2017 ජනවාරි 14 වන සෙනසුරාදා

බස් පොළේ අයියලාගේ හතරවරම්

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 417

 

මේක ගේම්ලන්තයක් කිව්වාට පාඩු නැත. වචනයේ අර්ථයෙන්ම සෑම තත්ත්පරයකම ගේම් එකකි. එකෙකු ගිලගන්නට මුව අයා සිටින්නන්ගේ ගේම් මෙන්ම අන්කෙකෙකුගේ භක්ෂණයෙන් ආරක්ෂාවීම පිණිස ගසනා ගේම්ද නැතිවා නොවේ. මේ ගේම් සියල්ල මැද තුන්වේල කා ජීවන සක කරකවනා ලක්ෂ ගණනක් ජීවිතේ එකම දිනක් හෝ පයගසා ඇති පොළොවක කාරණා දකින්නට අපි ගියෙමු. මේ කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන පෞද්ගලික බස්රථ නැවතුමයි. මෙතනින් ජීවිත කතා දස දහස් ගණනින් ඇරඹී ඇතිවාට සැකනැත. ගම් පළාතේ සිට මහ රෑ මැදියමේ පැමිණෙන බස් රථයේ අසුනක සීතලේ ගැහි ගැහී කොළඹ පැමිණ මහ පාන්දර මේ බැස්ටියන් මාවතේ යකඩ අසුනක වාඩි වී සිටි අතීතයක් ඇත්තෝ අනන්තය. මේ කියූ වාක්‍ය කියවාගෙන යනකෙල් ඔවුනට ඒ අතීතය සිහිවෙනවාට සැක නැත.

බැස්ටියන් මාවතේ සංසරණය වන්නේත් රටේ පොදු පිළිගත් මුදල්ය. එබැවින් මුදලට ඇදෙන රාක්ෂයින්, ප්‍රේතයින් හා කුම්භාණ්ඩයින් මෙහිත් සැරි සැරිය යුතුය. පසුගිය රජයෙන් ඉදිකළ පාවෙන වෙළඳ සංකීර්ණයේ එහා කෙළවර දුම්රිය මාර්ගයයි. ඒ අයිනේ ඇති අසුනක හාන්සි වී කොළඹ අහසේ මහ රෑ නලියන තරු බලාසිටි මිනිත්තු කිහිපය දැන් අවසන් කළ යුතුය.

වරෙන් යන්න. දැන් තමයි ටර්න් එක ඉවර කරලා නාගත්තේ...

ඒ එදා ලියුම්කරු ගමේ සිට කොළඹ ආ මහ පාන්දර බසයේ කොන්දොස්තරය. ඔහු අද ඒ බස් රථයේම රියැදුරුය. බැස්ටියන් මාවත බලන්නට යන්නේ නම් යා යුත්තේ ඔහු වැන්නෙකු සමඟය. එකක් පරිස්සමය. අනෙක තොරතුරුවලිට සමීප වීමට ඇති හැකියාවය.

මචං මෙහෙමයි. ගිය ආණ්ඩුව කාලේ මේක රන් කළ පොරවල් ගාණකගේ ලොක්කෝ මැරුවා. පස්සේ ඩිංගිත්තක් කල් මෙහේ ඔය කප්පම් කේස් අරවා මේවා නතර වුණා. හැබැයි ටික කාලයයි. දවසකට මේකට බස් දාහකට කිට්ටුව ගහනවා. බස් එකකින් රුපියල් දෙසීය ගාණේ පැන්නුවත් එකෙක්ට ලක්ෂ දෙක තුනක් නිකම් සෙට් වෙනවා...

කප්පම් කතා කියවා එපා වී තිබේ. ඒ හැරෙන්නට වෙන මොනවා හරි...

කොයි තැනත් වගේ මෙතනත් සල්ලිවලට ඕන එකක්. ගෑනි ගෙනල්ලා දීලා ඒකී එක්ක වෙන එකෙක් නිදාගන්නකම් දොර ළඟ ඔත්තුබලලා දාහේ කොලේ මිටිමොලවගෙන යන පොරවලුත් මේකේ ඉන්නවා. මෙතන තියෙන මරු කතා මට වඩා දන්නවා 32 බස් එකේ ........ අයියා. එයත් දැන් නාගෙන ඇවිල්ලා ඇති. අයින දිගේ ඉස්සරහට යමන්...

අයින දිගේ යන ඉස්සරහ කොහිදැයි නොඅසන්න. මේ ඔහුගේ මඟ පෙන්වීම මැද ඔහේ හදිස්සියට දුවනවා මිස දැනගෙන යන කතරගමක් නොවේ. කඩපේළි කිහිපයක් හා කුණු කාණු දෙක තුනකට පසුව සිඟන්නන් වැටී නිදනා හුදෙකලා පදික වේදිකා දෙකකට පමණ පසු මේ පැමිණියේ විදුලි බල්බ දෙකකින් ආලෝකමත් වූ කඩකාමරයකටය.

වරෙන්... ඊළඟ ටර්න් එක එනකම් ඩිංගක් ඇලවෙන්නේ මෙතන. මම තිස්දෙකේ අයියා සෙට් කරන්නම්. මම ආයෙත් හතරට කරකවන්න ඕන. උඹ මිනිහා එක්ක කතා කරපන්..

තිස්දෙක යනු මතක හැටියට නම් කතරගම - කොළඹ බස් රථයයි. කඳ සුරිදු බිමේ සිට මේ නපුරු පාරාදීසයට ඇදෙනා බස් එකක අයියා කෙනෙක් වෙනුවෙන් දැන් බලා සිටිමි.

අපි ලයිට් එක පත්තු කළෙමු.

මොන ....... පුතාද ලයිට් එක දැම්මේ. ඕක නිවපන්. මදුරුවෝ එනවා...

දැන් මෙතන අවදියෙන් සිටිනා එකම මනුෂ්‍ය ජීවියා වූ මා හට ඒ එල්ල වූයේ කිසිසේත් බලාපොරොත්තු නොවූ අණකි. අවාසනාව නම් ඒකී අණ දුන් තැනැත්තා අණින් යටපත් කළ මා මේ දැල්වෙන විදුලි බුබුල නිවා දමන ස්විචය ඇති තැන හෝ නොදන්නා බව නොදැනීමයි... මේ බස් එකේ මිතුරා කොහි සිට හෝ මතුවෙනතෙක් අඳුර දෙස බලාසිටියේ ඔහු ආ විගස මේ බල්බය නිවා දමන ලෙස කීමේ බලාපොරොත්තුවෙනි. අවසානයේ ඔහු පැමිණියේ ඒ කියූ අයියාට අමතරව තවත් දෙදෙනෙකුද සමඟය. එතැන අයියා සිටීද නැත්ද යන්න නොදනිතත් පැමිණි සම්පූර්ණ ගණන 3කි.
මේ තමයි අයියා. උඹ පත්තරේ කිව්වාම අනිත් අයටත් තියෙනවාලු කියන්න කතා. ඔන්න අහගනින්. මම යනවා ටිකක් ඇලවෙන්න...

මිතුරාගේ වෙන්වීමෙන් අනතුරුව උඩ කියූ විදුලි බල්බයද නිවී ගියේය. දැන් අයියලාට මා පෙනෙන මුත් මට අයියලාගේ මුහුණු පෙනෙන්නේ නැත. අනතුරුව එළැඹි මිනිත්තු කිහිපය වෙන් වූයේ අපි ඔවුනොවුන් හඳුනා ගැනීමටය. ඒවා මෙතැනට අදාළ නැත. බැස්ටියන් පාරේ ගේම් මාතෘකාව ඇරඹුණේ ඉන් අනතුරුවය.

ගේම් කියන්නේ ඉතින් රෑ එළිවෙනකම් කොළඹ එද්දී දකින දේවල් අජූතයි. එක අතකට අපි සංසාරේ කරපු පවුද කියලත් හිතෙනවා. මූ නම් දැනුත් නංගි කෙනෙක් එක්ක ඉඳලා ආවේ රෑ බස් එකේ කොළඹ ආපු... අයියා තමන්ගේ සමීපයේ සිටියෙකුට දඩාස් ගා කොන්දට ගැසුවේ ඔහුට නංගී කෙසේ වෙතත් මව් කිරි සිහිවෙන්නටය.

ඒ ගැන පස්සේ කියන්නම්. මල්ලී, අපිට මේ සුක්කානම කරකවලා ජීවත් වෙන්න බෑ. ඔය උඩට අදින්න තියෙන පොඩි පාර්සල් අදින එකේ ඉඳලා කොළඹ ගේම් ගහලා තිස්ස, දෙබරවැව කතරගම හැංගිලා ඉන්න එවුන්ට මෙහෙන් බඩු ගෙනියන එක වෙනකම් කරනවා. එව්වා ඉතින් හැමදාම නෑ. සෙට් වුණ දවසට කරනවා. බඩු රැක් එකේ තියලා මොනවා ගෙනිච්චත් අවුලක් නෑ. කොන්දෝස්තර මල්ලී විනාඩි දහයෙන් දහයට වගේ බලනවා රැක් එකේ තියලා තියෙන පාර්සලේ තියේද කියලා. වැරදිලා හරි මාට්ටු වුණොත් අපේ නෙවෙයි වගේ ඉන්න තියෙන්නේ. කොළඹ කොටුව ඒරියල් එකට මල් සපයන්නේ ගොඩක්දුරට මේ බස් ස්ටෑණ්ඩ් එකෙන් තමයි. අනික ඉතින් කොළඹ ඉඳලා ලංකාවේ කොයි කෙළවරටත් ඉක්මණින්ම මොනවා හරි යවනවා නම් යවන්න තියෙන්නෙත් මේ බස්වලින්ම තමයි. ඒවාටත් ගාණක් කපාගන්නවා අපි...

තවමත් ඔළුවේ නලියන්නේ නංගිගේ කතාවයි.

කොළඹට රෑ බස් එකේ එන කෙල්ලෝ බර ගාණක් ඉන්නවා. කසාද බැඳපු තරුණ ගැහැණු අයත් ඉන්නවා. මූදේ නැව් ගියාට අවුලක් හිටින්නේ නැති නිසා මේ එන අය බස් එකේ ඩ්‍රැයිවර්ට හරි කොන්දොස්තරට හරි නිකම්ම සෙට් වෙනවා. කොළඹ ඉඳලා බැලුවාම බස් බරගාණක් තිබ්බාට මැදවච්චියේ හරි, දෙබරවැවේ හරි මිනිස්සුන්ට රෑට කොළඹ එන බස් එක හෙණ ලොකුයි. ඒකේ ඩ්‍රැයිවර් අදුරනවා කියන්නේ උන්ට මාර වැඩක්. අනික මාසෙකට දෙකකට සැරයක් පැයක් හමාරක් අපි වෙනුවෙන් වෙන්කළාට පාඩුවක් නෑනේ. කවදා කීයට බස් එකට ආවත් සීට් එක පරිස්සමට තියෙනවා. ටිකට් කඩන්නෙත් නෑ. අනික ආරක්ෂාව. ඔය හැමදේම නිසා එහෙම පොඩ්ඩක් කොටුවක් පනින්න අකමැත්තක් නෑ...

එහෙම එක්කගෙන යන්න එහෙමත් තැන් තියේද?*

එය ළදරු ප්‍රශ්නයක් වග වැටහුනේ වචනය කටෙන් පිටවූ පසුවය.

කොහේ එක්ක යන්නද මල්ලී. කළුවරේ රෑ සීතලේ කවුරුත් නැති බස් එක තියෙද්දී. වටේට කර්ටන් ටික ඇදගත්තට පස්සේ ඉතින් හෝටල් කාමරේ තමයි ඒක. අනික මේක හනිමූන් නෙවෙයි සැපට සුවපහසුවට ඉන්න.

අයියා කියවාගෙන යද්දී අයියා සමඟ පැමිණි අනෙක් අයියා කෙනෙක්ද කුමක්දෝ පවසන්නට උත්සාහ කරනු දකින්නට ලැබුණි.

තව එකක් තියෙනවා මල්ලී. මේ බැස්ටියන් පාරේන් තමයි ලංකාවේ කෙළවරවල්වල ඉන්න හිඟන්නෝ මාරුව කරන්නේ. අද අනුරාධපුරේ ඉන්න මිනිහා හැමදාම එහේ අදින්න බෑනේ. මිනිස්සු හැමදාම දකින එකාට සල්ලි දෙන්නේ නෑ. ඒ නිසා උන් හිඟන්නෝ දකින්න අඩු ඒරියල්වලට එක්කගෙන යන්නෙත් අපි. කොළඹ ඉන්න හිඟන මුදලාලිලාට පිටින් පොඩි එවුන් හරි අබ්බාගාත පොරවල් හරි ඕන වුණාම ගෙනල්ලා දෙන්නෙත් අපිම තමයි. අපේ බස්වලටනේ ඔය හැම එකාම නැගලා දුක කියන්නේ. හොඳටම රඟපාන එවුන්ට අපි කොළඹ ලොක්කෝ ළඟ රස්සා හොයලා දෙනවා...

කොච්චර හෙව්වත් මදි. ආණ්ඩුවේ නිලධාරීන්ටයි, පළාත් සභාවේ අයටයි වේලා සටහන්කරුවන් වගේම ආරක්ෂක අංසෙ කට්ටියටත් කප්පම් දෙන්න සිදුවෙනවා. ඊට අමතරව හදිස්සියෙවත් නගින එකෙක්ට ඉතුරු රුපියලක් දෙන්න කොන්දොස්තර මල්ලීට බැරි වුණොත් ඒ ගැන ගමනාගමන කොමිසමට පැමිණිල්ලක් කළොත් රුපියල් 5000ක දඩ ගහනවා. ගමන් බලපත්‍රය අලුත් කරන්න ගියාම රුපියල් 3000 ගන්නවා. ලොග් ෂීට් එකක් ගන්න ඒවායේ ලිපිගොනුව හොයන්න වෙනම රුපියල් 200ක් දෙන්න වෙනවා. කොළඹ ලොග් සීට් එකට රුපියල් 175ක් ගන්නවා. බස් එක ගාල් කරන්න ආවාම බැස්ටියන් මාවතෙන් රුපියල් 150ක් ගන්නවා. අවුරුද්දේ අන්තිමට ජාතික ගමනාගමන මණ්ඩලයට රුපියල් 3000ක් ගෙවන්න වෙනවා. කොන්දොස්තර ලයිසන් එකේ කාලේ ඉවර වුණාම රුපියල් 1000ක් ගන්නවා. රියදුරු මහත්තයාට වෛද්‍ය සහතිකයක් දෙන්න ඕනෑ. අධ්‍යාපන සහතික, ග්‍රාමසේවා සහතික ඔක්කොම ඉල්ලනවා. මදි වුණොත් තව පුහුණුවීම් සඳහාත් යොදවනවා. මේක මාරක ගේමක්. මිනිස්සු දකින්නේ එළියේ කතාව විතරයි. අපි දන්නේ නෑ ඔය ළඟ දුවන පොරවල්ගේ ගේම නම්. දුරදුවන බස් වල පිස්සුවෙන් වගේ තමයි අපි ගේම ගහන්නේ...

ඒක ඇත්ත. ආණ්ඩුවේ ඇමැතිලා දෙන ටෝක්ස් හෙන ලොකුයි. ඒත් වැඩක් නෑ. මම දුවන්නේ කොළඹින් ඌව පළාතට. මේ මාර්ගය ගැන තියෙන්නේ පුදුම ආදරයක්... අවුරුදු 3-4කට  කලින් පාර හොඳට හදන්න කලින් පැය 6- 6 1/2න් ගිය බස් දැන් අඩුම පැය 8 - 8 1/2 ක් ගන්නවා... ගොඩක් දවස් වලට අවිස්සාවේල්ලට කි.මී. 57 යන්න පැය තුන් හමාරක්. රත්නපුරේට කි.මී. 100 යන්න පැය පහ හමාරක්... ගතේ එකක් බොන්න නවත්වන්නේ පඹහින්නැත පහු කරලා හල්දුමුල්ල කිට්ටුව... එතන ඉඳල බදුල්ලටම යන්න යන්නේ පැය එකහමාරකටත් අඩුවෙන්... මේ යන ගමනට නෝක්කාඩු  කෝටියයි... හැබැයි ඒ යන දන්නේ නෑ අපි කතරගම යනවා වගේ නෙවෙයි බර ගියර්වල බදුලු යනවා කියන එක කියලා. කොළඹින් නගින්නේ පොඩි කට්ටියක්. පහක් හයක්. ඉතිරි ඔක්කොම ළඟ. අපි යන වියදම කවර් කරගන්නේ ළඟ කෑලි වලින්. ළඟ කෑලි ඉන්නේ හල්දුම්මුල්ලට යනකම් වගේ. එතනින් එහාට ළඟ කෑලි අපි ගන්නේ නෑ... මේ බස් දුවන මල්ලීලාගේ බඩවල්වලට ගහන්න බැරි නිසා. ඒ හින්දා හල්දුම්මුල්ලට යනකම් පැදලා එතන ඉඳලා අදිනවා. අපිව මේ තත්ත්වෙට දැම්මේ වෙන කවුරුත් නෙවෙයි. ආණ්ඩුව. දැන් ඇමතිය ඉන්නේ අපේ ගමේ එකෙක්... මින් පස්සේ කරන්නේ ඔය වගේ වෙලාවට උගේ මැරිච්චි අම්මට බණින එක තමයි... පව් ඒ අහිංසක මනුස්සයා... ඒත් අපි ඊට වඩා පව්නේ...

එමෙන්ම දකුණේ ඈත සිට - කොළඹට එන බස්වල කතා කියන්නට තවත් කතා ඇතිබව පෙනුනි. ඒ කතා අසන්නට මෙන්ම ලියන්නටද කාලයත්, ඉඩත් සීමිතය. ඒ සියල්ලටම වඩා මේ හැමෝම පැයක් හමාරක් ඇලවිය යුතුය. ඒ හෙට රියදුරු අසුනට නගින්නට පෙරය. එහෙයින් ඔවුනට සමුදිය යුතුය.

ඔවුන්ගෙන් පසුව මේ බැස්ටියන් මාවත බස් නැවතුමේ කතා අසන්නට තවත් බොහෝ දෙනා සිටිය හැක. කොළඹ ප්‍රධාන පෞද්ගලික බස් නැවතුමට බැස්ටියන් මාවත බස්නැවතුම යැයි කියන්නේ මන්ද යන්නද බොහෝ දෙනා නොදනී. ඊට ප්‍රධාන හේතුව නම් මෙම බස් නැවතුම පිහිටා ඇත්තේ කොළඹ පිටකොටුවේ ඕල්කට් මාවත හා බැස්ටියන් මාවත අතර වීමය. පෞද්ගලික බස් නැවතුම හා පාවෙන වෙළඳ සංකිර්ණය අතරින් දිවයන්නේ බැස්ටියන් මාවතයි. රාත්‍රියේත් බස් නැවතුමේ බස් වේලා තබන්නන් රාජකාරියේය. ඔවුන් දන්නා කාරණාද බොහෝමය. සියල්ලම නොකීවත් කියන ටික හෝ අසාගැනීම සුදුසුය.

බස්වල වැඩ කරන සමහරු නාහෙට අහන්නේ නැති මිනිස්සු. හැබැයි එයාලගේ අතේ සල්ලි නෑ. සල්ලි වලින් විතරයි මේ ඩ්‍රැයිවර්ලා කොන්දොස්තරලා නවන්න පුළුවන්. බස් එකක් කියන්නේ වෙන වාහනයක් වගේ නෙවෙයි. වෙන වාහනයක ඉස්සරහ රෝද දෙකට පස්සේ තමයි ඩ්‍රැයිවර් ඉන්නේ. බස්වල, ලොකු ලොරිවල එහෙම නෑ. ඒ නිසා රෝද දෙකට කලින් ඩ්‍රැයිවර් ඉස්සරහට යනවා. හදිස්සියකදි බස් එකේ රෝද දෙක එන්න කලින් බස් එක පැත්තකට කපාගන්න පුළුවන්. අනික යකඩ ගොඩක් වුණ මේක එද්දී ඕන වාහනයක් ඉබේම ඉඩදෙනවා. මේවා දන්න නිසා තමයි මේ ඩ්‍රැයිවර්ලා රේස් යන්නේ...

හැබැයි එයාලා නම් කියන්නේ රජයෙන් බස් ගමන්වලට හදපු වෙලාවල්වල අවුල නිසා කියලා?

කොළඹ තනි සබ් එක දුවන අය වගේම බස් දෙකේ තුනේ ඉඳලා බස් තුන්සීයක් විතර තියෙන බස් කොම්පැණිත් ඉන්නවා. කොම්පැණිවල අය ඉතින් ආණ්ඩුව මාරු වුණා කියලා නෑ. සළකන්න ඕන තැන්වලට සළකනවා මදි නොකියන්න. ඒකනේ එක්කෙනෙක් රූට් පර්මිට් එකක් ගන්න නැහුනාට කොම්පැණි බස් ගන්න පරක්කුවට පර්මිට් ලැබෙන්නේ. අනික කොම්පැණියකට දවසේ බස් පහ හයකින් පාඩු වුණා කියලා දැනෙන්නේ නෑ. නිකමට හිතන්න ත්‍රිකුණාමලේ යන කොම්පැණි බස් එකයි. අනුරාධපුරේට යන තනි මනුස්සයාගේ බස් එකයි ආසන්න විනාඩි තිහක වගේ ගැප් එකකින් දුවනවා කියලා. කොම්පැණි බස් එක කාගෙන යනවා. එයාලා කොළඹ ඉඳලා හලාවතට යන අයත් ගන්නවා. පුත්තලමට යන අයත් ගන්නවා. පුත්තලමේ ඉඳලා අනුරාධපුරේ යන මිනිස්සුත් ගන්නවා. අන්තිමට ත්‍රිකුණාමලේ යන අයත් දාගන්නවා. ඊට පස්සෙන් එන තනි මනුස්සයාගේ බස් එකට හුලන්. ඉතින් අර පස්සෙන් එන කෙනාට වෙනවා ඉස්සරහින් විනාඩි තිහක් කලින් යන එක පහු කරන්න. පාරවල් කපාගෙන යන්නේ ඒකයි...

දැන් කොළඹ බස් කප්පම් නැද්ද?

මම නෑ කියන්නේ නෑ. හැබැයි තියෙනවා කියන්නෙත් නෑ. මොකද මම හෙටත් රස්සාව කරන්න ඕන. කප්පම් නැත්තම් ඉතින් බැරියැ. කප්පම් විතරක් නෙවෙයි. ලෝඩ් වෙන වෙලාවට බස් එක ප්ලැට්ෆෝම් එකට ගහන්නත් තියෙන්නේ ගේමක්. ඒකත් වෙන්නේ මේක රන් කරන අයට ඕන විදියට... මනාගමන මණ්ඩලේ අය කිව්වාට මේකේ කප්පම් ගන්න ඒවා නවත්තනවා කියලා. ඒක ඉතින් නයිටක් (රාත්‍රීවැඩ මුරයක්) මෙතන ගහලා බලන්න ඕන. දැන් පොලීසියේ. මැති ඇමති කට්ටියගේ ඉඳලා හැමෝම මේ මිනිස්සු එක්ක ඉන්නවා. අපි නිකම් වලි දාගෙන තේරැමක් නෑ. එක්කෝ අපිව මාරු කරනවා. නැත්තම් මේ ස්ටෑන්ඩ් එකේම කෙළවරට අරන් ගිහින් ගහනවා. රුපියල් තිස්දාහේ පඩියට මොකටද ගුටි කන්නේ. අනික තිස්දාහකින් දරුවෝ දෙන්නා ඉස්කෝලෙට දාගන්නවත් බෑ. මම එනකාලේ මෙහේ හිටිය එස්.ඩී. මහත්තයට පඩිය පනහක් වගේ ඔක්කොම. ඒත් එයා එන්නේ මිලියන හය හතක වාහනයක. පෝලිමේ ඉඳලා පොඩිවෙලා බස් එකේ සීට් එකට පොරකන මිනිස්සුන්ගෙන් තමයි කවුරු කවුරුත් ජීවත් වෙන්නේ...

බස් කප්පම් හා ප්‍රසිද්ධියේ සිදුවෙන මේ දූෂණවලට වැටබැදීමේ ලොකු වගකීමක් පොලිස් දෙපාර්තමේන්තුවටද වේ. එහෙත් පොලීසිය නියෝජනය කරනා මහතෙකු මේ ලිපිය ලියවෙන මොහොතේ ලියුම්කරු අසා සිටි මෙම ප්‍රශ්නයට දුන්නේ කිසිසේත් බලාපොරොත්තු වූ පිළිතුරක් නොවේ.

කොටුවේ තියෙන්නේ හෙණ බොරුවක්. ඔය බස්කාරයොයි, සම්තිං එකතු කරන එවුනුයි, ටයිමින් බලන අයයි ඔක්කොම එක සෙට් එකක්. උන් උන් එකා එකාට බැණගන්නේ බොරුවට. ඇත්තටම ඕකේ දොගොල්ලක් ඉන්නවා නම් ඒ ඔය සෙට් එකයි කොටුවට එන මිනිස්සුයි. කොටුවේ පිට් පොකට් එකක් ගැහුවත් ඔය සෙට් එක ඒකට සපෝට්. කොටුවේ කෙල්ලෙක් අමාරුවේ වැටුණත් උන් ඉන්නවා එතන. අනුරාධපුරෙන් කෙල්ලෙක් බෑග් එකකුත් අරගෙන ඇවිල්ලා බස් එකට නැගලා අඬ අඬ එනවා නම්, ඒ කෙල්ල ඇඳගෙන ඉන්නේ එච්චර හොඳට නෙවෙයි නම් ඒ කෙල්ලව කොළඹට ගේන්න කලින් මුන් මෙහේ තැරුව්කාරයොන්ට කතා කරලා කියලා ඉවරයි. බස් එකෙන් බැහැලා ටික වෙලාවකින් කවුරු හරි ඇන්ටි කෙනෙක් එනවා අර දැරිවිගේ උදව්වට. එහෙමයි මේක වෙන්නේ. බස් එකක් තේ බොන්න නවත්තන තැනක කවදාහරි මනුස්සයෙක් තමන්ගේ පෞද්ගලික වාහනයක් නතර කරලා තේ බොනවද. නෑ.. ඇයි ඒ. ඒක තමයි මුන්ගේ තියෙන හවුල. ඒ හෝටල් දුවන්නේ බස් නිසා. බස් එකේ ඩ්‍රැයිවරුයි, කොන්දොස්තරයි, උන් දෙන්නා ටැකල් කරන කෙල්ලොයි ඔක්කොටම අර හෝටලෙන් නිකම් කන්න දෙනවා. සාක්කුවටත් කීයක් හරි දානවා. ඕකයි ගේම. අනික සමහර ඔය බස්වල අය රෑට දෙනවා බිම පැදුර එළලා කොටුවේ ඉන්න වයසක ගණිකාවොන්ට. රුපියල් දෙසීයක් තුන්සීයක් පැයකට ගන්නවා. ඔය බස්වල යට හංගලා තමයි සමහරු ගංජා ගේන්නෙ. අපිට අල්ලගන්න අමාරුයි. මොකද උන්ගේ තියෙන්නේ මාර නෙට්වර්ක් එකක්. නිකම් හරි සැකයක් ආවොත් මඟදි කොහේහරි හංගලා පහුවැනිදා එද්දී අරගෙන එනවා...

මේ සියල්ල දුවන්නේ මුදල් මතය. දෙවියන්ගේ මල්ලි නොව දෙවියන්ගේ ලොකු මහප්පා සල්ලිය. මනුස්ස ජීවිතයක් කොතරම් කැණහිල් මට්ටමට වැටේද දකින්නට නම් මෙතැනට රෑක ආ යුතුය. එහෙත් කාරණය නම්, මේ රියදුරන්ටද ආදරණීය බිරියක්, දරුවෙක් සිටිය හැක. තමන්ගේ ස්වාමියා, පියා සුක්කානම කරකවමින් මහපාරේ ගිනිඅව්වේ දුක් විඳිනවා ඔවුනට සිහිවෙනවා ඇත. එසේම, ඔවුන්ගේ බඩකට පුරවන්නේ, ඉනට රෙදි කෑල්ලක් දෙන්නේ මේ උපයන මුදලින් විය හැක. එසේ නොමැතිව සියලු ගේම් ගසා ඔවුන් මේ තනන්නේ රජවෙන්නට නොවිය හැක. එහෙයින්, මෙකී නාටකයේ කාට ගතු කියන්නද, කාට අවලාද නගන්නටදැයි තීරණය කිරීම පාඨක ඔබ සතුය. අපි ඊට ඉක්මන් නොවෙමු. එසේනම් දැන් මේ කොලොම්පුරේ කළු කාෂ්ඨ පොළොවේ තවත් උදෑසනකට පිණි වැටෙනා මොහොතේ ඔවුන්ට සමුදිය යුතුය. අවසන් වශයෙන් ලිවිය යුත්තේ හැමදාකම බස් රථයේ දකින්නට ඇති වදනයි. රියදුරු දෑතට දෙවි පිහිටයි...

විමුක්ති රත්නමලල