයුරු සැබැවින්ම අපූරුයි. ඒත් ඒ කිසිදෙයකට මිලක් ඉල්ලුවේ නෑ. හැම ගායක ගායිකාවමක්ම ගීත ගැයුවේත් මිත්‍රත්වය වෙනුවෙන් මිසක් රුපියල් වෙනුවෙන් නොවෙයි. 

පුරා තුන් පැයක් ගීත විචාර, දේශන හා ගීත රස අතර ගෙවී ගිය හැන්දෑවේ ග්‍රන්ථ කතුවරයකු අතින් සිදුවන විරල සිදුවීමකුත් අපි දැක්කා. ඒ තමා අසේල විජේසුන්දර තම ග්‍රන්ථයෙන් තමන්ට හිමිවන කර්තෘ භාගය පිහිටක් අවැසි කලාවේදීන් වෙනුවෙන් ස්ථාපිත ඔස්කා ආයතනයට පිරිනැමීම. සියල්ල රුපියලේ අගය මත තීරණය කරමින් මනුෂ්‍යත්වයේ ලෝගු පමණක් ලොවට පෙනෙන්නට හැඳ සිටින සාතිශය බහුතර සමාජයක් අභිමුව ඒ කළ කාර්යය සැබැවින්ම උත්තරීතරයි. අපේ ආදරණීය සිනමාෙව්දි සෝමරත්ත දිසානායක සහ රේනුකා බාලසූරිය කියූ විදිහට අෙස්ලගේ ෙල්ඛන කෟ‍ෙශල්‍ය වගේම මාධ්‍යයක් මඟින් කළ   සහෘද ම‍ෙහෙවරත් සුවිශිෂ්ඨයි.

ගීතයකින් ජීවිතය කියවමු
ජීවිතය ගීතයකට පරිවර්තනය කරමු...
ජීවිතය අස සතුට යථාර්ථවාදී සත්තාවක් වන තැන එතැනය...

 ස
සේයාරූ - චන්න කස්සප කෝරළේආරච්චි

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30