2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

අපට හිටියේ මං පොර විචාරකයෝ

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, ප.ව. 03:14 339

- මහාචාර්ය ලියනගේ අමරකීර්ති

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති සම්මානනීය නිර්මාණශීලී ලේඛකයෙකි. ඔහු සාහිත්‍ය පිළිබඳ ශාස්ත්‍රීය කෘති රැසක කතුවරයාය. අමරකීර්තිගේ අලුත්ම කෙටිකතා කෘතිය %ගෙදර^ වට සිතියම සහ ඉතිහාසයක් තුළ සාහිත්‍යය පරිවර්තන කෘතිය පසුගියදා විදර්ශන ප්‍රකාශන වශයෙන් නිකුත් විය.

ඔබගේ ගෙදර වට සිතියම කෙටිකතා සංග්‍රහය ගැන කිව්වොත්?

ඒක මගෙ අටවෙනි කෙටිකතා පොත. මම දිගටම උත්සාහ කරලා තියෙන දෙයක් තමයි අප ජීවත්වෙන සමාජය ගැන විනිවිදින තේමාවක් සහිතව කතාවක් කියන අතරෙ කතා කීමේ විවිධ ප්‍රයෝග අත්හදා බලන එක. මේ පොතෙත් ඒ ලක්ෂණ තියෙනවා. කෙටිකතාව මට නම් අප ගැනම සාමූහික ආත්ම පරීක්ෂාවක යෙදෙන සංස්කෘතික ගවේෂණයක මෙවලමක්. ඒ අතර කතාව කියන්නෙ සෞන්දර්ය වස්තුවක්. අර ගවේෂණයෙන් වෙන්කරල ගත්තත් සිත්ගන්නා සෞන්දර්ය වස්තුවක්. ආකර්ෂණීය නිර්මාණයක්. අන්න එවන් ආකර්ෂණීය සෞන්දර්ය වස්තුවක් හඹායාම මේ කතාවලත් තියෙනවා කියල හිතන්න මම කැමතියි.

මේ අතරම ඔබ මහාචාර්ය චාල්ස් හැලිසිගේ කෘතියක් පරිවර්තනය කරනවා. එය සිංහල සාහිත්‍යයේ වැදගත් සිද්ධියක් විදිහට අපි දකිනවා.

ඔබ එහෙම දකිනවා නම් මට සතුටුයි. ඒක ඉතා වැදගත් කුඩා පොතක්. මීට අවුරුදු දාහතකට විතර කලින් ඇමරිකාවෙ විශ්වවිද්‍යාල කිහිපයක උගන්වන මහාචාර්යවරැ පිරිසක් ආසියානු මහාචාර්යවරැ කීපදෙනෙකුත් එකතු කරගෙන පිටු 1000කට වැඩි විශාල පොතක් පළ කළා ආසියානු සාහිත්‍ය සංස්කෘතිය ගැන. ඒ පොතට දිග පරිච්ඡේදයක් ලිව්වා මහාචාර්ය චාල්ස් හැලිසි. මම පරිවර්තනය කරලා තියෙන්නෙ ඒ රචනය. එය ස්වාධීන ග්‍රන්ථයක් විදියටත් පැවතිය හැකි එකක්. එය අපේ රටේ සාහිත්‍ය ඉතිහාසය අධ්‍යයනය කරන අය කියවන්න වටිනවා. අනූව දශකය මැද විතර වෙන කොට ලංකාවෙ සිංහල අධ්‍යයනාංශවල සිටි ද්විභාෂික මහාචාර්යවරුන් විශ්‍රාම ගන්න වයසට ඇවිත්. ඉංග්‍රීසි වගේ භාෂාවලින් සිංහල සාහිත්‍යය ගැන කිසිවක් ලියන්න පුළුවන් ආචාර්යවරැන්ගේ හිඟයක් ආවා ඒ කාලෙ. දැන් දැන් නම් දෙතුන් දෙනෙක් ඉන්නවා. අනිත් බොහෝ දෙනෙකුට ජාත්‍යන්තර අවකාශවල අපේ දේවල් ගැන කතා බහ කරන්න, ලියන්න හැකියාව නෑ. අන්න ඒ වගේ කාලෙක මහාචාර්ය හැලිසි ලියූ මේ රචනය ලොකු අඩුවක් පුරවනවා. අපේ පැරුණි සාහිත්‍ය ඉතිහාසය අර්ථකථනය කළ හැකි ආකාර කීපයක් ඔහුගේ පොතෙන් විවර වෙනවා.

තුලනාත්මක සාහිත්‍ය අධ්‍යයනයේ වැදගත්කම ඔබ නිතරම කියනවා. අප රට තුළ සිංහල දෙමළ සාහිත්‍ය කෘති පවා තුලනාත්මකව අධ්‍යයනය කෙරෙන්නේ නෑ නේද?

තුලනාත්මක සාහිත්‍ය අධ්‍යයන විධි ගණනාවක් තියෙනවා. ඒ විෂයෙන් අවධානය යොමු වන්නේ යම් ජාතික භාෂා කිහිපයකින් පහළ වන සාහිත්‍ය කෘති තුලනාත්මකම හැදෑරීම. මොකද තුලනාත්මක සාහිත්‍ය ක්ෂේත්‍රයේ අදහසක් තියෙනවා සාහිත්‍ය නිර්මාණය නැමැති මනුෂ්‍ය ක්‍රියාව සම්පූර්ණයෙන් වටහාගන්න නම් තනි ජාතික භාෂාවක් ඇතුළෙ හිරවෙලා ඒක කරන්න බැරි බව. කිසිම තනි සංස්කෘතියකට හැකියාවක් නෑ සාහිත්‍යයික විශිෂ්ටත්වය අපටයි අයිති කියන කියාපෑම් කරන්න. නිදර්ශනයකට කවිය ගන්න. කවිය කියන්නෙ මේකයි කියලා තනි සාහිත්‍ය සංස්කෘතියක සිට තේරැම් ගන්න බෑ. සංස්කෘත මහා කාව්‍යයත් කවි විධියක්. ජපන් හයිකු කවියත් කවි විදියක්. ශේක්ෂ්පියර් සොනට් කියන්නෙත් කවි විදියක්. පර්සියානු ගසල් කියන්නෙත් කවි විධියක්. ප්‍රංශ නිදහස් කවිය කියන්නෙත් කවි විදියක්. සිංහල සිව්පදය කියන්නෙත් කවි විදියක්. ග්‍රීක ලිරික් කවි කියන්නෙත් කවි විධියක්. දැන් බලන්න කවිය නමැති වස්තුව තේරුම් ගන්න වෙන්නෙ මේ සියලු කවි විධි ගැන අවබෝධයකින්. ඒක කියන්නෙ ඒ අවබෝධය තුලනාත්මක වෙන්නම ඕනෙ. ඒක අන්තර්සංස්කෘතික අවබෝධයක්. ඒකයි තුලනාත්මක සාහිත්‍ය අධ්‍යයනය වැදගත් වෙන්නෙ. ලංකාව කියන ජාතික රාජ්‍ය ඇතුළෙ භාෂා දෙකකින් ජනවර්ග තුනක් සිංහල සහ දෙමළ භාෂාවලින් සාහිත්‍යකරණයේ යෙදෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, ආදී ජනවර්ග ඉංග්‍රීසියෙන් සාහිත්‍යකරණයේ යෙදෙනවා. සිංහල සහ දෙමළ භාෂාවලින් කෙරෙන සාහිත්‍ය තුලනාත්මකව හැදෑරීම හොඳ දෙයක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නම් අපි එහෙම පාඨමාලාවක් හඳුන්වලා දීලා තියෙනවා. නමුත් එය පවත්වාගෙන යන්න වෙලා තියෙන්නෙ සිංහලට පරිවර්තික දෙමළ සාහිත්‍ය ඇසුරින්. දෙමළ සාහිත්‍ය දෙමළ බසින්ම කියවන්න පුළුවන් පිරිසක් බිහිවෙන්න ඕනෙ. අනික් පැත්තත් ඒ වගේ. නමුත් සිංහල සාහිත්‍ය සිංහලෙන්ම කියවන දෙමළ සහ මුස්ලිම් අය සැලකිය යුතු පිරිසක් ඉන්නවා.

බොහෝ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පවා තම තෘප්තියට පොත් කියවීම, විචාර ලිවීම වගේ සාහිත්‍ය කටයුතු අඩුවෙන් කරන බවයි අපට පෙනෙන්නේ?

සාහිත්‍ය කලා සංවාදයේ නිරන්තරයෙන් යෙදිලා ඉන්න එක ලේසි වැඩක් නෙමේ. අලුත් න්‍යායික කතිකාව දැනගන්න ඕනෙ. ලෝකයේ සාහිත්‍ය අධ්‍යයනය දැනට පවතින තත්ත්වය දැනගන්න ඕනෙ. ඒ සියල්ලටමත් වඩා සියුම් රසිකත්වය සහ විචාරාත්මක චින්තනයේ හුරුවක් තියෙන්න ඕනෙ. සාහිත්‍ය කලා ආදිය ගැන ලාලසාවක් හෙවත් අභ්‍යන්තරික ගින්නක් තියෙන්න ඕනෙ. එහෙම අය අඩුයි. එහෙම ලාලසාවක් තියෙන අයට වුණත් තමන්ගෙ රචනා පළ කරන්න අවකාශ නෑ. තරමක් දිග ලිපි පළ කරන සඟරා සංස්කෘතියක් නෑ.

හැබැයි ඉතින් ඉස්සර වුණත් අතලොස්සක් දෙනෙක් නේද? එවැනි සංවාදවලට දායක වුණෙ? කාලෙක ධර්මසිරි ඒකනායක, කාලෙක ආරිය රාජකරුණා, කාලෙක සරච්චන්ද්‍ර වික්‍රමසූරිය, කාලෙක සුනන්ද්‍ර මහෙන්ද්‍ර, කාලෙක සුචරිත ගම්ලත්, කාලෙක විමල් දිසානායක, කාලෙක චන්ද්‍රසිරි පල්ලියගුරු, කාලෙක ජිනදාස දනන්සූරිය. ඔය වගේ ආචාර්ය මහාචාර්යවරු ටික දෙනෙක් නේද ඔය සංවාදෙ හිටියෙ. අනික් අය බොහෝ දෙනෙක් විශ්වවිද්‍යාලවල අය නෙමේ.

සාහිත්‍ය කෘතිවල ගුණාත්මක බව වර්ධනය කරන්න විචාර කලාවක් පැවතිය යුතුයි. අපේ “විචාර කලාවක්” නම් ඇත්තෙම නෑ නේද?

කෘතිවලට පහර දීල තමන් වර්ධනය වෙන්න තැත් කරන අය තමයි ලංකාවෙ විචාරකයො කියලා සාමාන්‍යයෙන් සැලකුණේ. එවැනි විචාරවල සහාය නැතුවත් අපේ නවකතා, කෙටිකතා සහ කවි සෑහෙන වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා. මමත් ඇතුළු අලුත් පරම්පරාවෙ අය ලියලා තියෙන කෘති අතර තියෙනවා මේ කාලෙ ලියවෙන ඕනෑම ජාත්‍යන්තර සාහිත්‍යයක් එක්ක එක පෙළට තියන්න පුළුවන් කෘති. ඒ තත්ත්වෙට ඇවිල්ල තියෙන්නෙ විචාරකයන්ගෙ මහලොකු උදව්වකින් නෙමේ. ඒ අයගෙ හිංසාවන් මැද්දෙ. හොඳ විචාරයක් තියෙන්නෙ ඕනෙ කෘතිය සහ පාඨක සමාජය සමග සංවාදය ඇති කරන්න.

අද විශාල තරුණ සාහිත්‍ය නිර්මාණකරුවන් පිරිසක් දැකගත හැකියි. ඔබ සාහිත්‍යයේ හෙට දවස දකින්නේ කෙසේද?

ෆේස්බුක් වැනි සාමාජ මාධ්‍ය නිසා විශාල පිරිසක් ඉන්නවා වගේ පෙනුණට එහෙමම නෑ. අද කෙටිකතා ක්ෂේත්‍රයට බරපතළ විදියට ඇතුළු වුණ තරුණ කෙනෙක් නැති තරම්. ඉසුරැ චාමර සෝමවීර, සුසන්ත මූණමල්පෙ, සුදර්ශන සමරවීර වගේ අය තමයි කෙටිකතාවෙ අපේක්ෂා දල්වන අය. ඒ අය එච්චර තරුණත් නෑ. එච්චර නිර්මාණ කරලත් නෑ. පසුගිය අවුරුදු පහ ඇතුළත බරපතල අපේක්ෂා ඇති කරපු කවියා කවුද? චින්තක සමන් හේරත් එක්කෙනෙක්. අනික් අය අවුරැදු දහයක් හෝ ඊටත් වැඩි කාලයක් ක්ෂේත්‍රයෙ ඉන්න අය. නවකතා ක්ෂේත්‍රයෙ අපේ සමාජය ගැන විනිවිදින දැක්මක් සහිත නිර්මාණශීලින් හැටියට පෙනෙන අයත් ටික දෙනයි. සිය ගණනක් තරුණ අය අතරින් ඉදිරි අවුරුදු දහයෙදි පූර්ණ ප්‍රවීණයො කියන්න පුළුවන් අය විදියට ක්ෂේත්‍රයෙ ඉතුරැ වෙයි කියන්න පුළුවන් අය ඉන්නෙ ඉතා ටික දෙනයි. මම ඒක ඒ ක්ෂේත්‍රයෙ ඉන්න අපේක්ෂා ඇති කරන අයට පෞද්ගලිකවත් කියලා තියෙනවා. ඊළඟ රණවීර කවුද? ඊළඟ ඉලයප්ආරච්චි කවුද? ඊළඟ වෙඩිවර්ධන කවුද කියලා ඇහුවොත් පෙන්නන්න ඉන්නෙ ටික දෙනයි. සිනමාවෙත් ඊළඟ තිස්ස අබේසේකර කවුද?  ඊළඟ ප්‍රසන්න විතානගේ කවුද? ඊළඟ හඳගම කවුද කියල ඇහුවොත් කවුද අපිට පෙන්නන්න ඉන්නෙ?

 කුසුම්සිරි

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00