2021 ජනවාරි 02 වන සෙනසුරාදා

පැදුරු සාජ්ජයක් දැම්මත් ඒ ගීතය මට නැතුවම බෑ..

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 792

මේ දෙරණ මත ඔහුගේ ගීතයක් නෑසූ අයෙක් සිටිය නොහේ. ශ්‍රී ලාංකික ගීත ක්ෂේත්‍රය තුළ ස්ව අනන්‍යතාවක් නිර්මාණය කරගත් ඒ ගී ලකුණ සුනිල් එදිරිසිංහ නම් වෙයි. සංඛ සහ සංඛනී සුනිලයන්ගේ ලෙයින් දැයට තිළිණ වූ ඒ මඟ යනෙන ආදරණීය දරුවන්ය. නියත දහමට අවනතව ඔහු නික්ම ගිය දවසක සුනිල ළය හදගැස්මට වෙසෙසින්ම ප්‍රිය කරන සුවහසක් ශ්‍රාවකයන් සංඛ හා සංඛනීගේ හඬ සුනිලයන්ගේ පරමාදර්ශී හඬෙහි අනාගත බලාපොරොත්තුව කර ගන්නට ඉඩ හසරක් නැතුවා ද නොවේ. ඒ තරමටම ඔහු සිය දහසක් ශ්‍රාවක හදවත්හි නවාතැන් ගත්තෙකි. පිය, පුතු, දූ එකම වේදිකාවක ගී ගයන වත්මනෙහි අප සංඛට කතා කළේ මගේ නොවන මගේම ගීතය ගැන කතා කරන්නටය.

සංඛ.. ඔබේ නොවන ඒත් ඔබ ඔබේම කරගත් ගීතයක් තියෙනවද? එහෙනම් ඒ ගීතය මොකද්ද කියන තැනින් අපි කතාව පටන්ගමු?
මම පුංචි කාලයේ ඉඳන්ම මගේ ප්‍රියතම කටහඬ බවට පත්වුණේ අමරදේවයන්ගේ කටහඬ. ඇත්තටම තාත්තාගේ සින්දුවලටත් වඩා මම කියන්න පටන් ගත්තේ අමරදේව මාස්ටර්ගේ ගීත. අමරදේවයන්ගේ ගීතවල තනු සිත ඇදගැනීමේ ශක්තියකින් පරිපූර්ණයි කියලා මට හැඟුණා. එතුමා ගැයූ තණ්හා ආශා ගීතය තමයි මම මගේ ප්‍රියතම ගීතය ලෙස තෝරාගන්නේ.

යම් ගීතයක් කෙනෙකුට තමන්ගේ ප්‍රියතම ගීතය බවට පත්වෙන්න, ඒ ගීතය රසවිඳින්න මූලික වන හේතුවක් හෝ හේතු කිහිපයක් තියෙනවා. ගීතයේ සාහිත්‍යමය රසය, හඬ මාධුර්යය, තනුව මේ කවර හෝ හේතුවක් ඒ හේතුව වෙන්න පුළුවන්. ඔබටත් ඔබේ ප්‍රියතම ගීතය මේ ගීතය වෙන්න හේතුවක් ඇති?
මඬවල එස් රත්නායක ප්‍රවීණ ගී පද රචකයා ලියූ, ලයනල් අල්ගම ප්‍රවීණ සංගීතවේදියා සංගීතවත් කළ  තණ්හා ආශා ගීතය මම දකින්නේ සාහිත්‍යමය රසය, හඬ මාධුර්යය, තනු නිර්මාණය, සැකෙවින්ම ශබ්ද රසය හා අර්ථ රසය මේ සියල්ලෙන් මැනවින් පරිපූර්ණ ගීතයක් විදිහට.

සංඛ.. මේ ගීතය ඔබ රසවිඳින්නේ කොයි විදිහටද?
බුදු දහමේ ගැඹුරැ දර්ශනය ඒ ගීතය තුළ හරි සංයමයකින් කැටි කරලා සංක්ෂිප්ත කරලා තියෙන ආකාරයක් තමා මම ඒ වචන දිගහැරුම කියවද්දි දකින්නේ සහ විඳින්නේ. ගීතවත් හඬ මාධුර්යයක්, රස භාව කැටිවුණු ගැඹුරු ශාස්ත්‍රීය කටහඬක් අමරදේවයන්ට උරැම වී තිබුණේ. ඒ කටහඬ ලංකාවට කලා ක්ෂේත්‍රයට ලැබුණු අති දුර්ලභ කටහඬක් ලෙසයි මම දකින්නේ. අමරදේවයන්ගේ ඒ කටහඬ, සියලු ගුණ මැනවින් ඉස්මතු කරමින් ගැයූ ගීතයක් තමා මේ ගීතය. එතුමාට ස්වර හැසිරවීමේ තිබූ කුසලතාවයට මේ ගීතය කදිම නිදර්ශනයක්. ගීතයක සාමාන්‍යයෙන් තියෙන්නේ මන්ද්‍ර ස්වර, ශුද්ධ ස්වර සහ උච්ච ස්වර කියන ස්වර පරාස ත්‍රිත්වය. මේ ගීතයේ තියෙනවා උතුරන ගංඟා නියඟය ආ දා කියලා වචන පේළියක්. ඒ ටික කියාගෙන යද්දි මන්ද්‍ර ස්වරයෙහි පහළම යන ස්වර පරාසයක් තියෙනවා. වියළී යනවා ගහ කොළ මැලවී කියන තැන ස්වර පරාසය පහළටම ගලාගෙන යනවා. තවත් තැනක් තියෙනවා ශුද්ධ ස්වර නොවන තීව්‍ර ගණයට වැටෙන ස්වර පරාසයක තමයි එය පිහිටලා තියෙන්නේ. සැමදා අඳුරේ අඳුර දකින්නෝ දිවියේ සාරය කියන කොටස තීව්‍ර ස්වර ගණයට තමයි වැටෙන්නේ. ගීතයේ රසය වැඩි කිරීමට ශුද්ධ ස්වරයේ සිට තීව්‍ර ස්වරය දක්වා යද්දි හරිම සියුම් සංවේදී රසාස්වාදයක් දනවනවා. අන්තිම කොටස ඉවර වෙන්නේ උච්ච ස්වරවලින්. මන්ද්‍ර, ශුද්ධ, තීව්‍ර, උච්ච යන ස්වර පරාස හතර ඔස්සේම මෙම ගීතය ගීතවත් වී තියෙනවා. ඒ තරම් ගැඹුරු සුන්දර ස්වර පරාසයක විහිදුණු තවත් ගීතයක් මම අහලා නෑ. ඒ සියල්ල තුළ තමා මම මේ ගීතය රසවිඳින්නේ.

මේ ගීතය ගයන්නයැයි ඔබට ඇරියුමක් ලැබුණොත් ඔබ ඒ ඇරියුම කැමැත්තෙන් පිළිගන්නවද?
අනිවාර් යෙන්ම හරිම ආසාවෙන් ඒ ඇරියුම පිළිගන්නවා.

මේ ගීතයේ ඔබට වඩාත්ම හිතන දැනෙන ඔබ සංවේදීව නැවතුණු තැන මොකක්ද?
ගීතයේ අවසාන කොටසේ සැපත විනෝදේ උපත කඳුළ වේ.. විපත පියාවේ මේ ලොව සැපතේ කියන පද ටිකට මම හරි ආසයි. එතන ශුද්ධ ස්වරවලින් උච්ච ස්වරවලට යන විදිහ හරිම ආකර්ෂණීයයි.

මේ ගීතය ගැන ඔබ ඔබේ බිරිඳ එක්ක කතා කර තියෙනවද?
මගේ බිරිඳ මට හමුවුණේ සංගීතය නිසා. ඇගේ මව පියා සහෝදරයන් ඇතුළු පවුලම සංගීතයට ළැදි අය. අපි එකතුවෙලා පැදුරැ සාජ්ජයක් දාන වෙලාවක, උපන් දිනයක් එහෙම සමරන වෙලාවක ගීත ගායනා කරද්දිත් වැඩිපුර ගායනා කරන්නේ අමරදේව මහත්තයාගේ ගීත. ඒ හැම වෙලාවකම මම ගායනා කරන ගීතයක් තමයි ඒ. ඇය දන්නවා මේ ගීතය මම හුඟාක් ඇළුම් කරන ගීතයක් කියලා.

ඔබට තණ්හා ආශා වගේ සින්දුවක් ලැබුණොත් ඔබ දෙවරක් නොසිතා ඒ ගීතය ගයන්න බාරගන්නවද?
මේ වගේ වචන හමුනොවීම තමයි ඇත්තටම තියෙන ප්‍රශ්නය. මගේ පුංචි කාලය, තරැණ කාලය ගතවුණේ මගේ තාත්තා වටේ හිටපු පිරිස එක්ක. ඒ පිරිස මේ රටේ හිටපු දක්ෂම සංගීතඥයන්, ගී පද රචකයන්, රංගන ශිල්පීන්. අද හුඟාත් නවකයෝ ගීත ලියනවා. ඒත් බෞද්ධ දර්ශනය වගේ දෙයක් ගැන, මේ ලෝකයේ යථාර්ථය ගැන, ස්වභාවධර්මය ගැන අවබෝධයක් නැතුව මේ වගේ ගීත ලියන්න අමාරුයි. මේ වගේ ගීයක් මට ලැබුණොත් වචන දෙකක් නෑ හුඟාක් ආදරයෙන් බාරගන්නවා. 

සුනිල් එදිරිසිංහ කියන ඔබේ තාත්තා පැත්තකින් තියලා සුනිල් එදිරිසිංහ කියන ගායකයාගේ ගීත ඔබ රසවිඳිනවද ඇහුවොත් ඔබ දෙන ඇත්තම උත්තරය මොකද්ද?
මට  කැමති පිරිසක් ඉන්නවනම් ඒ අය මා එක්ක ඉන්නේ තාත්තගේ හඬ පෞරැෂයට සමාන හඬ පෞරුෂයක් මට තියෙන නිසා කියලා මම විශ්වාස කරනවා. මගේ තාත්තා ඉතාමත් යහපත්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ තාත්තා කෙනෙක් වගේම ගීතයට යුග මෙහෙවරක් කළ විශිෂ්ට ගායකයෙක් ලෙසයි මම දකින්නේ. ඒ හඬට මගේ ලොකු ආදරයක් හා ළැදියාවක් තියෙනවා. 

තාත්තලාගේ සින්දු පුතාලා කියනවා. අම්මලාගේ සින්දු දුවලා කියනවා. සංඛත් මේ සම්ප්‍රදායේම යනවද? 
දැන් මට වයස අවුරැදු 40ක්. මම ජීවත් වන්නෙත් පිටරටක නිසා සංඛ එදිරිසිංහ කියන වෙනම අනන්‍යතාවක් එක්ක ගොඩනැගෙන්න මට අමාරුයි. මට අවශ්‍යතාව තිබුණේ තාත්තගේ හඬ මට පුළුවන් විදිහට, තාත්තා නැති කාලෙක ඉදිරියට ගෙනියන්න. එහෙම නැතුව මගේම කියලා ගීත කරන්න මට අවශ්‍යතාවක් නෑ. ඒත් හොඳ ගීයක් ලැබුණොත් එය මඟහැරීම අපරාධයක්. ඒ නිසා මගේම අලුත් ගීත කරන්නත් අදහසක් තියෙනවා. 

ඔබේ පියා අග්‍රගණ්‍ය ගායකයෙක්. ඒ වගේම හොඳ රසවතෙක්. සුනිල් එදිරිසිංහයන් කියන ආදර්ශමත් ශ්‍රී ලාංකික ලකුණ අනන්‍යතාව ගැන ඔබ හොඳින් දන්නවා. ඔබේ පියා අවබෝධයෙන් මේ සමාජය හා කලාව සමඟ ගනුදෙනු කරනවා. කලා නිර්මාණ අපි සමාජයට රුගෙන යා යුත්තේ කෙසේද යන්න පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?
මම මේ ක්ෂේත්‍රයේ හුඟක් දුර ගිය කෙනෙක් නොවෙයි. මම 2000 ලංකාවෙන් ආවට පසු සිංහල සුභාවිත සංගීතය අහන්න මට වැඩි ඉඩක් ලැබුණෙ නෑ. මම ජීවත් වුණු එංගලන්ත පරිසරය තුළ මම ඇහුවේ හුඟාක් දුරට වෙනස් වෙනස් සංගීත රටාවන්. ඉන්දියානු සංගීතය, අප්‍රිකානු සංගීතය, බටහිර සංගීතය, ජපන් චීන, අරාබි සංගීත විධි හා සම්ප්‍රදායන් මේ කවරක් වුණත් කනට මිහිරක් දැනුණොත් මම ඒවා හොයාගෙන අහනවා. මීට අවුරැදු දෙකකට විතර කලින් මගේ සහෝදරිය මට ගීයක් එව්වා. කුවේණියේ මා යන ඒ ගීය ගයන්නේ රිද්ම වීරවර්ධන කියන නවක ගායකයා. එහි සංගීතය කර තිබුණේ චරිත අතලගේ කියන පුද්ගලයා. චරිත මම දන්න තරමින් ජීවත් වන්නේ අමෙරිකාවේ. ඔහු ඩිජිටල් සංගීතය පැත්තෙන් ඉතා හොඳ දැනුමක් ඇති පුද්ගලයෙක්. ඉන්දියානු රාග ආශ්‍රයෙන් නිර්මාණ වූ තනු පරාසයේ සිට බටහිර ඩිජිටල් වගේ නාද එක්කර කරන රටාවක් තමා ඔහුගේ තියෙන්නේ. ලංකාවේ සුභාවිත ගීතයට ආසා කෙනෙක් එය ප්‍රිය නොකරන්න පුළුවන්. ඒත් ඒ තනුව රිද්ම රටාව වෙනම වෙන්කර ගත්තොත් එහි තියෙනවා බොහෝම අලංකාර කොටස්. ඒ ගීතය අහපු ගමන් මට හිතුණා මම හොයපු පුද්ගලයා මට ලැබුණා කියලා. හුඟක් බටහිර පැත්තට බර නොවී සමබරතාව රුකගෙන තනුවේ රසවින්දනය වැඩිවෙන ආකාරයට තනු නිර්මාණය කර ගන්න තියෙනවානම් හොඳයි කියලා හිතලා මම හැකිතාක් ඉක්මනින් මගේ තාත්තට ඔහු කළ ගීත කීපයක් යොමු කළා. රිද්මගේ තව ගීයක් තියෙනවා නාඩගම් කියලා. එහි සංගීතය කළෙත් චරිත. තාත්තා ඒ ගීතයේ මුල් කොටස අහලා මට පණිවිඩයක් එව්වා පුතා මෙයාගේ වැඩනම් සෑහෙන දුරට හොඳයි අපිට ගැලපෙන තත්ත්වයක් තියෙනවා ලස්සනයි කියලා. තාත්තා හරි පැහැදීමකින් ඉන්නවා ඔහු ගැන. එහෙම දක්ෂතා ඇති පරම්පරාවක් ලංකාවේ සුභාවිත සංගීතය ඉදිරියට ගෙන යනවා නම් ඒ ගැන බයවෙන්න දෙයක් නෑ කියලා තමා හිතන්නේ.

 

 

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00