2017 ජුලි 22 වන සෙනසුරාදා

රටේ ත්‍රස්ත ප්‍රහාර ඉහළට - රජයට අර්බුද රැසක්

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 103

2017 ජූලි මස 21 වැනි කිවි දින උදේ දහය පසුවී විනාඩි දහනවයට බුධ ග්‍රහයා සිංහ රාශියට පිවිසෙයි. අගෝස්තු 13 වන ඉරු දින වක්‍ර ගමනින් යුක්තව ද සැප්තැම්බර් 5 වන කුජ දින නැවත සුපුරුදු ගමනින් ද යන බුධ 2017 සැප්තැම්බර් 26 වන කුජ දින රාත්‍රි දොළහ පසුවී විනාඩි විසිනවය දක්වාම සිංහ රාශියහි ගමන් කරයි. කේතුට අයත් මා නැකතේ හා කිවිට අයත් පුවපල් නැකතේ සම්පූර්ණවත් රවිට අයත් උත්‍රපල් නැකතේ ප්‍රථම පාදයෙන් ද ගමන් කරන බුධට සෙනසුරුගේ පූර්ණ දෘෂ්ටිය ද ලැබෙනු ඇත.

අප රට කෙරෙහි අවධානය යොමුකිරීමේදී විදේශීය ආයෝජන සම්බන්ධයෙන් මත භේදයක් ඇති වේ. මහ ජනයාගේ සුබ සිද්ධිය වෙනුවෙන් රජය යම් යම් ක්‍රියාමාර්ග ගත්තද මහජනයාට යම් යම් පීඩනකාරී ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවන කාලවකවානුවක් වනු ඇත. රජයට ද විසඳිය නොහැකි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවන අතර රාජ්‍ය පාලනයට ද බලපෑම් ඇතිවනු ඇත. හවුල් ගිවිසුම් දෙදරා යන අතර රාජ්‍ය නායකයින්ට මෙන්ම මහජන නියෝජිත මන්ත්‍රීවරුන්ට ද ඉතා අශුභ වකවානුවක් වෙයි. එකිනෙකා අතර බහින්බස් වීම් ආරවුල් ඇති කරගැනීම් තර්ක ගැටුම් ඇතිවීම් පාර්ලිමේන්තුවේදී සිදුවනු ඇත. රට තුළ වැඩවර්ජන උද්ඝෝෂණ හේතුවෙන් මහජනයාගේ දෛනික ජීවිතයට බලපෑම් ඇතිවේ.

වි‍දේශීය වශයෙන් විමසීමේදී බුද්ධිමත් කීර්තිධර පුද්ගලයන්ට අයහපත් වනු ඇත. පාසල් අධ්‍යාපනික ස්ථාන ආශ්‍රිතව ත්‍රස්ත ප්‍රහාර ඇතිවීම් සිදුවන අතර මහජනයා රැස්වන ස්ථානවලට ත්‍රස්ත ප්‍රහාර එල්ලවීම් වැඩිවන වකවානුවක් වේ. බන්ධනාගාර රැඳවියන් පිරිසක් පැනයාමක් වාර්තා වනු ඇත.

‍මේෂ - ලැබීම් ඉහළට

අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වනු ඇත. ලැබීම් මාර්ග වැඩි දියුණු වේ. යම් යම් කටයුතු සඳහා විරුද්ධවාදින් ද මෙම කාලවකවානුව තුළ ඇතිවනු ඇත.

වෘෂභ - රැකියා දියුණුව

තම මතයට අනුව කටයුතු කරමින් තම කටයුතු රැසක් සාර්ථක කරගන්නාවූත් වකවානුවක් වේ. හවුල් කටයුතුවලින් ඵල ලැබේ. රැකියාවේ දියුණුවක් ලබාගත හැකිය.

මිථුන - අධ්‍යාපනයට හොඳයි

ඔබට ද යහපත් වකවානුවක් වේ. ආගමට බරව කටයුතු කරන අතර යම් යම් ක්‍රියාවලදී විවිධ පාර්ශවවලින් බාධා එල්ල කරනු ඇත. අධ්‍යාපනික කටයුතුවල නිරත අයට යහපත් වනු ඇත.

කටක - උණ රෝග

ඔබගේ ක්‍රියා සාර්ථක වන අතර ආර්ථික කටයුතුවලට යම් යම් බාධාවන් ඇතිවනු ඇත. හදිසි උණ රෝගයක් වැළදීමෙන් ප්‍රතිකාර ගැනීමට සිදුවනු ඇත.

සිංහ - ව්‍යාපාරවලට යහපත්

ඔබගේ කටයුතු සාර්ථක වන වකවානුවකි. අන් අයගේ පිළිගැනීමට ලක්වනු ඇත. හදිසි ආර්ථික ලාභ අත්වන අතර ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට ඉතා යහපත්ය.

කන්‍යා - රැකියාව එපාවේ

ඔබට එතරම් යහපත් නොවනු ඇත. ඔබගේ කටයුතුවලට විවිධ වූ බාධා එල්ලවනු ඇත. රැකියාව ද එපාවෙන තත්ත්වයට පත්වන අතර ආර්ථික අපහසුතා තදින් දැනෙන වකවානුවක්ද වේ.

තුලා - අලුත් හිතමිතුරන්

භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට යහපත් ඵල අත්වන අතර අලුත් බැඳීම් හිතමිතුරන් තමා වටා එක්වනු ඇත. අධ්‍යාපනික කටයුතුවල නිරත වී සිටින අයට ජයග්‍රහා වූ කාලයකි.

වෘෂ්චික - ඥාතීන්ගෙන් වෙන්වේ

නව රැකියා බලාපොරොත්තුවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වන වකවානුවක් වේ. තම ඥාතීන්ගෙන් වෙන්ව ගතකිරීමට සිදුවන කාලයකි.

ධනු - ආගමට බරයි

ඔබට යහපත් ඵල අත්වනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වනු ඇත. තමන් අදහන ආගමට බරව කටයුතු කිරීමට පෙළඹෙන කාලවකවානුවක් වේ.

මකර - විවිධ බාධා 

ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධාවන් එල්ලකරනු ඇත. අධ්‍යාපනයේ නිරත වී සිටින අය පතපොතෙන් බැහැරව කටයුතු කරන්නාවූත් වකවානුවක් වේ.

කුම්භ - ව්‍යාපාරවලට යහපත්

ඔබගේ කාලත්‍රයාට යම් යම් පීඩා ගෙන දෙන්නාවූ වකවානුවක් වේ. අලුත් හිත මිතුරන් තමාට හමුවනු ඇත. ව්‍යාපාරික කටයුතුවල නිරත අයට ද යහපත් ඵල අත්වනු ඇත.

මීන - නෑදෑයන්ගෙන් කරදර

ඔබට යම් යම් බාධා එල්ලවන අතර ඔබගේ කටයුතු සාර්ථක කරගැනීමට නොහැකි වන කාලයක් වේ. නෑදෑයන්ගෙන් ද විවිධ වූ ප්‍රශ්න කරදර ඔබට එල්ලවනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල