2018 මැයි 19 වන සෙනසුරාදා

රිසි රිදවුම් පද්මසිරි බණ්ඩාරගේ හිතට වදින කවි

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 146

රුපහ පද්මසිරි බණ්ඩාර ශාස්ත්‍රාලීය අධ්‍යාපනයේ දී කවිය මැනවින් හදාළ අයකු බව පෙනේ. එමතු නොව, ඔහු ශාස්ත්‍රාලීයව උගත් ඡන්දස් සහ කාව්‍යාලංකාර ද අභ්‍යාස කරන්නෙකි. විවේචක යථාර්ථ රීතියක පිහිටා සිය අත්දැකීම් කවි බවට පෙරළන්නට හෙතෙම උත්සාහ දරයි. යට කී හේතු නිසාම පද්මසිරි බණ්ඩාරගේ රචනා, ආධුනිකත්වය ඉක්ම වූ ව්‍යක්ත භාවයක් පෙන්නුම් කරයි. එමෙන්ම තුරුණුවකුගේ අභ්‍යාස සමය ඉක්ම වූ පරිණත ලක්ෂණ ද රිසි රිදවුම් පළ කරයි.

පද්මසිරි බණ්ඩාරගේ කවියෙහි ලාක්ෂණික ස්වරෑපය සේ පෙනෙන උත්ප්‍රාසය මැනවින් රැකගත් නිර්මාණයකි. “සඳ බැස ගිය සඳ* නම් කවිපෙළ. ඊට වස්තු විෂය වන්නේ ගමක පැවැත්වෙන කිසියම් උත්සවයකට පැමිණෙන ප්‍රභූන් පිළිගන්නට ගුරුවරයෙකු දරුවන්ට පුහුණුකරවා ගයන ගීයකි. ගීතයේ ස්වභාවය නොව, එය ඉදිරිපත් කෙරෙන අවස්ථාවේ පවත්නා ව්‍යාජය මෙහිදී ප්‍රමුඛ වෙයි.

ගණ දොස් තිබිණිදැයි
හරිහැටි නොදත්තේ මැයි
මැතිඳු නොවෙතියි
බියෙන් මෙන් ගුරු ඇඟිලි වෙව්ලයි

මැතිඳු අසුරිඳු අස
උණුසුම්ය පිළිගැනුම් බස
අද අසුර රුය මිස
කවර වියරණ කවර ගණ දොස...?

දේශපාලයෙකුගේ කාලීන අමනකම් ගැන කියද්දී වුව පද්මසිරි බණ්ඩාර වාර්තා කථනයකට නොයෑමට පරෙස්සම් වෙයි. ඒ මෙබඳු ශිල්පීය භාෂණයක් තුළිනි.

සඳ වරම ලද සඳ
දිනූ අපෙ මැති සඳ
එව බලව සකි සඳ
ආඩම්බරය කාටද?

එකුන් සහසට වඩා
ගාම්භීරයි නෙවෙද?
නො උන් ශතකය
නො දැවි අයකුට?

පද්මසිරි බණ්ඩාරගේ විකල්ප දැක්ම මැනවින් නිරෑපණය කරන රචනයකි. අසහාය නළුවා. ඒ අනෙකකු නොව පබවතගේ සැමියාගේ භූමිකාව රඟ පෑ කුසගේ සොහොයුරු ජයම්පතීය.

රුව ඇත්තකු වී
නිල සැමියා වී
කුලගොත වයසත්
හරියට හරි වී
වේදිකාවකින්
නිකම්ම බැසගොස්
අත පිසදාගත්
ජයම්පතින් මට
හරියට බෝසත් කෙනෙක් තමයි.

මෙබඳු රචනයක දී පද්මසිරි බණ්ඩාර ඍජු අදහස් පළකරන කථන මාර්ගයකට නොයා, සිද්ධීන් ප්‍රතිමුඛ කොට නිරූපණයට තැත්කළා නම් කවියේ වින්දනයට වැඩි ඉඩක් ලැබෙන්නට තිබිණ.

පද්මසිරි බණ්ඩාරයන්ගේ කවි ශක්තිය අපතේ යා නොදී සිංහල කාව්‍ය ක්ෂේත්‍රය සරැසාර කරන්නට යොදවා ගත හැක්කේ සතතාභ්‍යාසයටම පමණි. ඔහුගේ ප්‍රතිභාව ද, ව්‍යුත්පත්තිය ද මනාව ප්‍රකට වන මුත්, යළි යළිත් සැකසීමෙන් කරනු ලබන අභ්‍යාසය විසින් ඔහුගේ රචනා වඩාත් ප්‍රශස්ත කරනු ඇත්තේය.

 රත්න ශ්‍රී විජේසිංහ