2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

හදිසි මහ ඡන්දයක් ඕනෑද? එපාද?

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 177

සාධාරණ හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට හැකිවීම ගැන කවුරුත් සතුටු විය යුතුය. මෙබදු සාමකාමී මැතිවරණයක් පැවතියේ අපේ දේශපාලන ඉතිහාසයේ බොහෝ කලකට පසුව බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි. විදේශීය නිරීෂකයන්, ස්වාධීන නිරීක්ෂකයන් මෙන්ම මැතිවරණය පිළිබඳ අවධානයෙන් සිටි සංවිධාන ද මේ තත්ත්වය පිළිගනියි. මෙවර ජනාධිපතිවරණයේදී විදෙස් නිරීක්ෂකයන් 250 දෙනකු පමණ ඡන්ද කටයුතු නිරීක්ෂණය කළ අතර ඒ කිසිවකුත් මැතිවරණය පිළිබඳ චෝදනා නගා නැත. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ හොඳ සහතිකයක් මෙම නිරීක්ෂකයන් විසින් ලොවට ලබාදෙනු ඇත.

මෙවර ජනාධිපතිවරණයේදී කැපී පෙනෙන ලක්ෂණ කිහිපයක් තිබිණි. ඉන් ප්‍රධාන වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම ගැන සඳහා ජනතාව දැක්වූ බලවත් උනන්දුවය. ඇතැම් දිස්ත්‍රික්කවල ඡන්ද භාවිතය 82%ත්, 85%ත් දක්වා ඉහළ නැඟ තිබිණි. උතුරු නැගෙනහිර ප්‍රදේශවල පවා ඡන්දය ප්‍රකාශ කිරීම කෙරෙහි බලවත් උනන්දුවක් පැවැතිණි. එයින් පැහැදිලි වන්නේ මැතිවරණ කෙරෙහි විශ්වාසයක් මහජනයා තුළ ගොඩනැගී ඇති බවය. ඇතැම් දේශපාලන විශ්ලේෂකයන්ගේ පුරෝකථන මගින් කියැවී තිබුණේ මෙවර ජනාධිපතිවරණයේ දී සැලකිය යුතු පිරිසක් ඡන්දය භාවිත කරනු ඇති බවයි. එම පුරෝකථන සනාථ කරමින් වයස්ගත, ආබාධිත අය පවා මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කිරීමට ඡන්ද පොළට පැමිණියහ.

ජනාධිපතිවරණ සටන නිම වුවද තවමත් මැතිවරණ උණුසුම සමාජයෙන් ඉවත්ව ගොස් නැත. ජනාධිපතිවරණය පමණක් නොව මහ මැතිවරණය ද කඩිනමින් පැවතිය යුතුය යන්න මේ වනවිට කනින් කොනින් ඇසෙන්නට පටන්ගෙන ඇත.
අපේ රටට අවශ්‍ය වන්නේ සාමකාමී හා ශීලාචාර දේශපාලන පසුබිමකි. දෙවනුව අවශ්‍ය වන්නේ ශක්තිමත් ස්ථාවර ආණ්ඩුවකි. තෙවනුව අවශ්‍යව වන්නේ ආර්ථිකය හා සමාජය ගොඩනගන ප්‍රතිපත්ති හා සැලසුම්ය. මේ සියල්ල ගොඩනැගිය හැක්කේ අලුත් ප්‍රවේශයක් ඔස්සේය. එම අලුත් ප්‍රවේශය මහ මැතිවරණය ලෙසට බොහෝ දෙනෙක් අදහස් දක්වා ඇත. කෙසේ වෙතත් මහ මැතිවරණයකින් බලයට පත්වන ආණ්ඩුවකට කිසිවෙකුට අභියෝග කළ නොහැකි වන්නේ එය මහජන ආණ්ඩුවක් බැවිනි. ජනාධිපතිවරණය අවසන් වූ සැණින්ම මහ මැතිවරණයක් පැවැත්විය යුතුද යන්න පිළිබඳව දේශයේ අප මෙරට දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් කිහිප දෙනකුගෙන් විමසීමක් කළෙමු.

විශ්‍රාම වැටුපට වඩා රටේ යහපත වැදගත් 
කළුතර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත

මේ රටේ බහුතර ජනතාව මේ වනවිට නව ජනාධිපතිවරයෙක් බලයට පත්කරගෙන තිබෙනවා. නව ජනාධිපතිවරයා තේරී පත්වීමට පෙර ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදැක්වූවා. දැන් ජනාධිපති වූ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තිබෙන්නේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නැංවීම.

මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නැංවීම සඳහා නව ආණ්ඩුවක් බලයට ගේන්න ඕන කියන මතයේ මම ඉන්නවා. මේ රටේ ජනතාව බලයේ හිටපු ආණ්ඩුවට කිසිවිටකත් හොඳ ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. ඒ වගේම තමයි බහුතරයක් මේ ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරුන් මේ පාර්ලිමේන්තුව විසුරුවනවාට කැමති නැත්තේ ඔවුන්ගේ විශ්‍රාම වැටුප අහිමි වෙයි කියන බය නිසා. නමුත් අපි කිසිවිටකත් මේ විශ්‍රාම වැටුප් ගැන හිතලා දේශපාලනය කරලා නැහැ. නව ආණ්ඩුවක් යටතේ තනතුරු ලැබුණත් නැතත් ජනතාවට සේවය කිරීමයි අවශ්‍ය වන්නේ. පසුගිය ජනාධිපතිවරණයේ දී මම නියෝජනය කරන බේරුවල ආසනය පැරදුණා. නමුත් මෙවර නව ජනාධිපතිවරයා දිනවන්න ඔවුන් සහයෝගය දුන්නා. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නියෝජනය කළෙත් මේ ආසනය. ඒ නිසා මේ ජනතාව මේ ආණ්ඩුවට ඇති අකමැති භාවය එයින්ම පේනවා. 

මට තනතුරු ලැබුණත් නැතත් ජනතාවට සේවය කරනවා. ඒක තමයි විය යුත්තේ. මොවුන්ට ලැබෙන වරදාන වරප්‍රසාද අඩුවෙන නිසා තමයි මොවුන් මේ මැතිවරණයකට යන්න බය. ඒ නිසා නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාවට නංවන්න අලුත් ආණ්ඩුවක් පත්කළ යුතුයි. ජනතාවට සැබවින්ම තමන්ට සේවය කරන ජනතා නියෝජිතයන් හඳුනාගන්න මහ මැතිවරණයක් පැවැත්වීම ඉතා සුදුසුයි.

මහ මැතිවරණයක් එපා: අලුත් ඇමැතිවරුන් ඕනෑ
කුරුණෑගල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල්

ඇත්තටම මෙවර ජනාධිපතිවරණයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගත්තා. අපි එජාපය විසින් ඉදිරිපත් කළ අපේක්ෂකයා පරාජයට පත්වුණා. අපි මේ ජනතාව විසින් ලබාදුන් ජනතා පරාමාධිපත්‍යයට ගරැකළ යුතුයි. ඒ වගේම තමයි නව ජනාධිපතිවරයාට කැමති කැබිනට් මණ්ඩලයක් පත්කර ගැනීම සඳහා අපි ඉඩදිය යුතුයි කියන මතයේ මම ඉන්නවා. 

ඒ වගේම තමයි නව ජනාධිපතිවරයා බලයට පැමිණීමට පෙර ලබාදුන් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් දේ ජනතාවට ලබාදීම පිළිබඳව අපි බලා සිටිනවා. බලයට පත්වන නව ආණ්ඩුවේ බහුතරය පිළිබඳ අපි කලබල විය යුතු නැහැ. ඒ වගේම ඉක්මනින් හදිසි මහ මැතිවරණයක් අවශ්‍ය නැහැ. මේ ආණ්ඩුවේ කාලසීමාව ඉවරවෙන්න මහ මැතිවරණයක් පවත්වන්න පුළුවන් වෙන්නේ වසර 4කට පසුව. ඒ නිසා මේ හදිසි මහ මැතිවරණයක් දැන්ම අවශ්‍ය නැහැ. ජනතාවටත් එය විශාල ගැටලුවක්. අනික එකපිට එක මැතිවරණ පවත්වන විට ඉතා අධික වියදමක් යනවා. 

ඉක්මන් මහ මැතිවරණයක් අවශ්‍ය නැහැ
කම්කරු ජාතික පෙරමුණ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් තිලකරාජා

අපි මේ ලැබුණු ජනතා වරමට ගරුකළ යුතුයි. ඒ වගේම නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අපි අපගේ සහය පළකර සිටිනවා. මේ ජනාධිපතිවරණය ඉවර වූ සැණින්ම මහ මැතිවරණයක් පැවැත් විය යුතුයි කියන මතයේ අපි කොහොමත් නැහැ. ඒ වගේම තමයි දෙසැම්බර් මාසයේ සාමාන්‍ය පෙළ දරු දැරියන්ට විභාගය තියනවා. නත්තල යෙදිලා තියනවා. ඒ නිසා කොහොමත් මේ මැතිවරණය පවත්වන්න බැහැ. ජනවාරි මාසයේ මේ පාර්ලිමේන්තුව විසුරුවොත් පෙබරවාරි, මාර්තු වෙනකොට මේ මහ මැතිවරණය පවත්වන්න පුළුවන්. එතකම් වත්මන් ජනාධිපතිවරයාට පුළුවන් භාරකාර ආණ්ඩුවක් යටතේ මේ කාලසීමාව වෙනකම් ආණ්ඩුව කරගෙන යන්න. එකපිට මැතිවරණ පවත්වන එකෙන් ලොකු වියදමක් යනවා. ඒ වගේම තමයි තවම ජනාධිපතිවරණය අවසන් වී සතියක පමණ කාලයක් තමයි ගතවී තිබෙන්නේ. ඒ නිසා මේ කාල සීමාව අවසන් වන වහාම පාර්ලිමේන්තු මැතිවරණයකට යාම සුදුසුයි කියන එක තමයි මගේ මතය.

අනිවාර්යයෙන් ඡන්දයක් ඕනෑ
ජා.නි.පෙ. ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර

මේ රටේ දැනට පවතින කේන්ද්‍රිය බලය තමයි විධායක ජනාධිපති ක්‍රමය. ඒ යටතේ පොදුජන පෙරමුණෙන් තරග කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද ලක්ෂ 14කින් පමණ ජයගනු ලැබුවා. ඒ කියන්නේ මේ රටේ බහුතරයක් වූ ජනතාව රටේ භාරකාරයා විදිහට ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට එන්න කලින් මේ රට සංවර්ධන සැලැස්මක් යටතේ ඔහුගේ “සෞභාග්‍යයේ දැක්ම” ලෙස ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරනු ලැබුවා. එය ක්‍රියාවට නංවන්න අලුත් ආණ්ඩුවක් අවශ්‍යයි. ඒ සඳහා අනිවාර්යයෙන්ම මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි. විධායකය පමණක් තියාගෙන මේ සැලසුම් ක්‍රියාවට නංවන්න බැහැ. ඒ නිසා ව්‍යවස්ථාදායකය අලුතින් පත්කළ ගත යුතුයි. ඒ සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ජනතා මනාපයෙන් තේරීපත්වන ජනතා නියෝජිතයන් අවශ්‍යයි. ඒ නිසා ඉක්මනින් මහ මැතිවරණයක් පැවැත්වීම හොඳයි කියන මතයේ මම ඉන්නවා.

ඉක්මන් මහ මැතිවරණයක් වඩා හොඳයි
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ශ්‍රීලනිප උපසභාපති ශාන් විජයලාල්

මහ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ පැති දෙකක් තියනවා. ජනතාවගේ බහුතර කැමැත්තෙන් බලයට පත්වූ ජනපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරියට කරගෙන යාම සඳහා නව අගමැතිවරයෙක් සහ ජනතා මනාපයෙන් පාර්ලිමේන්තුවට පත්වන ආණ්ඩුවක අවශ්‍යතාවයක් තියනවා. අනිත් කරුණ ව්‍යවස්ථාව පිළිබඳ කරුණක්. නමුත් තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණය පිළිබඳ නිල ප්‍රතිඵලයක් නිකුත් කරලා නැහැ. පසුගිය කාලයේ ජනාධිපතිවරයා එක පක්ෂයක සිටීමත් අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ බහුතරයක් වෙනත් පක්ෂයකත් නියෝජනය කිරීමත් සමඟ යම් අවස්ථාවල ප්‍රශ්න පැනනැගෙන ආකාරයක් අපි දැක්කා.

ඒ වගේම තමයි ප්‍රධාන දේශපාලන අපේක්ෂකයන් දෙදෙනාම ජනාධිපතිවරණයට පෙර අලුත් ආණ්ඩුවක් යටතේ රජයක් පිහිටුවන බව නොකියා කිව්වා. ඒ වගේම තමයි මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිපයේ ඡන්යත් තීරණාත්මක සාධකයක් වුණා. කෙසේ වෙතත් මේ ලබාගත් ජනතාවගේ ජනවරම අනුව මේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් කිසි ආකාරයට ක්‍රියාත්මක කිරීමට ඉක්මනින් මහ මැතිවරණයක් පැවැත්වීම හොඳයි කියන පෞද්ගලික මතයේ මම ඉන්නවා. මෙය මගේ පෞද්ගලික මතයක් මිස පක්ෂයේ මතය නොවන බවත් මම කියා සිටිනවා.

අලුත් ආණ්ඩුවක් හදන්න නව ජනාධිපතිට ඉඩදිය යුතුයි
ශ්‍රීලමුකො ලේකම් නිශාම් කාරියප්පර්

මෙම ජනාධිපතිවරණයේ ජනතාව ලබාදුන් මෙම ජනවරමට අපි ගරැකරනවා. දැන් මේ වර්තමාන පාර්ලිමේන්තුව තුළ බහුතරයක් සිටිනා කණ්ඩායම ඉවත් වෙලා ආණ්ඩුවක් පිහිටුවීමට මේ නව ජනපතිවරයා ප්‍රමුඛ කණ්ඩායමට ඉඩදිය යුතුයි. මොකද 2015 ජනාධිපතිවරණයෙන් පස්සේ හිටපු ආණ්ඩුව නව ජනපතිවරයා බලයට පත්වූ වහාම ඉල්ලා අස්වෙලා අලුත් ආණ්ඩුවක් හදන්න එවකට ජනපතිවරයා ප්‍රමුඛ සන්ධානයට බලය ලබා දුන්නා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව දැන්ම පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්න බැහැ. ඒ කාල සීමාව ඉක්මවා ගිය පසු පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වූවට ප්‍රශ්නයක් නැහැ.

2015 ඒක සිදුවුණු ආකාරයට මොවුනුත් එම් සම්ප්‍රදායන්ට ගරුකළ යුතුයි. සිංහල දකුණේ ජනතාව 3/2ක විශාල බලයක් ලබාදී තියනවා. මේ නව ජනාධිපතිවරයාට ඒ නිසා ජනතාවගේ මේ ජනවරම කිසිසේත්ම අපි හෑල්ලුවකට ලක්කර යුතු නැහැ. අනිවාර්යෙන්ම ඔවුන්ට බලය ලබාදිය යුතුයි. එහෙත් හදිසියේ නැතුව කාල සීමාවේදී මහ මැතිවරණයක් පැවැත් විය යුතුයි කියන එක තමයි අපගේ අදහස.

මැතිසබේ ධූර කාලය අවසන් වනතුරු ඡන්ද එපා
ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. සරවනපවන්

ජනතා මනාපයෙන් බලයට පත්වූ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අපි පළමුවෙන්ම සුභ පැතුම් එක්කරනවා. අපි හිතනවා එතුමා ජාතිභේද නොසලකා සෑම විටම සැවොමටම එකවිදිහට සලකයි කියලා. දැන් මහ මැතිවරණයක් සඳහා යාම අවශ්‍යයි කියන මතයේ අපි නැහැ. මේ වත්මන් පාර්ලිමේන්තුවේ ධූර කාලය අවසන් වූ වහාම මහමැතිවරණයක් පවත්වා අලුත් ආණ්ඩුවක් ගෙනාවට ප්‍රශ්නයක් නැහැ. මොකද දැනට පාර්ලිමේන්තුව තුළ බලයේ සිටින කණ්ඩායමක් බලයට පත්වුණේ ජනතා මනාපයෙන්. ඒ නිසා භාරකාර ආණ්ඩුවක් යටතේ වුවද මේ මාස තුනක කාලය ඉඳලා ඉන් පසුව පාර්ලිමේන්තුව විසුරැවා මහ මැතිවරණයක් පැවැත්වූවාට ප්‍රශ්නයක් නැහැ.

 


සටහන - හසිත් අංජන