2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා

හුඟදෙනකුට අවශ්‍ය ක්ෂණික කවියෙක් වෙන්නයි

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 60

- ගොඩගේ සම්මානලාභී සුනන්දා රණසිංහ

1980 දශකයේ මුලින්ම කවියට එළඹි සුනන්දා රණසිංහ කිවිඳියකි. පාඨකයා සමඟ හෘද සංවාදයක යෙදෙන ඇයගේ තැනි බිමක සිහින ඉම කෘතිය 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳනා නිර්දේශ වූ අතර රන්වන් පත් සඳහා 2020 ගොඩගේ සාහිත්‍ය සම්මානය හිමි විය.

රන්වන් පත් කවි පොත ගැන විස්තරයක් කළොත්?

මේ පොත මගේ කවි මගේ සන්ධිස්ථානයක් ලෙස මා දකිනවා. මම දිගු ගමනක් බොහොම හිමින් ආ කිවිඳියක්. උල්කාපාතයක් වගේ කවි ලොව උඩින් පහළ වූ කිවිඳියක් නොවේ. මං හිතන්නේ මගේ %රන්වන් පත්^ කාව්‍ය සංග්‍රහය ඒ සියලු සිහිනවල මුදුන්පත් වීම. මේ වනවිට මම කවි පොත් හතක් පළකොට තිබෙනවා. මා වසර දහයක් පමණ කාලයක් කොළඹ කලාපයේ සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය ගුරු උපදේශිකාවක ලෙස කටයුතු කළා. ඒ කාලය තුළ හා ලද විවිධාකාර අත්දැකීම් ඇසුරු කරන්නට ලැබුණු විවිධාකාර පුද්ගලයන් ගැන මගේ රන්වන් පත් කවි පොත තුළ අන්තර්ගතයි. ඒ නිසා මේ පොතේ වැඩබිම කොළඹ කර්කශ මෙන්ම සොඳුරු සමාජ ආර්ථික පරිසරයයි.

තුරුණු වියේදී සක්‍රීයව සිටි කිවිඳිය පසුව නිහඬ වූවා සේ හැඟෙනවා. ඒ ඇයි?

2007 මගේ නිල් තුරු යට කවි පොත පිටවුණාට පස්සේ මගේ ඊළඟ කවි පොත නැති බිමක සිහින ඉම නිකුත් වෙන්නේ 2017 වසරේ. මේ දස වසරක නිහඬ බව මගේ රාජකාරි ජීවිතයේ අධික අවිවේකය වෙන්න පුළුවන්. මේ කාලේ මම හිටියේ කොළඹ. නමුත් ප්‍රකාශිත කවිය නිහඬ වූ මේ කාලය තමයි මගේ කවියේ සරුසාර වැඩබිම. මේ කාලය තුළ බොහෝ පොත්පත් කියවීමේ අවස්ථාව මට හිමි වුණා.

අද විශාල තරුණ පිරිසක් කවිය වටා එකතු වී සිටිනවා. කවි පොත් පළවීමේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. මේ ගැන ඔබ කියන්නේ කුමක්ද?

අද කවිය කියන්නේ ඉතා ආකර්ශනීය කලා මාධ්‍යයක්. ඒ ගැන කවියට ආදරය කරන අය හැටියට අප සතුටු විය යුතුයි. මේ වනවිට වසරකට මුද්‍රණයෙන් පිටවන කවි පොත් ගණන 150ක් 200ක් විතර වෙනවා. ඒ විතරක් නෙවෙයි කවියට ඉතා හොඳ වෙළෙඳපොළකුත් අද වනවිට නිර්මාණය වෙමින් තියෙනවා. අපි මෙවරත් කොළඹ පොත් ප්‍රදර්ශනයේ කවි පොත් සල්පිලෙනුත් ඒ බව දැක්කා. කවිය ගැන ප්‍රමාණවත් විචාරයක් නැතිකමේ අඩුව අද සෑහෙන පමණකට දක්නට ලැබෙන්නක්. එය කවියේ ඉදිරි ගමනට විශාල බාධාවක්. සිදුවිය යුත්තේ කවි පොත් පළවන සංඛ්‍යාව ප්‍රමාණාත්මකව ඉහළ යාම නොවේ. ඒවායේ ගුණාත්මක පක්ෂයේ වර්ධනයක් සිදුවීමයි. ඒ සඳහා විචාරකයාට කළ හැකි කාර්යභාරය සුවිශාලයි.

කවි පොත් සංඛ්‍යාව වැඩි වුවත් කවිය ගැන හරියාකාර අධ්‍යයනයක් කවියා තුළ ඇති බවක් නොපෙනේ. මේ ගැන කුමක් කියන්නේද?

මේ කරුණ නම් අද පළවන කවි පොත් බොහොමයකින් සනාථ වෙනවා. ඒත් මේ චෝදනාව හරිම සාම්ප්‍රදායිකයි. හැමදාම සාහිත්‍යකරණයෙහි නියැලුණු අයට මේ චෝදනාව එල්ල වුණා. ඒ වුණත් පොතපත පළවෙන එක නතර වුණේ නෑ. ඒ වගේම මේ චෝදනාව අපට ලෙහෙසියෙන් බැහැර කරන්නත් බෑ.

අද බොහෝ දෙනෙක් ක්ෂණික කවියන් ලේඛකයන් වීමට උත්සාහ දරනවා. ඇතැම් අයගේ එකම අරමුණ සෑම වසරකම පොතක් දෙකක් පළකරගැනීමම පමණයි. ඒ ව්‍යායාමය තුළ ඔවුනට කවිය ගැන අධ්‍යයනයක් කරන්නට, කවි කියවන්නට ඉඩහසරක් නොලැබීම පුදුම විය යුතු කාරණයක් නොවෙයි.

මුහුණු පොතේ අද කවි වැහිවැහැලා. ඉන් කවියෙහි වර්ධනයක් සිදුවිය හැකිද?

කලින් කල අලුත් අලුත් මාධ්‍ය බිහිවෙනවා. මේ කිසිම මාධ්‍යයක් හිස් කියලවත් වැරදියි කියලවත් කියන්න පුළුවන්කමක් නෑ. වෙනස්වීම ලෝක ස්වභාවය. එය එසේ නොවුණානම් අපි තවමත් ගල් ගුහාවල වනගත ජීවිතයක ඉන්න එපායැ. මුහුණු පොතෙන්ම ඇවිත් කවි කෙතට සරුසාර අස්වනු ගෙනා නූතන කවි කිවිඳියන් රුසක් අද අපට හඳුනාගන්න පුළුවන්. රවි සිරිවර්ධන, ඉලක්ෂ ජයවර්ධන, දිනූ රාජගුරු, චින්තක සමන්, ළහිරු කිතලගම, රුවන් බන්ධුජීව ඉන් කිහිපදෙනක්. මේ අතරිනුත් ඇතැමෙක් තනිකරම සයිබර් අවකාශය හරහාම සිය කවියෙන් නමක් ගොඩනගාගත් අය. මේ අය කවියට කළ මෙහෙවර සුළුකොට තැකිය නොහැකියි. ඉතින් අපි කියන්නේ කොහොමද මුහුණුපොත හිස් මාධ්‍යයක් කියලා. එහෙම කියන එක කිසිසේත් සාධාරණ නෑ.

හැබැයි මේ අනෝරා වැහි වගේ පළවෙන මුහුණුපොතේ කවි ගැන නම් යමක් කිව යුතුමයි. මේවා දකින ඇතැම් අය මේවාට කමෙන්ට් දාන්නේ ඒ කවි කියවලාද කියන එකත් සැකයි. නම දැක්කගමන් අඳුරනවනම් කමෙන්ට් දානවා. සමහරු මේවයින් මුලා වෙනවා. අනවශ්‍ය ලෙස පිම්බෙනවා. ඒක ලොකු හානියක්.

70 - 80 දශකවලට සාපේක්ෂව අද කවියේ වර්ධනයක් සිදුව ඇත්ද?

70 – 80 දශක කියන්නේ අපේ රටේ පොදුවේ සියලු කලා ක්ෂේත්‍රවල තරමක දියුණුවක් තිබුණු කාලයක්. 1977 විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දීමත් 1983 කළු ජූලියත් සමඟ මෙහි සිදුවන දෙදරායාම අති විශාලයි. මේක ලංකාවට පමණක් නොවේ ලෝකයේ කුමන රටකට වුවද කලින් කල ඇතිවන තත්ත්වයක්. මේ උච්චාවචන අපේ සාහිත්‍ය වංශයේ ඉතිහාසය බැලුවොත් කොතෙකුත් දකින්නට පුළුවන්. ඒ නිසා අපේ සාහිත්‍ය කලාව පරිහිලා කියලා අපේක්ෂා අත්හරින්නට මේක හේතුවක් කරගත යුතු නැහැ. කොහොමත් යුද්ධ කාලයක පශ්චාත් යුද්ධ කාලයක සාහිත්‍ය කලාවේ යම් පරිහානියක් දකින්නට පුළුවන්. ඒක එක රුයකින් යළි ගොඩනැගෙන්නේ නෑ. නිදසුනක් විදිහට අපේ වේදිකා නාට්‍යය, විශේෂයෙන්ම ගීතය කෙතරම් සරල වින්දනයකට නැඹුරු වෙමින් හරසුන් වුණාද කියන එක බලන්න. ඒ හැටියට අපේ කවිය ගැන අපි සතුටු විය යුතුයි. යම් පසුබෑමක් තිබුණා වුණත් ඉහත කී කලා ශානර වුවත් අද යම් සුභාවිත මගකට හැරෙමින් තියෙනවා.

ඒ නිසා 70 / 80 දශක සමඟ සංසන්දනාත්මකව අද තත්ත්වය ගැන කතා කරන්න බැහැ. අපේ රට මුහුණ දුන් වාතාවරණයන් සමඟ සසඳා බලනවිට කවියෙන් අපි ඇවිත් තියන දුර ගැන සතුටු වෙන්න පුළුවන්.

 කුසුම්සිරි 

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:01
 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00