2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

අපේ විචාරකයෝ රහස් පරීක්ෂක පොත්වලට බයයි...

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 62

සිංහල සාහිත්‍යයේ ස්වතන්ත්‍ර රහස් පරීක්ෂක නවකතා නැවතත් ප්‍රචලිත කිරීම අරමුණු කරගත් ජයසංඛ කරුණාරත්න මේ වනවිට සාතන්ගේ හෝරාව, ධවල සංග්‍රාමය, නො. 999 බංගලාව, ගිනියම් ඇස් ඇතුළු කෘති රැසක් ලියා තිබේ. ඔහුගේ අලුත්ම නවකතාව වන දික්කන්ද වලව්ව පසුගියදා දයාවංශ ජයකොඩි ප්‍රකාශනයක් වශයෙන් නිකුත් කෙරිණි.

ඔබ රහස් පරීක්ෂක ශානරයේ නවකතා ලිවීමට වැඩි කැමැත්තක් දක්වන බව පේනවා. අලුත්ම නවකතාව වූ දික්කන්ද වලව්වත් ඒ ආරේ කතාවක්. මෙහි පසුබිම ගැන විස්තර කළොත්...
දික්කන්ද වලව්ව රහස් පරීක්ෂක ගණයට අයත් කෘතියක් තමයි. වර්ෂ 1918දී පළවූ පියදාස සිරිසේනගේ ඩිංගිරි මැණිකාගෙන් තමයි ලංකාවේ මෙය පටන් ගත්තේ. ඊට පසු ඔහු කෝන්ගොඩ වික්‍රමපාල නමින් රහස් පරික්ෂක චරිතයක් මැව්වා. පියදාස සිරිසේනගේ පොත් ඉහළ අලෙවියක් වාර්තා කරනවා. ඒත් සිංහල සාහිත්‍ය තුළ වෙනම ශානරයක් වශයෙන් රහස් පරීක්ෂක කතා බිහිවීම හැත්තෑව දශකයෙන් පසු නැවතිලා තියෙනවා. ඒ අඩුව නැති කරල මෙම නවකතා සම්ප්‍රදාය වර්තමානයට සම්ප්‍රේෂණය කිරීමයි මගේ අරමුණ.

මේ විදිහේ කතාවලට කැමැත්ත දැක්වීමට විශේෂ හේතුවක් තිබෙනවාද?
මා කුඩා කළ සිටම බොහෝ ලෙස කියැවීමට ඇබ්බැහි වූ කෙනෙක්. අතට හසුවන ඕනෑම දෙයක් කියවීමට මා එකල පෙළඹුණා. ඒ අතුරින් පිටුවෙන් පිටුවට කුතුහලය දනවන තව තවත් කියැවීමට පොළඹවන අන්දමේ රහස් පරීක්ෂක කෘතිවලට දැඩි ඇල්මක් දැක්වූවා. ඒ කැමැත්ත තමයි අද වනවිට මා මේ දෙසට තල්ලු කර දමනු ලැබුවේ.

ලෝකයේ අද රහස් පරීක්ෂක කතා ඉතා ජනප්‍රියයි. නමුත් ලංකාවේ මේ කතා එතරම් ලියවෙන්නේ නෑ නේද?
ඒකට හේතුව මෙරට විචාරකයින් ඒ පිළිබඳ දක්වන ඇල්මැරැණු ආකල්පය. ඔවුන් මේ පොත්වලට කැමති නැහැ. අතීතයේ මෙම කතා අප රටේ පාඨකයන් අතර ජනප්‍රියත්වයේ හිණිපෙත්තේම තිබූ 1960 දශකයේ ඒවාට විචාරකයින් ගෙන් එල්ලවූයේ හොඳ ප්‍රතිචාරයක් නොවෙයි. එහි ප්‍රතිඵලයක් විදියට මෙය චූල සාහිත්‍යාංගයක් ලෙස වසර ගණනාවක්ම වැළලී ගොස් තිබුණා. පොඩි ළමයි නරක් කරන පොත් බවට මතයක් පැතිරුණා. ඒ කාලෙ ඩීමන් ආනන්ද, චන්ද්‍රසේන ද සිල්වා, කේ. ලයනල් පෙරේරා, වැලිහිඳ මුනිරත්න වැනි ලේඛකයන් රහස් පරීක්ෂක කතා රාශියක් ලිව්වා. බටහිර ගත්තම මේ කතා සම්ප්‍රදායට ලොකු තැනක් තියෙනවා. ඒවා පිළිබඳ විශ්වවිද්‍යාලයීය මට්ටමෙන් පර් යේෂණ පවා සිදුකරනවා. ඒ පිළිබඳ සම්මාන පවා ලබා දෙනවා. ඇමරිකාවේ Mystery Writers of America (MWA) සංවිධානය විසින් පිරිනමන Grand Master Award එවැන්නක්.

පාඨකයන්ගෙන් ඔබේ පොත්වලට මොනවගේ ප්‍රතිචාරද ලැබෙන්නේ?
ඔවුන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. රහස් පරීක්ෂක නවකතා කෘති සිංහල සාහිත්‍යට එකතුවීම හරිම අල්පයි. මෙම වර්ගයේ  කෘති හරහා මිනිසුන් වැඩි වැඩියෙන් කියැවීමට පොළඹවන්න පුළුවන්. ඊටපසු ඔවුන් වෙනත් සම්භාව්‍ය කෘතිවලට යොමුකළ හැකියි. එම නිසාම පාඨකයින් කුතුහලයෙන් කියවාගෙන යා හැකි මෙවැනි කෘති පිළිබඳ දැඩි උනන්දුවක් දක්වනවා. ජ්‍යාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පවා වැඩිම අලෙවියක් වාර්තා කරන කෘති අතර මෙම ශානරයේ කෘති අනිවාර්යයෙන් තිබීමෙන්ම එය පැහැදිලියි.

රහස් පරීක්ෂක කතා පරිවර්තනත් අද බහුලයි නේද?
ඔව්. හැම අවුරැද්දකම ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් පොත් විශාල වශයෙන් අප රටේ විකිණෙනවා. ස්ටැන්ලි ගාර්ඩ්නර්, අගතා ක්‍රිස්ටි, ප්‍රෙඩ්රික් ෆෝසයිත් වාගේ ලේඛකයන්ගේ පරිවර්තනත් රටේ ජනප්‍රිය වෙලා. විශේෂයෙන් තරුණ හා යොවුන් පරපුර මේවාට දැඩි ඇල්මක් දක්වනවා.

සම්මාන විනිශ්චය මණ්ඩල මේ ගණයේ කතාවලට එතරම් ප්‍රිය කරන්නෙ නෑ වගේ...
ලංකාවේ සාහිත්‍ය සම්මාන උලෙළ සඳහා තෝරා ගන්නේ බොහොම සීමිත මාතෘකා ඔස්සේ ලියැවුණු කෘති පමණයි. බොහෝ විට ඒවා සමාජීය ගැටලු පිළිබඳ සාකච්ඡා කරන කෘතින්. බටහිර නම් සම්මාන සදහා විවිධ ශානර ඔස්සේ ලියැවුණු විවිධ කතා තෝරා ගන්නා නමුත් ලංකාව තවමත් එහෙම දියුණු තත්ත්වයක නැහැ. සම්මාන උළෙල ආකෘති වෙනස් විය යුතුයි කියන තැනක මම ඉන්නවා. එහෙම නැත්නම් විකල්ප සම්මාන උළෙලක් පිළිබඳ අපිට හිතන්නට වේවි.

 කුසුම්සිරි

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:01
 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00