2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

මොබයිල් ෆෝන් එකට අකුණු වදිනවද?

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 1481

මොබයිල් එකට අකුණු වදිනවද? වැස්ස වෙලාවට ෆෝන් එක ළඟ තියෙද්දි අකුණු වදිනවලු. මොබයිල් එක පාවිච්චි කරද්දි අකුණු වදින්න ඉඩ තියෙනවලු.

මේ අකුණු සහ ජංගම දුරකථනය සම්බන්ධව සමාජයේ පවතින අදහස් කීපයකි. අකුණු පිළිබඳ බොහෝ සිදුවීම් හා මතිමතාන්තර ඇසෙන්නේ අප්‍රේල් මාසය ආශ්‍රිතවය. එම මාසයේදී අකුණු ගැසීම් ඉහළ නිසාම ඒවා බක්මහ අකුණු ලෙස හඳුන්වන්නට බොහෝ දෙනා පුරුදුව සිටිති. ඒ කාලයේත් ඉන් පසුවත් අකුණු අනතුරු රැසක් මැද වාර්තා වූ මරණ සංඛ්‍යාව ද ඉහළය.

එවැනි සිදුවීම් රැසක් පිළිබඳ තොරතුරු වාර්තා වූ අතර ඇතැම් අකුණු අනතුරුවලට හේතුව ජංගම දුරකථනය භාවිත කිරීම බවද අදහස වී තිබුණි. ලෝකයේ දැනට භාවිත කෙරෙන ජංගම දුරකථන ප්‍රමාණය බිලියන 6 ඉක්මවයි. ලංකාවේ දැනට භාවිත කෙරෙන ජංගම දුරකථන සිම්පත් ප්‍රමාණය මිලියන 17ක් පමණ බවද වාර්තා වේ. එතරම් භාවිතයේ ඇති උපකරණයක් ජනතාවට අවදානමක් වේනම් ඉන් මිදීමට ජනතාවට ක්‍රමයක් පෙන්වා දිය යුතුය.

ජංගම දුරකථනය හා අකුණු අතර සම්බන්ධතාවයක් තිබේද? ජංගම දුරකථනයට අකුණු වැදීමේ අවදානමක් තිබේද? මේ සම්බන්ධයෙන් කරුණු පහදන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාගාරයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රසන්න මධුරංග ප්‍රනාන්දු දක්වන අදහස මෙසේය.

මේ ගැන කියන්න කලින් අකුණු ගහනවා කියන්නේ මොකද්ද කියලා බලන්න වෙනවා. ඈත අහසේ අපිට වලාකුළු පේනවා.. හැම වෙලාවෙම වලාකුළක් ආරෝපණය වෙලා තිබෙන්නේ. දිගින් දිගටම එම තත්ත්වය වැඩි වෙද්දී දරාගන්න බැරි මට්ටමක් එනවා. ඒ වෙලාවට වැඩි ආරෝපණ ප්‍රමාණය ඉවත් කරනවා. ඒක විසිරුණු ගමන් පොළවට එනවා. ඕක තමයි අකුණු ගැසීමේ ක්‍රමය. මේ විදිහට අකුණ පොළවට එන මාර්ගය නිශ්චිතව අනුමාන කරන්න බෑ. ඒ මාර්ගය අහඹුවක්. අහඹු මාර්ගය තීරණය වෙන්නේ වළාකුළේ සිට පොළවට තිබෙන ළඟම මාර්ගයයි. ඒකට කියන්නේ සන්නායක මාර්ගය කියලයි. මේක තමයි අකුණු ගැසීමේ ක්‍රියාවලිය. මේ සඳහා තත්පර දශම ගණනයි ගතවෙන්නේ. මේ අකුණු එන්නේ වායුගෝලය හරහා. වායුගෝලය පරිවාරකය කියලා හඳුන්වනවා. වායුගෝලයේ විදුලිය ගමන් කරන්නේ නෑ. නමුත් මේ අකුණු ගමන් කරන්නේ වායුගෝලය හරහා. විදුලිය නොවන පරිවාරකය හරහා අකුණ යද්දි පරිවාරකය ගිනි ගන්නවා. අන්න ඒ නිසයි අකුණු ගහද්දි සුදු ඉරක් පේන්නේ.

අකුණු ඇතිවන අවස්ථාවේ ගොරවන ශබ්දය ලෙස හඳුන්වන්නේ මෙහිදී ඇතිවන ශබ්දයයි. ජංගම දුරකථනය හා අකුණ අතර සබඳතාවයක් ඇතැදැයි විමසිය යුතුය. එහි සිදුවන්නේ යාන්ත්‍රික ක්‍රියාවකි. ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබා ගැනීමේදී සුළු මොහොතක් තුළ තරංගයක් නිකුත් කර ආසන්නතම දුරකථන කුලුන සොයා ගනී. එමඟින් අප කතා කරන වචන එකී කුලුනට ලබාදෙයි. එම කුලුන මඟින් නිකුත් කරන තරංගය මඟින් අනෙක් කෙළවර ආසන්නයේ ඇති දුරකථන කුලුනට සංඥාවක් ලබා දී එම දුරකථනයට පණිවුඩය ලබාදෙයි. මෙය වෙනම ක්‍රමවේදයකි. අකුණ ගැසීම තවත් ක්‍රියාවලියකි. එබැවින් අකුණ සහ දුරකථනය අතර සබඳතාවයක් නැත.

මේ විදිහට අකුණ සහ ජංගම දුරකථනය සපුරාම වෙනස් ක්‍රමවේද දෙකක්. නමුත් අකුණු ගසන මාර්ගය ආසන්නයේ යමෙක් ජංගම දුරකථනය භාවිත කරනවානම් අනතුරක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එවැනි පුද්ගලයෙක් හරහාත් අකුණු ගමන් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ හැර ජංගම දුරකථනයකින් ඇමතුම් ගන්නා අවස්ථාවක අකුණු වැදීමේ අවදානමක් නැති බව පැහැදිලිය. නමුත් ජංගම දුරකථනය චාර්ජරයකින් විදුලියට සම්බන්ධ කරලා තිබෙන අවස්ථාවක දුරකථන ඇමතුමක් ලබාගන්නවානම් අකුණු වැදීමේ වැඩි සම්භාවිතාවක් තිබෙනවා. ඒකට හේතුව තමයි විදුලි රුහැන්වලට අකුණු ඇදගැනීම හරහා විදුලි පේනුවට අධික විදුලිය ප්‍රමාණයක් ලැබීම. ඒ අවස්ථාවක දුරකථනය පිළිස්සීම හෝ භාවිත කරන්නාට හානියක් සිදුවීමට අවස්ථාව තිබෙනවා. මේ නිසා කිව යුතුයි අකුණු ගැසීම හා ජංගම දුරකථනයකින් ඇමතුමක් ලබා ගැනීම සපුරාම ක්‍රම දෙකක් බව

ජංගම දුරකථනයකින් තරංග යැවීම සිදුවන්නේ විද්‍ය්‍රත් චුම්බක තරංග නැතිනම් රේඩියෝ තරංග ස්වභාවයටය. අකුණු මඟින් හානියක් වීම අහඹුවකි. ඉන් අදහස් වන්නේ අකුණු පතිත වන ප්‍රදේශය ආශ්‍රිතව ජංගම දුරකථනය ක්‍රියාත්මක කෙරේ නම්  අවදානමක් පවතින බවය. නොඑසේනම් ජංගම දුරකථනයකින් අමතුමක් ලබා ගැනීමේදී ඊට අකුණු වැදීම පිළිබඳව භෞතික විද්‍යාත්මකව අර්ථ නිරූපණයක් නැත. මේ පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකමින් ජනතාව ඒ පිළිබඳ විවිධ මත පළකරති.
සාමාන්‍යයෙන් භූමියේ ඉහළම ස්ථානය හරහා අකුණු ගමන් කිරීම හෝ ඇදගැනීම සිදුවේ. තැනිතලා බිමක ගමන් කරන පුද්ගලයකුට එවැනි අවදානම වැඩිය. ඊට හේතුව ජංගම දුරකථනය නොවන බව පැහැදිලිය. ජංගම දුරකථනය සතුව ඇත්තේ චුම්බක ක්ෂේත්‍රයකි. එමඟින් මොළයේ සෛලවලට හානියක් ඇති කිරීමට හැකියාවක් ඇති නමුත් එය විද්‍යාත්මකව සනාථ කර නොමැති එකකි. හේතුව එවැනි පරීක්ෂණ තවමත් සිදුකර නොමැතිකමය. ඒ පිළිබඳව අවදානමක් හා වැඩි සංභාවිතාවක් ඇති බවට ආචාර්ය ප්‍රසන්න මධුරංග ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

 සමන්ත ප්‍රදීප් විල්තෙර