2020 මාර්තු 14 වන සෙනසුරාදා

මම මාලේ යන්නේ සින්දු කියන්න නෙවෙයි

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 48

ශ්‍රී ලාංකික ජන සංගීත පෝෂණය සුරකින්නට පෙරට පැමිණි රෝහණ බැද්දගේ නම් සුවිශේෂී කලාකරුවාට මාලදිවයිනේ තානාපති ධූරය පිරිනමන්නට ලක් රජය තීරණය කළේය. නොබෝ දිනකින් බැද්දගේ ශූරීන් මාලදිවයින කරා පියාසර කරනු ඇත. කෙසේ වෙතත් මෙම තානාපති ධූරය සම්බන්ධව විවිධ මතිමතාන්තර පසුගිය සමයේ අප සවන්වැකුණි. එම නිසාම රෝහණ බැද්දගේ ශූරීන්ගෙන්ම තානාපති ධූරය හිමිවීම පිළිබඳ කතාව අපි අසා දැන ගතිමු.

මාල දිවයිනේ තානාපතිකම රෝහණ බැද්දගේ නම් කලාකරුවට ලැබුණේ කොහොමද?

ඒක මෙහෙමයි වුණේ. එකපාරට මට කෝල් එකක් ආවා. මම හලෝ කිව්වාම “මම ගෝඨාභය කියලා” එතුමා කිව්වා.  මම කිව්වා මට සමාවෙන්න ඔබතුමාව කටහඬින් අඳුර ගන්න බැරිවුණා කියලා. “ආ කමක් නෑ බැද්දගේ මහත්තයා... කැමතිද මාලදිවයිනේ තානාපතිකමට යන්න කියලා” එතුමා මගෙන් ඇහුවා. මම කිව්වා මට එකපාරට කියන්න බෑ... මගේ නෝනගෙන් දරුවන්ගෙන් අහලා කියන්නම් කියලා. ඒ ගොල්ලගෙන් ඇහුවාම අකමැත්තක් තිබ්බේ නෑ. ඊටපස්සේ මම කැමතියි කියලා කිව්වා. ඊටපස්සේ ජනාධිපති කාර්යාලයෙන් කතාකරලා කිව්වා බයෝඩේටා එකක් එවන්න කියල්ලා. මම ඒක යැව්වා. ඊට පස්සේ ජයවර්ධන රෝහලට ගිහින් වෛද්‍ය පරීක්ෂණවලට සහභාගී වෙන්න කියලා උපදෙස් ලැබුණා. මගේ හැම විස්තරයක්ම අහලා එවලා තිබ්බා. පිටු පහළොවක් විතර විස්තර ලියලා යවන්න වුණා පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයට. පස්සේ විදේශ අමාත්‍යාංශයෙන් මට උපදෙස් ලැබුණා කටයුතු සිද්ධවෙන ආකාරය ගැන.

ඔබගේ සුදුසුකම්  පරීක්ෂාවක් සිද්ධ වුණාද?

ඔව්. කතානායකතුමා සහ පක්ෂ විපක්ෂ පිරිස සිටින තේරීම් කමිටුවකට මාව ගෙන්නුවා. ඒකට කියන්නේ හයිපෝස්ට් කොමිටි කියලා. එතැනදී මා ගැන ලොකු පරීක්ෂණයක් කළා. මගෙන් ඇහැව්වා මම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන වැඩපිළිවෙළ. මම හොඳ වැඩපිළිවෙළක් විස්තර කරා. බොහොම හොඳයි කියලා කතානායකතුමාත් සුභපැතුවා. පසුගිය මාර්තු දෙවැනිදා තානාපති ධූරය සඳහා අනුමැතිය ලැබුණා කියන ලිපිය මට ලැබුණා.

සාමාන්‍යයෙන් ලංකාවේ තානාපතිකම් ලැබෙන්නේ දේශපාලනමය හේතූන් මත. ඔබට ලැබුණු පත්වීමෙත් දේශපාලන පසුබිමක් තියෙනවාද?

මම දන්නේ නෑ දේශපාලන පසුබිමක් තියෙනවාද කියලා. මම ඇත්තවශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිවරණය වෙලාවේ එතුමාට පක්ෂව කතාබහ කළා. ඒත් මම එතුමා වටා ගැවසිලා කටයුතු කළේ නෑ. අවම වශයෙන් මම දවස් තුනක්වත් එතුමා එක්ක කතාකරලා නැතුව ඇති. මම මෙතැනදී හිතන්නේ මෙහෙම. ජනාධිපතිතුමා තීරණ ගන්නේ දුරදිග කල්පනා කරලා. ඒ නිසා එතුමා මගෙන් මේ පිළිබඳ අහන්න ඉස්සෙල්ලා මගේ ගැන අධීක්ෂණයක් කරන්න ඇති.

ඔබව රට හඳුනාගන්නේ ලාංකික ජන සංගීතයේ සුරුකීමේ පුරෝගාමියෙක් විදිහට. ඒ නිසාම රාජ්‍යතාන්ත්‍රික විදිහට ඔබගේ භූමිකාව වැඩපිළිවෙළ සමහරුන්ට ගැටලුවක්. ඒ ගැනම ඔබට රටට පැහැදිලි කරන්න පුළුවන්ද?

ඒක ගොඩක් අයට තිබෙන ප්‍රශ්නයක්. සංගීතය කරන සින්දු කියන මිනිහෙක් ගිහිල්ලා මොනවා කරන්නද කියලා හිතනවා. මගේ සින්දු කීම කියන්නේ වෙනම අංශයක්. මම මගේ රට නියෝජනය කරලා වෙනත් රටක වැඩකරන්න යන්නේ. මේ යන්නේ සින්දු කියන්න නෙවෙයි. මම සංස්කෘතික මිනිහෙක් බව ගොඩක් දෙනෙක් දන්නේ නෑ. අපේකම අපේ සංස්කෘතික වෙනුවෙන් ජාතික වශයෙන් පෙනී ඉඳලා තිබෙනවා. ඒ වගේම මම නවසීලන්තයට ගිහිල්ලා අපේ දරැවන්ට සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර ඉගැන්නුවා. මම කුඹුරෙන් ගොඩනැගුණ මිනිහෙක්. කෘෂිකාර්මික ජීවන රටාව සහ බෞද්ධ දර්ශනය ඔස්සේ මගේ ජීවිතය ගොඩනැගිලා තියෙන්නේ. ජන සංගීතය කියන්නේ අපිට පාරම්පරික උරුම වුණ දෙයක්. සංගීත අංශයෙන් බැලුවත් මගේ ‘සසඳ සසඳ’ කියන ගීතය ජාත්‍යන්තරයට ගියා. ඒ විතරක් නෙවෙයි මම හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ එක්දහස් නවසීය පනස් හයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් පෙළ හදාරපු කෙනෙක්.

මට වගකීමක් භාරගන්න බැරිකමක් නෑ. මාලේවලට එන සංචාරකයන් මම මගේ රටටත් එවනවා. මම යන්නේ ඒකට උපක්‍රම හදලා. අපේ රටට සංචාරකයෝ එවන් වැඩපිළිවෙළ කතානායකතුමා ප්‍රමුඛ කොමිටිය ඉදිරියේ මම විස්තර කළා. ඔවුන් එය අගය කළා. කවුරුත් නොකළ දෙයක් බව කිව්වා. මම කොහොම හරි මගේ රටට වෙනත් රටවල ආකර්ෂණය ගන්න උත්සාහ කරනවා. සංස්කෘතිකමය වශයෙන් ලොකු වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක මේ වෙලාවේ කියන එක සුදුසු නෑ.

ඔබ කොහොමද දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය කරගන්න කටයුතු කරන්නේ?

ඒ රටේ සිටින අපේ අයත් ඒ රටේ දරුවනුත් සම්බන්ධව කරගෙන කළයුතු වැඩපිළිවෙළක් මා සතුව තිබෙනවා. අපේ දේවල් ඒ රටතුළ ප්‍රදර්ශනය කරලා ඒ අය දිනාගන්න කටයුතු කළයුතු වෙනවා. මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගැනීම කියන්නේ විශාල රාජකාරියක්. මේ කටයුතු සමඟ මාලේ භාෂාව සම්බන්ධව අධ්‍යයනයකුත් මම කරන්න බලාපොරොත්තු වෙනවා.

ඔබගේ ගැමි අල්පේච්ඡ ජීවිතය මේ ගමනට අභියෝගයක් වේවිද?

මගේ අල්පේච්ඡ ජීවිතය මම කොහේ ගියත් වෙනස් කරන්නේ නෑ. මම ලෝකේ වටේම ගිහිල්ලා තියෙනවා. මම සංකර මිනිහෙක් වෙන්නේ නෑ. නමුත් මම නූතනත්වය ප්‍රතික්ෂේප කරන්නේත් නෑ. ඒ තුළ මම ජීවත්වෙනවා ඒවා ඇසුරැ කරනවා. ඒ අතර මගේ ජාතිකත්වය අල්පේච්ඡ බව රැකගෙන ඉදිරියට යනවා. ජාතික ඇඳුමෙන් තමා මම හැම රටකටම ගියේ. නමුත් අවශ්‍ය තැනදී මම මගේ රට වෙනුවෙන් කතා කළා. ඒ නිසා ඒවා ඒ හැටි ලොකු දේවල් නෙවෙයි.

ඔබගේ බෙර ආදී සංගීත භාණ්ඩත් මේ ගමනේදී ගෙනියනවාද?

නෑ ඒවා එකපාරට අරගෙන යන්නේ නෑ. ඕනෑ හැටියට ටිකෙන් ටික ගෙන්න ගන්නවා. මොකද මම එහේ මහා සංගීත සංදර්ශනයක් එහෙම කරන්න යනවා නෙවෙයිනේ. ඉස්සෙල්ලා මම පොඩි බෙරයක් එහෙම ගෙන්න ගන්නම්කෝ. ඒත් එව්වා පස්සට කරන්න ඕනෑ දේවල්. පළමුවෙන්ම මම එතැනට ගිහිල්ලා පසුබිම තේරුම් ගන්න ඕනෑ. අවශ්‍ය පරිසරය ගොඩනගා ගන්න ඕනෑ. පහුවෙලා අපේ පාරම්පරික අරටු තියෙන ශිල්පීන් නැටුම් කණ්ඩායම් ගෙන්නලා එහේ සංචාරකයන්ට පෙන්නලා ඉතුරු දේවල් බලන්න ලංකාවට ආරාධනා කරන කරන්න පුළුවන්. මගේ වැඩ සැලැස්මේ ඒ දේවල් තිබෙනවා. ඇත්තටම සංගීත සංදර්ශන පත්වන්න මල්වෙඩි පත්තු කරන්න අයිස් ගහන්න නෙවෙයි මේ ගමන යන්නේ.

කලාකරුවන් දේශපාලනයට, රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලට නොසුදුසුයි කියලා වර්තමානයේ සමාජ මතයක් පවතිනවා. ඒ පිළිබඳ ඔබගේ මතය මොකක්ද?

කලාකරුවා වුණත් කවුරු වුණත් දේශපාලනට සුදුසු නැති කෙනෙක් සුදුසු නෑ. දේශපාලනයට යන්න ඕනෑ මොළේ තියෙන වැඩකරන්න පුළුවන් මිනිස්සු. ඒ අතර කලාකරුවනුත් ඉන්න පුළුවන්. අපේ රටේ එහෙම අය හිටියා. සෝමවීර චන්ද්‍රසිරි හොඳ කවියෙක්. ටී.බී. තෙන්නකෝන් හොඳ කවියෙක්. කලාකරුවෝ අතර දේශපාලනයට සුදුසු අය ඉන්නවා. නමුත් සියලු කලාකරුවෝ දේශපාලනයට සුදුසු වෙන්නේ නෑ. කලාකරුවා දේශපාලකයාට මඟ පෙන්වන්න පුළුවන් පුද්ගලයෙක් වෙන්න ඕනා. මම කරන්නේ ඒකයි. මාත් එක කවුරුත් තරහා නෑ. පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ මම දන්නවා. ඇතැම් අවස්ථාවල මම ඒ අයට මඟපෙන්වන කතා එහෙමත් කියලා තියනවා.

තරහාකාරයෝ නැති වුණාට. ඔබතුමාට තානාපතිකම ලැබෙනවාට අකැමැත්තෙන් හිටපු අය හිටියා නේද?

ඔව් මට එහෙම දෙයක් තේරුණා. ඔය මුහුණ පොතේ එහෙම දාල තිබුණේ. ඒ අය මාව හරියට දන්නේ නෑ. ඉතින් මම ඒවලට උත්තර දෙන්න යන්නේත් නෑ. ඕන කෙනෙක් ඕනෑ දෙයක් කියපුවාවේ. මගේ වැඩේ මම කරනවා එච්චරයි. මම මගේ රටේ බලාපොරොත්තු ඉෂ්ට කරනවා.

චමිඳු නිසල් ද සිල්වා
     ඡායාරූප: සුමුදු හේවාපතිරණ

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00