2018 ජුලි 21 වන සෙනසුරාදා

ආදරණීය කුඩුකාරයා මං

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 246

සාමලා අමරලා
අපිට සල්ගහ යටට
එන්න කිව්වෙ නෑ
කුඩු පොට් එකේ
බඩු පොට් එකේ
පරාලවල සල්මල් පිපුණෙ නෑ
අපායෙම ඉපදිච්චි අපිට
තුසිතය ගැන වගේ වගක් නෑ
හොඳ වැඩ නරක වැඩ
කවුරුවත් ජීවිතේ
ඒ ඉර ගහල දුන්නෙ නෑ
දහස් ගණනක් උදේ හවස

දුවන මහ නගරෙක
එකම එක කෙල්ලෙක්
නෑ ඒකි පුංචි නෝනෙක්
හිත ගත්ත එක සත්ත
වර්ණනා කරන්නට 
තේරෙන්නෙ නෑ මට දැනෙන දේ
සාරි පොට උස්සන්
කඩිමුඩියෙ දුවනකොට
මාත් පස්සෙන් ගියා
ඔෆීසිය ගාවට හැමදාම
හවසටත් වෙලාව බලාගෙන
ඔෆීසියෙ ඉඳල ස්ටේෂමට
එනව මං හැමදාම

ටිකක් හවස් වෙච්ච දවසක
ජෝක් කර කර පස්සෙන් ගිය
එකෙක්ට පහුවදා
නෙලුවෙ තුන් මාසයක් ඇඳේ ඉන්නට
හීන කියන්නෙ මොනවද
දැනන් උන්නෙ නෑ මං
එයාව බඳින්න
පවුලක් පන්සලක් වෙන්න
අනේ මන්ද එක එක විකාර
ඒවට වෙන්නැ හීන කියන්නෙ
එයා නිකන් මට පිටසක්වළ වගෙයි
මගේ ලෝකෙට ඒ ලෝකෙ ඈතයි
ගිහිං කැමැත්ත කිව්වොත්
ඒක ගොං ජෝක් එකක් වෙයි
මටවත් තේරෙන් නැති 

මේ දැනෙන දේ
එයාට කොහොමටවත් තේරෙන්නෙ නැතිවෙයි
උස්සන් ගිහිං තියාගන්න
පුළුවන් උණත් හිත දෙන්නෙ නැතිවෙයි

එයා කෝච්චියෙ නැගල යද්දි 
හිත කීරි ගැහෙන විඳවීමක්
මොකක්වත් නැති ජීවිතයකට
ඒ විඳවීමත් කොච්චර දෙයක්ද
එයාගෙ කෙස් ගහක් 
ගැලවෙන එක නවත්තන්නට
මං කෝච්චියට බෙල්ල තියන්නම්
නියපොත්තක් කැඩෙන එක නවත්තන්නට
මං මුහුදෙ පනින්නම්
හේතුවක් නැති ජීවිතේට
මැරෙන්න හේතුවක් තියෙන එක
කොච්චරනම් දෙයක්ද

දැන් දැන් එයාට තේරෙනව ඇති
මං පස්සෙන් එනව කියල
වදයක්ද දන්නෙ නෑ
ඒත් බයවෙන්න දෙයක් නෑ
වැඩි කාලයක් යන්නෙ නැතුවම
මාත් මොනවට හරි මාට්ටුවෙලා
ඇතුළට යාවි
කුඩුකාරය හින්ද එල්ලාවි
සමාජෙට බරක් වෙච්ච
කාලකණ්නියෙක් මැරෙන එක හොඳයි
හැමෝම කියාවි
සමහරවිට ඔයත්
හූමිටි තියාවි
මටනම් මැරෙන එක ගාණක් නෑ

ඒක අවුලක් වෙන්න
ජීවත්වෙලා තියෙන්න ඕනෙ
ජීවිතේ නැති පොලවක
මරණය අමුත්තක් නෙමෙයි
මාව එල්ලල

මගේ හදවත
ගලවල ගිහින් දෙන්න එයාට
පරිස්සමට තියාගන්න කියල
ඊට පස්සෙ මගෙ මස් ටික
කොටුව ස්ටේෂම ඉස්සරහ
දන්සලක් දාල කන්න දෙන්න
යන එන හැමෝටම
ඒ හැමෝගෙම උදව්වෙනුයි
මං කුඩුකාරයෙක් වුණේ
අන්තිම කැමැත්තට
තවත් එක දෙයක්
මළගෙදරට එයාට එන්න කියන්න
පුළුවන්නම් මං හින්ද
එක පාරක් අඬන්න කියන්න
රත්තරනෙ
මට ඒ ඇති හොඳටම

►රිවිහාර පින්නදූව