2018 ජුනි 09 වන සෙනසුරාදා

බදු ගහනවා කපනවා!

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 178

- ප්‍රවීණ ටෙලි නිර්මාණවේදී සුදත් රෝහණ

අලුතින් හඳුන්වා දී ඇති දේශීය ආදායම් බදු විධිවිධාන නිසා දේශීය කලාවට වන අහිතකර බලපෑමට එරෙහිව නිදහස් කලා සංවිධානය යටතේ කලාකරුවෝ ඒකරාශී වී සිටිති. බදු දඩයමට එරෙහි කලාකරුවෝ නම් එම එකමුතුව විශාල නිර්මාණවේදීන් පිරිසක් නියෝජනය කරති. නිදහස් කලා සංවිධානයේ සභාපති සුදත් රෝහණ අප සමඟ ඒ ගැන කතාබහ කළේ මෙලෙසිනි.

ඇයි කලාකරුවන් විදිහට නව බදු පනතට එරෙහි වන්නේ?
මේක ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී කාලෙටත් වඩා භයානක බදු කාරණයක් වෙලා. මේ බදු දඩයම ටෙලි නාට්‍ය, සිනමාව පමණක් නොවේ සාහිත්‍යය, සංගීතය, නර්තනය ආදී සෑම ප්‍රාසාංගික කලා ක්ෂේත්‍රයකටම බලපානවා.

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් විදිහට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට මේ බදු ප්‍රතිපත්තිය අහිතකරව බලපාන අයුරැ ඔබ දකින්නේ කෙසේද?
මුල්ම කාලේ එක් ටෙලි නාට්‍ය කථාංගයක් ලක්ෂ 4/5 වගේ මිල ගණන්වලට නිර්මාණය කළේ. එවිට  එක් කථාංගයක් දින දෙක තුනක් අරගෙන ඉතා හොඳින් නිර්මාණය කළ හැකි වුණා. 1993දී මම මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ විකුම්සිහ කතාන්දර ටෙලි නාට්‍ය මාලාව කිරීමේදී එක් කොටසක් රු. 175000කට මිල කළේ. අද ඒ කාලෙට වඩා නිෂ්පාදන වියදම ඉතා ඉහළයි. ඒ කාලේ කාර්මික ශිල්පියකුගේ බටා එකක් රු. 40/-යි. ප්ලේන්ටි එකක් ශත 15යි. කැසට් එකක් රු. 350/- යි.

නමුත් අද රු. ලක්ෂයකට පවා එක් කථාංගයක් ගැනීමට සමහර නාලිකා උත්සාහ කරන්නේ. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ පිරිස් අතර තරගයක් ඇති වෙලා නිසා තමයි මෙහෙම මිල පහතට ඇවිත් තියෙන්නේ. සමහර දේවල් මිල 200කින් පවා වැඩි වෙලා. නමුත් ටෙලි නාට්‍ය පමණක් පහළට බැහැලා. කර්මාන්තය තුළ එකමුතු බවක් නැතිවීමයි ඊට හේතුව. එහෙම බාල ව්‍යාපාර කටයුත්තක් වෙලා තිබෙන ටෙලි නාට්‍ය මේ බදු ක්‍රමය නිසා තවමත් පහළට යනවා. මේ නිසා ප්‍රේක්ෂකයාට ටෙලි නාට්‍ය නමින් ඉතා බාල දේවල් තමයි පෙන්වන්නේ.

යෝජිත නව බදු පනත කොහොමද ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන්නේ?
එක් කථාංගයකට ගෙවන මුදලින් අලුතින් %සියයට 15ක බදු රඳවා ගැනීමක් කිරීමට යෝජනා වී තිබෙනවා. මේ නිසා කොටසකට ලක්ෂ 2ක් ගෙවනවා නම් ඉන් රු. 30000ක් අඩු වෙනවා. එවිට නිෂ්පාදකවරු කරන්නේ නිෂ්පාදන වියදම තවත් පහළ දැමීමයි.

මේකේ අවසාන ප්‍රතිඵලය රසිකයාට තමයි බලපාන්නේ. ඔහු තුළ ප්‍රඥාවක් ඇති කරන නිර්මාණ වෙනුවට යාන්තම් ගැටගහන ටෙලි නාට්‍ය බලන්න වෙනවා. ඒ වගේම  වැඩ කරන ශිල්පීන්ට රු. 50000කට වඩා ගෙවීමක් කරනවා නම් ඉන් 5ක් කපා ගැනීමට යෝජිතයි. කාර්මික ශිල්පීන්ට, කලාකරුවන්ට හැමදාම වැඩ නැහැ. ඔවුන් ලංකාව වගේ රටක ජීවත් වෙන්නේ ඉතාම දුෂ්කරතා විඳගෙන. මේ බදු රඳවාගැනීම ඉතා අසාධාරණයි.

චිත්‍රපට ක්ෂේත්‍රය ගත්තොත්?
මේක චිත්‍රපට ක්ෂේත්‍රයටත් ඒ විදිහටම බලපානවා. ලේඛකයන්ට  ලැබෙන 10ක කර්තෘ භාගයෙනුත් 14ක් රඳවා ගන්නවා. මෙයට පෙර චිත්‍රපට නිෂ්පාදකවරුන්ට චිත්‍රපටවලින් පාඩු ලැබුණොත් ආදායම් බදු සහනයක් හිමි වුණා. ඒ අලාභය තමන්ගේ වෙනත් ව්‍යාපාරයක ආදායම් බදුවලින් පාඩුව පියවාගත හැකි වුණා. නිෂ්පාදකවරු චිත්‍රපට තැනීමට යොමුවීමට එය එක් හේතුවක් වුණා. සිනමා ශාලා ප්‍රක්ෂේපණ යන්ත්‍ර හා උපකරණ, සිනමා ශාලා තැනීමේ අවශ්‍යතා ආදියට ආදායම් බදු සහන ලබා දී තිබුණා. ඒවා අමානුෂික විදිහට කප්පාදු කරලා. කප්පාදු කිරීමෙන් නතර නොවී සකලවිධ කලාවන්ට බදු පනවලා තිබෙනවා. 

මුදල අමාත්‍යවරයා පැවසුවා නේද කර්තෘ භාග බද්ද ඉවත් කළ බව?
එහෙම කටින් කිව්වට ප්‍රායෝගිකව කිරීමට බැහැ. මේක බොහොම භයානක පනතක්. ජනාධිපතිතුමාවත්, විෂය භාර අමාත්‍යවරයාවත් කටින් කීවාට මෙහි නීතිමය තත්ත්වය මත නිර්දේශ ඉවත් කර ගන්න බැහැ. පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන තමයි සංශෝධනය කළ යුතු වන්නේ. ලේඛක සංගමයට කර්තෘ භාග රඳවා ගැනීමේ බදු ඉවත් කරන බව පැවසුවත් එහෙම කරන්න බැහැ. යම් නිර්මාණ කෘතියක සම්පූර්ණ අයිතිය පැවරුවොත් තමයි රදවා ගැනීමේ බදු අයකිරීම නැවතෙන්නේ.

මේ පනත සංශෝධනය කරගැනීම සඳහා කලාකරුවන් විදිහට ඔබලා මොන වගේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරන්නේ?
අපි කොළඹදී මේ ගැන මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ පුවත්පත් සාකච්ඡාවන් පැවැත්වුවා. මෙහිදී කිසිම දේශපාලන මැදිහත්වීමකින් තොරවයි කලාකරුවන් එක්රැස් වී සිටින්නේ. ඊට පසු අපි කොළඹ මහජන පුස්තකාලයේදී සියලු කලාකරුවන් එක් රැස්වී සම්මන්ත්‍රණයන් පවත්වනවා. ඊළඟ පියවර විදිහට විරෝධය පෑමට එළියට බහින්න අපි බලාපොරොත්තු වෙනවා. කලාකරුවෝ කියන්නේ මිනිසුන්ගේ හදවතට කතා කරන පිරිසක්නේ. ඔවුන් එළියට බැස්සොත් අනෙක් වෘත්තිකයන් විරෝධය පානවාටත් වඩා බලපෑමක් ඇති වේවි.

රජය බදු අය කරන්නේ ඒ ඒ ක්ෂේත්‍රවලට සේවයක් කර පසුව ආණ්ඩුවට ආදායමක් ලබා ගැනීමට නේද?
පසුගිය අවුරුදු කිහිපය තුළ රජයෙන් කලාවට සෙතක් වෙලා නෑ. සංගීත ක්ෂේත්‍රයට මොනවද වෙලා තියෙන්නේ? වේදිකා නාට්‍යවලට මොන වගේ අනුග්‍රහයන්ද දක්වා තිබෙන්නේ? සාහිත්‍ය කලාව වර්ධනය වෙලාද? චිත්‍රපටි සංස්ථාව බෝඩ් ලෑල්ලකට සීමා වෙලා. ටෙලි නාට්‍ය වශයෙන් අවර ගණයේ නිෂ්පාදන බිහි වෙනවා. කොරියන්, හින්දි, දෙමළ, චීන බාල ටෙලි නාට්‍ය විකාශය කරනවා. රජයට මුදල් අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් දේශීය කලාකරුවන් මෙහෙම ගසා කන එක වැරදියි. විදේශ ටෙලි නාට්‍ය, විදේශ වෙළඳ දැන්වීම්, විදේශීය චිත්‍රපට ආදියෙන් අවශ්‍ය නම් බදු අයකර ගත හැකියි.

මේ ගැටලු ගැන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළේ නැද්ද?
නිදහස් කලා සන්ධානය වශයෙන් අපි ගිය අවුරුද්දේ මාර්තු මාසයේ සාකච්ඡාවක් ලබා දෙන්න කියලා ලිඛිතව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ. ලිපිය ලැබුණු බව දන්වා එව්වත් අද වනතෙක් සාකච්ඡාවක් ලැබුණේ නැහැ. අපි ආණ්ඩු විරෝධි ප්‍රශ්නයකින් කතා කරන්නේ නැහැ. අපි කියන්නේ අපිට ඇහුම්කන් දෙන්න කියලයි. පසුගිය ආණ්ඩුව සමයේත් අපි වැරදි අඩුපාඩුකම් පෙන්වා දුන්නා.

කලාකරුවන් එකතු වී විරෝධතා පැවැත්වීමෙන් පසු ඔබලාගේ හඬට බලධාරීන් කන්දේවි කියලා හිතනවද?
කලාකරුවන්, සාහිත්‍යවේදීන් කියන්නේ රටක අධ්‍යාත්මය පෝෂණය කරන ප්‍රධාන පුරුක. කලාකරුවන්ගෙන් තොරව ලෝකයේ කිසිම තැනක රාජ්‍යයක් ස්වයංපෝෂිත කිරීමට බැහැ. කලාකරුවන්ට රටේ වැසියන් ගෞරව කරනවා. ඔවුන් එකතු වී කරන ඉල්ලීම්වලට ඇහුම්කන්දීමට සිදුවේවි. මේ අවස්ථාවේ අපේ හඬට කන් දෙන්නේ නැත්නම් අපි අත්වැල් බැඳගෙන පාරට බහිනවා. එවිට අපේ හඬේ ප්‍රබලත්වය ආණ්ඩුවට දැනේවි.

ආණ්ඩුව බලයට පත්වෙන විට කලාවට, සාහිත්‍යයට සේවයක් සලසන බවට පොරොන්දු වුණානේ?
ජනාධිපතිවරයා ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට කලා සංවිධානවලට පොරොන්දු වුණා බලයට පත්වූ පසු ඉටු කරන කාරණා ගැන. කරුණු විසි ගණනක් ඉටු කිරීමට එකඟ වූ ලේඛනයක් මා ළඟත් තියෙනවා. නමුත් ඒ කරුණු එකක්වත් හරියට ඉටු කළේ නෑ. මම නම් වගකීමෙන් කියන්නේ මා දන්න ඉතිහාසය තුළ කලාව වෙනුවෙන් ඉතාම අයහපත් කරුණු කාරණා ඉෂ්ට සිද්ධ කළ රජය මේක බවයි.

ටෙලි නාට්‍ය බද්ද අහෝසි කිරීමට ජනපතිගෙන් නියෝගයක්

ටෙලි නාට්‍ය හා චිත්‍රපට අලෙවි කිරීමේදී සහ කර්තෘවරුන්ගේ කෘති සඳහා ගෙවීමේදී (කර්තෘ භාග) ලබන මුදල මත පනවා තිබූ 14ක රඳවා ගැනීමේ බද්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගය මත පසුගිය 6 දා අහෝසි කළ බව වාර්තා විය. ජනාධිපතිවරයා මෙම නියෝගය පනවා ඇත්තේ කලාකරුවන් හමුවී කළ සාකච්ඡාවක ඉල්ලීම් සැලකිල්ලට ගනිමිනි.


 කුසුම්සිරි 

සේයාරුව - සුමුදු හේවාපතිරණ

 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00