2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

කිසිවෙක් අපරාජිත නොවේ

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 93

සැවැත් නුවර යහපත් අඹු සැමි යුවළක් උන්නා. ඔවුන් බොහෝම ආදරයෙන් කල් ගත කළේ. හිටිහැටියේ බිරිඳ රෝගාතුර වුණා. සැමියා අසීමිත ලෙස ඇය සුවකර ගැනීමට උත්සාහ කළා. බොහෝ වැය කොට වෙද හෙදකම් කළා. පලක් වුණේ නෑ. ඈ මියගියා.

සැමියා ඇගේ මරණයෙන් කම්පා වුණා. නොකා නොබී කල්පනා කරමින් උන්නා. බුදුන් වහන්සේ එය දැනගත්තා. මේ මිනිසාට සෝවාන් ඵලය ලබාගැනීමට හේතු සම්පත් ඇති වග පෙනී ඔහුගේ නිවෙසට වැඩම කළා. ඔහු උන්වහන්සේට අසුන් පැනවූවා. නමස්කාර කළා.

උපාසක, ඇයි ඔබ දුකින් සිටින්නේ? බුදුන් විචාළා.

ස්වාමිනී! මගේ බිරිඳ මියගිහින්. ඉතින් මම කෙසේ ඉවසම්ද? මමත් මියගියා නම් කොතරම් හොඳද?

උපාසක, නැසෙන්න ඕනෑ සියල්ල නැසිය යුතුය. නැසුණු දෙය ගැන කම්පා විය යුතු නෑ. කොටින්ම මළවුන් ගැන ශෝකවීම පල රහිතයි. පෙර උගත්තු මළවුන් ගැන කම්පා වුණේ නෑ. ඔබත් හිත හදාගන්න. පවසා මේ කතාව වදාළා.
පෙර කල බරණැස ධනවත් බමුණු යුවළක් උන්නා. ඔවුන්ට හිටියේ එක පුතයි. ඒ පුතා ශිල්ප හදාරා මහා උගතෙක් වුණා. බිරියක් ගෙන එන කල දවසත් උදා වුණා. එහෙත් ඒ බමුණු පුතා ඒ ගැන උනන්දුවක් දැක්වූයේ නෑ. මව්පිය උපස්ථාන කරමින් හිටියා.

මව්පියෝ ඔහුගේ මේ උදාසීනකම ගැන කනගාටු වුණා. ඔවුහු සරණ මංගල්ලයක් කරගන්න යැයි පුතාට කිව්වා.
මට බෑ. පුතා කිව්වා.

ඒ ඇයි?

මට ගිහිගෙය ගැන ආශාවක් නෑ.

එහෙම කියා පුළුවන්ද? මේ ධනය අයිති ඔබට. ඔබ ඒවා රැකබලාගත යුතුයි. බිරියක් ගෙනවිත් අපේ පරම්පරාව ගෙනයන්න දරුවන් හැදිය යුතුයි.

අම්මේ තාත්තේ, මට අඹුදරුවන් ගැන බලාපොරොත්තුවක් නෑ.

ඒ කියන්නේ ඔබ අපේ පරපුර අවසන් කරන්නද හදන්නේ. ඒකට ඉඩ දෙන්න බෑ.

අනේ මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.

පාඩුවේ ඉඳලා අනාගතේ කුමක් කරන්නද හදන්නේ? අපි මළාට පස්සේ ඔබට යන කල කුමක්ද?

ඔබ දෙදෙනා ජීවත් වෙනකම් උපස්ථාන කරනවා. ඊට පස්සේ තපසට යනවා.

එය අපි පිළිගන්නේ නෑ. ඔබ සරණ පාවාගෙන කුමරියක් මේ ගෙට ගෙන ආ යුතුයි. මව්පියෝ කිව්වා.

ඔහු නිහඬ වුණා. එහෙත් බිරිඳක් ගෙන ආ යුතුයි කියා මව්පියෝ නිතර බල කළා. එය ඔහුට මහා කන්කරච්චලයක් වුණා. බැරිම තැන ඔහු තීරණයකට ආවා. ඒ මව්පියන්ට සොයාගන්න බැරි ලෙසට උපායක් යොදන්න. ඔහු රන්කරුවකු සොයා ගියා. රනින් සුරූපී ස්ත්‍රී රූපයක් හදවාගත්තා. ඒ තරුණියකගේ උසට. එය ගෙදර ගෙනාවා. මව්පියන්ට දුන්නා. මට මේ වගේ තරුණියක් සොයා දුන්නොත් සරණපාවා ගන්නවා කිව්වා.

ඒ බමුණු යුවළ බොහෝම සතුටු වුණා. බමුණන් ගෙන්වූවා. ඔබ මේ රුව ගෙන නුවරක් නුවරක් පාසා යන්න. මේ හැඩරුව තිබෙන කුමරියක් සොයන්න. මේන් මඟ වියදම ගන්න. යන්න කියා මසුරන් පොදියක් දුන්නා.

ඒ බමුණෝ ඒ රන් රුව ගැලක දමාගෙන පිටත් වුණා. නුවරවල් ගාණේ ගියා. රන් රුව මඟ අසල තබා සැඟවී හිටියා. එසේ ඔවුන් යනකොට එක් නුවරකදී මගියෙක් රුව අසලට ඇවිත්, ඇයි සම්මිල්ල කුමරිය මෙතැන ඉන්නේ කියා ඇසුවා.

සැඟවී උන් බමුණෝ වහා දුව ආවා. හිතවත, මෙය රන් රුවක් කිව්වා.

අනේ මම හිතුවේ අපේ සම්මිල්ල කුමරිය කියා. ඔහු කිව්වා.

ඒ සම්මිල්ල කුමරිය කොහේද ඉන්නේ. අපට ඇගේ ගෙදර පෙන්නන්න යැයි ඉල්ලා සිටියා. ඒ මගියා කුමරියගේ ගෙදර පෙන්නුවා. ඔවුහු ගෙහිමියන් හමු වුණා. සම්මිල්ල කුමරිය ගැන විස්තර ඇසුවා. ඊට පසු බරණැස බමුණු යුවළ සහ පුතා ගැන වර්ණනා කළා. ඒ බමුණු පුතාට දුව සරණපාවා දෙන්න කැමතිදැයි ඇසුවා.

ඔවුන් බොහෝම සතුටින් කැමති වුණා. බමුණෝ රන් රැවත් ගෙන බරණැසට ආවා. විස්තර කිව්වා. ඔවුන් සතුටට පත්ව තෑගිබෝග ඔවුන්ට දුන්නා. පසුව ඒ දෙදෙනා එ නුවරට ගියා. සම්මිල්ල කුමරිය දැක මනාප වුණා. දින වෙන්කර ගත්තා. එහෙත් සම්මිල්ල කුමරිය ඊට අකමැති වුණා.

ඇයි දුව ඔබ මේ වාසනාවට පයින් ගහන්න වගේ හදන්නේ. ඒ අය කොපමණ ධනවත්ද?

අම්මේ තාත්තේ, මම සැමියකුට කැමති නෑ.

ඒ ඇයි?

මම පංච කාමයට කැමති නෑ. ඒක මහ දුකක්. දරුවන් වදලා හදලා මහ දුකක් විඳින්න ඕනෑ.

ඒක පුදුම කතාවක්නේ. ගැහැනු වුණාම දරුවෝ හදන්න ඕනෑ. පරපුර ගෙනියන්න ඕනෑ.

මට බෑ. මම ඔබට උපස්ථාන කරගෙන ඉන්නම්.

අපි නැතුවට පස්සේ.

තපසට යනවා.

ඒවා කොහේද? නුඹ එයත් එක්ක සරණ මංගල්ලේ කරන්න ඕනෑ. ඒක අපේ තීරණය කී දෙමහල්ලෝ බලෙන් ඇය බරණැස බමුණු කුමරුට සරණපාවා දුන්නා. එහෙත් ඔවුන් අතර රාගික ජීවිතයක් තිබුණේ නෑ. දෙන්නා යහන් දෙකක නිදාගත්තේ. ලෝකයාට සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන බව පෙන්නුවා.

කලක් ගෙවුණා. බරණැස බමුණු යුවළ මිය පරලොව ගියා. බමුණු පුතා සම්මිල්ල වාහිනී අමතා, සොඳුර මගේ මව්පියන්ගෙන් අසූ කෙළක් වස්තුව මට ලැබුණා. ඔබ එය අරන් සතුටින් ජීවත් වෙන්න. මම තපසට යනවා.
ස්වාමිනී, නුඹ අලුයම දැමූ කෙළ පිඬක් සේ මට ඔය ධනයෙන් පලක් නෑ. ඔබ මෙන්ම මමත් තපසට එනවා.
ඒක හොඳයි කී ඔහු ඇයත් සමඟ තපසට ගියා. පිඬුසිඟා ජීවත් වුණා. ටික දිනක් ගෙවුණා. කිසි දිනෙක දුකක් නොවිඳ උන් සම්මිල්ල වාහිනී කුමරියට සිහිල් පිඬු කෑමෙන් රක්තාතීසාරය නම් රෝගය වැළඳුණා. බෙහෙතක් හරියට නොලැබීමෙන් එය දරුණු වුණා. දිනක් ඇය පිඬුසිඟා යනවිට ඇදගෙන වැටුණා. තවුසා ඇය ඔසවාගෙන ඇවිත් අසපුවේ තැබුවා. ඈ මියගියා. එය දැනගත් ඇගේ නෑ මිතුරෝ ඇවිත් අඬා වැළපෙන්න වුණා.

තවුසා නිහඬව බලා උන්නා.

එය දුටු නෑයෝ, ඇයි තාපසය මේ රූමත් කුමරිය සමඟ ඔබ ගියි කල සතුටින් විනෝදයෙන් උන්නා නේද? ඔබ දැන් ගොළුවෙක් වගේ ඉන්නේ. ඇය ගැන ළය උණුවන්නේ නැද්ද?

ඔව්. ගිහි කල මම ඇයට ලෙන්ගතුව උන්නා. දැන් අය නෑ. මියගිහින්. එදා මෙන් දැන් ඉන්න බෑ. ඈ මළවුන් අතර. නසින දේ නැසුණා. උපන්නේ සැබෑ වී නම් මරණය පැමිණීමත් සැබෑවක්. ඉතින් මරණයට ඇඬීමෙන් ඇති කාරිය කිම්ද? බොහෝ දෙනා හිමාලයට ගොස් තපස් රැක්කත් මිය පරලොව යනවා. කිව්වා. 

කිසිවෙක් අපරාජිත නොවේ. යනුවෙන් බුදුන් වහන්සේ කතාව අවසන් කර ධර්ම දේශනාවක් කළ පසු ඒ මිනිසා සෝවාන් ඵලයට පත් වුණා.

(අනනුසෝචිය ජාතකය ඇසුරින්)
බී.පී.කේ. තිලක

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00