2021 ජනවාරි 02 වන සෙනසුරාදා

ලේඛකයා විචාරක මතයට හිස නැමිය යුතුය...

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 43

- ප්‍රේමකීර්ති රණතුංග

ප්‍රවීණ ලේඛක, පුවත්පත් කලාවේදී ප්‍රේමකීර්ති රණතුංගගේ අලුත්ම නවකතාව දේවක්කේඩුව දයාවංශ ජයකොඩි සමාගමේ ප්‍රකාශනයක් ලෙස පසුගියදා නිකුත් විය. ප්‍රේමකීර්ති මලබාර් නෑයෝ, අවසාන නින්දගම, පොල්මට්ටා වැනි අපේ අතීතය පාදක කරගත් කෘති කිහිපයක්ම රචනා කර පාඨක ප්‍රසාදයට ලක් වූ ලේඛකයෙකි.

ඔබේ දේවක්කේඩුව නවකතාවේ නම අපට අලුත්. ඒ ගැන විස්තර කළොත්?

දේවක්කේඩුව යන නමේ අරුත වන්නේ දෙවියන් කෝප වීමෙන් ඇතිවන සිහි විකල් බවයි. මෙම නවකතාව මා ලීවේ මෙරට තවමත් ක්‍රියාත්මක වන නින්දගම් ක්‍රමයක් වන දේවාලගමක පදිංචිව සිටින බෙර වාදන ශිල්පියකු ඇසුරු කරගෙනයි. දේවාලවලට පූජා කර ඇති ඉඩම්වල අයිතිය ඇත්තේ දේවාලයටයි. එහෙත් දේවාලය වෙනුවෙන් රාජකාරි කරන විවිධ ශිල්පීන් ඉන්නවා. මෙම ඉඩම් පාලනය වන්නේ විහාර දේවාලගම් පනත යටතේයි. ලංකාව පුරාම දක්නට ඇති දේවාලවලට අයත් ඉඩම්වල පදිංචිව සිටින එම දේවාලයට රාජකාරි කරන පාරම්පරික පවුල්වල උදවියට රාජකාරිය ඉටුකිරීම සඳහා පමණයි අදාළ ඉඩම්වල පදිංචිව සිටීමට ඉඩ ලැබී තිබෙන්නේ. ඔවුන් බොහෝම දුෂ්කර ජීවිතයක් ගෙවන්නේ. කුඩා අතපසුවීමකින් වුවත් ඉඩමේ පදිංචියෙන් නෙරපා හැරීමට දේවාලයට පුළුවන්. දේවාල ඉඩම්වල භාරකාරයා වන්නේ අදාළ දේවාලයේ බස්නායක නිලමේවරයා. කතරගම දේවාලයේ පටන් ගම්වල ඇති කුඩා දේවාල දක්වා ක්‍රියාත්මක වන්නේ මේ ක්‍රමයයි. බෙර වාදන ශිල්පියකු තේමා කරගෙන මා දේවක්කේඩුව කෘතිය රචනා කළේ දේවාල ඉඩම්වල ජීවත්වන ජනතාවගේ ජීවන රටාව විවරණය කිරීමටයි.

ඔබ ඉංග්‍රීසි පාලන සමයෙන් පසු සමාජ විපරිණාමය පාදක කරගත් නවකතා ලිවීමට වැඩි කැමැත්තක් දක්වන බව පේනවා?

1815 දී උඩරට මහ වාසලේ සිදුවුණු විප්ලවය 1917 සිදුවූ රුසියානු විප්ලවයට සමාන ලෙස මා දකිනවා. එතෙක් තිබූ රාජාණ්ඩුව බිඳවැටී රජතුමා සහ බිසෝවරුන්, ඔවුන්ගේ ඥාතීන් සාමාන්‍ය පුද්ගලයන් බවට පත් වුණා. මේ සිද්ධිය තමයි අපේ රටේ සිදුවූ විප්ලවය. එදා සිට අද වනතුරුම මේ රට පාලනය වන්නේ උඩරට මහ වාසලේ සිදුවූ ඒ විප්ලවයේ දිගුවක් හැටියටයි. එදා සිට ගෙවුණු වසර දෙසීයේ හැම දවසක්ම පොත් ලියන අයට අපූරු මනස් චිත්‍රයක්. ඒ නිසයි මම ඒ කාලය ගැන උනන්දුවක් දක්වන්නේ.

කලකට පෙර ප්‍රේම කතා පාදක කරගත් කෘති රචනා කළ ඔබ, මෑතක සිට හුඟ දෙනකුට ආගන්තුක පෞරාණික දේවල් පාදක කරගන්නා බව පේනවා?

මා විශ්වාස කරන්නේ ගෙවී යන සෑම මොහොතක්ම නවකතාවක් සඳහා වස්තු බීජයක් බවයි. දින දසුනේ පෙරළෙන සෑම කොළයක්ම ගතහොත් ඉන් අපූරු කතාවකට වස්තු බීජයක් සපයා ගත හැකියි. 1977න් මෙහා ගන්න. එක්වරම මෙරටට විවෘත ආර්ථිකය පැමිණියා. එතෙක් තිබූ ආර්ථික ක්‍රමය වෙනස් වුණා. ගමේ හදාගත්ත හකුරු වෙනුවට පිටරටින් සීනි ආනයනය කළා. ඉතින් මේක අපූරු කතාවකට තේමාවක්. මා පොල්මට්ටා කෘතිය ලීවේ මේ සමාජ ස්ථර දෙක නිසා ඇතිවන සමාජයීය කැළඹීම තේමා කර ගනිමින්. මා දෝලි කෘතිය ලීවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා නෙරපා හැර ඉංග්‍රීසින් උඩරට බලය ලබාගත් පසු ඇතිවන සමාජයීය වෙනස්කම පාදක කර ගනිමින්. එතෙක් රජතුමාට බිම දිගා වී ආචාර කළ නිලමේවරුන් රජතුමා බලයෙන් පහවූ පසු අලුත් ඉංග්‍රීසි පාලකයන්ට සේවය කරනවා. රාජසිංහට වඩුගයා කියා නින්දා කරනවා. කුමන පාලකයා ඉහළ ස්ථරයට පත්වුවත් ජනතාවට ආඥා පනවන්නේ පරණ නිලමේවරයාමයි. මේක තමයි චක්‍රය. ඒ චක්‍රය අදත් එහෙමමයි. නවකතාකරුවකුට එවැනි පෙරුළියක් ගත්තම මනසේ විසල් චිත්තරෑපයක් මවාපාන්න පුළුවන්. ඉතින් මා ලියන්නේ එහෙමයි.  අවසාන නින්දගම කෘතියෙත් මා ලීවේ උඩරට තිබූ නින්දගම් ක්‍රමය අහෝසි වූ ආකාරය ගැනයි. ඒ සමාජ පරිවර්තන සිද්ධ වුණේ වසර සීයකට එහා වුවත් එහි බලපෑම අදත් අපේ සමාජයේ තිබෙනවා. 

මේ නවකතාවලට ලැබුණු පාඨක ප්‍රතිචාර විස්තර කළොත්?

ඉතාම ඉහළ පාඨක ප්‍රතිචාර මගේ අලුත් පොත් සඳහා ලැබෙමින් තිබෙනවා. අවසාන නින්දගම, මලබාර් නෑයෝ සහ පොල්මට්ටා යන නවකතා තුනම පිට පිටම අවුරුදු තුනක් ස්වර්ණ පුස්තක දෙවැනි වටය සඳහා නිර්දේශ වුණා. ඒ සඳහා බලපෑවේ එක් අතකින් පාඨක ජනතාවගෙන් ලැබුණු සාර්ථක ප්‍රතිචාරය. මා ලේඛකයෙක් වගේම ජනමාධ්‍යවේදියෙක්. මගේ රුකියාව ලිවීම. පාඨකයෝ තමයි මගේ පොත්වල පළමු විචාරකයෝ. ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව මා ලියන මාර්ගය නිවැරදියි කියා මට හිතෙනවා. පාඨක ප්‍රතිචාරය කියන එක ලේඛකයකුට මහමෙරක් වගේ දෙයක්.

ඔබේ නවකතා කිහිපයක්ම ස්වර්ණ පුස්තක දෙවැනි වටයට පැමිණියත් අවසන් වටයෙන් හැලුණා. සමහරු කියන්නේ ස්වර්ණ පුස්තක එක්තරා පිරිසකගේ බූදලයක් බවයි. ඒ ගැන කිව්වොත්?

ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශ වීම මට නම් සෑහීමට පත්වෙන්න පුළුවන් ජයග්‍රහණයක්. ඒ අවුරුදු තුනේදීම පොත් තේරෑ විනිශ්චය මණ්ඩල විවිධයි. එකම කණ්ඩායම නෙවෙයි. එතැනදි මගේ පොත් දෙවැනි වටයට නිර්දේශ වුණා කියන්නේ විනිශ්චය මණ්ඩල අපක්ෂපාතයි කියා මා හිතනවා. මෙම නිර්දේශවීම මගින් ලේඛකයාට පන්නරයක් ලැබෙනවා. ආත්ම තෘප්තියක් ලැබෙනවා. ස්වර්ණ පුස්තක සම්මානය නිසා සිංහල නවකතාවට සමාජයෙන් ලොකු ආකර්ශනයක් ලැබිලා තියෙනවා. මා නම් එය අගය කරනවා.

අද විචාරකයන් අවධානය යොමු කරන්නේ එක්තරා පිරිසකගේ නවකතාවලට පමණක් බවයි පේන්නේ. ඔබේ නවකතාවලට ලැබුණු විචාරක ප්‍රතිචාර කෙසේද?

පොතක් ලිව්වාට පසු එය ලේඛකයාගෙන් ගිලිහිලා ඉවරයි. ඉන්පසු තිබෙන්නේ වෙළෙඳ ක්‍රියාවලියක්. පොතේ හොඳ මෙන්ම නරකත් කියවෙන විට පාඨකයන්ට එමගින් මඟපෙන්වීමක් ලැබෙනවා අන්න අර පොත ගැන මේ මේ දේවල් විචාරකයෝ කියනවා කියලා. මේ රටේ වසරකට පොත් දහස් ගණනක් ලියැවෙන වටපිටාවකදි යම් පොතකට හොඳ හෝ නරක පැත්තෙන් විචාරක අවධානයක් ලැබීම ගැන සතුටු විය යුතුයි. පොතක් ගැන හොඳ මෙන්ම නරකද භාරගැනීමට ලේඛකයන් නිහතමානී විය යුතුයි. මුල් කාලෙ මගේ සමහර පොතක් ගැන විවේචනයක් තිබුණා ඒවා වාර්තාශීලියි කියලා. ඒක හරි. ඒ අඩුපාඩු මගේ ඊළඟ පොත්වලදි හදාගත්තා. මගේ පොත් ස්වර්ණ පුස්තක දෙවැනි වටය නියෝජනය කළේ මා ඒ අඩුපාඩු හදාගත් පසුවයි. සාර්ථක පොතක් ලියැවෙන්න නම් විචාරක අදහස්වලට හිස නවන්න ලේඛකයා නිහතමානී විය යුතුයි.

 කුසුම්සිරි

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00