2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

අකුරු පෙන්වූ මිනිසා

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1567

සෑම වසරකම සැප්තැම්බරය හඳුන්වන්නෙ “සාහිත්‍ය මාසය” විදියට. ඒ තමා පොත්පත් ගැන කථාවෙන, අලුත් පොත් එළිදකින, පොත් ප්‍රදර්ශන තියෙන කාලය. ඊළඟට උදාවෙන ඔක්තෝ්බරය හඳුන්වන්නෙ “කීයවීමේ මාසය” විදියට. “කියවීම මිනිසා සම්පූර්ණ කරයි” කියලා කියවීමේ වැදගත්කම පිළිබඳව වැඩසටහන් පැවැත්වෙන්නෙ, මිලදී ගත්ත පොත් කියවන්න පටන් ගන්නෙ මේ මාසයෙ.

 

ඒත් ඒ හැම දේකටම “සාක්ෂරතාවය” එහෙමත් නැතිනම් අකුරැ ලියන්න, කියවන්න, තේරුම් ගන්න හැකියාව තියෙන්න ඕන. සරලවම කියනවා නම් ඉගෙන ගෙන තියෙන්න ඕන. එහෙම නැති අයට සාහිත්‍ය මාසයෙන්, කියවීමේ මාසයෙන් වැඩක් නෑ වගේම තමන්ගෙ ජීවිතය සුවදායක කරගන්නත් අවස්ථාවක් ලැබෙන්නෙත් නෑ. 

වාසනාවකට, මොන බාධක ගැටලු තිබුණත් පාසලට ගිහින් ඉගෙනගෙන ලෝකය දිනන්න මේ රටේ ඉපදෙන හැම කෙනාටම අද වරම් ලැබිලා තියෙනවා. ඒ අවස්ථාව අපිට හිමිවුනේ කියවීමේ මාසයෙ දවසක මෙලොව එළිය දැකලා බොහෝ දුෂ්කර ගමනක් මැදින් මේ රටේ ඉපදෙන හැම දරුවෙකුට බාධාවකින් තොරව නිදහසේ අධ්‍යාපනය ලබා ගන්න පාර කපා දීලා සාහිත්‍ය මාසයේ දවසක මෙලොවින් සමුගෙන ගිය ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මැතිතුමා නිසා.‍

විදේශිකයන්ට රට යටත් වුණාට පසුව ඉගෙන ගන්න අවස්ථාව හිමිවෙන්නෙ ධනය බලය තිබුණු, බටහිර පාලකයන්ට ගැතිකම් කරපු වලව්වල දරුවන්ට විතරයි. රැකියාවක් ලබාගන්න අධ්‍යාපනය අත්‍යවශ්‍ය නිසා රැකියාවල දොරටු විවෘත වුණෙත් ඒ අයට පමණයි. 1884 ඔක්තෝබර් 13 මෙලොව එළිය දැකපු කන්නංගර මැතිතුමා 1945  වසරෙදි “නිදහස් අධ්‍යාපන පනත” සම්මත කරලා මේ රටේ හැම දරුවකුටම නොමිලයේ අධ්‍යාපනය ලබාගන්න අවස්ථාව උදාකරදීපු නිසා එදා වලව්වල බැල මෙහෙවර කරපු අයගෙ දරුවන්ට පවා අද රටේ ලොකු තැන්වලට එන්න අවස්ථාව ලැබිලා තියෙනවා. කෙටියෙන් කියනවා නම් මේ සටහන ලියන මටත්, කියවන ඔබටත් ඒ හැකියාව ලැබුණෙ නිදහස් අධ්‍යාපනය නිසා. නිදහස් අධ්‍යාපනය නොතිබෙන්න වත් පොහොසත්කම් නැති පවුල්වල දරුවන්ට උරුම බැල මෙහෙවර කරන එක විතරයි.

කන්නංගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය ගෙනෙන්න උත්සාහ කරද්දි ඒකට බොහෝ බාධා දුෂ්කරතා එල්ලවෙලා තියෙනවා. විදේශිකයන්ටත් වඩා  විරුද්ධවෙලා ති‍යෙන්නෙ අපේ රටේ අපේම අය. “කන්නංගර හැම එකාටම නිකං ඉගෙන ගන්න දුන්නම ගහකින් ගෙඩියක් බාගන්නවත් එකෙක් නැතිවෙයි” එදා හිටපු සිංහල ජාතික නායකයො කන්නංගර මැතිතුමාට කියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි එතුමගෙ ගමන නතර කරන්න කුමන්ත්‍රණත් කරලා තියෙනවා. 

1936 තම පියාගෙ ගමින් මැතිවරණයෙන් දිනලා, 1945 දී රටටම නිදහස් අධ්‍යාපනය උරුම කරලා, තමන් හදපු මුල්ම මධ්‍ය මහා විද්‍යාලයත් ගමටම දීපු එකට ඒ  ගමේ අය  කන්නංගර මහත්මයට සැලකුවේ 1947 එතුමව පරාජය කරලා වෙනත් අයෙක් පාර්ලිමේන්තුවට යැවීමෙන්. කොහොමත් අපි කළගුණ නොදන්න ජාතියක්. දේශයේ අනාගතය වෙනුවෙන් සේවය කරපු හැමකෙනාටම අපි සැලකුවේ එහෙම. මුළු රටකම දෑස් පාදලා අඳුරෙන් එළියට ගත්තත්  කන්නංගර මැතිතුමා තමන් වෙනුවෙන් යමක් කරගත්තෙ නැති නිසා ජීවිතයේ සැඳැමය ගෙවලා තියෙන්නෙ ඉතා අසරණව. අවසාන කාලයෙ එතුමා ජීවත්වෙන්න රජයෙන් පිං පඩියක් පවා ඉල්ලුම් කළා කියලා සඳහන් වෙනවා.

ඉතා කනගාටුදායක අවසානයකට හිමිකම් කියපු කන්නංගර මැතිතුමා 1969 සැප්තැම්බර් 23 අපෙන් සමුගෙන යන්නම යනවා.  එතුමා ලබා දීපු දේවල් අද රටම භුක්ති වින්දත් අද රටේ බහුතරයකට එතුමව අමතකයි. මේ ගෙවෙන්නෙ අකුරු ඇහිඳගෙන විශ්වය ජයගන්න පාර පෙන්වපු එතුමව අනුස්මරණය කළයුතු සමය. එක එක රටවලින් ආනයනය කරපු පුහු වීරයො සමරනවට වඩා එතුමා වෙනුවෙන් පහනක් දල්වන්න පුළුවන් නම් ඒක ඉතා වටිනවා. ඒ නැතත් කළ යුතුම දෙයක් තියෙනවා. නිදහස් අධ්‍යාපනයෙන් තැනකට ආපු අපි, ඒ ලබා ගත්ත දේ මේ දේශයේ අනාගතය යහපත් කරන්න යොදවන එක. එතුමා අපෙන් බලාපොරොත්තු වුණෙත් ඒක. ඉතින් ඒ යුතුකම ඉටුකරමු නේද?

► අසිරු කරුණාරත්න

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00